දවස් 30යි ඝාතන 13යි නාඳුනන තුවක්කුවේ ඊළඟ බිල්ල කවුද

0
94

නාඳුනන තුවක්කුකරුවන් විසින් ඉකුත් දින 30 තුළදී පුද්ගලයන් 13 දෙනකු වෙඩි තබා මරා දැමීය. මින් මිනීමැරුම් 11ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇතිවූ ආරවුල්  මත සිදුවූ ඒවා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ අතර අත්වැරැදීමකින් සිදුවූ මිනිස් ඝාතනයක්ද විය. එමෙන්ම පෞද්ගලික කෝන්තරයක් මතද නාඳුනන තුවක්කුකරුවන් පුද්ගලයකු වෙඩි තබා මරා දැමීය. මසක් ගෙවී ගියද පොලිස් කණ්ඩායම් පහළොවකට ආසන්න සංඛ්‍යාවක් මෙම ඝාතන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වුවද එක් වෙඩික්කරුවකු හැරෙන්නට වෙනත් කිසිදු තුවක්කුකරුවකු කොටුකර ගැනීමට කිසිදු විමර්ශන කණ්ඩායමකට මෙතෙක් හැකියාවක් ලැබී නැත.

ඉකුත් මැයි මස 30 වැනිදායින් ඇරැඹි මෙම වෙඩි තැබීම්වල ආසන්නම සිදුවීම පසුගිය ජුනි 30 වැනිදා රාත්‍රියේ වැල්ලම්පිටිය, කොලොන්නාව මංසන්ධිය ආසන්නයේ සිදුවිය. මෙම ඝාතනයද මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුවූවක් බව පොලිසිය කළ මූලික විමර්ශනයේදී හෙළිවිය. ඉකුත් 30 වැනිදා සවස් කාලයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ කොලොන්නාව හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකළ අතර බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.

මියගිය පුද්ගලයා කොලොන්නාව, ආනන්දාරාම මාවතේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීම සිදුකරන්නට දිනකට පෙර එනම් ඉකුත් මස 29 වැනිදා ද නාඳුනන තුවක්කුකරුවන් විසින් මහමඟ වාහනයක ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීය. මෙම කාලසීමාව තුළ පුද්ගලයන් දෙදෙනකු එකවර මරා දැමූ මුල්ම අවස්ථාව මෙය විය.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු කොයිතරම් ඉලක්කයකට වෙඩි තැබීමට පුහුණුව ලද අයකුද යැයි කිවහොත් ඔහු එම පුද්ගලයන් දෙදෙනාට වෙඩි ප්‍රහාරය එල්ල කරන්නේ පැමිණි යතුරුපැදියේ පසුපස අසුනේ සිටගෙනය. එම වෙඩි ප්‍රහාරයෙන් වෑන් රිය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාම රිය තුළම මැරී වැටිණි.

වෙඩි ප්‍රහාරය සිදුකිරීමෙන් පසු තුවක්කුකරුවන් පලාගිය අතර මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මොරටුව පොලිසිය සතුව ඇත්තේ තුවක්කුකරුවන් පලායන සී.සී.ටී.වී. කැමරා දර්ශන පමණි. ඒ හැරෙන්න පොලිසිය සතුව ඇති අනෙක් සාක්‍ෂිය වනුයේ තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගැනුණු වැටී තිබූ ටී. පනස්හයේ උණ්ඩ කිහිපයයි.

සිද්ධියෙන් මරණයට පත්වූයේ හෝන්මේරිඤ්ඤ හේවගේ නිලන්ත කුමාර සිල්වා නොහොත් පිංවත්තේ උක්කුවාය. අනෙකා ඔහුගේම ගෝලයකු වන පානදුර, කළුදෑවල, හේනවත්ත පදිංචි මොහොමඩ් අර්ෆත් ශම්ෂාන් නමැත්තාය. හෙතෙම රත්රන් ව්‍යාපාරිකයකු වන අතර උක්කුවා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකි.

