බහුවිශ්ව සංකල්පය අනාගතයේදී සැබෑවක් වෙයිද?

0
772

මේ ලෝකයට පළමුවෙන්ම පැමිණියේ “කුකුළද? බිත්තරයද? අපි පුංචි කාලයේදී මේ ප්‍රශ්නය විනෝදයටත් අසනවා. නමුත් ඔබ දන්නවද “කුකුළාගේ සහ බිත්තරයේ” ප්‍රශ්නය දාර්ශනික ප්‍රශ්නයක් බව. ක්‍රි.පූ. 6 වැනි සියවසේදී පමණ විසූ බොහෝ දාර්ශනිකයන් මේ විශ්වයේ ආරම්භය සහ එහි පැවැත්ම ගැන ප්‍රශ්න කිරීමටත්, ඒ ගැන අධ්‍යයනය කිරීමට සහ විවිධ මතවාද ඉදිරිපත් කිරීමටත් පෙලඹුණා. එහිදී විශ්වය ආරම්භ වූයේ කොහොමද? පළමු පෘථිවි ජීවියා බිහි වූයේ කෙසේද? වැනි දේවල් සම්බන්ධව ඔවුන් සැලකිලිමත් වුණා. කුකුළා සහ බිත්තරයේ ප්‍රශ්නය පැරඩොක්ස් එකක් විධියටත් හඳුන්වනවා. පැරඩොක්ස් එකක් කියන්නේ තර්කානුකූල නොවන බුද්ධියට පටහැනි අදහස් සහ මතවාදයි.

අප ජීවත් වන පෘථිවි ගෝලය සහ සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු විශ්වයේ ආරම්භය පිළිබඳ ඉදිරිපත් වූ විවිධ මතවාද තිබෙනවා. ඉන්  එක් මතයක් ලෙස මහා පිපිරුම්වාදය හඳුන්වන්න පුළුවන්. විශ්වයේ ආරම්භය ගැන බොහෝ දෙනා පිළිගත් මතවාදය වන්නේද මහා පිපිරුම්වාදයයි. මෙම මතය ප්‍රථමයෙන් ලෝකයට හෙළිදරව් කළේ ජෝර්ජ් ගැමොව් නම් රුසියානු ජාතික විද්‍යාඥයාය. ඔහු එම මතය ඉදිරිපත් කරනු ලැබුවේ 1978 වර්ෂයේදීය. ඉන්පසු ලමෙත්‍ර නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා එය විස්තාරණය කරමින් මහා පිපිරුම්වාදය ගැන අදහසක් ඉදිරිපත් කළා. ඒ අනුව විශ්වය අෑත අතීතයේදී එක්තැන්ව පැවැති බවත්, එම කුඩා එකතුව තුළ සිදු වූ මහා පිපිරීමකින් සියලු කොටස් විසිරී ගිය බැව් පිළිගැනෙනවා. එවැනි පිපිරීමකින් විසිරී ගිය කොටස්වලින් චක්‍රාවාට නිර්මාණය වූ මූලද්‍රව්‍ය පහළ විය. ඔබ අප ජීවත්වන පෘථිවිය මෙසේ පහළ වූ අපගේ චක්‍රාවාටයට අයත් සෞරග්‍රහ මණ්ඩලයේ එක් සාමාජිකයකු පමණයි. මහා පිපිරුම්වාදයෙන් ගම්‍ය වන මූලික කරුණු දෙකක් තිබෙනවා.

විශ්වයේ අද පවත්නා මූලද්‍රව්‍යයන්ගේ උපත සිදු වූ ආකාරය විග්‍රහ කිරීම.

විශ්වය පුරා පැතිර ඇති ක්ෂුද්‍ර තරංගවල පසුබිම් විකිරණය සිදුවන ආකාරය විග්‍රහ කිරීම.

එම කරුණු දෙකයි. ස්ථාවර තත්ත්වවාදය යනු විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තවත් එක් මතවාදයකි. මෙම මතය ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද්දේ ඔස්ටි්‍රයානු ජාතිකයකු වූ හර්මාන් බොන්ඩ් සහ තෝමස් ගෝල්ඩ් යන විද්‍යාඥයන් දෙදෙනා විසින්ය. බි්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් වූ ෆෙඩ් හොයිල් එය තවත් පැහැදිලි කළේය. ඒ අනුව,

විශ්වය එකම ස්වරූපයෙන් පැවැති බවත්, අනාගතයේදී ද එම ස්වරූපයෙන්ම පවතින බවත් මෙම මතයෙන් ප්‍රකාශ වෙනවා. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ විශ්වයේ ඇති වක්‍රාට නිරන්තරයෙන් ප්‍රසාරණය වීම, චක්‍රාවාට කලින් කල අතුරුදන් වීම සහ ඒ වෙනුවට නව චක්‍රාවාට පහළ වන බවත් විග්‍රහ කරනු ලැබුවා. විශ්වයේ ආරම්භය පිළිබඳ නවතම මතය වන්නේ ස්පන්ද මාන විශ්වවාදයයි.

මෙම මතය ඉදිරිපත් කරන ලද්දේ බි්‍රතාන්‍ය ජාතිකයකු වූ විලියම් බොනර් නම් විද්‍යාඥයා විසිනි. එම මතයෙන් ගම්‍ය වන්නේ විශ්වයේ මුල මැද, අග ඇති, නැති බව නොව, එය අනන්ත කාලයක් පවතින බවයි. එක් අවස්ථාවක විශ්වය ඝන වස්තුවක් සේ එකට පැවැතිණි. දැන් එය විසිරෙමින් පවතී. එසේ විසිරී ගිය පසු එය යළි එක්රැස් වේ. යළිත් විසිරේ. මෙම ක්‍රියාවලිය නොකඩවා සිදුවන බව ඔහු ප්‍රකාශ කළා. විශ්වයේ ආරම්භය පිළිබඳ ඉදිරිපත් වී ඇති ප්‍රධාන මතවාදයන් කිහිපයක් ලෙස ඉහත මතවාද සලකන්නට පුළුවන්.

එකල දාර්ශනිකයන් අප ජීවත්වන පෘථිවිය සහ විශ්වයේ ආරම්භය ගැන විග්‍රහ කර ගැනීමට බොහෝ සෙයින් වෙහෙස වුණා. ඔවුන් ඉදිරිපත් කළ විවිධ කරුණු ඔස්සේ තම ගවේෂණයන් මෙහෙය වූ විද්‍යාඥයන්ට අවසානයේදී විශ්වය පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට සහ එය ඉදිරිපත් කිරීමට හැකි වුණා. විශ්වය ගැන සැකය මෙන්ම ජීවයේ බිහිවීම සම්බන්ධයෙන්ද දාර්ශනිකයන්  ඔවුන්ගේ අවධානය යොමු කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විවිධ මතවාදයන් ඔස්සේ තම අධ්‍යයනයන් මෙහෙය වූ චාල්ස් ඩාවින් ලෝකයට පරිණාමවාදය ඉදිරිපත් කළා. මේ ගෞරවය චාල්ස් ඩාවින්ට හිමි වුවත්, මේ සම්බන්ධව ඔහුට ප්‍රථමව මත ඉදිරිපත් කළේ ලැමාක් විසිනි. ඔහු ජීව විද්‍යාඥවරයෙක් ලෙස ප්‍රකටය. පරිණාමවාදය සම්බන්ධව ඩාවින් ඉදිරිපත් කළ මතයට අනුව,

යම් ජීවී විශේෂයක සාමාජිකයන් අහඹු වෙනස්කම්වලට භාජන වන බවත්,

පුද්ගලයකුගේ ගති ලක්ෂණ ඔවුන්ගේ පරම්පරාවට පැවැරිය හැකි හෝ උරුම කර දිය හැකි බවත්, පැවැත්ම සඳහා වන “අරගලය” හෝ “ජාතිය” යන්නෙන් ගම්‍ය වන්නේ “වාසිදායක” ගති ලක්ෂණ ඇති පුද්ගලයන්ට පමණක් දිවි ගලවා ගත හැකි බවත් විග්‍රහ කරනු ලැබුවා.

ඔහු පැවැසුවේ ස්වාභාවික වෙනස්කම්වලට අනුගත විය නොහැකි ජීවීන් ස්වාභාවිකවරණයට ලක්වන බවයි. එමෙන්ම විශ්වයේ ජීවය බිහිවීම සම්බන්ධයෙන් තවත් මතයක් තිබෙනවා. චාල්ස් ඩාවින් විග්‍රහ කළේ පෘථිවිය මත ජීවියාගේ පරිණාමය ගැනයි. නමුත් පෘථිවියට පළමු ජීවියා පැමිණියේ කොහොමද? ඒ සම්බන්ධව බොහෝ දෙනා දරන මතය නම් ආදී සූපය මඟින් පළමු ඒක සෛලික ජීවියා බිහි වූ බවයි. ආදි සූපය තුළ ඒක සෛලික ජීවියා බිහි වී වින්දනය වීමෙන් බහු සෛලික ජීවීන් සහ හරිතප්‍රද සහිත ඇල්ගී බිහි වී ඔක්සිජන් වායුව නිපදවා ගොඩබිම වාසයට සුදුසු පරිසරයක් ගොඩනැඟුණු පසු බහුසෛලික ජීවියා ගොඩබිමට පැමිණ පරිණාමනය වූ බව කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. එලෙස පරිණාමනය වූ බුද්ධිමත් ජීවීයා ලෙස හඳුන්වන්නේ මිනිසාය.

මිනිසාට තර්කානුකූලව බුද්ධියෙන් සිතීමටත් අනෙකුත් සතුන්ට වඩා ඉහළ තරගකාරීත්වයකින් යුතුව තම පැවැත්ම රඳවා ගැනීමටත් හැකියාව තිබෙනවා. මෙලෙස බුද්ධිමය වශයෙන් ඉහළ තලයකට පැමිණි මිනිසාට විශ්වය ගැන පැවැතියේ නිරන්තර කුතුහලයකි. ඇත්තෙන්ම විශ්වය ගැන පමණක් නොව සෑම දෙයක් විෂයෙහිම ඔවුන්ට කුතුහලයක් පැවැතියා. ඒ අතරින් විශ්වය ගැන ඇති වූ කුතුහලයත්් ප්‍රධාන වෙනවා.

19 සියවසේදී මධ්‍යකාලීන යුරෝපයේ පල්ලියේ බලය බිඳ වැටීමත්, පුනරුදය ඇතිවීමත් සමඟ විද්‍යාව හා තාක්ෂණවේදය ඉතා ඉක්මනින් දියුණු වීමත් සිද්ධ වුණා. ඉන්පෙර සිටි සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හේගල් වැනි දාර්ශනිකයන්ගෙන් බිහිවූ දැනුම් මූලික පරම්පරාවේ මතවාදයන් සංකල්පයන් ඔස්සේ තම ගවේෂණයන් මෙහෙය වීම සහ නව විද්‍යාත්මක දැනුම සොයාගැනීම නිසා තාරකා විද්‍යාව, අභ්‍යවකාශය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික සහ ජීව විද්‍යාව ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන් ගණනාවකම අලුත් අලුත් දේවල් සොයා ගැනුණා.

විද්‍යාව යනු තත්පරයෙන් තත්පරය වෙනස්කම් වීම්වලට භාජන වන විෂයකි. විශ්වය සම්බන්ධව මිනිසාට තිබූ කුතුහලය නිසාම විශ්වයේ ජීවයක් පවතින එකම ග්‍රහලොව පාථිවියද, එසේත් නොමැති නම් තවත් ග්‍රහලෝක හෝ සමාන්තර ලෝක තිබෙනවාද යන්න ගැන විවිධ පර්යේෂණයන් සිදු කරන්නට උත්සුක වුණා. මහා පිපිරුම්වාදයේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය බිහි වුණාද, ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක්මද යන්න ඔවුන්ගේ සැකයට තුඩු දුන්නා. ඒ අනුව විද්‍යාවේ උපකාරයෙන්  ඔවුන් ඒ ගැන අධ්‍යයනය කිරීමට පෙලැඹුණා. විශ්වය පැහැදිලි කරගැනීමට විද්‍යාව උපයෝගී කර ගැනීමේදී ක්වොන්ටම් විද්‍යාව බෙහෙවින් උපකාරී වුණා.

විද්‍යාවේ ඇතැම් පැතිකඩයන් සාමාන්‍ය භෞතික විද්‍යාවෙන් පැහැදිලි කර ගැනීමේදී විද්‍යාඥයන්ට විවිධ ගැටලු පැනනැඟුණා. විශේෂයෙන්ම විශ්වය සම්බන්ධව ඇතැම් කාරණා පැහැදිලි කර ගැනීමට සාමාන්‍ය භෞතික විද්‍යාවේ නියමයන් භාවිත කිරීමේ ප්‍රායෝගික ගැටලු මතුවීමත් සමඟ ක්වොන්ටම් විද්‍යාව කරළියට පැමිණියා. ඇත්තෙන්ම ක්වොන්ටම් විද්‍යාව යනු විද්‍යාව ලැබූ යෝධ පිම්මක් ලෙස හඳුන්වන්න පුළුවන්. ක්වොන්ටම් යන වචනය සෑදී ඇත්තේ ලතින් භාෂාවෙන්ය. ක්වොන්ටම් විද්‍යාව ඉතාමත් කුඩා අංශුවල යාන්ත්‍රික චලනයන් ගණනය කිරීමට භාවිත කරනවා.

විකිරණ තරංග සොයා ගැනීමෙන් පසුව ශක්ති පැකට් නම් භෞතික විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයක් ගොඩනැඟීම සහ පරමාණුක උප පරමාණුක අංශු හඳුනාගැනීමද සිදුවිය. මේ නිසා භෞතික විද්‍යාවේ සහ රසායනික විද්‍යාවේ පැතිකඩයන් වන ඝන මූල භෞතික විද්‍යාව, පාෂාණිකෘත භෞතික විද්‍යාව, පරමාණුක විද්‍යාව, අණුක විද්‍යාව වැනි අංශ සොයාගැනීමේ ආරම්භය සිදුවිය. ක්වොන්ටම් විද්‍යාවේ පදනම දැමීමට 20 වැනි සියවසේ මැද භාගයේදී වෙනර් හයිසෙන්බ්‍රග්, මැක්ස්බෝර්න්, ජොන් වෝන් නියුමාන්, මැක්ස් පැලෑන්ක්, ලුවිස් ඩී බේ‍රාක්ලී, ඇල්බට් අයින්ස්ටයින්, වැනි විද්‍යාඥයන් උත්සුක වුණා.

විශේෂයෙන් පැවැසිය යුතු කාරණයක් වන්නේ මෙම සංකල්ප අතරින් බොහොමයක් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඒවා වීමයි. සාමාන්‍ය භෞතික විද්‍යාවේදී පැහැදිලි කරගත නොහැකි ඉතා කුඩා අංශුවල හැසිරීම අධ්‍යයනය කිරීමට ක්වොන්ටම් විද්‍යාව යොදා ගැනෙනවා. නිවුටන් යාන්ත්‍ර විද්‍යාව යනු සාමාන්‍ය භෞතික විද්‍යාවේ විග්‍රහ කෙරෙන එක් නියමයකි.

නිවුටන් යාන්ත්‍ර විද්‍යාවට අනුව පරමාණුක ක්‍රියාකාරීත්වය යනු ඉලෙක්ට්‍රෝන වේගයෙන් එකිනෙක අතර ගමන් කරමින් න්‍යෂ්ටිය හා ගැටීමයි. මෙයට හේතුව වන්නේ න්‍යෂ්ටිය ධන ආරෝපිත වීමයි. එම නිසා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා කත්ෂයක් මත ගමන් කරයි. මෙම පරමාණුවේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ක්වොන්ටම් විද්‍යාව වැදගත් වෙනවා. ක්වොන්ටම් විද්‍යාවෙන් පරමාණුක සහ උපපරමාණුක තත්ත්වයන් යටතේදී පදාර්ථයේ හැසිරීම සහ එය ශක්තිය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරයි.

විශ්වයේ අප ජීවත්වන පෘථිවියට අමතරව තවත් ජීවය පවතින මානයන් සහ ලෝක තිබෙන්නට හැකි බව ක්වොන්ටම් විද්‍යාවේදී උපකල්පනය කරනවා. නමුත් මේවා විද්‍යාත්මක ක්‍රමය මඟින් තවමත් සනාථ කර නැහැ. එය සම්භාවිතාවය අනුව කරන උපකල්පනයකි. නමුත් බහුවිශ්ව සහ බහුමාන ගැන 2007 නොබෙල් ත්‍යාගලාභී ස්ටීවන් වෙයින්බර්ග් යෝජනා කළේ, බහුවිශ්වයන් පැවැතියේ නම්, “අපගේ මහා පිපිරුමේදී අප නිරීක්ෂණය කරන ක්වාක් ස්කන්ධවල සහ සම්මත ආකෘතියේ අනෙකුත් නියතයන්ගේ නිර්වද්‍ය අගයන් සඳහා තාර්කික පැහැදිලි කිරීමක් සොයා ගැනීමේ බලාපොරොත්තුව විනාශ වී යනු ඇති බවයි.

එමෙන්ම තවත් භෞතික විද්‍යාඥයන් පවසන්නේ බහුවිශ්ව විද්‍යාත්මක විමර්ශනයේ නීත්‍යනුකූල මාතෘකා නොවන බවයි. බහුවිශ්වීය පර්යේෂණාත්මක සත්‍යාපනයෙන් නිදහස් කිරීමට දරන උත්සාහයන් විද්‍යාව කෙරෙහි මහජන විශ්වාසය පලුදු කර අවසානයේ මූලික භෞතික විද්‍යාව අධ්‍යනයට හානි කරයිද යන්න පිළිබඳ කනස්සල්ල මතු වී ඇති බව ඇතැමුන් මත ඉදිරිපත් කළා.

බහුවිශ්ව යනු විද්‍යාත්මක කල්පිතයකට වඩා දාර්ශනික සංකල්පයක් බවයි, ඔවුන් පවසන්නේ. නමුත් වර්තමානයේ විද්‍යාවේ සොයාගැනීම්ද සිදුකළේ පැවැති දාර්ශනික සංකල්ප මඟිනි.  එසේනම් බහුවිශ්ව පිළිබඳ සංකල්පයක් අනාගතයේදී සත්‍යයක් විය හැකි බව අපට උපකල්පනය කළ හැකිය.

ක්වොන්ටම් විද්‍යාවට අනුව යම් වස්තුවක් සතුව තරංග ලක්ෂණ මෙන්ම අංශූන්ගේ ලක්ෂණද පවතිනවා. මෙයට අපි තරංග අංශූන් ද්විත්වභාවය එහෙම නැති නම් wave-particle duality කියලත් කියනවා. මේ අනුව ආලෝකයට අංශූමය ලක්ෂණ මෙන්ම තරංගමය ලක්ෂණද පවතිනවා. ආලෝකය ප්‍රභවය  තිව්‍රතාවය දිගටම වැඩි කරගෙන යෑමේදී එහි ඇති ශක්තිය සීමාවකින් තොරව වැඩි වෙන්න ඕනෑ. මෙහිදී විද්‍යාඥයන් භාවිත කළේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය එසේත් නොමැති නම් ෆෝටෝ ඉලෙක්ටි්‍රක් එෆෙක්ට් කියන පරීක්ෂණයයි.

මෙම පරීක්ෂණයට අනුව ඔවුන්ට පෙනී ගියේ, ආලෝකය යම් නිශ්චිත ශක්ති ප්‍රමාණයක් ඇති පැකැට්ටුවක් හෙවත් ශක්ති ෆෝටෝනයක් ලෙස හැසිරෙන බවයි. මේ අනුව ඔවුන් නිගමනය කළා අලෝකය යනු සන්තනික තරංගයක් නොව යම් නිශ්චිත ශක්ති ප්‍රමාණයක් තිබෙනා අංශුවක් ආකාරයෙන්ද පවතින බවට. විශ්ව ගවේෂණයේදී අපට ආලෝකයේ වේගය ඉතාමත් වැදගත් වෙනවා. දැනට කිසිම බුද්ධිමතකුට ආලෝකයේ වේගයට සමාන වේගයක් කිසිම භෞතික වස්තුවකට ලබාදීමට නොහැකි වී තිබෙනවා. ආලෝකය අංශු වශයෙන්ද තරංගයක් වශයෙන්ද පවතින නිසා  ඒ තුළ ශක්ති පැකට් අන්තර්ගත වෙනවා.

