මේ වගේ අමාරු කාලෙක සළඹ සලා Trending වුණු එක සතුටක්

0
96

මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන “සළඹ සලා” ගීතය ගයනා කරන්නිය ඇයයි. සිහින තරු වේදිකාව තුළින් ගායන ක්ෂේත්‍රයට පා තබන ඇය පසුකාලීනව කොච්චි සංගීත කණ්ඩායම හරහා සිය ගායන දක්ෂතාව පෙන්වූවා. මේ වනවිට ස්වාධීනව අලුත් ගමනක යෙදෙන ටෂ්නි පෙරේරා වන ඇයගෙන් අලුත් තොරතුරු විමසන්නට අපි ඇයව සම්බන්ධ කරගත්තා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ අනෙක් හැමෝම වගේ අමාරුවෙන් තමයි. ඒ අතරේ අමාරුකම් කොපමණ තිබුණත් රසිකයන්ව අමතක කරන්න බැරි නිසාම ඔවුන් වෙනුවෙන් නිර්මාණ කටයුතු සිදු කරනවා. ඒ නිසාම මම පසුගියදා සළඹ සලා නමින් ගීතයක් එළිදැක්වූවා.

සළඹ සලා ගීතය නිර්මාණය වූයේ කොහොමද?

මම සගා ගුරුගේ රචනා කළ ගීත දෙකක් පටිගත කරන්න සඳරුවන් ජයසිංහ හමුවීමට ගියා.  ඒ පටිගත කිරීම අතරතුර විවේකයේදී “සගා ගුරුගේ එවපු ගීත අතර මේ ගීතයත් තිබෙනවා මොකද ඔයා සිතන්නේ” කියලා මගේ සැමියා අහම්බෙන් වගේ මේ ගීතය මට පෙන්වලා ඇසුවා. ගීතය කියවපු ගමන් මට ඒකට ආසා සිතුණා.

සඳරුවන් ජයසිංහගේ තනුවත් මගේ සිතට ඇල්ලුවා. එදා මිනිත්තු තිහක පමණ කාලයක් ඇතුළත මම ඒ ගීතය ගායනා කළා. ඒ විධියට තමයි සළඹ සලා නිර්මාණය වුණේ. පද රචනය සගා ගුරුගේ සහ තනුව සඳරුවන් ජයසිංහ නිර්මාණය කළා. මෙහි වීඩියෝව නිර්මාණය කළේ ඩිල්ෂාන් අමරසිංහ. නර්තන වින්‍යාස රසික ප්‍රභාත්ගේ. ඒ වගේම මේ නිර්මාණයට සම්බන්ධ වූ සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.

ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

දැනට ක්ෂේත්‍රයේ සිටින ගායක ගායිකාවන්ගෙන් වගේම ප්‍රවීණයන්ගෙනුත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම රසිකයන්ගෙනුත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වගේ තත්ත්වයකදී මගේ ගීතයක් යූටියුබ් තුළ ට්‍රෙන්ඩින් වීම සහ ටික්ටොක්වල වයිරල් වීම සම්බන්ධයෙන් මට ඉතාමත්ම සතුටුයි. ඉදිරියටත් මගේ නිර්මාණ සමඟ රැඳී සිටින්න කියලා මගේ රසික රසිකාවියන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

සළඹ සලා ගීතය මන්ද පමා ගීතයේ අනුකරණයක් කියලා බොහෝ දෙනෙක් පවසනවා?

එය එක් එක් අය දකින විධිය. ඔවුන් දකින විධිය ගැන මට කිසිවක් කියන්න බැහැ. මේ ගීතය අරාබි ශෛලියේ ගීතයක්. මන්ද පමා ගීතයත් එම ශෛලියේ ගීතයක්, එම ටෙම්පො එක සහ බීට් එක නිසා තමයි ඔවුන් එහෙම දකිනවා ඇත්තේ. මෙය අනුකරණයක් නොවෙයි. සඳරුවන් ජයසිංහගේ ස්වනිර්මාණයක්.

රූප රචනාවේත් යම් යම් සමානකම් තිබෙනවා යැයි පවසනවා නේද?

රූප රචනාව ඩිල්ෂාන් අමරසිංහ විසින් සිදු කළේ. එයත් අනුකරණයක් නොවෙයි. මේ රූප රචනා සංකල්පය ඔහුගේ. නර්තන වින්‍යාසය රසික ප්‍රභාත්ගේ. ඉතින් මෙය ඔවුන් දෙදෙනාගේ නිර්මාණයක් හැර අනුකරණයක් නම් නොවෙයි.

ඔබේ “සඳරු අයියා” ගීතය තුළින් දිරිමත් නොකළ යුතු පුද්ගලයන් දිරිමත් කළා යැයි චෝදනාවක් තිබුණා නේද?

එම ගීතය රචනා කළේ මුර්ෂාද් හුවායිස්. ගීතය නිර්මාණය කළේ Funky Dirt විසින්. ඒ ගීතය අතට ගත් ගමන් එහි වචනවලට මම කැමැති වුණා. ඒ වනවිට මම ඔය කියන ගැහැනු ළමයා ගැන දැනගෙන සිටියේ නැහැ. Pubg කියන වීඩියෝ ගේම් එකට ඇබ්බැහි වූ ගැහැනු ළමයෙක් ගැන තමයි මේ ගීතයේ කියවෙන්නේ. මේක ඇබ්බැහි වීමක්, කාලය නාස්ති වීමක්. මේක කරන්න එපා කියන එක තමයි මේ ගීතය තුළින් කියවෙන්නේ. මෙය හොඳ නැහැ කියන පණිවුඩය ගීතය අවසානයේ කියවෙනවා හරියට ගීතය ඇසුවොත් එය වැටහෙයි. මම එහි වරදක් දකින්නේ නැහැ. හොඳ ප්‍රතිචාර බොහෝමයක් තිබෙනවා. චෝදනා කරලා තිබෙන්නේ බොහොම සුළු පිරිසක් පමණයි.