මෝටෝරිය පදවාගෙන පැමිණ ඇත්තේ ශම්ෂාන්ය. වෑන් රියේ ඉදිරිපස අසුනේ උක්කුවා සිටියේය. ඔහුද පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විය. මොවුන්ට කිසිවකු විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව ඔවුන් කටුබැද්ද මංසන්ධියට පැමිණ තිබිණි. මොවුන් කටුබැද්ද සිට පිළියන්දල දෙසට යමින් සිටියදී රියැදුරු ශම්ෂාන් වෑන් රිය කටුබැද්ද මංසන්ධිය ආසන්නයේ මඳකට නතර කර තිබේ. ඒ සමඟම ඔවුන් පසුපස යතුරුපැදියකින් හඹා පැමිණි පුද්ගලයන් දෙදෙනකු නතර කර තිබූ වෑන් රිය පසුකරමින් ගොස් නැවත යතුරුපැදිය හරවාගෙන පැමිණ වෑන් රිය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබන්නට වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ මොරටුව මූලස්ථාන පොලිසිය විසිනි. සිද්ධිය සැලවීමත් සමඟ ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා මෙම ද්විත්ව ඝාතනය සිදුකළේ කවුද? ඒ කුමක් අරබයාද? යන්න සොයා ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 6ක් පත් කළේය.

එහෙත් මෙතෙක් තුවක්කුකරුවන් කවුදැයි අනාවරණය වී නොතිබිණි. විමර්ශන කණ්ඩායම් විමර්ශන සිදුකරද්දී එක් කණ්ඩායමක් මරාදැමූ පුද්ගලයන්ගේ පැටිකිරිය සොයන්නට විය. ඒ අනුව ඝාතනයට ලක්වූ උක්කුවා නමැත්තා ඉලක්ක කොටගෙන මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව පොලිසියේ සැකය විය. මන්ද මොහු මිනිස් ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු වූ නිසාය.

පානදුර, පින්වත්ත ප්‍රදේශයේදී වරාය සේවකයකු ඝාතනය කිරීම ඇතුළු තවත් මිනිස් ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි මොහුට එම නඩුවලින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් අධිකරණය මඟින් නියම කර තිබිණි. ඒ ඉකුත් 2006 වසරේදීය.

මෙලෙස වසර 16ක් පුරාවට සිරදඬුවම් විඳි උක්කුවා ඉකුත් මාර්තු මස නිදහස්ව යළි පින්වත්තට ආවේය. මෙලෙස මාස තුනක කාලයක් කල්ගත කළ ඔහු කෙමෙන් යළිත් මත්ද්‍රව්‍ය ජාවාරම සියතට ගන්නට වෙර දරා ඇත.

මේ වන විට පානදුර පින්වත්ත හා ඒ අවට සිය ආධිපත්‍ය තහවුරු කරගෙන සිටියේ පානදුරේ සලිඳු නොහොත් කුඩු සලිඳුය. ඔහු මේ වන විට ජීවත් වනුයේ ඩුබායි රාජ්‍යයේය. ඩුබායි සිට ඔහු  මහා පරිමාණ කුඩු ජාවාරම සිදුකරයි. ඔහු විසින් මුහුදු මාර්ග ඔස්සේ දකුණේ මුහුදු තීරවලට තොග ගණන් හෙරොයින් සහ අයිස් එව්වේය. මෙලෙස එවන මත්කුඩු, ජාවාරම්කරුවන් අතර බෙදා යැවෙන අතර පානදුර, පින්වත්ත, මොරටුව ආදී ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන විකිණෙන්නේ සලිඳුගේ කුඩුය.

මේ නිසා පානදුර හා ඒ අවට අණසක පතුරුවා ඇත්තේ සලිඳුය. ඔහුට එරෙහිව හා විරුද්ධව කටයුතු කරන ඕනෑම පුද්ගලයකුට මැරුම්කෑමට හෝ පහර කෑමට සිදුවනු ඇත.

සලිඳුගේ කුඩු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන් පුද්ගලයකු මීට කලකට පෙර ත්‍රීවීලරයකින් යද්දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා මරා දමනු ලැබීය. එමෙන්ම ඔහුට එරෙහි වූ තවත් කිහිපදෙනකුටම පහර කෑමට සිදුවිය. සලිඳුගේ කුඩු අදිමින් කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූ ගිලන් රථ රියැදුරකුද කුඩු සම්බන්ධ ඔත්තු පොලිසියට ලබාදීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයකට ලක්වුවද තුවක්කුව හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා ඔහුගේ ජීවිතය බේරිණි. මෙයද සලිඳු දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක්ය.

මේ අතර ඉකුත් 3 වැනිදා පානදුර පොලිස් වසමේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකුට තවත් යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් හිසට වෙඩි තබා මරා දමා තිබිණි. පසුව කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ එයද සලිඳුගේ කොන්ත්‍රාත්තුවක් බවය. මත්කුඩු විකිණීමෙන් ලැබූ  මුදල් හරිහැටි නොපියවීම නිසා සලිඳු විසින් ඩුබායි රාජ්‍යයේ සිට දෙනු ලබන මුදල් කොන්ත්‍රාත්තුවක් මත එම ඝාතනය සිදුවූ බවට පොලිසිය සැක පළ කළද ඊට සම්බන්ධ වූවන් මෙතෙක් කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවූයේ නැත.

