හිඟමනට දාපු රටේ රෝගී දරුවන් වෙනුවෙන් උතුම් මිනිසුන් කරන සටනක තරම..!

0
42

රට පුරාම ඇත්තේ අරාජික බවකි. බැලු බැලු හැම තැනකම දකින්නට, පෙනෙන්නට ඇත්තේ පරාජිත මුහුණුය.

“ඇයි අපට මෙහෙම වුණේ. අපිට මොනවා වුණත් කමක් නැහැ. අපේ දරුවන්ට කන්න දෙයක් දීපල්ලා! ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් ගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙළක් හදපල්ලා! ඒ හොඳටම ඇති!

මෙවැනි අඳෝනා නිරන්තරයෙන්ම ඇසෙන බව ඔබ අප කවුරුත් දන්නා දේය.

කුඩා දරුවන් සිටින මවුපියන් මෙන් අඳෝනා නඟන්නේ ඒ දරුවන්ගේ හෙට දවස ගැන ඇති සැක සංකා නිසාමය. මන්දපෝෂණයට ලක්වී ඇති දරුවන්ගේ ප්‍රමාණය හා රෝගී වී සිටින දරුවන්ට අවශ්‍ය ඖෂධවල ඇති හිඟය සමාජගත වූ බැවින්ය.

මෙවැනි පසුබිමක ඔබට අපට වඩා යමක් කළ හැක්කේ අපේ රටේ සිටින දෙවිවරුන් වැනි වෛද්‍යවරුන්ටය. සැබෑවටම ඔවුහු ඒ අභියෝගය භාර ගෙන සිටින්නෝය. එවැනි එක් වෛද්‍ය කණ්ඩායමක් රිජ්වේ ආර්යා ළමා රෝහල කේන්ද්‍ර කරගෙන දරුවන්ගේ පෝෂණ ගුණය වැඩිදියුණු කිරීම උදෙසා වැඩපිළිවෙළක් දියත් කළහ.

ඒ අතරතුරේදී තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දරුවන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමේ මානුෂික මෙහෙයුමක නිරත වී ඒ සත්කාරය ආරම්භ කළහ. සැබෑවටම ඒ සත්කාරය විශිෂ්ටය.

“අපේ රටේ ඩොලර් අර්බුදය පටන් ගැනීමත් සමඟම යම් යම් ඔෟෂධ හිඟ වන බව අපට වැටහුණා. ඒ අනුව අපි විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍යම ඔෟෂධ වර්ග ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න සැලසුම් සකස් කළා.”

මෙසේ කියමින් අප සමඟ කතාබහට එකතු වුණේ ශ්‍රී  ලංකා ළමා රෝග විද්‍යාර්ථයන්ගේ සංගමයේ වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ගුවනි ලියනගේය.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 32ක ප්‍රමාණයකින් සමන්විත වූ මෙම එකමුතුව තමන්ගේ ශ්‍රමය හා විශේෂඥ දැනුම උපයෝගී කරමින් සැලසුම් කළ මේ වැඩසටහනට අද වනවිට එකතු වී සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 142කි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම WhatsApp ගෘෘප් එකක් ඔස්සේයි මේ සත්කාරක වැඩසටහන ක්‍රමවත්ව සිදුකරමින් පවත්වාගෙන යන්නේ.

“වැඩසටහන ආරම්භ කරන විටම අපි ලංකාවේ තිබෙන සියලුම රෝහල්වල ළමා රෝග ඒකක හා සම්බන්ධ වුණා. ඒ වෛද්‍යවරුන් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය ඖෂධ මොනවාදැයි සටහන් කරගත්තා.

ඒ අනුව තමයි අපි ඒ ඒ ළමා රෝග ඒකකවලට අවශ්‍ය ඖෂධ මොනවාද කියා හරිහැටි දැනගන්නේ. තවමත් ඒ වැඩසටහන ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා.

ඉතින් එහෙම අඩුපාඩු ඖෂධ මොනවාද කියා දැනගත් පසු ඊළඟට අපි අපේ ගෘෘප් එකේ අයට වගේම පිටරට ඉන්නා ශ්‍රී  ලාංකිකයන්ටත් ඒ විස්තර දැනගන්න විදිහට ප්‍රචාරයක් ලබාදෙනවා. අන්තර්ජාලය තමයි අපි මේ වෙනුවෙන් වැඩිපුර පාවිච්චි කරන්නේ.”

