ලංකාවේ අලුත්ම ක්‍රිකට් ජයග්‍රහණ ගැන එංගලන්තයේ සිට සංගක්කාර කතා කරයි

0
65

මේ දිනවල ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියටත්, ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයටත් මුහුණදීමට සිදුව තිබේ. මෙම සුවිශාල කර්තව්‍යයන්ට මුහුණදීමට වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිද යන්නත්, පසුගිය කාලයේදී වඩාත් කතාබහට ලක්ව

තිබූ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව හා තවත් කරුණු පිළිබඳවත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස පිළිගැනෙන කුමාර් සංගක්කාරගෙන් කරුණු විමසීමට අපි තීරණය කළෙමු. ටෙස්ට් ලකුණු 12,000ත්, එක්දින ලකුණු 14,000ත්, විස්සයි-20 ලකුණු 1000ත් පසුකර ඇති එකම ශ්‍රී ලාංකිකයා බවට පත්ව සිටින සංගක්කාර පසුගියදා අවසන් වූ එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී විස්තර විචාරකයකු ලෙස එංගලන්තයට ගොස් සිටින අතුරතුර එහි සිට ‘මව්බිම’ට සම්බන්ධ විය.

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලේ දක්ෂතා ප්‍රමාණවත්ද?

කණ්ඩායම නම් හරිම හොඳයි. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සමඟින් විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළා. මේ තරුණ ක්‍රීඩකයන් තරග වදින ආකාරය ගැන සතුටුයි. කණ්ඩායමේ එකිනෙකා ගත්තහම ඉතාමත් උසස් හැකියාවන් සහිත ක්‍රීඩකයන් ඉන්නවා. විවිධත්වයක් තියෙන ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉන්නවා. මේ කණ්ඩායම වෙනස් කරනවාට වඩා තවත් තරග ක්‍රීඩා කරන්න ඉඩදීම කළ යුතුයි. සමහර වෙලාවට තණතීරු හා ප්‍රතිවාදීන් උදෙසා අවශ්‍ය විධියට වෙනස්කමක් දෙකක් කරන්න පුළුවන්. නමුත් මේ සංචිතය මේ විධියට පවත්වාගෙන යන්න ඕනෑ. තරග දිනන්න අවශ්‍ය කරන්නේ මොකක්ද කියලත් ඒ අයට වැටහෙන්න දෙන්න ඕනෑ. එයින් ජයග්‍රහණය කිරීම පුරුද්දක් හැටියට ගොඩනඟා ගන්නත් ඒ අයට පුළුවන් වේවි.

විස්සයි-20 ලෝක කුසලානයේදී ඔවුන්ට තරග වදින්න වෙලා තියෙන්නේ ඉපිලීමක් (බවුන්ස්) සහිත තණතීරුවලයි. මේ තත්ත්වය ඔවුන්ට ගැටලුවක් වෙන්නේ නැද්ද?

ඒක හරි. නමුත් මෙයට පෙර මේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ගිහින් හොඳින් ක්‍රීඩා කරලා දිනලා තියෙනවා. ඔවුන් ක්‍රීඩා කරපු විලාසයෙන් ඔවුන් පෙන්නුවා ඔවුන්ට ඒ තණතීරුවල ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. අවශ්‍ය විධියට බලලා කී දෙනෙක් වේගපන්දු යවන්නන් ඕනෑද, මොනවගේ වේගපන්දු යවන්නන්ද අවශ්‍ය වෙන්නේ කියන එක අනුමාන කරලා තීරණය කරන්න පුළුවන්. නමුත් දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න යන අපේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙන්නාගේ මූලිකත්වයෙන් ඔවුන් වටා තවත් අය අපට ඉන්නවා. ඒ අයට විශ්වාසය ගොඩනැඟීමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතුයි. අපිට වර්ල්ඩ් ක්ලාස් දඟ පන්දු යවන්නන් දෙන්නෙක්, තුන් දෙනෙක් ඉන්නවා. ඒක අපි අයි.පී.එල්. තරගවලියේදීත් දැක්කා.

ඔබ සම්බන්ධ වූ ක්‍රීඩා කමිටුවෙන් ක්‍රීඩකයන්ට සේවාවක් ඉටු වුණා කියලා හිතනවද?

අපි තීරණ ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහය හරි විධියට හදාගන්නයි. පුහුණුකරුවන් හඳුනාගන්නේ කොහොමද? එක් එක් තරගාවලි සෙල්ලම් කරන ව්‍යුහය කොහොමද? වගේ සියලුදේම අපි කරන්නේ තත්ත්වයෙන් උසස් දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලබාදීමටයි. අවුරුදු 19න් පහළ සිට ජාතික කණ්ඩායමට යන ක්‍රීඩකයන්ට අවශ්‍ය හොඳ දෙයක් ලබාදීමටයි අපි හැමවිටම උත්සාහ ගන්නේ. ඒ තීන්දු තීරණ තුළින් ක්‍රීඩකයන්ට ඉදිරියට යන්න යම් ශක්තියක්, සහයෝගයක් ලැබෙනවා. නමුත් දක්ෂතා පෙන්වන එක තියෙන්නේ ක්‍රීඩකයන්ගේ අතේ. අපිට කරන්න පුළුවන් ඔවුන් ඒ මාර්ගයට යොමු කිරීමට අවශ්‍ය පහසුකම් හා සහයෝගය ලබාදෙන එක විතරයි. මම හිතන්නේ ඔවුන් ඒක කළා. දුෂ්කර කාලයක ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායම පරාජය කරලා ඔවුන් ඒ බව පෙන්නුවා. ඉදිරියේදීත් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා තවත් ඔපමට්ටම් කරගනීවි.

වත්මන් තේරීම් කමිටුව ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැඩි අවධානයක් යොමුකරලා තියෙනවා. ඒ ගැන ඔබ දරන මතය කිව්වොත්?

ශාරීරික යෝග්‍යතාව උච්චතම අවස්ථාවට ගෙන එන්න හැම රටක්ම උත්සාහ දරලා තියෙනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මෙයට වසර එකහමාරකට පෙර ශාරීරික යෝග්‍යතාව සුදුසු නැත්නම් ක්‍රීඩකයකු තෝරන්නේ නැහැ කියලා තිබුණා. නමුත් එම වසර එකහමාර තුළ ඔවුන්ට ශාරීරික යෝග්‍යතාව ක්‍රමවත්ම පවත්වා ගැනීමට හැකිවෙලා තියෙනවා. ශාරීරික යෝග්‍යතාව සමත් නොවුණත් දැන් ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා.

නමුත් දැන් තියෙන ක්‍රමයට අනුව ඔවුන් ශාරීරික යෝග්‍යතාව අසමත් වුණොත් මූල්‍යමය දඩයක් ගෙවීමට සිදුවන විධියට ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව සකස් වෙමින් යනවා. කාලෙන් කාලෙට උචිත විධියට ව්‍යුහය වෙනස් වෙනවා. ශාරීරික යෝග්‍යතාව කියන එක අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායම යන ගමන දක්වා පෙළගස්වන්නේ කොහොමද කියන එකත්, එය නිවැරැදිව පවත්වා ගැනීමත් ඉතාමත් වැදගත්. තරුණ අවධියේ සිටම ශාරීරික යෝග්‍යතා කාලසටහන නිවැරැදිව කළ ක්‍රීඩකයන්ට මෙය අලුත් දෙයක් නොවෙයි.

පසුගිය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී පරිපාලනයටත් ඔබ සම්බන්ධ වුණා. එහිදී ක්‍රීඩක ආදේශ කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳව අවධානයක් දැක්වූයේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා?

මෙහෙමයි. ඒ අවස්ථාවේදී මගෙන් කණ්ඩායමට වෙන්න මොනවද කියන එක මම තේරුම් ගන්න ඕනෑ. මම ශ්‍රී ලාංකිකයි කියලා එතැනදී කණ්ඩායමට නොගැළපෙන දෙයක් කරන්න මට බැහැ. ක්‍රීඩකයන් ආදේශ කරන එක මගේ තනි කැමැත්තට කරන්න බැහැ. අපි ලෝකෙ ඉන්න හැම ක්‍රීඩකයෙක් ගැනම බලනවා. එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගැන විශේෂයෙන්ම බැලුවා. අපිට අවශ්‍ය කරන ක්‍රීඩකයා තමයි අපි තෝරාගන්නේ. ඒ තෝරාගන්න ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ නොවෙන්න පුළුවන්. එතැනදී මම ශ්‍රී ලාංකිකයෙක් කියලා මගේ තනි මතය ක්‍රියාත්මක කරන්න බැහැ. පැති කිහිපයක් බලලයි පැහැදිලි තීරණයකට එන්නේ.

ඒ වගේම අපේ මුදල් භාවිත කරන්නේ කොහොමද? කා වෙනුවෙන්ද, අපිට තිබෙන මුදල් ප්‍රමාණය අදාළ ක්‍රීඩකයාට වෙන්කරන්න හැකියාවක් තියෙනවද කියලා මේ හැමදෙයක් ගැනම බලන්න ඕනෑ. කොහොම වුණත් අපේ සංචිතය තුළ දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් ගැන කතා වුණා. ඒත් එතැනදී හොඳම කෙනා තමයි අපි තෝරාගන්නේ. ඒක හරි බැරෑරුම් එකක්.

ඉදිරියේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට උදවු උපකාර ලබාදීමේ අදහසක් තියෙනවද?

මම හැම වෙලාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උදවු කරන්න පෙනී ඉන්නවා. කලිනුත් කළා, මෑතකදීත් උදවු කළා. ඉදිරියේදීත් ඒ දේ වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට මගෙන් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා නම් මම උදවු කරනවා. මම හිතන්නේ මම විතරක් නොවෙයි, ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙල්ලම් කළ අනෙක් ක්‍රීඩකයනුත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උදවු කරන්න කැමැතියි. ඒ බැඳීම, ඒ කැපවීම හැමදාම අපේ තියෙනවා.

අයි.සී.සී. සභාපති ධුරයට තරග වදින බව පැවසෙනවා. ඒක ඇත්තක්ද?

නැහැ. මගේ කිසිම අදහසක් නැහැ.

දේශපාලනයට?

දේශපාලනයට එන්නත් කිසිම අදහසක් නැහැ.

අවසන් වශයෙන් යමක් කියන්න තියෙනවද?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අද හරි දක්‍ෂයි. විශේෂයෙන්ම ළාබාල දක්ෂ ක්‍රීඩකයන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතා දිහා බැලුවහම අපිට සතුටු වෙන්න පුළුවන්. මේ වගේ දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ බිහිවීම ගැන අපිට හරි ආඩම්බරයක් තියෙනවා. මේ ක්‍රීඩකයන්ගේ ඉදිරි ගමනට පුහුණුකරුවන්, තේරීම් කමිටුව, ප්‍රේක්ෂකයන්, ක්‍රිකට් පාලක මණ්ඩලය සියලුදෙනාම එකට බැඳිලා සහයෝගය දක්වන්න ඕනෑ. හොඳම අයට විතරයි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්නේ.

ඒ හොඳම අයගෙනුත් ඉතාමත් සීමිත පිරිසක් තමයි ලෝකයේ විශිෂ්ටතමයන් බවට පත්වෙන්නේ. ඒක නිසා කණ්ඩායමක් හැටියට හොඳට ක්‍රීඩා කරලා තමන්ගේ හැකියාවන් තේරුම් අරන් රට වෙනුවෙන් මතක හිටින යමක් කරන්න කියලා තමයි මම අපේ කණ්ඩායමෙන් ඉල්ලන්නේ.

විචිත්‍ර වීරසිංහ