ඒ අනුව කටුබැද්ද මංසන්ධිය අසල සිදුකළ වෙඩි තැබීමද සලිඳුගේ ක්‍රියාවක් බවට පොලිසිය සැකකරන්නේ මරාදැමුණු පින්වත්තේ උක්කුවා හිරෙන් නිදහස්ව පැමිණ සලිඳුගේ කුඩු ජාවාරම සියතට ගැනීමට උත්සාහ දැරීම නිසා බව පොලිස් විමර්ශකයන් අනුමාන කරයි.

පින්වත්තේ උක්කුවා ඝාතනය වන්නට දින අටකට කලියෙන් මැනිං වෙළෙඳපොළේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මරා දමන ලද සමන්ත ප්‍රදීප් නොහොත් අඹ ශානාගේ ඝාතනය සම්බන්ධයෙන්ද මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

අඹශානා මරා දමන්නේ ඉන්දියාවේ රැඳී සිටින කෙසෙල්වත්තේ ධනුක නමැත්තාගේ මෙහෙයවීම මත කුලී තුවක්කුකරුවන් යොදාගෙන බව පොලිසිය කියයි.

අඹශානාට මැනිං වෙළෙඳපොළ තුළදී වෙඩි තබන ආකාරය ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණි. නිලධාරීන් විමර්ශන ඇරැඹුවේ ඒ ඔස්සේය. එම දර්ශන දිගින් දිගටම නිරීක්‍ෂණය කළ නිලධාරීන් අනාවරණය කරගන්නේ එම රථය සිද්ධිය වන්නට පැයකට වැඩි කාලයක් කිසියම් පුද්ගලයකුගේ නිවෙසේ නතර කොට ඉන් පිටව මැනිං වෙළෙඳපොළට එන ආකාරයයි. විමර්ශන නිලධාරීන් එම නිවෙස කාගේදැයි සොයා බලද්දී අනාවරණය වූයේ එය හිටපු හමුදා කපිතාන්වරයකුට අයත් නිවෙසක් බවය. එම කපිතාන්වරයාගේ වතගොත සොයා බලද්දී විමර්ශකයන් හෙළිකරන්නේ ඔහු ඒ වන විටත් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ආරක්‍ෂක කළමනාකරු ලෙස සේවය කරන බවය.

මෝටර් රථයේ සවිකර ඇති ජී.පී.එස්. උපකරණ ආධාරයෙන් මෝටර් රථයේ ගමන් මාර්ගය ඔස්සේ විමර්ශන සිදුකළ නිලධාරීන් අඹ ශානා ඝාතනයට සහාය ලබාදුන් තවත් පුද්ගලයන් කිහිපදෙනකු කොටුකරගෙන ප්‍රශ්න කළද ඔවුන් තුවක්කුකරු සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් පවසා නොතිබිණි.

එසේ වුවද කප්පම් ගැනීම හා වෙනත් ක්‍රියා සම්බන්ධයෙන් කෙසෙල්වත්තේ දිනුක හා කෙසෙල්වත්තේ අඹ ශානා අතර තිබූ වෛරය නිමා වන්නේ දිනුක හෘදයාබාධයකින් මිය යෑමත් සමඟිනි. දිනුකගේ මරණයෙන් උද්දාමයට පත් ශානා ඒ වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත්ද උයා ඇති බව මේ වන විට දිනුකගේ කණ්ඩායමේ නවතම නායකයා වූ කෙසෙල්වත්තේ ධනුකට දැනගන්නට ලැබී තිබිණි. ධනුකත් දිනුකත් මිතුරන් වූ අතර  මාකඳුරේ මදුෂ් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ තමාටද එවන් ඉරණමකට මුහුණදීමට සිදුවිය හැකි බවට සැක කළ ධනුක ඉන්දියාවට පැන ගොස් තිබිණි.

ධනුක එහි සිට ගෝලබාලයන් යොදවා කෙසෙල්වත්ත හා ඒ අවට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම අපරාධ සිදු කරන්නට වූ අතර අඹ ශානාටද ඔහුගෙන් මරණ තර්ජන එල්ල වී තිබිණි. වරෙක අඹ ශානාට තැබූ වෙඩිල්ලක් ඔහුගේ ඥාති සොහොයුරකුට වැදීමෙන් ඔහු මියගියද අඹ ශානා ජීවිතය බේරාගත්තේය. කෙසේ වෙතත් එදා පටන් සිය ජීවිතය ගැන සැලකිල්ලෙන් සිටියද ඉකුත් 21 වැනිදා මැනිං වෙළෙඳපොළ තුළදීම ශානා නාඳුනන තුවක්කුකරුවන්ට ගොදුරු විණි. මේ නිසා මෙම ඝාතනය විමර්ශන නිලධාරීන් බැර කරන්නේ ඉන්දියාවේ සිටින කෙසෙල්වත්තේ ධනුකගේ ගිණුමටය. එහි සත්‍ය අසත්‍යතාව තහවුරු වන්නේ අඹ ශානාට වෙඩි තැබූ තුවක්කුකරු කොටුකර ගැනීමෙන් පසුවය.

මේ අතර පුද්ගල ඝාතනයට සම්බන්ධ එක් වෙඩික්කරුවකු මේ වන විට පොලිසියට කොටුවී හමාරය. ඒ වෙඩි ප්‍රහාරයට උපයෝගී කරගත් වාහන කිහිපයක්ද සමඟින්ය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉකුත් 05 වැනිදා තංගල්ල, මොරකැටිආරේදී කැබ් රියකින් ගමන්ගත් මත්කුඩු ජාවාරම්කරුවකු ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුය. ඔහු යුද හමුදා විශේෂ බළකායේ සෙබළෙක් වන අතර වසර 12ක කාලයක් යුද හමුදාවේ සේවයේ නියුතුව වෙඩි තැබීම හොඳින් ප්‍රගුණ කළ සෙබළෙකි.

සැකකාර සෙබළා ඉකුත් පස්වැනිදා තංගල්ල, මොරකැටිය ප්‍රදේශයේදී කැබ් රියක ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙක් ඉලක්ක කොටගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී. තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් පැමිණ එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් ඉලක්කගත පුද්ගලයා මරුමුවට පත්වූ අතර සෙසු තිදෙනා තුවාල ලබා බේරිණි. මෙය ද කොන්ත්‍රාත් මිනීමැරුමකි.

සැකකාර තුවක්කුකරු රුපියල් ලක්‍ෂ 8ක මුදලකට කොන්ත්‍රාත්තුව මත එම ඝාතනය සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබිණි.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක්කටා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවකු ලෙසද කටයුතු කරන බව වාර්තා වේ.

හරක්කටාට අයත් මත්කුඩු කිලෝ 300ක් බහුදින යාත්‍රාවකින්  ප්‍රවාහනය කිරීමට මෙම පුද්ගලයාද සම්බන්ධ වී ඇති අතර එම මත්කුඩු තොගය මුහුදේදී නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනිණි. ඒ අතර මෙම පුද්ගලයා පොලිසියට කොටුවූ අතර පසුව මොහු සාක්‍ෂිකරුවකු ලෙස යොදාගෙන තිබේ.

මේ බව දැනගත් හරක්කටා විසින් කුලී  තුවක්කුකරු ලවා මෙම පුද්ගලයා මෙලෙස ඝාතනය කර ඇතැයි කියති.

මේ අතර ඉකුත් 26 රාත්‍රියේ පෑලියගොඩ, පට්ටිය හන්දිය ප්‍රදේශයේදී “අත්තනායක” නමැත්තකුද වෙඩි තබා  මරා දමා ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් මුල්කරගෙන බව කියැවේ.

මොහු පොලිස් අත්තනායක නමින්ද සමහරු හඳුන්වති. ඒ කලක් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ හෙයිනි.

අරුණකාන්ත අත්තනායක නොහොත් පොලිස් අත්තනායක පොලිස් සේවයේ නිරතව සිටියදී පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් මත්කුඩු ජාවාරමේ නිරත වූ අයෙකි.

බැරල් සංඛ නමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ  සමීප සබඳතාවක් පැවැත්වූ අත්තනායක, පෑලියගොඩ ප්‍රදේශයේ පාතාල අපරාධකරුවකු වන ඩී. මංජු නමැත්තා ඝාතනය කිරීමට වරෙක සම්බන්ධ වී තිබේ. ඒ 2015 වසරේදීය. ඩී. මංජු නමැත්තාට වෙඩි තැබීමට තුවක්කුකරු ගිය යතුරුපැදිය පදවා තිබුණේ අත්තනායක බව කියයි. මේ සම්බන්ධයෙන් පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධියