නාහෙන් අඬන්නේ නැතුව වාහන පදින්න හිතන ගැහැනුන්ට

0
516

සමාජයේ බොහොමයක් තැන්වල අපි දැකල තිබෙනවා කාන්තාවක් වීමම හේතුවක් කරගෙන ඔවුන් ජීවිතයේ පසුබෑමකට ලක්වෙලා තිබෙන බව. මෝටර් රථවාහන ක්ෂේත්‍රය තුළ අපිට හමුවෙනවා තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා වාහන පාවිච්චි කරන කාන්තාවන් සහ ඔවුන් වාහන භාවිත කිරීමේදී ඇති වන ගැටලු. වාහනයක් පාවිච්චි කරනකොට අපිට අපේක්ෂිත තත්ත්ව වගේම අනපේක්ෂිත තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා.

ඔයා උදේ ඔෆිස් ගිය කාර් එක හවස ඔෆිස් ඇරිලා ගෙදර එන්න ස්ටාර්ට් වෙන්නෙ නෑ වෙන්න පුළුවන් දෙයක්. ඔයාට සිද්ධ වෙනවා කාර්මිකයකුගේ සහාය ලබාගෙන වාහනය අලුත්වැඩියා කර ගන්න. වාහනයක ගමනක් යන කොට එක පාරටම මොකක් හරි අසාමාන්‍ය සද්දයක් ආව කියල හිතමු. ඔයාට තමයි ඒක ටෙක්නීෂියන්ට එක්ස්ප්ලේන් කරන්න වෙන්නෙ. එතකොට මේ කාරණා ඉතා ඵලදායිතාවකින් යුතුව සන්නිවේදනය කර ගන්න නම් ඔබ සතුව යම් දැනුම් ප්‍රමාණයක් තිබෙන්න ඕනෙ වෙනවා.

අපිට අලුත්වැඩියා කරන්න  එන කාන්තාවන්ගේ මෝටර් රථ බොහොමයක් දැනුවත්භාවය නොමැතිකමින් ඒ කාලයට අදාළ නැති අලුත්වැඩියාවන් පවා කරන්න සිද්ධ වෙච්ච අවස්ථා තිබෙනවා. උදාහරණ විධියට ටයර් පන්ච් එකක් තබාගෙනම ගමන ගිහින් ආපු හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරන්නෙ නැතුව සෑහෙන දුර ගිහින් ආපු වගේම එකම ගියර් එකක කිලෝමීටර් දහය පහළව ගිහිපු වාහනත් අපිට හම්බවෙලා තිබෙනවා. මෙහෙම කියද්දී පිළිගන්න අමාරුයි වගේ හිතුණට මේ ඔක්කොම ප්‍රායෝගික ලෝකය ඇතුළේ අපිට හම්බවෙන දේවල්. හැබැයි මේ අතරේ තමන්ගේ වාහනය නිසි පරිදි නඩත්තු කරගෙන එදිනෙදා කටයුතුවලට පාවිච්චි කරන කාන්තාවොත් ඕනෙ තරම් ඉන්නවා.

මෙන්න මේ හේතු නිසාම ‘ලේඩි යූස්’ කියල වාහනයක් විකුණන්න ගියාම මිනිස්සු අතරේ ඒ වාහනය හොඳයි වගේම නරකයි කියලත් බෙදී ගිය මතවාදයක් ඇතිවෙලා තිබෙනවා. එහෙම බලද්දී කාන්තාවන්ට පුළුවන් වාහනවල මාකට් එකටත් වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරන්න. අපිට සෝශල් මීඩියා ඇතුළෙත් මේ ගැන කියැවෙන මීම්ස් එහෙම හම්බවෙනවා, ඔයිල් ඩිප්ස්ටික් එකක ඔයිල් ලෙවෙල් බලන කූර  ෆොටෝ එකක් අරන් මේක නම් ගෑනු ළමයි දන්නේ නැහැ කියලා. ඒ වගේම කාන්තාවක් භාවිත කරපු වාහනයක් කිසිදු දවසක සර්විස් කරල නෑ වගේ කතාන්දර. ඉතින් මේ හැම කතාවක්ම නිකම්ම ඇතිවුණා වෙන්න බෑ. මේවට මූලාරම්භය වෙන්නෙ කාන්තාවන්ගේ මෝටර් රථ භාවිතයේ ඇතිවුණු ගැටලු අඩුපාඩු. එහෙම නැත්නම් නොසැලකිලිමත්කම නිසා සිදු වුණ දෙයක් වෙන්නත් පුළුවන්.

