විවිධ ප්‍රතිගාමී කණ්ඩායම් රටේ පාලනය නතු කර ගැනීමේ අනතුරක් තිබෙනවා

0
59

අද රටේ දේශපාලනඥයෝ පාර්ලිමේන්තුව කියන ගැටේට අහුවෙලා නේද, මේ ගැටය ලිහිය යුතු නැද්ද?

මේ දේශපාලන අර්බුදය ලිහා ගැනීමට වර්තමාන පාර්ලිමේන්තුව, වර්තමාන ඇමැති මණ්ඩලය, වර්තමාන අගමැති ජනාධිපති, මේ කිසිම ආයතනයක් සහ පුද්ගලයෙක් අද වෙන කොට මේ රටේ ජනතාව භාරගන්නේ නැහැ. ඒ භාර ගන්නේ නැති බවට උදාහරණ ඕන තරම් තිබෙනවා. සරලම උදාහරණයක් කිව්වොත් මේගොල්ලෝ දාන ඇඳිරි නීතිය ජනතාව දැන් පිළිගන්නේ නැහැ. මේගොල්ලෝ කිව්වම සිකුරාදට තෙල් දෙන්නේ සෞඛ්‍ය සේවයට විතරක් කියලා ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මේ උදාහරණ හොඳටම ප්‍රමාණවත් මොවුන් ෆේල් කියන්න.

හැබැයි අපි මේ රටේ ඇති වී තිබෙන ප්‍රශ්න, ගැටලු, අර්බුදවලට අපි උත්තර හොයන්න ඕනේ ‍ව්‍යවස්ථා රාමුව තුළ පමණයි. ව්‍යවස්ථා රාමුවෙන් පිට උත්තර සොයන්න ගියාම රටේ විවිධ කල්ලි, විවිධ කණ්ඩායම්, විවිධ ප්‍රතිගාමී බලවේග, හමුදා කණ්ඩායම් රට අවිධිමත් ලෙස සහ විනාශකාරී ලෙස ඔවුන්ගේ පාලනයට නතුකර ගැනීමට ඉඩකඩ තිබෙනවා. අපි තියෙන රාමු පාවිච්චි කරලා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා අවශ්‍ය ප්‍රගතිශීලී, ජනතාවාදී සංශෝධන කරගන්න ඕනෑ. ඒවා ක්‍රියාවට නඟන්න ඕනෑ. ඒ තුළින් තමයි මේ රටට ජයග්‍රහණය ගේන්න කටයුතු කළ යුත්තේ.

නමුත් ඔබ හිතනවද මේ රටේ දැන් ක්‍රියාත්මක වන බොහෝ දේ ව්‍යවස්ථාවට අනුකූලව සිදුවෙන්නෙ කියලා?

දැන් ව්‍යවස්ථාවෙන් පිට යම් යම් දේවල් සිදුවන බව ඇත්ත. අපි කළ යුත්තේ එය නිවැරැදි කිරීම මිස ව්‍යවස්ථාවට පිටින් කරන කටයුතුවලට දිරිදීම නොවෙයි. උදාහරණයක් ලෙස මේ පාර්ලිමේන්තුව දැන් විසුරුවලා දාලා ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්න ඉඩ ලබා දෙන්න ඕනෑ. ඒ තුළින් තමා රටේ දේශපාලනය ස්ථාවර වෙන්නෙත්, රටේ සමාජ කැලඹිල්ල සමනය වෙන්නෙත්. නමුත් ඒ වැඩේ අපිට කරගන්න වෙන්නේ ජන අරගලය තුළින්, ජන බලය හරහා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්ම පමණයි.

ඒ නිසා සමාජය සහ දේශපාලනය ස්ථාවර කරගන්න මේ රට දැන් පෙළගැසිය යුතුයි. එවැනි තත්ත්වයක් තුළ ගොඩනැඟෙන නව පාලනයක් තමයි මේ ආර්ථික අර්බුදයට උත්තර සොයන්න සමත් වෙන්නේ. මොකද සමාජය කලඹල තියෙද්දි, දේශපාලනය අස්ථාවර වෙලා තියෙද්දි තියෙන පාර්ලිමේන්තුව ජනතාව භාර නොගෙන ඉද්දි මේ පාලකයෝ කියාගන්නා අය ලෝකෙ කාට කතා කළත් ඒ අයගෙන් අපේ රටේ අර්බුදය විසඳන්න සහාය දෙන්නෙ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත  කරගන්න අවශ්‍ය නම් ජනතාව පිළිගන්න පාලනයක් ඕනෑ. ණය ගන්න හැකිවන්නේ ජනතාව පිළිගන්න පාලනයකට පමණයි. ඊළඟට ප්‍රගතිශීලී පාලනයකට බොහෝ අය දායක වෙනවා. මේ රට ගොඩගන්නකොට ඩොලර් ගලාගෙන ආපු සියලු මාවත් නැවත විවෘත වෙනවා. වහාම විදේශගත ශ්‍රී ලාංකිකයෝ රටට ඩොලර් එවනවා. වහාම විදේශගතව බොහෝ කාලයක් ඉන්න ධනය උපයාගත් ශ්‍රී ලාංකිකයෝ මේ රටේ ආයෝජනයන්ට එනවා.

