සත්වාරයක් නොව සත්වාර සැත්තෑවක් සමාව දෙන්න

0
40

ලෝකාරම්භයේදී ආදරය එසේත් නැතිනම් පුරුෂයා ස්ත්‍රිය එකට විසීමට ආරම්භය ලබා දුන්නේ දෙවියන් වහන්සේය. ශුද්ධ වූ බයිබලයේ උත්පත්ති පොතෙහි සඳහන් වන ආකාරයට  “මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”

ජේසුස් වහන්සේගේ සිට එල් ජේම්ස් දක්වාත් බුදුන් වහන්සේගේ සිට බිට්ලස් දක්වාත් ඔවුන් සියල්ලෝම ප්‍රේමය, ආදරය යනු කුමක්දැයි විග්‍රහ කිරීමට හා පැහැදිලි කිරීමට උත්සාහ දරා නැත. ආදරය යනු කුමක්දැයි කියා විද්‍යාත්මකව නිර්වචනය කිරීමට අපහසු වුවද එය හැඟීම් දැනීම් තුළින් පහසුවෙන් නිර්වචනය කළ හැකිය. ආදරය යනු හුදෙක් අල්ලා ගැනීමම අයිති කර ගැනීමම පමණක් නොව අත්හැරීම යනුද ආදරයයි. කෙනකු තව කෙනකුට ආදරය කරන්නේ අනිකාගේ සතුට සහ යහපත වෙනුවෙන්ම බව මතකයේ තබාගත යුතු කරුණකි.

මනුෂ්‍ය ජීවිතේට ප්‍රේමය අවශ්‍යමද?

“ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ

ලෝකේ ලස්සන වන්නට දෙදෙනකු ඕනෑ වේ”

ලෝකය ආරම්භයේ සිටම මිනිසුන් හට ජීවත්වීමට ආදරය අවශ්‍යයි. ජීවිතේ මුල් අවධියේදී අපි මවුපියන්ට ආදරේ කරනවා සේම ඊට පසුව අපට ජීවිතයේ හමුවන මිතුරන්ගෙන් ආදරය සොයනවා මෙන්ම තවත් විටකදී විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය සොයන්නට උත්සාහ කරනු ලබයි. මිනිසුන් ලෙස අපි හැමෝම උත්සාහ කරන්නේ ආදරය කරන්නට සහ ආදරය ලබන්නටයි. තවත් කෙනකුගේ උණුහුම තුළ ජීවත් වන්නටයි. ඒ අපගේ මනුෂ්‍ය ස්වභාවයයි.

අවංක ප්‍රේමයක් ඇතිකර ගනිමින් එය පවත්වාගෙන යන්නේ කෙසේද?

ප්‍රේමය, ඉවසිලිවන්තය,

කරුණාවන්තය.

ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත,

පාරට්ටු ගන්නේ නැත,

උඩඟු වන්නේ නැත.

(1 කොරින්ති 13:4)

ආදර සම්බන්ධතාවකදී දෙදෙනාට දෙදෙනා හොඳින් අවබෝධ කර ගනිමින් ඉතාම පරිණත ආකාරයෙන් කටයුතු කළහොත් එම සබඳතාව දිගුකල් පවත්වාගෙන යා හැකිය. දෙදෙනකුගේ අදහස් වෙනස් වුවත් ඒ අදහස් අතරින් දෙදෙනාම යන්නේ එකම අරමුණකට බව සිහියේ තබාගත යුතු කරුණකි.

ආදරේ කරන අතරේ ගැටුම් ඇතිවිය හැකිද? ඒවා නිරාකරණය කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද?

ආදරවන්තයා සහ ආදරවන්තිය අතරේ විවිධාකාර වූ ගැටුම් ඇතිවිය හැකියි. නමුත් ආදරයේදී වැදගත් වන්නේ සහ ඉදිරියට යා හැක්කේ ඒවා නිරාකරණය කර ගැනීමෙන්ම පමණකි.

“සත්වාරයක් නොව සත්වාර සැත්තෑවක් සමාව දෙන්න” සමාව දීම හා ප්‍රේම කිරීම කොන්දේසි විරහිතව සිදුකළ යුතු බව ජේසුස් වහන්සේ මානව සංහතියට ඉගැන්වූවා පමණක්ම නොව ආදරය කරන අපිද ආදරය කළ යුතු ආකාරය පිළිබඳව යොමුවක්ද දුන් සේක.

ඔබට සමාව දිය හැකිද?

ඔබට සමාව අවශ්‍යද?

ඔබට ප්‍රේම කළ හැකිද?

ඔබට ප්‍රේමය අවශ්‍යද?