අපි ළඟට අලුත්වැඩියාවට එන කාන්තාවන් ගේ මෝටර් රථවලට හුඟක් හානි වෙලා තිබෙන්නෙ ඔවුන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා. ඩ්‍රයිව් කරන්න අවශ්‍ය මූලික දැනුම ටිකට අමතරව අවශ්‍ය වෙන දැනුම පරාසය නැතිකමත් ඒකට එක හේතුවක්. බොහොමයක් කාන්තාවන්ගේ වාහනය නඩත්තු කරන්නෙ සැමියා, පෙම්වතා හෝ ඇගේ සහෝදරයෙක්. මම හිතන විධියට ඒක කාන්තාවන්ට තාක්ෂණික දේවල් බැහැ කියන පෙර කාලේ ඉඳන් ආපු මෙන්ටලිටි බැරියර් එකේම එක කොටසක් හැටියට. මේ හේතුව නිසාම අලුත්වැඩියා කටයුතුවලදී අසාමාන්‍ය ලෙස මුදල් අයකිරීම් පවා අපිට හම්බවෙනවා. මතක තියාගන්න මේ කතාව ඇතුළෙදි නොදැනුවත්කම කිසිම වෙලාවක සමාවට හේතුවක් වෙන්නෙ නෑ.

ඒ වගේම ඔබට නිකමට හරි හිතිලා තියෙනවද වාහනේ මඟ බේ්‍රක්ඩවුන් වෙලා කල්පනා කර කර ඉන්න කාන්තාවක් වෙනුවෙන් උදව්වට ආපු පිරිමියෙක් පසුකාලීනව ඇයගේ අනියම් සැමියෙක් වෙයි කියලා. එහෙම කතාන්දරත් සෑහෙන අහන්න ලැබෙනවා මේ ක්ෂේත්‍රය ඇතුළේ. අපි මේ කතා කරපු සමස්තයම ගැනම සලකලා කාන්තාවකට මේ කියන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා කියන්නම්. හස්බන්ඩ් හෝ බෝයිෆ්‍රෙන්ඩ් හෝ තාත්තා හෝ හොඳම පිරිමි යාළුවෙක් වේවා තමන් ආදරය කරන ගෑනු ළමයෙක් එළවන වාහනය ගැන පිරිමි පාර්ශ්වය හොයලා බලන්න ඕනේ.

ඒ වාහනයේ සර්විස් එක රෙවිනියු ලයිෂන් එක ඉවර වෙලාද බලන්න ඕනෙ. ගෑනු ළමයත් ඒවා මතක් කරලා සහභාගි වෙලා කරන හැටි ඉගෙන ගන්න ඕනෙ. ලංකාවේ ප්‍රයිම් මුවර් එළවන්න පුළුවන් කාන්තාවොත් ඉන්නවා. අනුරාධපුර, පොළොන්නරුව පැත්තේ මහ ට්‍රැක්ටර් වැඩ කරන කෙල්ලොත් ඉන්නවා. ඒ අතරේ ඩබල් සිග්නල් ස්විච් එක දාගන්න දන්නේ නැති කෙල්ලොත් ඉන්නවා. ටයර් එකක් මාරු කරන්න ඕනෙ නෑ. හැබැයි මාරු කරන හැටි ඉගෙන ගෙන ඉන්න එක මාර මානසික නිදහසක්. බය නැතුව ඕනෙ තැනක යන්න පුළුවන්.

එතකොට වාහනේ හදන්න අවශ්‍ය නෑ. හැබැයි වාහනේ ක්‍රියාකාරීත්වය ගැන සරල අවබෝධයක් හරි තිබෙන්න ඕනෙ. නැත්නම් වාහනයක ඉන්ඩිකේටර් ලයිට් එකක් පත්තු වෙච්ච ගමන් ඔෆිස් එකේ ඉන්න නල්ලමලේ පිරිමි පාර්ශ්වයක් එනවා ඔයාගේ වාහනේ අලුත්වැඩියා කරන්න. එක්කො මඟ ඉන්න කොල්ලො සෙට් එකක් සෙට් වෙනවා. එයාලා කරන වැඩවලින් වැඩේ එක දෙක වෙලා නවතින්නේ. මේ ගෑනු කෙනා ටියුබ් ලයිට් කියල දැනගත්තම ඒකෙන් එයාල වෙනම සොමියක් ගන්නවා. සමහර කාන්තාවන් ළඟටනේ යන්නෙ කියලා ගෙදරට අඳින ඇඳුම පිටින් එන්නේ. ඉතින් වාහනේ අවුලක් වුණත් එළියට බහින්න බෑ. ඒක තව අවුලක්.

රියැදුරු පාසලේ අය, සර්විස් ස්ටේෂන් එකේ අය, වාහනේ විකුණන සේල්වල අය ඔබට මේ ටික කියල දෙන්නේ නැති වෙයි. ඒ නිසාම ඔබට සිද්ධ වෙනවා ඔබට සමීප පිරිමි පාර්ශ්වයක උදවු අරන් මේ ටික මුලින් ඉගෙන ගන්න. ඒක ඔබට දුර ගමනක් යන්න අවශ්‍ය පූර්ණ මානසික නිදහස නොඅඩුව ලබා දේවි.

මාධව රූබසිංහ