ඔබ මේ ගීත දෙක නිර්මාණය කරන්නේ කොච්චි බෑන්ඩ් එකෙන් ඉවත් වුණාට පසුවයි. බෑන්ඩ් එක ඇතුළේ සිටින විට තනි නිර්මාණ කරන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?

ඇත්තටම කිවහොත් බෑන්ඩ් එක ඇතුළේ සිටින විටත් අපිට තනිව නිර්මාණ කිරීමේ හැකියාව තිබුණා. උපේඛා අපිට එහෙම නීති රීති දැම්මේ නැහැ. අපිට අපේ ගමන යන්න ඉඩ දුන්නා. මම සිතන්නේ එතැනින් ඉවත් වුණාට පසුව මම ලැබුණු නිදහස ප්‍රයෝජනයට ගත්තා සහ මට තනි ගමනක් යන්න වුවමනාවක් තිබුණා. ඒ තනි ගමනට මගේම ගීත මට තිබිය යුතුයි කියන කාරණා නිසා තමයි මේ ගීත නිර්මාණ වූයේ. ඒ වගේම මේ ගීත නිර්මාණය කළේ සැලසුම් සහගතව නොවෙයි, ක්ෂණිකවයි.

කොච්චි බෑන්ඩ් එකෙන් ඉවත් වුණේ ඇයි?

මම මේ ගැන කතා කරන්න ඇත්තටම කැමැති නැහැ. තවත් ඉදිරියට කොච්චි බෑන්ඩ් එකේ නමත් සමඟ ටෂ්නි පෙරේරා කියන නම කියවෙනවාට මම කැමැති නැහැ. මොකද එය ඔවුන්ටත් මටත් හානියක්. මාව කණ්ඩායමෙන් ඉවත් කළ හේතුව තමයි, එක්තරා ප්‍රසංගයකට සහභාගි වීම සඳහා විදෙස්ගත වීමේදී මගේ සැමියාව රැගෙන යෑමට නොහැකි වීම. ඇත්තටම ඔවුන්ගේ  තීරණය වැරදි නැහැ. කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේදී එවැනි ප්‍රශ්න ඇතිවනවා. ඒවායේදී සාමූහිකව තීන්දු තීරණ ගත යුතුයි. මගේ තීරණයත් සාධාරණයි. ඔවුන්ගේ තීරණයත් සාධාරණයි. අපි අතරේ කිසිදු තරහක්, කිසිදු ඝට්ටනයක් නැහැ.

ඒ හැරෙන්නට, ඊට පෙර වෙනත් ප්‍රශ්න මතු වෙලා නැද්ද?

ප්‍රශ්න නැත්තේ කොතැනද? සෑම තැනම ප්‍රශ්න තිබෙනවා. මම කිසිම කෙනෙක්ව පහතට දාලා කතා කරන්න කැමැති කෙනෙක් නොවෙයි. එහෙම කරන එක මගේ තත්ත්වයට හොඳ නැහැ.

ඇත්තටම ගැහැනු සමඟ ගැහැනුන්ට එකට වැඩ කරන්න බැරිද?

ඒක මම කියනවාට වඩා තම තමන්ම කල්පනා කරලා බලනවා නම් උත්තරය ලැබෙනවා. තමන් රැකියාව කරන තැන, නිවෙසේ හෝ යන එන තැන්වලදී ඊර්ෂ්‍යාව නිසා හෝ වෙනත් හේතු නිසා පොඩි පොඩි ඝට්ටනයන් ඇතිවන අවස්ථා තිබෙනවා. මම ඒ කතාව කියන්නේ හේතුවක් නැතුව නොවෙයි. මටත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. නමුත් ඒවා ගණන් ගත යුතු දේවල් නොවෙයි. අපි හැමෝම මිනිසුන්, අපි එවැනි දේවල් දරාගන්න පුරුදු වෙන්න ඕනෑ. පිරිමි අතරත් ඔය ප්‍රශ්න තිබෙනවා.

ශාස්ත්‍රීය ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ඉදිරියේදී වෙනස් වෙනස් ශෛලීන්වල ගීත කිහිපයක් කරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම මට විශේෂ අවස්ථාවක් ලැබුණා. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා අතින් අවුරුදු ගණනාවකට පෙර රචනා වූ පද පෙළක් වික්ටර් රත්නායක මහත්මයා සමඟ ගීතයක් බවට පත් කරන්නට මට වාසනාව ලැබුණා. ඒ සඳහා මගේ ආච්චි අම්මා සහ මගේ මාමා විශේෂයෙන් උපකාර කළා. එය කෙනකුට පහසුවෙන් ලැබෙන්නේ නැති අවස්ථාවක්. එය ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ රට ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වන එක තමයි පළමුවැනි බලාපොරොත්තුව. ඒ වගේම මගේ ඉදිරි ගීත නිර්මාණ සාර්ථකව එළිදක්වන එක සහ අපේ දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීම තමයි මගේ බලාපොරොත්තු. බලමු ඉදිරියේදී සියල්ල හොඳින් සිදු වෙයි කියලා විශ්වාස කරනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර