92-95 දෙකම ගහලා වාහන ඇන්ජින් කම්බස් වෙයිද?

0
78

රටේ පවත්නා ඉන්ධන හිඟය නිසා ඇතැම් අය ඩීසල් සහ පෙට්රල් වෙනුවට වෙනත් ආදේශක පාවිච්චි කරන බව නොරහසකි. ඒ අනුව ඩීසල් වෙනුවට භූමිතෙල් හා ජීව ඩීසලුත්, පෙට්රල් වෙනුවට ටිනරුත් යොදන බව කියැවේ. මෙබඳු ආදේශක පාවිච්චි කිරීමෙන් රථයේ ඇන්ජිමට හානියක් සිදුවේද නැද්ද? මේ දිනවල මිලදී ගැනීමට ඇති පෙට්රල්වල නියමිත ඔක්ටේන් අගය පවතීද? නියමිත ඔක්ටේන් අගය නැති පෙට්රල් යෙදීමෙන් එන්ජිමට සිදුවන්නේ කුමක්ද? නියමිත අගයෙන් තොර ඩීසල් පාවිච්චි කළ විට එන්ජින්වලට සිදුවන හානිය කුමක්ද යන කාරණා මේ ලිපි පෙළ මඟින් සාකච්ඡා කෙරෙයි.

එසේම මේ දිනවල රජයේ කතාබහට ලක්ව ඇති ජීව ඩීසල් (Biodiesel) යනු මොනවාද? ඒවා නිපදවනු ලබන්නේ මොනවායින්ද? ඒවා පිරිපහදු කර ලබාගත් ඩීසල් මෙන්ම භාවිතයට ගත හැකිද? ඒවායින් එන්ජිමට හානි සිදුවේද? ඒවා මෙරට නිෂ්පාදනය කළ හැකිද යන කාරණා ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

මොකක්ද මේ පෙට්රල්වල තියෙන ඔක්ටේන් අගය?

ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් අගය 92 සහ 95 ලෙස දැක්වෙන පොම්ප තිබෙනු ඔබ දැක ඇත. සමහර විට ඒවා පිළිබඳව දැනුමකින් තොරව ඔබේ වාහනයට තෙල් ගසා ගන්නවාද විය හැකිය. වඩා වැදගත් වන්නේ ඔක්ටේන් අගය ගැන දැනුවත් වී ඔබේ වාහනයට සුදුසු නියමිත ඔක්ටේන් අගයෙන් යුතු පෙට්රල් වර්ගය භාවිතයට ගැනීමය.

පෙට්රල් වාහනයක් ධාවනය කරද්දී වැරැදි සුසර කිරීම් හේතුවෙන් වාහනයෙන් අසාමාන්‍ය ශබ්දයක් නැඟෙනු ඇතැම් විට ඔබ අසා ඇතුවා විය හැකිය. බොහෝ රියැදුරන් එය හඳුන්වන්නේ “ ඉග්නීෂන් ගහනවා” යනුවෙනි.

සැබැවින්ම මෙහිදී සිදුවන්නේ ඉග්නීෂන් නොක් (Ignition Knock) වීමකි. වාහනයක් කන්දක් නග්ගන විට අඩු ගියර වේගයකින් ධාවනය නොකරද්දී හෝ වංගුවකදී පහළ ගියරයකට නොයෙදූ විට මේ ශබ්දය ඇතිවෙයි. නමුත් ගියරය පහළ හෙලූවිට මේ ශබ්දය නොඇසෙයි.

නවීන වාහනවල නම් නොක්වීමේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා එන්ජිමේ බඳට නොක් සෙන්සරයක් (Knock Sensor) සවිකර ඇත. එමඟින් සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (Electonic Control Unit ECU) දැනුවත් කිරීමයි.  එවිට නොක්වීම වළක්වා ගැනීම සඳහා එන්ජිමට සැපයෙන ඉන්ධන මිශ්‍රණය අදාළ පරිදි සැකසෙයි. නමුත් පරණ වාහනවල කාබියුරේටරයේ ඇති මෙම තත්ත්වය පාලනය කරගත යුත්තේ රියැදුරු විසින්මය.

මෙකී නොක්වීමට බලපාන සාධකයක් වෙයි. එනම් වාහනයට පාවිච්චි කෙරෙන පෙට්රල්වල ඇති ඔක්ටේන් අගය එහි ඇන්ජිමට නොගැළපීමයි.