සංචාරක කර්මාන්තයේ තියෙන ප්‍රශ්න විස‍ෙ¾දනවා. මේ අර්බුදයෙ ඉඳන් සංචාරක කර්මාන්තය හදන්න බැහැ. සමාජය විසින් නව පාලනයක් ඇති කරගත්තොත් පමණයි මෙවැනි මාවත්  විවෘත වෙන්නෙ.  ඉන්පසු මේ අර්බුදය අවසන් කර රට ගොඩනඟන මාවතකට අපිට ඇතුළු වෙන්න පුළුවන්. මෙතැනදී මම අවධාරණය කරන්නේ ඇතුළු වෙන්න පුළුවන් කියන වචනෙ. අපේ රටේ නව දේශපාලන සංස්කෘතියක් හදා ගන්නට පුළුවන්. නමුත් අපි මේක ව්‍යවස්ථා රාමුව රකිමින් යන්න ඕනෑ. ව්‍යවස්ථා සංශෝධන අපිට කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට.

ඔබ කිව්වා ප්‍රගතිශීලීව ව්‍යවස්ථා  සංශෝධන සිදුකර ගත යුතුයි කියලා. නමුත් මේ 225න් අතිබහුතර තක්කඩි දේශපාලනඥයන් ඉන්නතුරු එය කරගත හැකිද?  ප්‍රායෝගිකද?

ප්‍රායෝගිකයි. අපි කවුරුත් දැනගන්න  ඕනි මැයි මාසයේ නවවැනිදා මේ රටේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය බලය අත්හැරලා ගියෙ ජන අරගලයේ ප්‍රබලත්වය නිසා. ඔවුන් යන්න හිටපු අය නෙවෙයි. ටික දවසක් ආණ්ඩුවක් නැතුවත් මේ රට තිබ්බා. ඊට පස්සේ තමයි ගෝඨාභය ජනාධිපති තමන්ව ආරක්ෂා කරනවා කියන විශ්වාසය මත රාජපක්ෂලා රකිනවා කියන විශ්වාසය මත අගමැතිවරයෙක් පත්කර නව ආණ්ඩුවක් හදා ගත්තේ.

නව ආණ්ඩුවටත් බැරි බව සහ නව ආණ්ඩුව මේ අර්බුදය වැඩි කළ බව ජනතාව පිළිගෙන හමාරයි. අරගලය බලවත් කරන්න ඕනෑ. තව වට කිහිපයකින් අරගලය බලවත් කිරීම තුළින් තමයි ඔය ප්‍රතිගාමී පාර්ලිමේන්තුවෙන් යමක් කරගන්න පුළුවන් වෙන්නේ. ඔවුන් ඒක කරන්නේ කැමැත්තෙන් නොවෙයි. වෙන කරගන්න දෙයක් නැති නිසා කරන්නෙ. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර ගියේ කැමැත්තෙන් නෙවෙයි. ඒ තත්ත්වයට පත් කරන්න තමයි ජනතාව නැඟිටින්න ඕන. දැන් සැලකිය යුතු මට්ටමකට ජනතා නැඟිටීමක් තියෙනවා. එය තවත් තීව්‍ර කර ගත්තම එය සාර්ථක කරගත හැකියි කියන විශ්වාසය අපිට තියෙනවා.

“ගෝඨා ගෝ හෝම්” කියන සටන මැයි 9න් පසු තීව්‍ර ලෙස තිබුණා. දැන් මෙය නිහඬ වෙලා. එදා මිනිසුන්ගෙන් පිට වූ ආවේගය ඒ සටන තුළින් රටට ප්‍රතිඵලයක් ගන්න බැරි  වුණා නේද?