දරුවන්ට කොයි කවුරුත් ආදරෙයි. රෝගී වුණු දරුවන්ට ඇති අවධානය ඊටත් වඩා වැඩියි. ඉතින් අපේ රටේ අද ඇති ඖෂධ හිඟය පිළිබඳව දැනුවත් වී සිටින බොහෝ මානුෂික හිත් ඇත්තන් මේ වෙනුවෙන් දායක වුණේ දෙවරක් නොසිතායි.

“අපි මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ සැණින් බොහෝ පිරිසක් ඒ සඳහා ඉදිරිපත් වුණා. ඇතැමුන් අපි සඳහන් කළ ඔෟෂධ වර්ග ලබාගන්න පුළුවන් විදිහට මුදල් එව්වා. ඒ මුදල් අපි ආරම්භ කළ ගිණුමකට තමයි එකතු වුණේ.

තවත් අය එම ඖෂධ ලබාගත හැකි සමාගම්වලට මුදල් එවලා අවශ්‍ය බෙහෙත් ටික ගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙළක් හදලා තිබුණා. ඊට අමතරව විදෙස්ගතව ඉන්න තවත් ශ්‍රී  ලාංකිකයෝ බොහෝ දෙනෙක් අවශ්‍ය බෙහෙත් පාර්සල් කරලා අපිට ලැබෙන්න සැලැස්සුවා. තවමත් ඒවා ඒ විදිහටම කෙරෙනවා. ඉතින් එහෙම එවපු බෙහෙත් කිසිදු මුදලක් අය නොකර ලබාදෙන්නත් ශ්‍රී ලන්කන් සමාගම කටයුතු කළා.

ඇත්තටම මේවා බොහොම වටින මානුෂික පරිත්‍යාග. මේ පරිත්‍යාග සම්බන්ධයෙන් විගණන වාර්තාවක් හදන්නත් අපි කටයුතු කළා. මොකද මේවායේ විනිවිදභාවයක් තිබිය යුතු නිසා.

අපේ රටේ ඇතැමුන් වෛද්‍යවරුන් දෙස බලන්නේ චැනල් සේවාවලින් මුදල් හොයන, මුදල් මතම යැපෙන පිරිසක් හැටියටය. එහෙත් සියලු වෛද්‍යවරුන් එසේ නොවේ. සුළු පිරිසක් මුදල් මතම යැපුණත් වැඩි පිරිසක් රෝගීන් වෙනුවෙන් තම ශ්‍රමය පමණක් නොව ඇතැම් විට තම ධනය පවා පරිත්‍යාග කරන අයයි.

ඇත්තටම මේක මේ වෙලාවේ අපි විතරක් කරන දෙයක් නෙවෙයි. විවිධ වෛද්‍ය කණ්ඩායම් හා තනි තනි වෛද්‍යවරුන් අසරණ රෝගීන් වෙනුවෙන් මේ විදිහට වෙහෙස මහන්සි වෙනවා. රටේ අඩු ඖෂධ හොයලා කොහොමහරි රෝගීන්ගේ ජීවිත බේරාගන්න කටයුතු කරනවා. අපිත් ඒ අය අතරින් කොටසක් විතරයි.”

දරුවන් යනු රටක අනාගතයයි.

අපේ රටේ හෙට දවස භාර ගැනීමට සූදානමින් ඉන්න ඔවුන්ගේ අද දවස බාරව ඇත්තේ වැඩිහිටියන් වූ අපටය. ඉදින් ඒ ඇත්ත අමතක කර ජීවත් වන තීන්දු තීරණ ගන්නා අය අතර වගකිවයුතු ලෙස හැසිරෙන මේ විශේෂඥ වෛද්‍යවරුන් අප ඇගයිය යුතුමය.

ඔවුන් මේ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ආකාරය පැසසිය යුතුමය.

“මේ වෙද්දී අපි මිලියන 100ක පමණ ඔෟෂධ රටපුරා ඇති ළමා රෝග ඒකකවලට ලබාදී තිබෙනවා. මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වුණේ අපිව විශ්වාස කරලා පරිත්‍යාගශීලීන් ආධාර උපකාර කළ නිසයි. විශේෂයෙන්ම ඇමරිකාවේ, බි්‍රතාන්‍යයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ වගේම ස්වීඩනයේ හා සෞදි අරාබියේ ඉන්නා ශ්‍රී  ලාංකික ජනතාව උදවු කළා. එහෙ ඉන්න ශ්‍රී  ලංකා වෛද්‍ය කණ්ඩායම් සැලකිය යුතු ලෙස මීට දායක වුණ.” විශේෂඥ වෛද්‍ය, ගුවනි ලියනගේ මහාචාර්යවරිය හදයාංගමව කියා සිටියාය.

