ලක්ෂ 34 ක පගාවලට පයින් ගහපු ශ්‍රී ලංකා පොලීසියේ Mr. ක්ලීන් OIC

0
66

අල්ලස් ගැනීම සහ අල්ලස් ඉල්ලීම අතින් ශ්‍රී  ලංකා පොලිසිය තරම් චෝදනා ලැබූ වෙනත් ආයතනයක් නැති තරම්ය. වරෙක ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය දූෂණය පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී ශ්‍රී  ලංකාවේ වඩාත් දූෂිත ආයතනය ලෙස ශ්‍රී  ලංකා පොලිසිය හඳුන්වනු ලැබීය. ඒ නිසා අද බොහෝදෙනා පොලිසිය දෙස බලන්නේ වපර ඇසකිනි.

කිසියම් රාජකාරියක් ඉක්මනින්  කර ගැනීම මෙන්ම කිසියම් උදව්වක් උපකාරයක් කර ගැනීමට පොලිසියට යන ඇතැමුන්ට ඒ සඳහා අල්ලස් දීම ඉතිහාසය පුරාවටම දක්නට ලැබිණි. මෙලෙස අල්ලස් ගැනීම නිසා කොටු වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාවද සුළුපටු නැත. මෙවන් දූෂිත පොලිස් නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ සිටියද සිය නිල ඇඳුමේ ගෞරවය රකිමින් අල්ලස් ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ද පොලිසිය තුළ නැත්තේම නොවේ.

මෙවන් අවංක පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් පුවතක් ඉකුත් සතියේ මාධ්‍ය මඟින්ද අනාවරණය කර තිබිණි. ඒ එම නිලධාරියාට අල්ලසක් ලෙස ලබාදීමට උත්සාහ කළ රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදල තරයේ ප්‍රතික්ෂේප කිරීමයි. මෙහි විශේෂත්වය වනුයේ ඔහු මෙලෙස මුදල් අල්ලස් ප්‍රතික්ෂේප කර ඇත්තේ හතර වැනි වතාවට වීමය. ඔහුට අල්ලස් දී කොටු කර ගන්නට ඇතැම් පිරිස් ගත් සිවුවැනි උත්සාහයද මේ නිසා ව්‍යර්ථ වූ අතර මේ නිසා අල්ලස් දීමට තැත් කළ පුද්ගලයන්ට හිරේ විලංගුවේ තපින්නටද සිදුවිය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව මේ වන විට රාජකාරි කරනුයේ අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ලෙසය. 

ඉකුත් දින ඔහුට ඔත්තුකරුවකු කිසියම් තොරතුරක් දුන්නේය. ඒ අවිස්සාවේල්ල තල්දුව මංචි මාවත ප්‍රදේශයේ පුද්ගලයකු මහ පරිමාණයේ ගංජා ජාවාරමක නිරත වන බවටය.

ලැබුණු ඔත්තුව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාටද දැනුම්දුන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව අදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට උපායක් කල්පනා කළේය. ඒ අනුව ඔහු තීරණය කළේ උපායදූතයකු ලෙස පොලිස් නිලධාරියකු වෙස් ගන්වා ජාවාරම්කරුගෙන් ගංජා මිලදී ගැනීම සිදුකර පසුව ඔහු කොටුකර ගැනීමටය.

ඒ අනුව නිලධාරියකු කැඳවා උපදෙස් දුන් ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා ඔහු අත රුපියල් විසිහත්දාහක් තබා ගංජා ග්‍රෑම් 100ක් මිලට ගන්නා ලෙසත් එහිදී ජාවාරම්කරු ගංජා ලබාදුනහොත් වහා සංඥාවක් නිකුත් කරන ලෙසත් දන්වා සිටියේ ඒ සඳහා ක්‍රමයක්ද ඔහුට කියා දෙමිනි.

 ගංජා මිලදී ගැනීමට තල්දුවට ගිය පොලිස් නිලධාරියා ජාවාරම්කරුට හරිහැටි හඳුනාගත නොහැකි විය.

ජාවාරම්කරු ගංජා ග්‍රෑම් 100කට අය කරන මුදල කීවේය. උපායදූතයා වහා සිය සාක්කුවට අත දමා රුපියල් දාහේ නෝට්ටුවලින් රුපියල් විසි හත්දාහක් දුන්නේය. ගංජා තොගයද ඔහු අතට ලැබිණි. ඒ සමඟම ඔහු සෙසු නිලධාරීන්ට දුන් සංඥාව මත නිල ඇඳුම්ලාගත් පොලිස් කණ්ඩායම ජාවාරම්කරු කොටු කරගත්හ. කර කියාගත දෙයක් නොවූ ජාවාරම්කරුට පසුව වැටහුණේ තමාගෙන් ගංජා ලබාගත් පුද්ගලයා අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු බවය. පසුව නිලධාරීන් ඔහුගේ නිවෙස වැඩිදුරටත් සෝදිසි කළ අතර නිවෙසේ වැසිකිළියේ බටයක සඟවා තිබූ තවත් ගංජා කිලෝ 3ක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වූ අතර නිලධාරීහු ඔහුව කුදළාගෙන බඩුත් සමඟ ජීප් රියට දමා ගත්හ.

ඒ අතරතුර ඊට අදාළ රාජකාරි කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව හමුවීමට තරුණ කාන්තාවක අපරාධ විමර්ශන අංශයට පැමිණියාය.

“මට සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද” ඇය සංජීවගෙන් විමසුවාය.

“ඇයි මොකටද?”

‘සර් මගේ මහත්තයා තමයි සර්ලා ගංජාවලට අල්ලගෙන ඉන්නේ. අනේ සර් මට පොඩි උදව්වක් කරන්නකෝ සර්ටත් මම සලකනවා.”

“ඒ කියන්නේ මොකක්ද?”

“සර් එයාට හයිකෝට් එකක් දාන්න එපා සර්.. පහළ උසාවියෙන් ඇප අරන් දෙන විදිහට ලියලා දෙන්න. සර්ට මම ලක්‍ෂ දෙකහමාරක් දෙන්නම්. ඇප දෙනකම් මම සර්ට ලක්‍ෂ එකහමාරක් දෙන්නම්. ඉතිරි ලක්‍ෂය ඇප දුන්න ගමන් ගෙනත් දෙනවා. සර් සත්තයි. මම බොරුවක් කරන්නෙ නැහැ සර්… මාව විස්වාස කරන්න”.

සංජීවට මෙවන් කතා හොඳට හුරුය. ඔහු ඇය දෙස හොඳින් බැලීය. “හරි බලමුකෝ”

එසේ කී සංජීව ඇය එතැනින් පිටත් කර යවා ඇය තමාට අල්ලස් ලබාදීමට ගන්නා උත්සාහය සිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දුන්නේය. ඒ අතරතුර ද ඇය ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා හමුවී පෙර කී කතාවම ඔහුට කීවද නිලධාරියා ඊට කිසිදු පිළිතුරක් නොදුන්නේය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොට්ඨාසය දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන් ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයාගේ ප්‍රකාශයක්ද ලබාගන්නට විය. එහිදී අල්ලස් නිලධාරීන් ඔහුට උපදෙස් දුන්නේ එක් නිලධාරීයෙක් ඉදිරිපිට ඇගෙන් මුදල් ලබාගන්නා ලෙසය.

 ඒ අනුව සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කරන දිනය උදා විය. ජාවාරම්කරුගේ බිරිය බව කියන තැනැත්තිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා හමුවීම සඳහා විමර්ශන අංශයට පැමිණ සිටියාය. පැමිණිල්ලක් දමන්නට පැමිණි අයකු සේ අල්ලස් නිලධාරියකු ද සංජීව අසල වාඩි වී සිටියේය. ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සිනහමුසු මුහුණින් ඇය දෙස බැලීමත් සමඟ ඇය ඔහු වෙත පැමිණියේ මුදල් මිටියද රැගෙනය.

“සර් සල්ලි ගෙනාවා මෙතැනදී දුන්නට කමක් නැද්ද” “කමක් නැහැ. දෙන්න. “කීයක් තියෙනවද”

“ලක්‍ෂ එකහමාරක්…”

එසේ කියමින් ඇය රුපියල් පන්දහසේ මිටිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා අත තබද්දීම ඒ අසල සිටි අල්ලස් නිලධාරියා ඇය අල්ලාගත්තේය. ඒ සමඟම සෙසු නිලධාරීහුද එතැනට පැමිණියහ.

“අපි අල්ලස් දෙපාර්තමේන්තුවෙන්’ ඇයට හීන් දහඩිය දැම්මේ එවිටය. නිලධාරීහු ඇගේ දෑතට මාංචු දැමූහ. ඇය ලබා දුන් මුදල් ගණන් කර බැලූ නිලධාරියකු එතැන රුපියල් ලක්‍ෂ එකහමාරක් තිබෙන බව කීවේය. ඒ අනුව පොලිස් නිලධාරියකුට අල්ලස් ලබාදීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගැනිණි.

වරෙක ඔහු සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළේය. ඒ 2013 වසරේදීය. එම වසරේ අගෝස්තු මස වත්තල ප්‍රදේශයේදී කුකුළු මස් ව්‍යාපාරිකයකු කපා කොටා ඝාතනය කරනු ලැබීය. වත්තල පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන පැවැත්වීය.

කෙසේ වෙතත් විමර්ශන කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්්දී වත්තල ප්‍රදේශයේ හිටපු උප සභාපතිවරයෙකු ගැන තොරතුරු හෙළි විය. පසුව ඔහු ඇතුළු කණ්ඩායම සොයා පොලිසිය රට පුරා පීරද්දී එම උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට භාර විය. පසුව ඔහුගේ නියෝග මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම භාර වූයේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීවටය.

මොවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන   සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පසුව සිදුකළ විමර්ශනයේදී කුකුළු මස් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව සඳහා ලක්‍ෂ 7ක මුදලක් ලබාදී ඇති බව හෙළි වීමත් සමඟ රිමාන්ඩ්ගතව සිටි හිටපු සභාපතිවරයාගෙන් නැවත ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට අවශ්‍ය විය. ඒ අනුව ප්‍රධාන පොලිස් පරික්‍ෂක රොෂාන් සංජීව සහ කොස්තාපල් තිලකරත්න එම ප්‍රකාශය ලබාගැනීමට මහර බන්ධනාගාරයට ගියහ. එහිදී උප සභාපතිවරයා කැඳවා ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරමින් සිටියදී උප සභාපතිවරයා සංජීවට මෙසේ පැවැසීය.

“සර් මට මේ සුමානේ ඇප ගන්න පුළුවන්. මම සර්ට ලොකු උදව්වක් කරන්නම්. මාව මේකෙන් නිදහස් කරලා දෙන්න සර්..”

සංජීව උප සභාපතිවරයා දෙස පුදුමයෙන් මෙන් බැලීය.

“සර්  මාව විශ්වාස කරන්න. මම සර්ට ලක්‍ෂ 25ක් දෙන්නම්. හෙට හවස මගේ මල්ලි අත ලක්‍ෂ 15ක් දෙන්නම් මට ඇප දීලා පැය හතරක් ඇතුළත ඉතුරු ලක්‍ෂ 10ත් ගෙනැල්ලා දෙන්නම්, සර් මම එළියට ආපු ගමන් සර්ට ඕන උදව්වක් කරනවා. මේකෙන් මාව රිලීස් කරලා දෙන්න සර්.”

සංජීව එවරද ඊට කිසිත් නොකියා මේ බව තම දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළේය. ඉන්පසුව නියෝජ්‍ය පොලිස්පති එල්.පී. කුලරත්න සහ කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ටද මේ බව පැවැසූ හෙතෙම ඔවුන්ගේ උපදෙස් මත අල්ලස් දෙපාර්තමේන්තුවට මේ බව පැමිණිලි කළේය.

පසුව අල්ලස් නිලධාරීන් ස්ථානාධිපතිවරයාට මුදල් ලක්‍ෂ 15ක් ලබාදෙන මොහොතේ එම පුද්ගලයන් කොටුකර ගැනීමේ සූක්ෂ්ම මෙහෙයුම සකස් කළේය.

සැකකාර හිටපු සභාපතිවරයා අධිකරණයට රැගෙන එනු ලබන දිනය මෙහෙයුම සඳහා වෙන් කරගෙන තිබිණි.

ඒ අතරතුර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මහර අධිකරණ රථ ගාලේ  මෝටර් රියක රඳවා සිටියදී සභාපතිවරයාගේ සොහොයුරා මුදල් පාර්සලයද රැගෙන සංජීව සිටි මෝටර් රිය වෙත පැමිණියේය.

ඒ සමඟම ඔහු මෝටර් රිය විවර කර ඊට ගොඩ විය. සංජීව සමඟ තවත් අයකු රිය තුළ විය. ඔහු අල්ලස් නිලධාරියකු බව සභාපතිවරයාගේ සොහොයුරා දැන සිටියේ නැත.

සභාපති සොහොයුරා  බෑගයෙන් පිටතට ගත් පන්දහසේ මුදල් නෝට්ටු එකිනෙක ගණන් කොට එය ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා අත තියද්දීම රථයේ සිටි අනෙකා ඔහු  අල්ලා ගත්තේ අපි අල්ලස් දෙපාර්තමේන්තුවෙන් යැයි කියමින්ය. ඒ සමඟ සෙසු අල්ලස් නිලධාරීන් රථය වටකර ගැනීමත් සමඟ සභාපති සොහොයුරාට පලායෑමට නොහැකි විය.

මේ අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කලක් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද රාජකාරි කළේය. එම රාජකාරියේදීද මොහුට රුපියල් ලක්‍ෂ 5ක් දෙන්නට තැත් කර තිබිණි. ඉන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක් අත්තිකාරම් ලෙස ලබාදීමට තැත් කිරීමේදී සැකකරු අල්ලස් නිලධාරීන්ට කොටු විය. ඔහුට එවර අල්ලසක් ලබාදීමට සූදානම් වූයේ අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාත් සාමාජිකයකු බේරා ගැනීම සඳහාය.

ස්ථානාධිපතිවරයා ඊට එකඟ වී මේ බව අල්ලස් කොමිසමට දන්වා සිටියේය. ඒ අනුව අල්ලස් දෙන්නවුන් කොටුකර ගැනීම සැලසුම් කෙරිණි. සැකකරුගේ මාමණ්ඩිය රුපියල් ලක්‍ෂ දෙකහමාරද රැගෙන හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට ගොස් එම මුදල ඔහුට ලබාදෙද්දීම අල්ලස් නිලධාරීහු මාමණ්ඩිය කොටු කර ගත්හ.

2020    මාර්තුවල ඔහු ‍ෙදාම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා විය. එම ස්ථානයේ රාජකාරි කරද්දී එක්තරා පුද්ගලයකු ගංජා තොගයක් සමඟ පොලිසියට කොටු විය. ඒ අනුව එම ජාවාරම්කරුට ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ සහෝදරයකු ස්ථානාධිපතිවරයාට ලක්‍ෂ දෙකක් දීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වූයේ ස්ථානාධිපතිවරයාගේ අනුදැනුම මත එතැනට පැමිණ සිටි අල්ලස් නිලධාරීන් ජාවාරම්කරුගේ සොහොයුරා කොටුකරගැනීමත් සමඟය.

ඉකුත්දා අවිස්සාවේල්ලේදී අල්ලස් නිලධාරීන්ට ඔහුට අල්ලස් දුන් කාන්තාව කොටුකර දුන්නේ සිවුවැනි වතාවටය.

2011 වසරේදී ඔහු සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළේය. එහිදී ජනතාවට සේවය සලසන ආයතනය ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ සෙට්ටිකුලම පොලිසිය තේරා ගැනිණි.

එම වසරේම එස් 5 සංකල්පය හරිහැටි ක්‍රියාත්මක කරන පොලිසිය ලෙසත් රොෂාන් සංජීව සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2014දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ඔහු එම වසරේ ජපන් ජස්ටිකා සම්මානයේ දෙවැනි ස්ථානයද 2015දී ඵලදායි සම්මානය දෙවැනි ස්ථානයද එම වසරේම ජපන් ජස්ටිකා සම්මානයේ දෙවැනි ස්ථානය සපුගස්කන්ද පොලිසියට ලබාදීමට පෙරමුණ ගත්තේය.

එමෙන්ම 2016දී හොරොව්පොතාන පොලිසිය හොඳම ඵලදායි සම්මාන ප්‍රථම ස්ථානයද 2016දී ජපන් ජස්ටිකා විශේෂ කුසලතාවද හොරොව්පොතාන පොලිසියට ලබාදීමට ඔහුට හැකි විය. එමෙන්ම ශ්‍රී  ලංකා පොලිසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැති  තරගාවලියේදී හොඳම පොලිසිය ලෙස හොරොව්පොතාන පොලිසියට ඉමහත් ගෞරවයක් ලබාදීමට ඔහුට හැකි විය.

මෙවන් ක්‍රියා රැසකින් ශ්‍රී  ලංකා පොලිස් දෙපාර්මේන්තුවට මහත් කීර්තියක් හා ගෞරවයක් ලබාදුන් හෙතෙම 1989.9.12 උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවයට එක්ව වසර 33ක් අවංක නිලධාරියකු ලෙසත් මහජන හිතකාමී නිලධාරියකු ලෙසත්  කළ සේවය ඉමහත්ය.

පොලිසියේ කාර්යයන් මහජනතාවගේ දෛනික ජීවිතය හා බැඳී පවතී. ඒ නිසා පොලිසියේ ප්‍රමුඛතම වගකීම ජනතාවට උපරිම සේවයක් සැලසීමය. එහෙත් අද පොලිසියට එල්ලවන චෝදනා සුළුපටු නොවේ. ඒ, ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසාය. ජනතාවගේ සහ සමාජයේ අපේක්‍ෂාවන් ඉටු වෙන පරිදි ගුණාත්මක භාවයෙන්  උසස් වූ සහ පාරදෘශ්‍යභාවයෙන් යුක්ත වූ සේවයක් සැපයීමට නම් මෙවන් පොලිස් නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ සිටිය යුතුමය. එවිට මහජන මිත්‍රශීලී පොලිසියක් අපේ රට තුළ ගොඩනැගෙනු නොඅනුමානය. පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව මහජනයාගේද ඒකායන පැතුම හා අපේක්‍ෂාව එය ය.

කීර්ති මෙන්ඩිස්