අරගල ඉහළ පහළ යනවා. ඇති වන සිදුවීම් අනුව ඒවා උච්චාවචනය වෙනවා. එහෙම නැති අරගල ලෝකෙ කොහෙවත් නෑ. දැන් ආපස්සට හැරිලා පොඩ්ඩක් බැලුවොත් මාර්තු 23 තමයි “74 වසරක සාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු, ජනතාවාදී පාලනයක් ගොඩනඟමු” කියන අරගලය ඉදිරියට ආවේ. මේ අරගලයේ විශේෂත්වයක් තිබුණා. ඒ  ඊට කලින් ගොවියෝ මේ ආණ්ඩුවෙන් පොහොර ඉල්ලුවා. එතැන් සිට ගොවියෝ පොහොර ඉල්ලුවේ නෑ. පොහොර දෙන්න බැරි ආණ්ඩුව ගෙදර යන්න කිව්වා. ඒ විදිහට මුළු රටේම සටන් පාඨ වෙනස් වුණා. ඒ අරගලය ඒ විදිහට ඉස්සරහට එනකොට තමයි ගෝල්ෆේස් කියන අරගලය  පිටින් මතු වුණේ. ඒ අරගලයට පිටින් ජනතාව ඒකරාශී වුණා. ඒක තමයි ප්‍රබල විදිහට ගෝඨා ගෝ හෝම්  කියන සටන් පාඨය ආවෙ. නමුත් ඊට කලින් නුගේගොඩ ජුබිලි  කණුව සිට රට පුරා උද්ඝෝෂණ පටන් ගත්තා.  ඒක ජාතික වශයෙන් කේන්ද්‍ර වෙලා තමයි ගෝල්ෆේස් අරගලය ආවේ.

ඇත්තටම මේ වන කොට ගෝඨාභය කියලා කෙනෙක් රටේ නෑ. ගෝඨාභය කියන්නේ මළකඳක්. සමහර මළකඳන් තියා ගන්නවා යම් යම් දේශපාලන අවශ්‍යතාවන් සඳහා යම් යම් කාලවල්වල. සමහර මළකඳන් අවුරුදු විස්ස තිහ තියන්න වෙලා තියෙනවා ලෝකේ. ඒ වගේ අප්‍රාණික, ක්‍රියාකාරීත්වයක් නැති, බෙලහීන ගෝඨාභය කෙනෙක් තමයි දැන් රටේ ඉන්නේ. එයා ගැන අපි එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. නමුත් ගෝඨාභය කියන මළකඳ භූමදානය කර අවසන් කටයුතු කිරීමට ජාතික ජන බලවේගයේ අරගලය මූලික වෙලා, තවත් විවිධ පැතිරුණු අරගල සියල්ල මූලික වෙලා ඉටුකළ යුතුයි. 

කාලාන්තරයක් තිස්සේ මිනිසුන්ගේ පීඩාව සෝඩා බෝතලයක් කැඩුවා වගේ පිටවීමක් තමයි අපිට පසුගිය මැයි 9 වැනිදා වුණේ. නමුත් දැන් එහි යම් සන්සුන්තාවක් තිබෙනවා.  ඔබ හිතනවද නැවත ජනතාව එවැනි ප්‍රචණ්ඩත්වයට ආවේගශීලී හැසිරීම්වලට යා හැකියි කියලා. ඔබට දැනෙන්නේ කොහොමද?

මට දැනෙනවා, අපේ ව්‍යාපාරයට දැනෙනවා, දේශපාලන අත්දැකීම් තියෙන අය පිළිගන්නවා පහුගිය ජනරැල්ල ආවේ කරුණු කිහිපයක් මුල් කරගෙන කියලා. සමාජයේ බොහෝ කරුණු තිබුණත් මූලික කරුණු ටිකක් පදනම් වෙලා ජනරැල්ල මතුවුණේ. එක තෙල්, දෙක  ගෑස්, තුන විදුලිය.  ඊට කලින්  ගොවි, කම්කරු ඇතුළු විවිධ අරගල පැතිරී තිබුණා. දැන් නව වටයකින් අරගලය ඇවිත් තිබෙනවා. දැන් බඩගින්නත් අරගලයට එකතුවෙලා. බඩගින්න අරගලයට එකතු වුණාට පස්සේ පාලකයන්ට යන්නම වෙනවා. කාලය පිළිබඳ ගැටලුවක් විතරයි දැන් ඉතුරු වෙලා තිබෙන්නේ.

ජනතාවගේ වගකීම තමයි පුළුවන් ඉක්මනින් මේ ආණ්ඩුවේ කාලය ඉවර කිරීම. දැන් බඩගින්නෙ ඉන්නේ කවුද කියල බලන්න. මවුපියෝ දරුවන්ට කන්න දෙන්න පුළුවන්තාක් කල් මවුපියන්ගෙන් කකා බිබී දරුවන් අරගලයට එනවා. තරුණයන් අරගලයට එනවා.  මවුපියෝ බොහෝ වෙලාවට ගෙදර ඉන්නේ. හැබැයි දරුවන්ට කන්න දෙන්න බැරි වුණාට පස්සේ, ඔවුන්ගේ දරුවෝ අඬද්දි, බෙහෙත් ටික දෙන්න බැරිවෙද්දි, දරුවා පාසලට යවන්න බැරි වෙද්දි, තුන්වේල කන්න දෙන්න බැරි වුණාම මවුපියන් පත්තු වෙනවා. ඒ මවුපියන් පත්තුවෙලා ඔවුන්ම අරගලයට සම්බන්ධ වෙනකොට පාලකයන්ට දාලා යන්නම වෙනවා.

