බංග්ලාදේශ් අම්මා හදපු ලොව මවිත කළ පාලම

0
88

පසුගිය අවුරුද්දේ බංග්ලාදේශය ආර්ථික අර්බුදයේ ගිලෙමින් සිටින ශ්‍රී  ලංකාවට අත දීමක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නේය. මෙය ලබා දෙන ලද්දේ විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වෝප් පහසුකමක් ලෙසය. ශ්‍රී  ලංකා රජයට භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් ලෙස නොපැවති හෙයින් රුපියල් ලෙස බංග්ලාදේශ මහ බැංකුවේ තැන්පත් කොට ඒ සඳහා ඩොලර් ලබාගැනීමට මේ යටතේ හැකිවිය. වේලාවේ හැටියට එය බංකොලොත් භාවය කරා ඇදෙමින් සිටි ශ්‍රී  ලංකාවට මහත් සහනයක් විය. එමෙන්ම එය ආර්ථික අර්බුදයකට මුහුණ පෑ ශ්‍රී  ලංකාව වෙත මුලින්ම දකුණු ආසියාතික රටකින් ලැබුණු මූල්‍යමය ආධාරයද ලෙස ඉතිහාසගත විය.

කලෙකට ඉහත අපට වඩා අඩු ආදායම්ලාභී රටක් වූ බංග්ලාදේශයට මෙසේ අතපාන්නට සිදුවීම ආණ්ඩුවට සහ පාලකයන්ට කෙසේ වෙතත් මෙරට උගත් සාමාන්‍ය මිනිසුන්ට නම් මහත් මදිපුංචිකමක් විය. බංග්ලාදේශයට අතපාන්නට සිදුවීම ගැන ඔවුහු සමාජ මාධ්‍යවල වගාලාප ලිව්වෝය.

මෙම වසරේ මැයි මාසයේදී ද බංග්ලාදේශ අගමැතිනි ෂීක් හෂීනා අප වෙත සිය දයාබරිත හස්තය දිගු කළාය. ඒ ඖෂධ හිඟයෙන් පීඩා විඳින ශ්‍රී  ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් පරිත්‍යාග කරමිනි. එම ඖෂධ තොගය ශ්‍රී  ලංකා රුපියල් මිලියන 830ක් පමණ වටී. අප ඉදිරියේ ඇති වෙමින් තිබෙන ආහාර හිඟය දුටු බංග්ලාදේශයේ අගමැතිනි අම්මා අර්තාපල් තොගයක් ලබාදීමටද පියවර ගනිමින් සිටින බව පසුගියදා පැවැසුවාය.

අපේ නැති බැරිකමට, ලෙඩ දුකට, කුසගින්නට පිහිටවන බංග්ලාදේශ අගමැතිනි අම්මා පසුගියදා සුවිසල් වික්‍රමයක් කරමින් ලෝකයේ බලවත් රටවල පවා අවධානය දිනාගත්තාය.

බංග්ලාදේශ අගමැතිනි ෂික් හෂීනා මෙම වික්‍රමය කළේ ලෝක බැංකුව සහ අනිකුත් ණය දෙන ජාත්‍යන්තර ආයතන පිටුපා යද්දී බංග්ලාදේශයට ‘ස්ව ශක්තියෙන්’ යෝධ ව්‍යාපෘතියක් කරන්නට දිරිය දෙමිනි.

බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනාගේ නොපසුබට උත්සාහය හේතුවෙන් බංග්ලාදේශය සහ එහි ජනතාවට බංග්ලාදේශය හරහා ගලායන ‘පද්ම ගංගාවට’ ඉහළින් තැනුණු දැවැන්ත ‘පද්ම පාලම’ අද තිළිණ වී තිබේ.

මේ වන විට ලෝකයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ කාන්තාව ෂික් හසීනාය. 1947 සැප්තැම්බර් 28දා උපත ලැබූ ඇය අද 75 වන වියේ පසුවන්නීය. වසර 18කට වැඩි කලක් අගමැතිවරියක ලෙසද සේවය කරන්නීය.

බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන එහි ප්‍රථම ජනපති බංගබන්දු ෂෙයික් මුජිබර් රහමාන්ගේ අතිජාත දියණිය බව ලොවටම යළි කියමින් ඇය ‘පද්ම පාලම’ විවෘත කළ දිනයේ ඇයට සුබපතන්නට ඉන්දියාව පවා එක්විය.

බංග්ලාදේශයේ ඩකා අගනුවර එරට නිරිතදිග නොදියුණු ප්‍රදේශය කරා යා කරමින් පද්ම ගංගාව හරහා ඉදිකෙරුණු දැවැන්ත පාලම වන ‘පද්ම පාලම’ (Padma Bridge) බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina) අතින් විවෘත වූයේ ජුනි 25දා සෙනසුරාදාය.

