පරිගණක පාඩමක් සිංහලෙන් ලියූ හිමංෂ

0
136

සමනලයන් කුරුල්ලන්ට කවි සින්දු කියමින්, කුරුටු බලි අඳිමින් පෙර පාසලේ උදය කාලය කෙළිදෙළෙන් ගත හිමංෂ හවස් වරුවම ගත කළේ සිය මව උගන්වන පාසල් පන්ති කාමරය තුළය.

පාසල් වේලාවේත් ඉන්පසු සවස් වරුවේ පන්තිවලදීත්, නිවෙසට පැමිණ රෑ බෝවන තුරුත් අම්මා ඇගේ පාසලේ දරුවන් වූ අයියලා, අක්කලාට අම්මා පාඩම් කියා දෙන අයුරු හිමංෂ බලා සිටියේද ආශාවෙනි.

“Scratch සිංහලෙන් ඉගෙන ගනිමු” ග්‍රන්ථය හිමංෂ රසාංජන ප්‍රේමරත්න සිසුවා අතින් රචනා වූයේ් මෙවන් පසුබිමකය. ඔහු 6 – 9 ශ්‍රේණිවල තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශයට නියමිත පරිගණක ප්‍රලේඛන කොටසට අයත් “Scratch මෘදුකාංගය” පිළිබඳ පාඩම් සිංහලෙන් සකසා ලියා පළ කර ඇත්තේ 7 ශ්‍රේණියේ සිසුවෙකුව සිටියදීය.

ක්‍රි;පූ. 3000දී පමණ මෙසපොතේමියාවේ සුමේරියානුවන් ලිවීම දියුණු යුගයේ පටන් මිනිසා තොරතුරු රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම හෙවත් සන්නිවේදනය සිදු කරමින් සිටින අතර මේ සියල්ල හැසිරවීම සඳහා යොදා ගන්නා තාක්ෂණය “තොරතුරු තාක්ෂණය” නමින් හැරල්ඩ් ජේ.ලෙවිඩ් සහ තෝමස් එස්.විස්ලර් කතුවරුන් අතින් ලියැවී ඇත්තේ 1958දීය.

ලංකාවේ පාසල් විෂය නිර්දේශයට තොරතුරු තාක්ෂණ විෂය එක් කෙරී ඇත්තේ මෑත අතීතයේදීය.

හිමංෂගේ මවද තොරතුරු තාක්ෂණය උගන්වන පාසල් ගුරුවරියකි. පියා ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකි. හිමංෂගේ මවුපියන් පවසන පරිදි ඔහු පරිගණකය හා ඇසුර ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 3 දීය.

සිය නිසඟ කුසලතාව මත පුංචි හිමංෂ 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අයත් සමර්පන නිර්මාණය කිරීම හා අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා ඇතුළත් සංයුක්ත තැටියක් නිකුත් කළේ 2018දීය.

වාර්ෂිකව පවත්වන සහසක් නිපැයුම් තරගාවලියේදී ඔහු arduino මෘදුකාංගය භාවිතයෙන් ආරක්ෂිත සේප්පුවක් නිර්මාණය කරමින් 2019දී පළාත් තරගාවලිය නියෝජනය කිරීමටද වරම් ලැබුවේය.

“Scratch සිංහලෙන් ඉගෙන ගනිමු” කෘතිය රචනා කිරීමට හිමංෂ තුළ පෙලඹවීමක් ඇති කළේ  “Scratch මෘදුකාංගය” පාසල් විෂය නිර්දේශයට හඳුන්වා දුන් මුල් දිනවලදී ගුරුවරියක වූ සිය මව ඒ පිළිබඳව නිවසේදී කළ කතාබහ ඇසීමෙනි.

මුලින්ම himaspirit නමින් යූ ටියුබ් නාළිකාවක් ඇරැඹූ හිමංෂ “Scratch මෘදුකාංගය” පිළිබඳ තමා විසින් සකස් කරන ලද දෘශ්‍ය පටිගත පාඩම් මාලාවක් එයට එක් කළේය.

පසුගිය කොරෝනා සමයේදී පාසල් ගමන සීමා වීම නිසා ලද ඉස්පාසුවේදී ඉහත කී පාඩම් සියල්ල ඔහු පොතක් බවට පත් කිරීමට පියවර ගත්තේය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කොරෝනා වසංගත සමයේ සිදු කළ “රටක් වටින පොතක්” සංකල්පය යටතේ කෘති නිර්මාණයට සිසුන් යොමු කිරීමේ වැඩසටහන වෙනුවෙන් හිමංෂ මෙම කෘතිය ඉදිරිපත් කළේය. ඔහුගේ දස්කම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන්ගේද මහත් ඇගයීමට ලක් විය.

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලබන හිමංෂ අනාගත මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වීමේ සුබ සිහින දකිමින් සිටියි.

හිමංෂගේ නැඟණියද සහෝදරයා අනුව යමින් ළමා කෘති දෙකක් එළිදැක්වූ පුංචි ලේඛිකාවකි.

සටහන

වයලට් ප්‍රියදර්ශනී විතානගේ