දැන් මවුපියෝ පත්තු වෙලා අරගලයට සම්බන්ධ වෙලා තමයි මේ වටය ආරම්භ වී තිබෙන්නේ. ඒ නිසා පාලකයන්ටත් අවවාදයක් දෙන්න අපි කැමැතියි. ඒ  අවවාදය තමයි නිසි වේලාවට ඔබ බලය අත්හැර නොයනවා නම් ඔබ ඔබේ ජීවිතයත් ඔබේ අනුගාමිකයන්ගේ ජීවිතත් අනතුරට ලක් කර ගන්නවා. එම අනතුර වළක්වා ගැනීම සඳහා ඔබ වහාම ඔය අල්ලගෙන ඉන්න පුටු අත්හැරලා කරුණාකර යන්න කියලා අපි ජනතාවගේ පැත්තේ සිට අවවාද කරනවා.

එය බරපතළ අනතුරු අනතුරුදායක අවවාදයක්? අවවාදයක් නෙමේ උපදේශයක්. ජන අරගලවල ඓතිහාසික අත්දැකීම් පාඩම් ලෙස ඉගෙන ගත් කණ්ඩායමක් හැටියටයි අපි මේක කියන්නෙ. කවුද කරන්නෙ කියන එක නෙමෙයි වැදගත්. ඒකේ කර්තෘත්වය ගන්නේ කවුද කියන එක නෙමේ වැදගත්. මේගොල්ලන්ට සිදුවී තිබෙනවා ඒක ඉගෙන ගන්න. ඉගෙන ගෙන ඒ දැනුම අනුව කටයුතු කරන්න.

මේ අරගලයේ කර්තෘ කවුද කියන එක හංගලා නේද තියෙන්නේ?

මේ පාලනයේ දුර්වලතාවන්, බැරිකම් පේන්න පටන් ගන්නකොට ඉස්සර වෙලාම මේ පාලනයෙන් ඉවත් වුණේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය කියලා නම් කළාට මේ ආණ්ඩුව බලයට ගේන්න අනුශාසනා, දේශනා, සංගායනා තියපු මහා සංඝරත්නය. දෙවනුව මේ පාලකයන්ව අත්හැරියෙ මේ ආණ්ඩුවෙ වියත්මඟ කියන කණ්ඩායම. තුන්වෙනුව මේ පාලනයට එරෙහිව එළියට බැස්සේ පරිසරවේදීන්. හතරවන කණ්ඩායම ගොවි ජනතාව. පස්වනුව ගුරුවරු සහ විදුහල්පතිවරුන්. ඊටත් මොහොතකට කලින් නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකුණන්න මේ පාලකයෝ  දරන උත්සාහයේදී. ඒ සියල්ල එකතු වෙලා තමයි අරගල කළේ. ජාතික ජන බලවේගය මාර්තු මාසේ 23 දෙල්කඳ හන්දියෙන් විරෝධතාවක් පටන් ගෙන නුගේගොඩ රැලියක් තියලා ජනතාවට කිව්වේ අපි මේක පන්නමු. බලන් හිටියා ඇති ජනතාවාදී පාලනයක් ගොඩනඟා ගන්න කියලා.

ඊළඟට තමයි ගෝල්ෆේස් අරගලය ක්‍රියාත්මක වුණේ. මාධ්‍යකරුවන් ක්‍රියාත්මක වුණා. මේ අතර ඒ ඔක්කොම ගෝල්ෆේස් අරගලයත් එක්ක බැඳුණා. මේ සියල්ල තුළින් ගොනු වෙච්ච ජන බලය තමයි මෙතැන ඉන්න කර්තෘ. ජන බලය කර්තෘ වුණාම පාලකයන්ට යන්න වෙනවාමයි. දේශපාලන පක්ෂයක් කර්තෘ වුණාම අල්ලගෙන ඉන්න පුළුවන්. යම් යම් කණ්ඩායම් කර්තෘ වෙලා ඉන්නකම් පාලකයන්ට ඉන්න පුළුවන්. නමුත් ජන බලය කර්තෘත්වයට ආවම පාලකයන්ට කරන්න දෙයක් නෑ. ඒ අවස්ථාවට රට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා මේක මර්දනය කරන්න බෑ.

නමුත්  ආණ්ඩුව  රාජ්‍ය  ආරක්ෂක අංශ යොදා මේ අරගලය මැඬපවත්වනවා?