වාහනවල එන්ජින් බඳ නිර්මාණය කර ඇත්තේ සිලින්ඩරය තුළ පිස්ටනය ඉහළ පහළ ගමන් කිරීමට හැකිවන පරිදිය. ඉන්ධන දහනය වන්නේ පිස්ටනයේ ඉහළ ප්‍රදේශය තුළදීය. එය සිදුවන්නේ සම්පීඩන පහර අවසාන වීමත් සමඟම වේ. නමුත් සම්පීඩන පහර සිදුවන අවස්ථාවේදීම ඉන්ධන දහනය (ගිනි ගැනීම) සිදුවුවහොත් එහිදී ඇතිවන දහනය ක්ෂණික පිපිරීමක් හා සමාන වන අතර එහිදී නිකුත්වන ප්‍රබල පීඩන තරංග එකට ගැටීමෙන් ඇතිවන දෙදරීමේ හඬ ඉග්නීෂන් නොක්වීම ලෙස පැහැදිලිව හඳුනාගත හැකිය.

නොක්වීම නිසා සිදුවිය හැකි හානිකර තත්ත්වයන් මොනවාද?

(1). පිස්ටනය මුදුනේ ඇතිවන ක්ෂණික පිපිරීම හා දෙදරීම නිසා පිස්ටනය මුදුන පිලිස්සීම මඟින් පළුදු වීම.

(2). පිස්ටන් අත (Connecting rod), දඟර කඳ (Crank shaft), බෙයාරින් (Bearing) ආදිය ක්ෂණිකව අධිකව තෙරපී හානි සිදුවීම.

මේ හේතුවෙන් ඉතා කෙටි කාලයකින් ඔබට රථයේ එන්ජිම අලුත්වැඩියා කිරීමට සිදුවේ. එබැවින් හානිකර තත්ත්වයන් පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.

පෙට්රල් ඉන්ධන භාවිත කර දහනය වන එන්ජින් වර්ගය බොහෝවිට සිවු පහර (Four stroke) එන්ජින් වර්ගය වේ. මෙහිදී ඉන්ධන දහනය වී බලය ලැබීමේදී සිදුවන්නේ පිස්ටනය ගමන් කරන රේඛීය චලිතය (අනුවැටුම්/ Reciprocating) පිස්ටනය හා සම්බන්ධ පිස්ටන් අත (සබැඳුම් දණ්ඩ/ Connecting rod) මඟින් දඟර කඳට සම්බන්ධව වෘත්තාකාර චලිතයක් බවට පත්කිරීමයි. මෙහිදී එක් බල පහරක් හෙවත් බලය වරක් ලැබීමට පිස්ටනය සිවු වරක් සිලින්ඩරය තුළ ඉහළ පහළ ගමන් කෙරෙයි. එක් වරක් ඉහළ හෝ පහළ ගමන් කිරීම පහරක් (Stroke) ලෙස හැඳින්වෙයි.

මෙසේ පිස්ටනය ඉහළටම ගමන් කරන සීමාව TDC (Top Dead Center) ලෙසත් පහළම සීමාව ඕච්ඛ් (Bottom Dead Center) ලෙසත් ව්‍යවහාර කෙරේ.

 මෙහිදී එසේ බලය ලැබීමට ඉන්ධන දහනය වන එක් වරකදී පිස්ටනය (ඉහළ – පහළ ගමන් කරන) අවස්ථා හතරක් හෙවත් පහරවල් හතරක් සිදුවන අතර එවා චූෂණ, සම්පීඩන, බල, පිටාර නමින් හැඳින්වෙයි. චූෂණ පහරේදී පිස්ටනය ඉහළ සිට පහළට පැමිණෙන විට සිලින්ඩරය තුළ පරිමාව වැඩි වී පීඩනය අඩුවන නිසා කාබියුරේටරය ඇති මෝටර් රථවල නම් පෙට්රල් වායු මිශ්‍රණයක් කාබියුරේටරය තුළින් සිලින්ඩරයට පැමිණෙන අතර ඉලෙක්ට්‍රොනික ඉන්ධන විදුම් පද්ධතියක් (EFI – Electronic Fuel Injection) සහිත වාහනවලදී වාතය පැමිණ ඉන්ධන පිරීමක් ද සිදුවේ.

පසුව පිස්ටනය පහළ සිට නැවත ඉහළට ගමන් කිරීමේදී කලින් පැමිණි වායු පෙට්රල් මිශ්‍රණය ඉහළ එක් ස්ථානයකට සම්පීඩනය වේ. මෙම ස්ථානයේදී ඉන්ධන මිශ්‍රණයට පුළිඟු පේනුවක් මඟින් විද්‍යුත් පුළිඟුවක් ලබාදෙන අතර එහිදී ඉන්ධන මිශ්‍රණය දහනය වේ. මෙම ඉහළ පිහිටි ස්ථානය දහන (Combustion Chamber) ලෙස හ¾දුන්වන අතර එම දහන කුටීරයේ පරිමාව හා සිලින්ඩරය තුළ පිස්ටනය පහළටම ගමන් කර පහළ පිහිටි විට එම දුරෙහි පරිමාවත් අතර අනුපාතය සම්පීඩන අනුපාතය (Compression Ratio) ලෙස හඳුන්වනු ලැබේ.