මේ සියල්ලම එකම රාමුවකට ගත්විට, එය ආදරයයි.

කොන්දේසිවලට යටත් නොවුණු, ගැටුම්වලින් මිදුණු, ප්‍රේමයෙන් සමන්විත වුණු, සමාව ජීවිතේ අවියක් කර ගන්නට පසුබට නොවෙමු. මේ ප්‍රේමයේ ගමන තුළ ගැටුම් විස¼දා ගැනීමට නම් සමාව හා තෙරුම් ගැනීම අපට අවශ්‍යම දෙයකි.

ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටීම. හේතුවන යම්කිසි තැනක සැකයක් මතු වූ විට ඒ සඳහා මුහුණ දෙන්නේ, විසඳුම් සොයන්නේ කෙසේද?

ජේසුස් වහන්සේ දේශනා කළ ආකාරයට “දෙවියන් වහන්සේ විසින් එක් කළ දේ මනුෂ්‍යයකු හට කිසිදා වෙන් කළ නොහැකියි.”

දෙදෙනකු අතර පවතින සම්බන්ධතාවක ශක්තිමත් බව මනින්නට හැකි ඒ දෙදෙනා අතර පවතින විශ්වාසය මතයි. සබඳතාව තවත් ශක්තිමත් කරන්නේත් ඉදිරියට පවත්වාගෙන යන්නේත් ඒ එකිනෙකා අතර තිබෙන විශ්වාසයයි. නූතන සමාජය තුළ දෙදෙනකු අතර පවතින සබඳතාවක් බිඳවැටීමට “සැකය” ප්‍රධාන ලෙස බලපාන හේතුවකි. එසේ සිදුවිය හැක්කේ දෙදෙනා අතර එකිනෙකාට තිබෙන විශ්වාසය පලුදු වීමෙනි. එසේම දෙදෙනකු අතර පවතින බැඳීමක් ශක්තිමත් වීමට නම් දෙදෙනාට දෙදෙනා ආරවන්තයා සහ ආදරවන්තිය අතර පවතින විශ්වාසය පලුදු නොවන ආකාරයට දෙදෙනා දෙදෙනා අවබෝධයෙන් හා අවංකව කටයුතු කිරීමට වග බලා ගත යුතුය.

ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටුණු විට කිතුනුවකු ලෙස එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද? ඉතිරි ජීවිතය කිතුනුවකු ලෙස ගොඩනඟා ගන්නේ කෙසේද?

ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටුණු මොහොතක තනිකම, පාළුව හා වේදනාව දරා ගන්නට ඉවසීමක් තිබිය යුතුයි. ඉවසීම යනු අප ජීවිතවලට ආභරණයකි.

ප්‍රේමයේ සැබෑ සාක්‍ෂිකරුවාණන් එසේ නැතිනම් ප්‍රේමය අපට පෙන්වා දුන් සැබෑම ප්‍රේමවන්තයා ජේසුස් වහන්සේ පමණකි. ඒ නිසා ජේසු පෙන්වා දුන් ඒ සත්‍යය තුළ අවබෝධයෙන් කටයුතු කරන්නට අපට හැකි නම් මොන බැඳීම් බිඳී ගියත් කිතුනුවකු ලෙස ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. මන්ද ජේසුස් යනු අපගේ එකම මාර්ගයත්, සත්‍යයත්, ජීවිතයත් වන නිසාය.

මේ ලෝකේ තිබෙන බැඳීම් පහව යද්දී පහව නොයන එකම බැඳීම, ආදරය ජේසු තුළ පමණකි. එදා ජේසුස් වහන්සේ කුරුස ගමනේදී අපට ගැලවීම ලබා දුන්නා සේම කිතුනු අනුගාමිකයන් වන අපිත් සැමවිටම අනෙකාගේ යහපත උදෙසා කටයුතු කළ යුතුය.

මෙම ලිපිය කියවන ඔබද මේ වන විටත් මෙම අත්දැකීම හරහා ගමන් කරන අයෙක් විය හැකිය. එම නිසා ජේසුස් වහන්සේ ගමන් ගත් ඉවසීමෙන් හා ශක්තිමත්ව ජීවිතය මෙතැන් සිට ගොඩනඟා ගත යුතු බව අවබෝධ කරගත යුතුය.

“මා ඔබට ප්‍රේම කළාක් මෙන්

ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න”

(ශු.ජොහාන් 15:12)  

නිම්නාත් ටී. හේවාපතිරණ 

(For beloved Jesus – කිතු සමිඳු වෙත

FaceBook පිටුවේ ඇඩ්මින්

Catholic Social Media Admins of Sri Lanka සාමාජික)