රෝගී දරුවන්ගේ ජීවිත බේරා ගැනීම උදෙසා ඇරැඹූ මේ සත්කාරක වැඩසටහන වෙනුවෙන් ලැබෙන සියලු ඔෟෂධ ගබඩාකොට ආරක්ෂා කර ගැනීමට තෝරාගෙන ඇත්තේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලය. එහි ආරක්ෂිතව ගබඩා කොට ඇති මෙම ඔෟෂධ අවශ්‍ය රෝහල් කරා යවන ආකාරය ගැනත් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

“අද වෙද්දී අපේ රටේ විශාල තෙල් ප්‍රශ්නයකුත් තිබෙනවනේ. ඉතින් අෑත දුර බැහැර තිබෙන රෝහලකින් අපිට පණිවුඩයක් එව්වහම අපි ඉක්මනින්ම ඒ රෝහලේ ළමා ඒකකට මේ ඔෟෂධ යවනවා. ඒක කරන්නෙත් මෙන්න මේ විධියටයි.”

“අපි මේ වෙනුවෙන් ගිලන් රථ යොදා ගන්නවා. ඒ කියන්නේ කිසියම් පළාතක ඉඳලා හදිසි රෝගීන් අරගෙන එන ගිලන් රථ හඳුනාගෙන ඒවා ආපසු යනවිට මේ ඔෟෂධ යවන්න කටයුතු කරනවා.”

“කොහොම වුණත් මෙපමණ දවසක් අපි මේ සත්කාරක සාර්ථකව කරගෙන ගියා. ඉදිරියටත් කරනවා. ඉතින් ඒකට උදවු වෙන හැමෝටම මේ වෙලාවේ අපි ස්තුතිය පුද කළ යුතුයි. මොකද අපේ රට අද මුහුණදී සිටින මේ අර්බුදකාරී තත්ත්වය අද දරුවන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අපි එක්ක එකතු වුණාට.”

මහාචාර්ය ගුවනි ලියනගේ විශේෂඥ වෛද්‍යවරිය අවසානයේ මෙසේ කියන්නටත් මතක නොකළේ හෙට දවසේ අපි මුහුණ දෙන තවත් අභියෝගයක් ඔවුන් වේලාසනින්ම හඳුනා ගත් නිසාය.

සැබෑවටම මේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සිදුකරන්නේ ඔවුන්ගේ වෘත්තියෙන් එහාට ගිය මානුෂික සද්කාර්යයක් බව අප පුල පුලා සඳහන් කළ යුතුමය. ඔවුන් දවසේ පැය 24 තුළම තම ශ්‍රමය කැප කරන්නේ මේ වෙනුවෙනි. ඒ වෙනුවෙන් හරි හැටි නින්දක් නැතිව කටයුතු කරන මානව හිතවාදී පිරිසක් ඔවුන් සමඟ නිරන්තරයෙන්ම අත්වැල් බැඳ ගනිමින් සිටිති.

රටක් රාජ්‍යයක් හැදෙන්නට අනුන් ගැන හිතන, අනුන්ගේ පැවැත්මට සහාය වන ගරු කරන සමාජ ක්‍රියාකාරින් සිටිය යුතුමය. එහෙත් අවාසනාවකට අපිට බොහෝ විට හමුවන්නේ තමන්ගේ පොකැට්ටුව හා තමන්ගේ පැවැත්ම ගැන පමණක් හිතන පිරිසක්ය. එවැන්නන් ගරු කටයුතු පුටුවලට අරක්ගත් විට සිදුවන්නේ මුළු රටක්ම අගාධයකට ඇදවැටීමය.

එහෙත් ඒ ඇදවැටීම ඉදිරියේ උඩුගං බලා පිහිනන හෘදයාංගම මිනිසුන්ද අපට හමුවේ. දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට යුහුසුලුව කටයුතු කරන මෙවැනි වෛද්‍ය උත්තමයෝද එවැන්නෝය. ඔවුන් නිරතව සිටින්නේ දේව කාර්යයකය. ඒ නිසාම ඔවුන්ට අපේ ගරුත්වය හිමිවිය යුතුය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