මෙම සම්පීඩන අනුපාතය පිළිබඳව මෙසේ උදාහරණයක් දැක්විය හැකිය. පිස්ටනය සම්පූර්ණයෙන් සිලින්ඩරය තුළ ඉහළට පැමිණි විට ඉහළ ඇති ප්‍රදේශයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100 (100cm3) ලෙස හා පිස්ටනය සම්පූර්ණයෙන් පහළට ගිය විට පරිමාව ඝන සෙන්ටිමීටර් 700 (700 cm3) ලෙස සැලකූ විට, එම එන්ජිමේ සම්පීඩන අනුපාතය 7:1 යැයි කියනු ලැබේ. මෙය සම්පීඩන අනුපාතය ලෙස රථයේ සඳහන් කර නැතත් උනන්දුවෙන් සොයා බැලුවහොත් දැනගත හැකිවේ.

සාමාන්‍යයෙන් පෙට්රල් එන්ජිමකට සාපේක්ෂව ඩීසල් එන්ජිමක සම්පීඩන අනුපාතය ඉහළ අගයක් ගනී. ඩීසල් ඉන්ධනය දහනය වීම, ස්වයං දහනයකි. මෙම දහනය සඳහා ඩීසල් ඉන්ධනය අධික පීඩන තත්ත්වයකට පත්කළ යුතුය. පෙට්රල්වලදී පුළිඟු පේනු පද්ධතියකින්, පුළිඟුවක් ලබාදෙන නිසා එසේ කිරීම අවශ්‍ය නොවේ. යම් හෙයකින් පෙට්රල් එන්ජිමක සම්පීඩන අනුපාතය වැඩි වුවහොත් සම්පීඩන පහර සිදුවන විට පෙට්රල් වාත මිශ්‍රණයේ පීඩනය වැඩි වී සම්පීඩනය අවසන් වීමට කලින් ක්ෂණිකව ඉන්ධන දහනය වීම සිදුවිය හැකිය. එය සිලින්ඩරයක් තුළ සාමාන්‍ය ඉන්ධන දහනයක් සිදුවීමට ගතවන කාලය මෙන් දහයෙන් පංගුවක් (1/10) තරම් කාලයකදී සිදුවිය හැකිය. එසේ වූ විට ඉන්ධන ක්ෂණිකව දහනය එන්ජිම තුළ පිපිරීමක් හා දෙදරීමක් සිදුවිය හැකිය.

සාමාන්‍යයෙන් එන්ජිමක කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සඳහා එහි සම්පීඩන අනුපාතය වැඩිකළ යුතුය. නවීන පෙට්රල් වාහන එන්ජින්වල සම්පීඩන අනුපාතයන් වැඩිය. සාමාන්‍යයෙන් පැරැණි පෙට්රල් වාහනක සම්පීඩන අනුපාතය 7:1, 7.5:1 අතර පමණ වන විට, නවීන පෙට්රල් වාහනයක එය 9:1 පමණ වේ. මෙසේ සම්පීඩන අනුපාතය වැඩි වුවහොත් නොක්වීම ඉබේම සිදු වේ. එනම් ඉන්ධන දහනය හරියාකාරව සිදුවීමට ප්‍රථම සම්පීඩනයට පෙර ඉබේම දහනය ඇතිවේ. මෙවැනි එන්ජින්වල මෙම තත්ත්වය මඟහරවා ගැනීමට, ක්ෂණික දහනයට යම් ආකාරයක බාධාවක් ඇති කරන ස්වභාවයක් පෙට්රල්වල තිබිය යුතුය. එන්ජිමක සම්පීඩන අනුපාතයට ගැළපෙන පරිදි තිබිය යුතු එම ගුණය ඔක්ටේන් අගයෙන් (Octane Value) හඟවන බව සරලව දැක්විය හැකිය.

