පාස්කු ඉරිදාවක තෙල් ටැංකි පුපුරුවන්න ත්‍රිමලේදි ගුවනින් පැන්න ජපන් තනාපතිගෙ සීයා

0
92

ජපානයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ කෙනචි සුගනුමා 2013 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා ලෙස පත්වීම් ලැබ මෙහි පැමිණියේය. තානාපතිවරයා රාජකාරි භාර ගැනීමෙන් දින කිහිපයකට පසු හදිසියේම ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත විය. තානාපති කෙනචි සුගනුමා ශ්‍රී ලංකා නාවික හමුදා ආරක්ෂාව ඇතිව කෙළින්ම ගමන් කළේ බි්‍රතාන්‍ය පාලන සමයේ ඉදි වූ ත්‍රිකුණාමලයේ සුප්‍රකට තෙල් ටැංකි සංකීර්ණය වෙතය. තානාපතිවරයා එහි ගියේ මළවුන් වෙත පිදෙන විශේෂ මල් කලඹක්ද රැගෙනය. ජපන් තානාපතිවරයා මල් කලඹක් රැගෙන තෙල් ටැංකි සංකීර්ණය වෙත ගමන් කිරීම සියල්ලන්ට කුතුහලය දනවන කාරණයක් විය. තානාපතිවරයාගේ ඉල්ලීමට අනුව නාවික හමුදාව විසින් ඔහු කැටුව යන ලද්දේ අංක 91 දරන තෙල් ටැංකිය වෙතය.

වන වදුලින් වැසී තිබුණු භූමිය ඔස්සේ අංක 91 තෙල් ටැංකිය අබියසට පැමිණ තානාපති සුගනුමා තමා රැගෙන පැමිණි මල් කලඹ එය ඉදිරිපිට තබා හිස නමා ආචාර කර මිනිත්තු කිහිපයක් නිහඬව නිසලව සිටියේය. ඒ මොහොත එහි සිටි නාවික හමුදා නිලධාරීන්ටත් ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් හැඟුම්බර නිමේෂයක් වූයේය. ගෞරවාචාර දැක්වීමෙන් ඉනික්බිතිව ජපන් තානාපතිවරයා පැමිණ සිටි පිරිසට එම අවස්ථාව මෙසේ පැහැදිලි කර තිබුණි.

“දෙවැනි ලෝක මහා යුද සමයේ 1942 පාස්කු ඉරිදා එනම් අප්‍රේල් 9 වැනිදා උදෑසන 6.45ට මගේ රටේ ජපානයේ ගුවන් හමුදාව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කළා. ත්‍රිකුණාමලය නගරයට ඉහළ අහසේ බි්‍රතාන්‍ය ගුවන් හමුදාව සමඟ ජපන් ගුවන් නියමුවෝ බිහිසුණු සටනක් කළා. මේ සටනට එක්වූ ජපාන කමිකායේ දිවි පුදන සේනාංකයේ ගුවන් නියමුවකු ලෙස මගේ සීයා කටයුතු කළා. ජපන් ගුවන් හමුදාව බි්‍රතාන්‍ය තෙල් ටැංකිවලට බෝම්බ හෙළමින් සිටියා. බි්‍රතාන්‍ය හමුදාව  සමඟ ඉහළ අහසේ ඇති වූ සටනේදී මගේ සීයා පියාසර කළ 97 වර්ගයේ ඛටෙ ඹොම්බෙර් ගුවන් යානය අංක 91 දරන මෙම තෙල් ටැංකියට කඩා වැදී  තිබෙනවා. එහිදී ඇති වූ විශාල ගින්නෙන් මගේ සීයා ඇතුළු අපේ රටේ ජාතික වීරයන් තිදෙනෙක් දැවී ගියා. ඔවුන්  ජපානයේ ජාතික වීරවරයන්. මා අද මෙහි පැමිණියේ එම වීරවරයන්ට ගෞරවය පුද කරන්නයි.

