මිනිස්සු නිසා අභ්‍යවකාශයට හැදුණු කුණු කතා

0
536

කුණුගොඩවල් ගැන කතා කරන්න ගියොත් කිසිවෙක්ට සුබදායී ප්‍රසන්න හැඟීමක් නම් ඇතිවෙන එකක් නැහැ. කවුද කැමැති කසළ ගොඩවල් ගැන කතා කරන්න තියා හිතන්නවත්. කසළ ගොඩක් කියන්නෙම ඉතින් කරදරයක්. සමහර වෙලාවට අපි “අපෝ එයා නම් මහ කසළ ගොඩක්’ කියලා මිනිස්සුන්ව හඳුන්වන වෙලාවලුත් නැත්තෙම නෑ. ඒ වගේම ජනවහරෙත් කතාවක් තිබෙනවානෙ කුණු තියෙන තැනටම තමයි කුණු එකතු වෙන්නෙ කියලා. ඔය ආකාරයට කුණු නැත්නම් කසළ ගැන කුණු කතා ඕනෑ තරම් අපිට හොයාගන්න පුළුවන්. නමුත් ඉතින් කවුද කුණු කතා අහන්න කැමැති. කවුරුත්ම කැමති නෑ. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. මේ කුණු කතාව ඔයාලට කියවන්නම වෙනවා. මොකද මේ කුණු තියෙන්නෙ අභ්‍යවකාශයේ නිසා. එහෙනම් හිතේ කුණක් නැතිව කියවන්න පටන් ගමු අභ්‍යවකාශ කුණු ගැන.

1950 අභ්‍යවකාශ යුගය ආරම්භයේ සිට මේ දක්වාම අපි රොකට් දස දහස් ගණනක් අභ්‍යවකාශගත කොට තිබෙනවා. රොකට්වලටත් වඩා චන්ද්‍රිකා කක්ෂයට යවලා තිබෙනවා. මොකද අභ්‍යවකාශය ගවේෂණය කරන එක කවදාවත්ම මිනිස්සුන්ට එපා වෙන දෙයක් නොවන නිසා. හැබැයි මොහොතකට සිතන්න අභ්‍යවකාශගත කරන යානා සහ චන්ද්‍රිකාවලට කාලය ගතවෙද්දි මොකක්ද අභ්‍යවකාශය තුළදි වෙන්නෙ. ඔබ හිතනවද ඒ සෑම එකකටම නිරුපද්‍රිතව පැමිණෙන්න පුළුවන් කියලා. කොහෙත්ම නෑ.

අන්න ඒ ආකාරයට අභ්‍යවකාශය තුළ ගොඩගැසුණු යානාවල සුන්බුන් කොටස් ඕනෑ තරම්. මම මුලිනුත් කිව්වනේ කුණු ඉතින් කොතන තිබුණත් කුණුම තමයි වෙනසක් වෙන්නෙ නෑ කියලා. ඉතින් මේ ආකාරයට ගොඩගැසුණු යානාවල සුන්බුන් කොටස් හඳුන්වන්නෙ අභ්‍යවකාශ කසළ කියලා. ඇත්තටම මේක එතරම්ම හොඳ දෙයක් නම් නොවෙයි. අපි දැක්කනේ කුණු ටික ටික ගොඩගැහිලා ලොකු වෙලා හැදුණු මීතොටමුල්ල කුණු කන්දට මොකක්ද වුණේ කියලා. ඒකයි මේකයි සමාන කරන්න බැරි බව ඇත්ත. නමුත් ඉතින් කුණු ගොඩගැහෙන එකෙන් වෙන්නෙ හොඳක් නම් නෙවෙයි.

අපේ ග්‍රහලෝකය වටා මියගිය චන්ද්‍රිකා දහස් ගණනක් තිබෙනවාලු. එපමණක් නෙවෙයි. වසර ගණනාවක් තිස්සේ  දියත් කරපු සියලුම රොකට්වල සුන්බුන් කැබලිත් අභ්‍යවකාශයේ තිබෙනවා. ලේසි නෑ නේද වැඩේ. අපි දැන් බලමු ඇත්තටම මොනවද මේ අභ්‍යවකාශ කසළ කියන්නෙ කියලා. අභ්‍යවකාශ කසළ එහෙමත් නැත්නම් අභ්‍යවකාශ සුන්බුන් කියන්නෙ මිනිසුන් අභ්‍යවකාශයේ ඉතිරි කර එන යන්ත්‍රෝපකරණ හෝ සුන්බුන්වලට. කක්ෂයේ ඉතිරි වුණු මියගිය චන්ද්‍රිකා වැනි විශාල වස්තු, එහෙම නැත්නම් රොකට්ටුවකින් වැටුණු සුන්බුන් කැබලි හෝ තීන්ත පැල්ලම් වගේ කුඩා දෙයක් වුණත් අයත් වෙන්නෙ අභ්‍යවකාශ කසළවලට. යන යන තැන කුණු දාලා එන එක මිනිස්සුන්ගෙ නරක පුරුද්දක් නිසාද මන්දා මිනිස්සු ඉතිරි කරපු කුණු හඳෙත් ඉතිරි වෙලා තිබෙනවාලු.

මේ තියෙන සියලුම අභ්‍යවකාශ කසළ කියන්නෙ අපි පෘථිවියේ සිට අභ්‍යවකාශ වස්තූන් දියත් කිරීමේ ප්‍රතිඵලයක්. බොහෝ විට ඒවා නැවත වායුගෝලයට ඇතුළු වන තෙක්ම පවතින්නෙ කක්ෂගතව.

කිලෝමීටර සිය ගණනක පහළ කක්ෂවල තිබෙන සමහර අභ්‍යවකාශ වස්තුවලට ඉක්මනින් ආපසු පෘථිවියට පැමිණෙන්න පුළුවන් වුණත් ඉහළ කක්ෂවල තිබෙන යානා සහ චන්ද්‍රිකා නැවැත වායුගෝලයට ඇතුළු වෙන්න වසර කිහිපයක් ගතවෙන්න පුළුවන්. නමුත් නැවැත එන්න බැරිවෙන ඒවා අභ්‍යවකාශයේම දැවී යන නිසා වායුගෝලයට කවදාවත් ඇතුළු වෙන්නෙ නෑ. නමුත් ඒ සුන්බුන් හෝ චන්ද්‍රිකා කිලෝමීටර් 36,000ක ඉහළ උන්නතාංශයක ඉතිරි වෙනවා.

සමහර අභ්‍යවකාශ කසළ කක්ෂයේ ගැටීම් හෝ ප්‍රති-චන්ද්‍රිකා පරීක්‍ෂණවල ප්‍රතිඵල විධියට උපත ලබපුවා. තවත් ඒවා චන්ද්‍රිකා දෙකක් එකිනෙක ගැටීමෙන් උත්පාද වූ ඒවා. ඒ කොටසුත් තව කැබලි දහස් ගණනකට කැඩී ගොස් අලුත් සුන්බුන් රාශියක් නිර්මාණය කරනවා. අමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව වගේ රටවල්  ඔවුන්ගේම චන්ද්‍රිකා පුපුරුවා හරින්න මිසයිල  භාවිත කොට තිබෙනවා. මේක ඇත්තටම සුන්බුන් දහස් ගණනක් නිර්මාණය කරන්න හේතුවෙන තත්ත්වයක්. ඇත්තටම ඒක අනාගතයේ නරක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන් භයානක තත්ත්වයක්.

මොනවද ඒ භයානක ප්‍රතිඵල කියලා අපි කතා කරමු.

වාසනාවකට වගේ මේ මොහොතේ අභ්‍යවකාශ කසළ විශාල අවදානමක් ගෙන නොදුන්නත් එය කක්ෂයේ තිබෙන සක්‍රිය චන්ද්‍රිකාවලට නම් විශාල අනතුරක්. මෙම සුන්බුන් කොටස් සක්‍රීය චන්ද්‍රිකාවල ගැටුණොත් වෙන්නෙ විශාල හානියක්. මේ ගැන නිරන්තර අවධානයෙන් ඉන්න ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) සෑම වසරකම ඝට්ටන වැළැක්වීමේ ක්‍රමෝපායන් සිය ගණනක් සිදු කරනවා.

සංඛ්‍යාත්මකව අපි මේ කුණු ප්‍රමාණයක් දැක්වුවහොත් පෘථිවි කක්ෂයේ සක්‍රිය චන්ද්‍රිකා 2,000ක් තිබෙනවා. නමුත් පෘථිවි කක්ෂයේ මිය ගිය චන්ද්‍රිකා 3,000ක් ඒ වගේම සෙන්ටිමීටර 10ට වඩා විශාල අභ්‍යවකාශ කුණු කැබැලි 34,000ක් තිබෙනවා. තව මිලිමීටර 1ට වඩා විශාල අභ්‍යවකාශ කුණු කැබැලි මිලියන 128ක් තිබෙන බව තමයි කියන්නෙ.

ඇත්තටම කොහොමද මේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය පිරිසුදු කරන්නේ. ඒකත් කළ යුතුම දෙයක්නෙ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටිනවා සියලුම සමාගම් තම මෙහෙයුම් අවසන් වී වසර 25ක් ඇතුළත තම තමන් යවපු චන්ද්‍රිකා කක්ෂයෙන් ඉවත් කරගන්න කියලා. චන්ද්‍රිකා අසාර්ථක වුවහොත් එසේ කරන්න බැරි වෙන්නෙ නැහැ. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට උපක්‍රමශීලී උපායමාර්ග යොදන්නට වෙනවා. ඒ නිසා මෙම ගැටලුව විසඳීම සඳහා ලොව පුරා සමාගම් කිහිපයක් නව විසඳුම් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතර මියගිය චන්ද්‍රිකා කක්ෂයෙන් ඉවත් කිරීමට සහ ඒවා නැවැත වායුගෝලයට ඇදගෙන යෑමත් එහිදී ඒවා දැවී යෑමත් විසඳුම් ලෙස ඔවුන් ඉදිරිපත් කොට තිබෙනවා. මෙය කළ හැකි ක්‍රම අතරට චන්ද්‍රිකා අල්ලා ගැනීම සඳහා  විශාල දැල් භාවිතය,  චුම්බක භාවිතය හෝ චන්ද්‍රිකාව රත් කිරීමට ලේසර් වෙඩි තැබීම, කක්ෂයෙන් පිටතට වැටෙන පරිදි එහි වායුගෝලීය ඇදීම වැඩි කිරීම ආදී පියවරයන් අනුගමනය කළ හැකි බවයි ඔවුන් පවසන්නෙ.

කෙසේ වෙතත් මෙම ක්‍රම ප්‍රයෝජනවත් වන්නේ පෘථිවිය වටා කක්ෂගත වන විශාල චන්ද්‍රිකාවලට පමණයි. තීන්ත සහ ලෝහ කැබලි වැනි කුඩා සුන්බුන් කැබලි ලබා ගැනීමට ක්‍රමයක් තවමත් යෝජනා වී නැහැ. එනිසා එම කුඩා අපද්‍රව්‍ය කොටස් ස්වභාවිකවම පෘථිවි වායුගෝලයට නැවැත ඇතුළු වන තෙක් අපට බලා සිටීමට සිදුවෙනවා.

Kessler syndrome මතකද gravity චිත්‍රපටය බැලුවනම් ඔබට අනිවාර්යයෙන්ම මෙය මතක් වෙයි. මේක ඇත්තටම 1978දී නාසා විද්‍යාඥ ඩොනල්ඩ් කෙස්ලර් විසින් යෝජනා කරපු අදහසක්. ඔහු පැවැසුවා කක්ෂයේ වැඩි අභ්‍යවකාශ අපද්‍රව්‍ය තිබෙනවා නම් එය දාම ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස වැඩි වැඩියෙන් වස්තූන්වල ගැටී නව අභ්‍යවකාශ සුන්බුන් නිර්මාණය කරන්නට සමත් වෙනවා කියලා. මේ තත්ත්වය ආන්තික වන නමුත් ඇතැම් ප්‍රවීණයන් කනස්සල්ලට පත්වන්නේ මෙහි ප්‍රභේදයන් යම් දිනක ගැටලුවක් ඇති කරයි කියන බියෙන්. එනිසා කිසි විටෙකත් මේ තත්ත්වය සිදු නොවීමට පියවර ගත යුතු බව තමයි ඔවුන්ගෙ අදහස.

අනාගතයට අභ්‍යවකාශ කුණු ප්‍රශ්නයක් වෙයිද?