ඉන්ධන සංයුතිය සැලකීමේදී පෙට්රල් අණු සෑදී ඇති මූලිකම මූලද්‍රව්‍යයන් වන්නේ හයිඩ්‍රජන් සහ කාබන් යන ද්විත්වයයි. ඊට අමතරව තවත් මූලද්‍රව්‍යන් හා සංඝටකයන් පවතී. පෙට්රල්වල අණු සැකසී ඇති ආකාරය අනුව දැවීම පහසුවීම හෝ අපහසු වීම හෝ සිදුවේ. විශේෂයෙන් දැවීමේ හැකියාව පහසු වුවහොත් සම්පීඩන පහරේදී අඩු පීඩන තත්ත්වයන් යටතේ වුවද එන්ජිමේ නොක්වීම සිදුවිය හැකි අතර එය වළක්වා ගැනීම සඳහා පෙට්රල්වල දහනය අපහසු කරවන අණු ප්‍රමාණය වැඩි කළ යුතුය. ඒ අනුව සම්පීඩන අනුපාතය වැඩි එන්ජින්වල නොක්වීමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඔක්ටේන් අගය වැඩි පෙට්රල් ඉන්ධනය භාවිත කෙරෙයි. පෙට්රල්වල සාමාන්‍යයෙන් ඔක්ටේන් අගය 90 – 100 පිරිපහදුවලදී නිපදවන අතර ඔක්ටේන් අගය වැඩිවත්ම පෙට්රල්වල මිලද වැඩිවේ. 

සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රධාන වශයෙන් පවතින්නේ ඔක්ටේන් 92 සහ 95 යන පෙට්රල් ඉන්ධනයන් වේ. මෙම ඔක්ටේන් අගයට සාපේක්ෂව බි්‍රතාන්‍ය විසින් ඒවා පහසුවෙන් හඳුනාගැනීම සඳහා තරු සංකේත භාවිත කරන අතර තරු 2න් ඔක්ටේන් 90ද තරු 5න් ඔක්ටේන් 100 පෙට්රල් ඉන්ධනය ද හඳුන්වනු ලැබේ.

කලින් සඳහන් කළ පරිදි යම් එන්ජිමක කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා එහි සම්පීඩන අනුපාතය වැඩි කළ යුතුය. එසේම එම සම්පීඩන අනුපාතයේ අගය ද ගැළපීම ද ඉතා වැදගත් වේ. ඒ අනුව සම්පීඩන අනුපාතයන්ට ගැළපෙන පරිදි පෙට්රල්වල ඔක්ටේන් අගය පිළිබඳව අදහසක් ඔබ වෙත ලබාදීමට කැමැත්තෙමි. සාමාන්‍යයෙන් සම්පීඩන අනුපාතය 7.5:1 සඳහා ඔක්ටේන් 90ද, සම්පීඩන අනුපාතය 8.2:1 සඳහා 95ද සම්පීඩන අනුපාතය 9.1:1 සඳහා ඔක්ටේන් 97ද සම්පීඩන අනුපාතය 9.1:1ට වඩා වැඩි නම් ඔක්ටේන් 100 වැනි අගයන් ද ගැළපෙනු ඇත. බොහෝවිට ඉතා ඉහළ සම්පීඩන අගයක් සහිත අධිවේගී, සුපිරි තත්ත්වයේ වාහන අපේ රටට ආනයනය කරනු ලබන අතර එහිදී ආනයනය කරන රථයට ගැළපෙන ඔක්ටේන් අගයෙන් යුතු පෙට්රල් ඉන්ධනය අපේ රටේ තිබේද යන්න පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත් වේ. නොගැළපෙන තත්ත්වයේ පෙට්රල් භාවිත කිරීමෙන් එන්ජිමට හානි සිදුවෙයි. 

එමෙන්ම සම්පීඩන අනුපාතය අඩු එන්ජිමක් සඳහා වැඩි මිලක් ඇති වැඩි ඔක්ටේන් අගයෙන් යුතු පෙට්රල් භාවිත කිරීමද මුදල් නාස්ති කිරීමකි. එබැවින් වාහනයට ගැළපෙන පෙට්රල් වර්ගය කුමක්ද යන්න දැනුවත්වීමේ වටිනාකම දැන් ඔබට වැටහෙනු ඇත.

ඔක්ටේන් අගය ඉහළ දැමීම සඳහා පෙට්රල් ඉන්ධනයට ඊයම් අඩංගු සංයෝගයන් එක්කිරීම වැදගත් වන අතර එය පරිසරයට අධික ලෙස හානිකරය. නමුත් වර්තමානයේ මෝටර් රථවල ඇති කැටලටික් කන්වර්ටරයේ ඇති සිදුරු මෙම ඊයම් මඟින් අවහිර කිරීම නිසා රථයේ අමතර ‍ෙදා්ෂ ඇති වෙයි. එබැවින් පෙට්රල්වල ඔක්ටේන් අගය වෙනස් කිරීම සඳහා ඊයම් අඩංගු සංයෝග වෙනුවට වෙනත් සංයෝග එකතු කරනු ලැබේ.

ඉෂාර හෙට්ටිආරච්චි

තාක්‍ෂණවේදී (ඉන්ජිනේරු)