සීයාගේ වීරත්වය පිළිබඳව මා කුඩා කල සිටම මගේ අම්මා මට කියා දී තිබෙනවා.  කවදා හෝ  ලංකාව නමැති දිවයිනට ගොස් මගේ සීයා දිවි දීපු  ස්ථානයේදී ඔහුට ගෞරවය පුද කරන්නට ඕනේ කියන එක්තරා සිහිනයක් මා තුළ තිබුණා. ජපානයේ රාජතාන්ත්‍රිකයකු ලෙස ලංකාවට පැමිණ මගේ ඒ සිහිනය සැබෑ කරගන්නට දෛවය මට අවස්ථාව ලබාදී තිබෙනවා. ඇත්ත වශයෙන්ම එය පුද්ගලයකුට දෛවය විසින් ලබාදෙන අහඹු අවස්ථාවක්. එම අවස්ථාව මට ලබාදීම ගැන මම ජපන් රජයටත්, මෙහි පැමිණීමට මට උදව් කළ ඔබ හැම දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.”

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී අක්ෂ පක්ෂය ලෙස සැලකුණු ජර්මනිය, ඉතාලිය සහ ජපානය ලද විශිෂ්ට ජයග්‍රහණයක් වූයේ බි්‍රතාන්‍යයන් සතුව පැවති පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයයි.  ප්‍රහාරයෙන් පසු ජපාන හමුදාව ඉන්දියන් සාගරයේ බටහිර දෙසට වේගයෙන් ගමන් කරමින් තිබුණි. 1942 පෙබරවාරි මාසයේදී සිංගප්පූරුව ජපානයට යටත් විය. ජපානයේ ඊළඟ ඉලක්කය ලංකාව බව බොහෝ දෙනා විශ්වාස කළහ. බි්‍රතාන්‍ය යුද නැව්, ගුවන් යානා, සබ්මැරීන ලංකාවේ ස්ථානගත වූ පසු ඉන්දියන් සාගරයේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය තහවුරු වනු ඇතැයි  ජපන්නු විශ්වාස කළහ.

බි්‍රතාන්‍ය අගමැති  වින්සන්ට් චර්චිල් ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක සංග්‍රාමයේ භයානකම අවස්ථාව සහ තමාට වඩාත් අනතුරු ඇඟවීමට හේතුවූ මොහොත ජපන් බළඇණිය සිලෝන් අයිලන්ඩ් කරා ළඟා වෙමින් තිබූ අවස්ථාව බවයි. සේනාධිනායක අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් ලංකාවට පත් කර එවන ලද්දේ ඒ අනුවය.

එහෙත් 1942 අප්‍රේල් 9 වැනිදා පෙරවරු 6.45ට බෝම්බ හෙළන ජපන් ගුවන් යානා ත්‍රිකුණාමලය වරායට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ නිසි පූර්ව අනතුරු ඇඟවීම් ලැබී  නැත. පර්ල් වරායේ සිට ඉන්දියන් සාගරයට ඇතුළු වූ ගුවන් යානා රැගත් නෞකා දෙකකින් ප්‍රහාරක යානා 36ක් ගුවන් ගත වී ඇත. ප්‍රහාරයට එවූ ගුවන් භටයන්  සංඛ්‍යාව 91කි.

අංක 91 දරන තෙල් ටැංකියකට කඩා වැදුණු ප්‍රහාරක ගුවන් යානාවේ ජපන් කමිකායේ බළකායට අයත් ෂිගනේරි බටනබේ, ටොක්යා ගෝටෝ, සහ සුටෝමු ටොෂිරා යන සෙබළු තිදෙනා වූහ. සුටෝමු ටොෂිරා ජපන් තානාපති කෙනිචි සුගනුමාගේ සීයා විය. ජපන් ගුවන් හමුදාවේ කොම‍ෙදා්රු ෆුච්ඩා ත්‍රිකුණාමලේ ප්‍රහාරය මෙහෙයවූ අතර ගුවන් යානා ත්‍රිකුණාමලය චීනවරායට ඉහළ අහසට පැමිණෙන විටත් බි්‍රතාන්‍ය හමුදාවට අයත් ගැරිසන් කාලතුවක්කු ගුවන් ප්‍රහාරයක් අපේක්ෂාවෙන් ස්ථානගතව තිබිණ. ගුවන් ප්‍රහාරය පිළිබඳව ඔත්තුව ලැබුණු වහාම බි්‍රතාන්‍ය ගුවන් හමුදාවේ හරිකේන් සහ පැලමාර් ගුවන් ප්‍රහාරක යානා ගුවන් ගත විය. බිහිසුණු ගුවන් සටන ඇතිවූයේ තඹලගමුව ප්‍රදේශයට ඉහළ අහසේදීය.