හමුදාවේ පහළ කොටස්, පොලිසියේ පහළ කොටස් ඔක්කොම ගත්තම ඒගොල්ලොත් මේ අරගලයත් එක්ක සම්බන්ධයි. පාලකයො දැනට බලයේ ඉන්නේ හමුදාවේ ඉහළ කිහිපදෙනෙක්ගේ ආශීර්වාදය මොවුන්ට තිබෙන නිසා. ඒ ආශීර්වාදයත් වැඩි කලක් තියෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. තනිකරම හමුදාවේ සහ පොලිසියේ ඉහළ කිහිප දෙනෙක්ගේ රැකවරණය යටතේ තමයි  ඉන්න පාලකයන්ට ජනතාවගෙන් නම් කිසිම සහායක් නෑ.

තෙල් ප්‍රශ්නය හමුදාවේ, පොලිසියේ නිලධාරීන්ටත් තිබෙන නමුත් ඔවුන්ගේ ‍රැකියාවේ ස්වාභාවය අනුව ඔවුන් මේ ප්‍රභූන් දේශපාලනඥයන් ආරක්ෂා කිරීම නවත්තයි කියලා හිතන්න පුළුවන්ද? ඔවුන්  කඳුළු ගෑස්, ජල ටැංකි ක්‍රියාත්මක නොකරයිද?

තව ටික දවසක් යද්දි ජල ටැංකිය ක්‍රියාත්මක කරන්න එන්න වෙන්නේ මේ ආණ්ඩුව තියාගන්න ඕනෑ කියලා ළඟම ඉන්න ඇම්බැට්ට කණ්ඩායමට. වෙන කවුරුත් ඉතුරු වෙන්නේ නෑ. දැන් මේ ගොල්ලන්ගේ බලය ගිලිහිලා ඉවරයි. ඒක තේරුම් ගන්න ඕනැ. මිනිස්සු අලුත් කුණුහරප හදාගෙන දැන් බනින්නෙ මේ ආණ්ඩුවට.

බලන්න කාන්තාවන්ගෙ කටවල්වලින් පිට වෙන දේවල්. කාන්තාව එහෙම හැසිරුණේ කවද්ද,  දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මේ ඔක්කොම දේවල් දැනගත්තාම මේ ආණ්ඩුවට දාලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා. මම දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතුවලට ගියාම බොහෝ දේ දකිනවා. නුවර ගියාම නුවර හිටියා ඩී.බී. විජේතුංග කියලා මන්ත්‍රි කෙනෙක්. උඩුනුවර ආසනයේ ඒ මන්ත්‍රි. එයා මන්ත්‍රි වෙලා හිටියා. අගමැති කෙනෙක් වුණා. ජනාධිපති කෙනකුත් වුණා. ඒත් එයාට පුළුවන්කම තිබුණා එයාගේ බලය අවසන් කරලා මල්ල අරන් ගෙදර යන්න.

නමුත් දැන් මේ පාලකයෝ කිසි කෙනකුට තමන්ගේ අමාත්‍යාංශය හරි කොහේ හරි ඉන්න තැනක හරි ඉඳන් මල්ල අරන් ගෙදර යන්න බෑ. උන් මේ රට කෑවා. විනාශ කළා. මුළු රටක්ම මැරුවා. මිනිහෙක් මැරුවොත් අධිකරණයෙන් දෙන උපරිම දඬුවම එල්ලා මැරීමයි. හැබැයි පොඩි කල්ලියක් විසින් රටක් මැරුවට පස්සේ අපි අහනවා මොකක්ද දෙන්න තියෙන දඬුවම කියලා? ඒ නිසා තත්ත්වය බරපතළයි. ජනාධිපති හා මේ දේශපාලනඥයෝ පාරේ බැහැලා යන්නේ නෑ. ඉන්න තැන බංකර් බවට පත් කරගෙන තියෙන්නෙ. පදිංචි ස්ථාන මැප්වලින් මකලා. එච්චරටම බරපතළයි තත්ත්වය.

ඔවුන්ට බලය දාලා යන්න බෑ. ඒ නිසා ඔවුන් බලනවා තව ටිකක් මොනවහරි ක්‍රමයකින් මේ සමාජය තුළ පැනනැඟිලා තියෙන උද්වේගකර, සාධාරණ අරගලය පාලනය කර ගන්න පුළුවන්ද කියලා. ඒකට ක්‍රම හොයනවා. ඇත්තටම දැන් ඔය කංචන විජේසේකර කියන තරුණ ළමයා කටාර්වලට යැව්වෙ තෙල් ගන්න නෙමේ. එහෙම දේවල් මඟින් බලනවා සමාජයේ ටිකක් කැලඹිල්ල අඩුකර ගන්න පුළුවන්ද කියලා. ඒ කැලඹිල්ල අඩු කරගන්න පොඩි පොඩි ටි්‍රක්ස් ටිකක් යොදනවා මිසක් උත්තර හම්බ වෙන්නේ නෑ. කටාර්වලිනුත් කිව්වේ බලමු කියලා. බලමු කියලා කියන්නේ මේ වගේ වෙලාවක දෙන්නෙ නැහැ කියන එක. ඒක තමයි ඇත්ත.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාරගත්තා. මේ මොහොතේ ආණ්ඩුව  පැත්තෙන්ම සටන් පාඨයක් යොදලා තියෙනවා රනිල්ටත් දීලා බලමු කියලා. ඔබ මොකද හිතන්නේ?