අනිවාර්යයෙන්ම ඔව්. දැනටමත් සමාගම් කිහිපයක් මෙගා තාරකා මණ්ඩල ලෙස හඳුන්වන විශාල නව චන්ද්‍රිකා කණ්ඩායම් සැලසුම් කරමින් ඒවා පෘථිවිය දක්වා විහිදුවමින් සිටිනවා. Space X සහ Amazon ඇතුළත් මෙම සමාගම් ගෝලීය චන්ද්‍රිකා අන්තර්ජාල ආවරණය ලබා ගැනීම සඳහා චන්ද්‍රිකා දහස් ගණනක් දියත් කිරීමට සැලසුම් කරනවා. සාර්ථක වුවහොත් අතිරේක චන්ද්‍රිකා 50,000ක් කක්ෂයේ තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ තවත් බොහෝ ගැටුම් වළක්වා ගැනීමේ උපමාරු වඩාත් වැඩියෙන් සිදු කළ යුතු බව.

2019 සැප්තැම්බර් මාසයේදී යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මෙගා තාරකා මණ්ඩලයක් සමඟ ගැටීම වළක්වා ගැනීම සඳහා සිය පළමු චන්ද්‍රිකා උපාමාරුව සිදු කළා. චන්ද්‍රිකා සක්‍රිය නොවූ පසු සාධාරණ කාලයක් තුළ කක්ෂයෙන් ඉවත් කිරීමට වග බලා ගැනීමෙන් අනාගතයේදී අපට අභ්‍යවකාශ කුණු වර්ධනය වීමේ ගැටලුව අවම කරගන්න පුළුවන්.

අපි මුලින්ම කිව්වනේ මිනිස්සු හඳෙත් කුණු දාලා ආවා කියලා. මෙච්චර ලස්සනට සෞම්‍යව පේන හඳේත් සුන්බුන් බොහොමයක් තිබෙනවා. මේවා මිනිසුන් චේතනාන්විතව කළාද එහෙමත් නැත්නම් නොදැනුවත්ව කළාද කියලා දන්නෙ ඒ අයම තමයි.

අපි පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉතිරි කරලා තිබෙන බව ඇත්ත. චන්ද්‍ර පෘෂ්ඨයේත් ඇතැම් තැන්වල විවිධ සුන්බුන් දමා විත් තිබෙනවා. සමහර දේවල් සඳ මත අතහැර දාලා ඇවිත් තිබුණත්  අනෙක් ඒවා සිහිවටන හෝ කාල කැප්සියුල ලෙස එහි තබා ඇවිත් තිබෙනවා.

සඳ මත ඉතිරිව ඇති දේවල් මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්.

 ඇපලෝ 15 16 සහ 17 සිට moon buggies තුනක්.

 සඳ මත කඩා වැටුණු හෝ පතිත වූ කාර්ය මණ්ඩලයක් නොමැති ගවේෂණ 54ක්

 සඳ මත මිනිසුන් විසින් ඉතිරි කරන ලද ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,90,000ක්

විවිධ රටවල් විසින් සඳ මත තැබූ පළමු අභ්‍යවකාශ යානය සහ ගවේෂණ

 1959: ලූනා 2 (USSR)

 1969: රේන්ජර් 4 (අමෙරිකා එක්සත් ජනපදය)

 1993: Hiten (ජපානය)

 2006: SMART-1 (යුරෝපය)

 2008: Chandrayaan -1 (ඉන්දියාව)

 2009: Change-1 (චීනය)

 2019: Beresheet (ඊශ්‍රායලය)

සඳ මත ඉතිරි වූ තවත් අමුතු වස්තූන් කිහිපයක්

 1969 : golden olive branch (ඇපලෝ 11)

1969 : ඇන්ඩි වෝර්හෝල්ගේ චිත්‍ර (ඇපලෝ 12)

 1971: ගෝල්ෆ් බෝල තුනක් (ඇපලෝ 14)

 1971: උකුස්සා පිහාටුවක් (ඇපලෝ 15)

 1972: ගගනගාමී චාල්ස් ඩියුක්ගේ පවුලේ ඡායාරූපයක් (ඇපලෝ 16)

ඔන්න ඔහොමයි මිනිස්සු හඳෙත් කුණු දාලා ආවේ.

කොහොම නමුත් තැන නොතැන නොබලා කුණු දාන එක නම් ඒ තරම් හොද දෙයක් නම් නෙවෙයි. අද හෙටක නැතත් මේ තත්ත්වය අනාගතයේදී ඉතා විනාශකාරී අන්දමින් බලපාන්නට පුළුවන්.

ගයාන් මාතරගේ