ජපන් ගුවන් හමුදාව ප්‍රථම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ බි්‍රතාන්‍ය නාවික හමුදාවට අයත් ගුවන් යානා ප්‍රහාර කරන හර්මිස් සහ වැම්පයර් යන නෞකා දෙකටය.

බිහිසුණු ගුවන් සංග්‍රාමය ඇතිවූ නිමේෂයේදී වෙඩි වැදුණු තම ගුවන් යානය අංක 91 දරන තෙල් ටැංකි මතට පතිත වීමට සලස්වා ජපන් සෙබළු තිදෙනා දිවි නසාගත් බව විශ්වාස කෙරේ. ගුවන් යානය පතිත වූ මොහොතේම අංක 91 දරන ඉන්ධන ටැංකිය ගිනි ගත් අතර ගින්න දින 7ක් පුරා අතිවිශාල තාපයක් ජනනය කරමින් දැවී ඇත. ටැංකියේ වූ අඟල් 1ක් ඝනකම වානේ තහඩු උණුවී ඇඹරී ගිය අතර ගුවන් යානයේ ඉතුරු වූයේ සුන්බුන් කිහිපයක් පමණි. ජපන් සෙබළකුගේ හිස් කබලක් පමණක් පසුව සොයා ගත හැකි විය.

ජපන් ගුවන් යානයේ ඉතිරි සුන්බුන් දැනට කොළඹ ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. ජපන් ගුවන් යානා සෑහෙන ප්‍රමාණයක්ද, බි්‍රතාන්‍ය ගුවන් හමුදාවට අයත් හරිකේන් සහ පැල්මර් යානාද, ගුවන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වරායේ නවතා තිබූ නෞකා දෙකක නටබුන්ද ත්‍රිකුණාමලේ වරායට අයත් ගැඹුරු මුහුදේ ගිලී තිබේ.

පළමුවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව පෙරදිග බි්‍රතාන්‍ය හමුදා සඳහා සේවා පහසුකම් සැපයීමේ මූලස්ථාන ලෙස ලංකාව යොදාගැනීමට මහා බි්‍රතාන්‍ය තීරණය කරන ලදී. එම තීරණයට අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ඉදිකරන ලද්දේ 1924 – 1930 වකවානුවේය. අක්කර 850ක භූමිය ආවරණය වන පරිදි කවාකාර තෙල් ටැංකි 101ක් අංක යොදා නිර්මාණය කර තිබේ. කිසියම් හේතුවක් පදනම් කරගෙන අංක 99 දරන තෙල් ටැංකිය ඉදිකර නැත. අඟල් 1ක ඝනකමින් යුත් වානේ තහඩුවලින් ටැංකි නිමවා ඇති අතර එක් ටැංකියක ඉන්ධන ටොන් 12,000 ගබඩා කරගත හැකිය. සම්පූර්ණ ධාරිතාව ටොන් මිලියන 1.2කි.

ත්‍රිකුණාමලයේ වරාය ආසන්නව පිහිටි තෙල් ටැංකි වඩාත් ආරක්ෂාව සැලසෙන පරිදි වානේ වළලුවලින් වට කර තිබේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ බොහෝ අය නොදත් කරුණක් වන්නේ එම ටැංකි සියල්ල නෞකාවේ සිට ගුරුත්වාකර්ෂණයෙන් තෙල් ප්‍රවාහනය කළ හැකි වන පරිදි නිර්මාණය කර තිබීමය.

යුද්ධය විසින් ලෝකයට කිසිවක් ලබාදී නැති බව සැබෑය. යුද්ධය විසින් විනාශය අත්කරදී ඇති බව සැබෑය. එසේම නිදහස සහ සාමය විසින් වසර 75කට පසු  ස්වකීය ඥාතියා වෙනුවෙන් අවසන් ගෞරවය පළ කරන්නට කෙනචි සුකනාමාට අවස්ථාව ලබා දෙන ලද බවද සැබෑය.

උදේනි සමන් කුමාර