රනිල් වික්‍රමසිංහ කියන්නේ එයාගේ පාලන කාලය තුළ හොරකමට, වංචාවට, දූෂණයට, නාස්තියට ඉඩ දුන්නු කෙනෙක්. මහ බැංකුව කොල්ලකෑමේ දේශපාලන වගකිවයුත්තෙක් එයා. රනිල්ගේ ගෝලයා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂාකාරී ලෙස රටින් එළියට යැව්වා. එහෙව් පට්ට හොරෙක් රනිල් කියන්නේ.‍ රනිල් එක්ක පොඩ්ඩක් බලමුද කියන අය ඉන්නව නම් මං කියන්නේ උන් මැට්ටො. රටට කෙළවෙලා තියෙද්දි කෙළවපු අය එක්ක තවත් ටිකක් හරි බලමු කියනවා නම් එහෙම කියන අයත් මේකට වගකියන්න ඕනෑ. දැන් රනිල් ගෙනාවා. අර්බුදය වැඩි වුණා. අර්බුදය විසඳුවද? එයා දැන් කියනවා 2048 අර්බුදය  විස‍ෙඳන්නේ කියලා. ඒ කියන්නේ තව අවුරුදු 26ක්. එතකොට  රනිලුත් නෑ මේ රටේ දැන්  ඉන්න ජනයාගෙන් භාගයකුත් නෑ. මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ කියනවා මේක කවදා විස‍ෙඳයිද  කියලා එයා දන්නේ නෑ කියලා. එතකොට මේ ගොල්ලොත් එක්ක තවත් මොනවද බලන්නේ? දැන් බලලා ඉවරයි. ඊළඟ වටය ආරම්භ වෙලා තියෙන්නෙ.

මේ ඊළඟ වටය කියන තැනින් අපි පටන් ගමු. ඔබලාට අගමැතිකම දුන්නොත්  ආණ්ඩුව ගන්න ලෑස්තියි කියනවා?

දැන් රටේ ජාතික මට්ටමේ ප්‍රධාන ජන අරගල දෙකක් යනවා. එකක් තමයි ජාතික ජන බලවේගය විදිහට අනුර කුමාර සහෝදරයා මූලිකත්වය ගෙන මැදිහත්වන උද්ඝෝෂණ ව්‍යාපාරය. තව එකක් යනවා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විදිහට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්. ඊට අමතරව තව තව විසිරුණු පැතිරුණු උද්ඝෝෂණ ප්‍රමාණයක් රට පුරාම තියෙනවා. ඒවා දැන් යන්නෙ දිස්ත්‍රික්  මට්ටමින් සහ ගම්බිම් මට්ටමින්.

ඒ දිස්ත්‍රික් මට්ටමින් සහ ගම්බිම් මට්ටමේ ජනතාවට පයින් යන්න පුළුවන් දුරකින්, පාපැදියෙන් යන්න පුළුවන් දුරකින් සහ තවත් චුට්ටක් දුරකින් තමයි මේ අරගල ඔක්කොම යන්නේ. මොකද ප්‍රවාහන ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න නිසා. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ කොළඹට හෝ යම් තැනකට කේන්ද්‍රගත වූ අරගලයක් ලෙස නොවෙයි. රටපුරා විසිරුණු පැතිරුණු විවිධ ජන කොට්ඨාස ඉන්න වැලි දූවිලි වගේ පැතිරුණු අරගලයක්.

දැන් ගෝල්ෆේස්  අරගලය ගත්තොත් ඒක කොළඹට කේන්ද්‍ර වෙච්ච එකක්. දැන් යන්නේ රටම කේන්ද්‍රගත වූ අරගලයක්. එම අරගලය මේ ආකාරයෙන් ඉදිරියට ගොස් යම් මොහොතකදී අපි අවසන් අරගලයට ජාතික වශයෙන් එළියට බැසිය යුතුයි. ඒකට පිළිගත හැකි ඒකට සුදුසුකම් තියෙන අත්දැකීම් සහිත ජාතික ව්‍යාපාරයක් මැදිහත් වෙන්න ඕනෑ. ජාතික ව්‍යාපාරය හා ඒ වටා එකතු කරගත හැකි තවත් ව්‍යාපාර සම්බන්ධ වෙලා තමයි ඒ දිනය ප්‍රකාශයට පත් කළ යුත්තේ.

ඉතින් ඒ සඳහා අපි රට පුරා වෙහෙසමින් ජනතාව දැනුවත් කරමින් නායකත්වය ලබාදෙමින් ඉන්න මොහොතක් මේ ගතවෙන්නේ. අපිට පේනවා ජනතාව ඉතාමත් ඕනෑකමින්  කවද්ද සහෝදරයා ඒ දිනය කියලා දැන් අපෙන් අහන්න පටන් ගෙන තිබෙනවා. අපි කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුව පන්නන ඒ දිනය ළඟදීම ප්‍රකාශයට පත්කරනවා. එදාට ඔබ ජේ.වී.පී. වෙන්න ඕනෙත් නෑ. ඔබ ශ්‍රීලංකා වෙන්න ඕනැත් නෑ. ඔබ ස.ජ.බ. වෙන්න ඕනැත් නෑ. ඔබ සිංහලද දෙමළද මුස්ලිම්ද වෙන්න ඕනෙත් නෑ. ශ්‍රී ලාංකේය පුරවැසියො විදිහට ඒ පුරවැසි කාර්යභාරය අපි ඉෂ්ට කරමු. එතැනින් තමයි මේ රටේ අලුත් පිටුවක් ලියන්න  පුළුවන් වෙන්නේ.

බොහෝ අය කියන්නේ දැන් උද්ඝෝෂණ කර කර පෙළපාළි ගියා  ඇති ජ.වි.පෙ., ස.ජ.බ., පෙරටුගාමී වගේ පක්ෂ එකතු වෙලා මේ ආණ්ඩුව භාර ගෙන වැඩකටයුතු කළ යුතුයි කියලා?

ජනතාව හැමෝම එකතු වෙන්න ඕනෑ.  මේ රටේ නායකත්වය අපිට පල් හොරුත් එක්ක කරන්න බෑ. ඒ පල්හොරු එක්ක එකතු වෙලා හොරු පන්නමු, හොරුන්ට දඬුවම් දෙමු, හොරකම් කරපුවා පවරා ගමු කියලා කිව්වොත් ජනතාව පිළිගන්නවද? ජනතාව පිළිගන්නේ මේකත් මුළාවක් කියලා.  ජනතාව මුළාවට පත් කරන ආකාරයේ වැඩවලට රටේ ඉඩක් නැහැ. ඒ නිසා අපි ජාතික වශයෙන් එකතු කරගන්නේ සුදුසු අය පමණයි. සුදුසු අය හැම පක්ෂෙම ඉන්නවා.  එම පක්ෂවල නුසුදුසු අය පල්හොරු දාගෙන මේ වැඩේ කරන්න බෑ. එතකොට අරගලය වැටෙනවා. ජනතා විශ්වාසය බිඳ වැටෙනවා. පක්ෂ, ජාති,  ආගම්,  කුල  භේදයක් නැතුව ජනයාට නායකත්වය දිය යුත්තේ සුදුසු නායකයා මිස ඔක්කොම එකතු කරගන්න ඕනෑ කියන සංකල්පයෙන් නොවෙයි.

අගමැතිකම ජාතික ජන බලවේගයට ඉල්ලනවා. කැබිනට් මණ්ඩලයත් ඔබලාට අවශ්‍ය පරිදි පත්කරගන්න දෙන්න කියනවා. එහෙම වුණොත් මාස හයකට රට පාලනය කරලා මැතිවරණයකට යමු කියනවා. එහෙම කෙටි කලකට ආණ්ඩුවක් පත් කරන්නේ ගෝඨාභය මහතා ජනාධිපතිකමේ තියාගෙනද?

අනුර කුමාර දිසානායක සහෝදරයා අගමැති කළ යුතුයි. ඒ වගේම ඔහු සහ ජාතික ජන බලවේගය සහ තවත් ප්‍රගතිශීලී අය එකඟ වෙච්ච පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පක්ෂවලින්ම තෝරාගත් අයගෙන් ඇමැති මණ්ඩලයක් පත්කර ගත යුතුයි. ඒක තමයි අලුත් ආණ්ඩුව. එළියේ සිටින ප්‍රගතිශීලී අරගලකරුවන්ගෙන් සහ කොටස්වලින් සමන්විත මණ්ඩලයක් පත්කර ගත යුතුයි. එම මණ්ඩලයත් මේ අලුත් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයත් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් රැස්වී රටේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගත යුතුයි. එම තීරණ තමයි පාර්ලිමේන්තුවේ අනුමත විය යුත්තේ.