ක්වොන්ටම් විද්‍යාවට අනුව මෙම ශක්ති ප්‍රෝටෝන අංශුවක් ලෙස මෙන්ම යම් කෙනෙක් එය නිරීක්ෂණයේදී තරංගයක් ලෙසත් ක්‍රියාකරන ආකාරය පැහැදිලි කරනවා. මේ අරුම පුදුම තරංග හැසිරීමෙන් ඔවුන් විස්මයට පත්වුවා. එමඟින් ඔවුන් උපකල්පනය කරනු ලැබුවේ මේ විශ්වයේ තවත් සමාන්තර අවකාශයන් සියදහස් ගණනක් වුවත් පැවැතිය හැකි බවය. ක්වොන්ටම් අණු ගමන් කරන්නේ භ්‍රමණය වීමෙන් නිසා එමඟින් තවත් මානයන් බිහි විය හැකි බවට අදහස් දක්වනවා.

අපි පසුගිය සතිවලදී ශම්බාලා නම් සමාන්තර ලෝකය ගැනත්,  රන්මසු උයනේ තාරකා ‍ෙදාරටුව  එවැනි සමාන්තර මානයකට ඇතුළු විය හැකි ‍ෙදාරටුවක් විය හැකි බවත් සඳහන් කළා. ක්වොන්ටම් විද්‍යාවෙන්ද එවැනි සමාන්තර අවකාශයන් බොහොමයක් විශ්වය පුරා පැවැතිය හැකි බවත් උපකල්පනය කරනවා. එසේ නම් මේ ලෝකයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවියද? සෑම පෘථිවි ජීවියකුගේම අනු කොපියක් තවත් සමාන්තර අවකාශයක ක්‍රියාත්මක වන බව පැවැසීමේ කතාව සත්‍යයක්ද යන්න පිළිබඳව අපට ඇත්තේ නොනිමි කුතුහලයක් නොවේද?

අප මෙතෙක් වෙලා කතා කළේ භෞතික විද්‍යාවේ සහ ක්වොන්ටම් විද්‍යාවේ තාක්ෂණික පැතිකඩය. ක්වොන්ටම් විද්‍යාවට අනුව බහුවිශ්ව සංකල්පය ටිකක් පැරැණි ප්‍රවෘත්තියක්. ඔබට දැන් සිතෙන්නට පුළුවන් එසේ නම් ක්වොන්ටම් විද්‍යාවට අනුව ඇත්තටම සමාන්තර අවකාශ විශ්වයේ තිබෙනවද කියලා. සමාන්තර ලෝක සම්බන්ධයෙන් ඔබට මින් පෙර ඉදිරිපත් කළ ලිපි දෙක තුළත් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කළේ ඉහත කියු දෙයමයි. එසේ නම් ශබ්බාලා නගරයේ පුරාවෘත්තය සහ රන්මසු උයනේ තාරකා ‍ෙදාරටුව යනු හුදෙක් ජනප්‍රවාද වශයෙන් සලකන්නට බැහැ. මම දැන් කියන්නට සැරසෙන්නේ ඔබ පුදුමයට පත්වන කරුණක්.

මම පැවැසුවහොත් ඔබ වැනිම, ඔබේම අනුපිටපතක් තවත් ලෝකයක ජීවත් වෙනවා සහ අපි මේ සිටින්නේ අපට වඩා දියුණු ජීවී කොට්ඨාසයක් නිර්මාණය කළ ලෝකයන් තුළ කියලා. කලබල වෙන්න එපා. මේ කරුණු තවමත් විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. එය විද්වත් මතයක් පමණයි. ඔබ සිතන්න ඔබ මේ ජීවත්වන පෘථිවි ලෝකය තුළ අයිස්ක්‍රීම් කන්න කැමැතියි කියලා. නමුත් අනෙක් ලෝකයේ සිටින ඔබගේ අනුපිටපත අයිස්ක්‍රීම් කන්න කැමැති නැහැ. නමුත්  ඒ සිටින්නේ ඔබමයි. එය හරියට කැඩපතකින් ඔබගේ මුහුණ බලනවා වගේ වැඩක්. ඔබ බොහෝදුරට “මායා බන්ධන” කතා මාලාව නරඹලා තිබෙන්නට පුළුවන්.

