මහල්ලෙක් වගේ ඉපදිලා බිළිඳෙක් විධියට මියයන්න කැමැතිද? The Curious Case Of Benjamin Button

0
245

උදේ 5ට – 6ට නැඟිටලා නිදිමතේම යුනිෆෝම් එකත් ඇඳගෙන ස්කෝලේ යනවා කියන එකම මට වදයක් වුණ දෙයක්. ඇත්තම කිව්වොත් ඒ වදේ මට විතරක් නෙවෙයි මේක කියවන ඔයාලටත්, තාම ස්කෝලේ යන අයටත් මේ feeling එක පොදුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. ඒ කාලේ අපිට ඕන වුණේ ඉක්මනට ලොකු වෙලා රස්සාවක් කරගෙන අපිට ආස දේවල් අරගෙන පුංචි කාර් එකක් අරගෙන ගෙදර මිනිස්සුන්ටත් සලකගෙන ජීවත් වෙන්න නේද?

‘ප්‍රිය පාඨකයනී… දැන් සැපද?!’

ආයෙත් අපිට පොඩි කාලයට යන්න ලැබුණොත් කොහොමද? ඒ කියන්නේ අපේ වයස ආපස්සට ගියොත්? සරලව කිව්වොත් අපේ මේ ජීවිතය ආරෝහණ පිළිවෙළට ගෙවෙන්න ගත්තොත් කොහොම තිබෙයිද? එහෙම ඇහුවම කියවන ඔයාලා මට බනිනවා වෙන්නත් පුළුවන් මෙයා නම් කියයි අපිනේ ආයේ ස්කෝලේ යන්න ඕනේ කියලා. ඒත් අද මම Play එකේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැනයි. මේ ෆිල්ම් එක F Scott Fitzgerald විසින් රචනා කළ The Curious Case of Benjamin Button නම් කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් බව කියන්න ඕනේ. සරලව අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

“කැත්‍රිනා” කියලා නම් කරපු කුණාටුව ඇමෙරිකාවෙ නිව් ඔර්ලියන්ස් නගරය හඹා එන අතරේම වයස්ගත ඩේසි විලියම්ස් නගරයේ රෝහලක් තුළ ඇගේ මරණ මංචකයේ වැතිර සිටිනවා. පසෙකින් ඉන්නෙ ඇයගෙ දුව කැරොලයින්. ඔහොම ඉන්නකොට ඩේසි කැරොලයින්ගෙන් ඉල්ලනවා ඇගේ ඇඳුම් බෑගයෙ තිබෙන පරණ දිනපොතක් අරන් ඇයට ඇහෙන ලෙස කියවන්න කියලා. ඒක අයත් වෙන්නෙ ඇගේ පරණ මිතුරෙක් වුණු බෙන්ජමින් බට්න්ට. ඔහු ඉතා සුවිශේෂී පුද්ගලයෙක්. කායික විකෘතිතාවක් එක්ක ඉපදුණු ඔහුගෙ වයස ගියේ අනිත් පැත්තට.

විශ්වාස කරන්න පුළුවන්ද? ඉපදෙනකොට ඔහුගෙ වයස අවුරුදු 80යි. පෙනුමත් වයස අවුරුදු 80ක පෙනුම තිබෙන කෙනෙක් වගේමයි. ඒක වෙන්නෙ මෙහෙමයි. ප්‍රමාණයෙන් සාමාන්‍ය අත දරුවෙක් වගේ වුණාට ඔහුගෙ හැඩය, හම, ඇගේ අවයව විතරක් නෙවෙයි හෘද ස්පන්දනයත් අවුරුදු 80ක පුද්ගලයෙක්ගෙ වගේ. මේ දරු උපත නිසාම ඔහුගේ මව මියයනවා. ඒ වගේ ෆීලින්ග් එකකට ටචජඥ කරන්න වෙන බෙන්ජමින්ගේ තාත්තට ‘වෙසමුණියා’ ආවේශ වෙනවා. ඔහුගෙ මේ විකෘති බව දැක්ක තාත්තා බෙන්ජමින් ඉපදුණු දවසෙම වැඩිහිටි නිවාසයක ‍ෙදාර පඩිය උඩ අතහැරල දාල යනවා. ඒකෙ ඉන්න වැඩිහිටියන් බලාගන්න කරුණාවන්ත කාන්තාවක් වගේම මහලු නිවාසයෙ සාත්තු සේවිකාවක් වන ක්වීනි කියන කළු ජාතික කාන්තාව භාර ගන්නවා ඔහුව හදාගන්න.

කාලයත් එක්ක ටික ටික ලොකු වෙනකොට වෙන ළමයින්ට වයස වැඩි වුණත් බෙන්ජමින්ට වෙන්නෙ වයස අඩු වෙන එක. ඔය අතරෙ තමයි ඔහුට ඩේසි විලියම්ස් හම්බෙන්නෙ. ඩේසිට වයස 6ක් වෙනකොට බෙන්ජමින්ට හැත්තැ ගාණක්. ඩේසිට වයස 20ක් වෙනකොට බෙන්ජමින්ට පනස් ගාණක්. පෙනුමෙ මේ වගේ ලොකු වෙනසක් තිබුණත් ඒක ඔවුන්ගෙ පුංචි කාලෙ මිත්‍රත්වයට බාධාවක් වෙන්නෙ නෑ. ඒත් මේ විදිහට ගිහින් අන්තිමට අෑත් වෙලා හිටපු ඔවුන්ගෙ වයස ආසන්න වශයෙන් සමාන වෙනකොට පුදුමාකාර ලෙස ඔවුන් ආපහු එක් වෙනවා. එතැන ඉඳන් වෙන්නේ මොනවද කියලා ඔයාලම බලන්න කියලා මම යෝජනා කරන්න කැමැතියි.

“Curious Case” කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පූර්ණයෙන්ම කුතුහලය දනවන ප්ලොට් එකක්. අපිට අපේ ජීවිත ගැනත් අනිවාර්යයෙන්ම තවත් පාරක් හිතන්න සලස්වන කතාවක්. ඉන්න කාලේ මොන ජාතියේ සෙල්ලම් දැම්මත් අන්තිමට හැමෝටම ඉතුරු වෙන්නේ හයේ හතරේ වළක් තමයි කියන එක අපූරුවට මතක් කරලා දෙන කතාවක් කියලා කියන්න පුළුවන්. පැය 2යි මිනිත්තු 46ක් පුරා දිවයන මේ කතාව මිනිස්සුන්ගෙ ගති ස්වභාවයන් හොඳටම එක්ස්ප්ලේන් කරන ටයිප් එකේ පට්ට චිත්‍රපටයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

චිත්‍රපටය පුරාවට තිබෙන්නෙ calm sound track එකක්. වේගයෙන් දිවයන (ensed) අවස්ථාවල පවා තේමාවට හානියක් නොවී එය රඳවාගන්න නිර්මාණකරුවා සමත් වෙලා තිබෙන එක ඇත්තටම perfect වැඩක්. ඊට අමතරව dialogue භාවිතයත් සුවිශේෂියි. උචිත තැන්වල පමණක් උචිත පරිදි දෙබස් පරිහරණය කරමින් හැම frame එකක්ම ප්‍රේක්ෂකයාට නරඹා අදහස ග්‍රහණය කරගත හැකි වන ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. තවත් විශේෂයෙන්ම සඳහන් කළයුතු දෙයක් තමයි බෙන්ජමින් බට්න්ගෙ චරිතය. පීටර් ඩොනල්ඩ් බැඩමෙන්ටි (බෙන්ජමින් 1928-31), රොබට් ටවර්ස් (බෙන්ජමින් 1932-34), ටොම් එවර්ට් (බෙන්ජමින් 1935-37) හා බ්‍රැඩ් පීට් Brad Pitt (බෙන්ජමින් ප්‍රධාන අවධිය) එම චරිතය නිරූපණය කරල තිබෙනවා.

මේ සියලු දෙනා ඒ ඒ අවධිවල බෙන්ජමින්ගේ නිහඬ චරිතය සහ එහි ගැඹුර විදහා දක්වන ආකාරය අද්විතීයයි. Brad Pitt රඟපාප Mr & Mrs Smith (2005), Troy (2004), Fury (2014), Allied (2016) World War Z (2013) එහෙම මතකයිනේ. මීට අමතරව ඩේසිගේ තරුණ හා වැඩිහිටි අවධි නිරූපණය කරන කේට් බ්ලැන්කට් (Cate Blanchett) ද එම චරිතයට උපරිම වශයෙන් සාධාරණය ඉටුකරලා තිබෙන බව පැවැසුවේ නැත්තම් අඩුවක්. Cate Blanchett කියන්නේ ඇය චරිත නිරූපණය කරපු Elizabeth : The Golden Age (2007), Carol (2015), Robin Hood (2010) චිත්‍රපටවලටත් ඇය උපරිම සාධාරණයක් ඉටු කරපු නිළියක්.

තවත් අනිවාර්යයෙන්ම පැවැසිය යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි චිත්‍රපටය පුරාවට ‘නිරුවත’ භාවිත කර ඇති අන්දම. එය ඉස්මතු වන අවස්ථා කිහිපයක් තිබුණත් ඒ හැම එකක්ම ඉතා සංයමයෙන් භාවිත කරන්න චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර් පරිස්සම් වෙලා තිබෙනවා. හොලිවුඩ්හි ප්‍රකට වේශ නිරූපණ ශිල්පියෙක් වන Greg Cannom සහ 300ක පමණ VFX special effects කණ්ඩායමක් මේ බෙන්ජමින් බට්න්ගෙ චරිතය නිර්මාණය කිරීම පිටිපස්සේ ඉන්නවා. ට්ඥඨ Cannom වේශ නිරූපණයෙන් දායකත්වය දරපු තවත් ප්‍රකට චිත්‍රපට කිහිපයක් තමයි. Abraham Lincoln Vampire Hunter (2012), The Fan
(2016), Pirates of the Caribbean : The Curse of the Black Pearl (2003) වගේ ඒවා.

The Curious Case of Benjamin Button චිත්‍රපටය ඔස්කාර් සම්මාන 13කට නිර්දේශ වුණ අතර එයින් හොඳම නිර්මාණ සැලසුම්කරණය හොඳම පරිගණක සජීවීකරණය හා හොඳම වේශ නිරූපණයට අයත් ඇකඩමි 3ක් දිනාගෙන තිබෙනවා. වගේම තවත් සම්මාන 68කට නිර්දේශ වී එයින් 21ක් දිනාගෙන තිබෙනවා. ඊට අමතරව විෂුවල් ඉෆෙක්ට්ස් සඳහාත් සම්මාන ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDB දර්ශකයෙත් 7.8ක අගයක් ලබාගෙන තිබෙනවා ටිකක් පරණ චිත්‍රපටවලට හොඳ රේටින් එකක් ගන්නම අමාරු Rotten Tomatoes දර්ශකයෙත් 72%ක රේටින් එකක් තිබෙනවා. කියන්නේ වෙන මොනවද ඉතින්.

ඒකෙන්ම කියන්න පුළුවන් ඉතාමත් සුවිශේෂී කතාන්තරයක් මේ චිත්‍රපටය පුරාවටම දිගහැරුණු බව. මේක තවත් කෙනකුට ලේසියෙන් හිතාගන්න බැරි විදිහේ මාතෘකාවක් මත පදනම් වී බිහි වුණු ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපේ රටේ තිබෙන ප්‍රශ්නත් එක්ක ආයේ පොඩි කාලයට යන්න ලැබෙනවා නම් හොඳයි කියලා ලිව්වම හිතින් බැන්නට මම තරහා නැහැ. මම අහන්නේ තාමත් මම වැරැදිද?

රමෝද් ජයවර්ධන