එහෙම නැතිව ගෝඨාභය රාජපක්ෂ ගැන කියලා වැඩක් නෑ. ගෝඨාභය ගැන මං කලින් කිව්වා. ඔහු මළගිය ප්‍රාණකරුවෙක් විතරයි. ඔහුත් එක්ක කාටවත් මොකුත් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ නිසා දැන් ඔහු මීට මාස කිහිපයකට පෙර හිටපු විධායක ජනාධිපති නෙවෙයි. ඔහු කිසිවක් කර කියාගත නොහැකි රූකඩයක්. ඒ රූකඩයත් මෙතැනින් ගලවා දමන්න ජනතාව කර ගෙන යන අරගලය ඉදිරියට යා යුතුයි.  ඔහු පිළිබඳව අපි ඕනෑවට වඩා සැලකිලිමත් විය යුතු නැහැ.

වෘත්තීය සමිති පැත්තෙන් ඔබ එහි සභාපති. රටේ බලවත් අරගල, වැඩ වර්ජනය සාර්ථක වුණේ ඔබ යටතේ. මහා වැඩ වර්ජනයක් කර නායකයන්ට බලපෑමක් කළ හැකිව තියෙද්දී ඇයි එය නොකරන්නේ?

දැන් අරගලය තියෙන්නේ ආයතන ඇරපියව්, වැඩබිම් ඇරපියව්, අපිට වැඩට යන්න ඉඩදියව් කියන සටන් පාඨ යටතේ. දැන් මේ රටේ රාජ්‍ය පාලනය බිඳ වැටිලා ඉවරයි. පාලකයෝ විසින් රට වහලා තියෙන්නේ. පාලකයෝ ආයතන වහලා තියෙන්නේ. ආයතනවල සේවකයෝ ගෙදර ඉද්දි අපි මොකටද වැඩ වර්ජනය කරන්නේ? දැන් පාලකයෝ මේ රටේ සියලු වැඩ වර්ජනය කරලා ඉවරයි. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයේ මේ වෙලාවේ සටන් පාඨය ආයතන ඇරපියව්, අපිට වැඩ දියව් කියලා. අර සාම්ප්‍රදායිකව වැඩ වර්ජන වැඩ වර්ජන කියලා තත්ත්වයන් මනින අයගෙ ප්‍රකාශ විතරයි මහා වැඩ වර්ජන කියන්නේ.

පහුගිය මැයි 6 වැනිදා තමයි ලංකාවම වසා දමන ලද මහා හර්තාලය සිදු වූ දිනය. එදා තමයි පාලකයෝ මැන ගත්තෙ ජනතාව ඉන්නේ කොතැනද කියලා. මැතිවරණයකින් ජනතාව ඉන්නේ කොතැනද කියලා මනිනවා වගේ මැයි 6 වැනිදා පාලකයන් හරියටම දැන ගත්තා ජනතාව ඉන්නේ කොතැනද කියලා. පාලකයො විතරක් නෙමෙයි  අපිත් දැනගත්තා ජනතාව ඉන්නේ කොතැනද කියලා.

මැයි 9 සිද්ධිය ජ.වි.පෙ. මිනීමරු දේශපාලනය විසින් කරපු දෙයක් කියලා ආපු චෝදනාව නිසා දැන් අරගලයකට යන්න දෙපාරක් හිතනවද?

දැන් අරගලයකට යන්න දෙයක් නෑ. අරගලය පටන් අරන් ගොඩක් කල්. අරගලයෙන් ජයග්‍රහණය විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා. තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ජනතාව අරගලය කරගෙන යනවා. අපේ ආශීර්වාදය ජනතාවට තියෙනවා. නායකත්වය දිය යුතු තැන අපි සාමූහිකව නායකත්වය දෙනවා. එදා ඒ ප්‍රචණ්ඩත්වයට නායකත්වය දුන්නේ කවුද? ප්‍රචණ්ඩත්වය පිටිපස්සේ හිටියේ  කවුද? කියලා අද වෙනකොට පාලකයෝ දන්නවා. මැයි 9 සිද්ධිය, පාස්කු ප්‍රහාරය වගේම පාලකයන්ගේ සැලසුමක්.

අවසන් වශයෙන් මොකක්ද ලාල්කාන්තට මිනිසුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ?

 මම ඉල්ලා සිටින්නේ සංවිධානාත්මකව, විශ්වසනීය බලවේගයක් සමඟ පාරට බැහැලා මේ පාලනය මුලිනුපුටා දමලා නව පාලනයක් මේ රටේ ස්ථාපිත කර ගැනීම පමණයි ඔබලාට ඉතිරි. ඒක පමා කරන්න එපා. එහෙ මෙහෙ කියව කියව ඉන්න එපා. මේ අරගලයට දායක වෙන්න. දැනට අරගලය ඉදිරියට ගෙන යමින් තිබෙනවා.  ඒක මහා ජාතික අරගලයක් බවට පත්වෙනවා ඉක්මනින්. ඊට  සැවොම දායක වෙන්න.

සංවාදය – අනුරාධා හේරත්