මායා බන්ධන කතා මාලාවේ දෙවැනි කතාංගය (Sires) තුළ මම මේ කියන කතාව නිර්මාණය කරලා තිබෙනවා.  එහි එක් සමාන්තර ලෝකයක් තුළ “පෝල්” වැනිම සහ පෝල්ගේ ලෝකයට සියයට සියයක් සමාන ලෝකයක් තිබෙනවා. පුදුමයි නේද? ඊළඟට අපට මතුවන ප්‍රශ්නය නම්, අප සිටින්නේ වෙනත් ජීවින් පිරිසක් නිර්මාණය කළ පරිගණක පද්ධතියක් තුළ නම් ඒ දියුණු ජීවින්ව නිර්මාණය කළේ කවුද යන්නයි. එසේ නම් ඔවුන්ද එයටත් වඩා දියුණු ජීවී කොට්ඨාසයක නිර්මාණයක් විය යුතුයි. එහෙම බැලූ පසු මෙය දම්වැලක් සේ දිගින් දිගටම යනවා. පෘථිවියෙන් ඉහළට යන්න යන්න ඔවුන් බුද්ධියෙන් මෙන්ම තාක්ෂණයෙන්ද ඉතාමත් දියුණුයි.

පෘථිවි ජීවීන්ද එලෙස දියුණු තාක්ෂණයක් ලබාගත්තා නම් අපිටත් පුළුවන් අපේ අනුරුවක් සකසන්න. එවිට අපගෙන් පහළට යන්න ඔවුන් අපිට වඩා තාක්ෂණයෙන් අඩුයි. මෙය වැඩිය සිතන්නට යන්න එපා. මොකද ඔබ ව්‍යාකූලත්වයට පත්විය හැකි බැවිනි. කවුද කැමැති පිළිගන්න අපි මේ සිටින්නේ යථාර්ථවාදී ලෝකයක් තුළ නොවෙයි, ප්‍රෝග්‍රෑම් කළ පරිගණක පද්ධතියක් තුළ කියලා. ඔවුන් විටින් විට පැමිණ අපිව නිරීක්ෂණය කරලා බලලා යනවා වෙන්නත් පුළුවන්. අපි හඳුනා නොගත් (UFO) යානා ලෙස දකින්නේ ඒ ආකාරයට අපිව නිරීක්ෂණය කිරීමට පැමිණෙන අය වෙන්නත් පුළුවන්. මේ විශ්වය කියන්නේ අපිට සිතාගැනීමටවත් නොහැකි පරාසයකට විහිදුණු.

අගක් මුලක් නොමැති මකුළු දැලක් වගේ දෙයක්. මිහිමත තිබෙන දැනුම් පද්ධතියට මේ විශ්වය ගවේෂණය කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් අපිට යම් යම් ඉඟි ලබාදී තිබෙනවා. එවැනි ඉඟිවලින් ඔවුන් අපට පවසන්නේ “උඹල විතරක් නෙවෙයි විශ්වය කියන්නේ” වැනි පණිවුඩයක්. ඒ සැක තැන්වලින් අපට විශ්වයේ ඉහළ ස්තරයහ ගැන අධ්‍යයනයට යතුරක් ලෙස භාවිත කරන්නට හැකියාව තිබෙනවා.

පසුගිය ලිපිවලින් අප සාකච්ඡා කළේ එවැනි වූ ඉඟි දෙකක් ගැනය. යම් දිනෙක අපිත් තාක්ෂණයෙන් දියුණුම අවස්ථාවේදී විශ්වයේ මේ රහස් එකිනෙකට විසඳා ගත හැකිවේවි. නමුත් ඒ දවස අවුරුද්දකින් හෝ දෙකකින් සිදුවන දෙයක් නොවේ. ඒ වනවිට ඔබත් මමත් මේ ලෝකයෙන් අතුරුදන් වී සිටිවී. නමුත් අනාගත පරම්පරාව එය සිදුකරාවී යැයි අපි විශ්වාස කරමු.

දුමිඳු ලංකා බණ්ඩාර