දූෂණ චෝදනා මතුකරමින් ලෝක බැංකුව හා අනෙකුත් ණය සපයන ගෝලීය ආයතන පිටුපා යද්දී දැවැන්ත හා සැඩපරුෂ පද්ම ගංගාව හරහා දිවෙන මෙම දැවැන්ත පාලම ඉදිකිරීමට බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත් වූ චිත්ත ධෛර්යයෙන් කටයුතු කළාය.

බංග්ලාදේශය ස්ව ශක්තියෙන්ම අරමුදල් සපයමින් නිමැවුණු මෙම පාලම එහෙයින්ම ‘ජාතික අභිමානයේ සංකේතය’ යනුවෙන් හඳුන්වයි. බංග්ලාදේශයේ දිගම පාලම වන මෙම පාලම කි.මී. 6.15ක් (සැතැපුම් 3.82) දිගය.

බංග්ලාදේශයේ නිරිතදිග පිහිටි දිස්ත්‍රික්ක 21ක් මෙම පාලම සමඟ ඩකා අගනුවර වෙත යා වෙයි. පාලම එක් දුම්රිය මාර්ගයකින් සහ වාහන ධාවන මං තීරු 4කින් යුක්ත වන අතර මගීන්ට ඩකා වෙත ළඟා වීමට මිඩංගු වන කාලය ඉතා අඩු කරයි.

පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3.87ක් වූ අතර බංග්ලාදේශය කර ගැසූ විශාලතම බහුවිධ ව්‍යාපෘතියද සම්පූර්ණ මූල්‍ය දායකත්වය බංග්ලාදේශ රජය විසින් දරන ලද එකම එවන් ව්‍යාපෘතියද විය.

මෙම ව්‍යාපෘතිය සඳහා බංග්ලාදේශය ලෝක බැංකුව සමඟ ඩොලර් බිලියන 1.2ක ණය මුදලක් සඳහා ගිවිසුමකට එළැඹුණද පසුව නැඟුණු දූෂණ චෝදනා මත ව්‍යාපෘතිය අතහැර දමන ලදී. ලෝක බැංකුව අනුගමනය කරමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) වැනි ආයතනද ව්‍යාපෘතියෙන් බැහැර විය.

එහෙත් අගමැතිනි ෂීක් හසීනා තමා ගත් පියවර පසුපසට නොතබා පද්ම ගංගාව හරහා පද්ම පාලම ගොඩනැඟීමට පෙරමුණ ගත්තාය. මෙම ව්‍යාපෘතියට තම රජය අරමුදල් සපයා සම්පූර්ණ කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. එහෙත් ඇයට මෙය කරගත  හැකිවේද යන්න ගැන බංග්ලාදේශ ආර්ථික විද්‍යාඥයන් තුළ පවා වූයේ සැකයකි. ඒ, මෙවැනි මහා පරිමාණ යටිතල පහසුකම් බහුපාර්ශ්වීය දායකත්වයක් නැතිව කිසිදා කර නොමැති වීම නිසාය.

බංග්ලාදේශයේ අභිමානය පද්ම පාලම විවෘත කරමින් අගමැතිනි ෂීක් හසීනා මෙසේ තම ජනතාවට පැවැසුවාය.

“සමහර අය හැමවිටම අනුන් මත යැපෙනවා. නමුත් බංග්ලාදේශයේ ජාතියේ පියා වන බංගබන්දු ෂීක් මුජිබර් රහමාන් අපට උගන්වා තියෙන්නේ ස්වාභිමානයේ වැදගත්කමයි.”

“අපි ලෝකටයම පෙන්නුවා අපිට පුළුවන් කියලා.” ෂීක් හසීනා වැඩිදුරටත් පැවැසුවාය.

බංග්ලාදේශය හරහා ගලා බසින පද්ම ගංගාව ප්‍රචණ්ඩත්වයෙන් සහ විශ්වාස කළ නොහැකි භාවයෙන් දෙවැනි වන්නේ දකුණු අප්‍රිකාව හරහා ගලා බසින ඇමසන් ගංගාවට පමණි. එවැනි සැඩ පහරක් ඇති පද්ම ගංගාව හරහා ඉදිවූ පද්ම පාලම ඉන්ජිනේරු විද්‍යාවේද හාස්කමක් ලෙස සැලකෙයි. මේ සඳහා බංග්ලාදේශ ඉන්ජිනේරුවන් 1,200කගේ පමණ දායකත්වය ලැබුණු අතර චීන රජයට අයත් RMBEG ආයතනය මෙම පාලම නිමැවිය.

රු කාරියවසම්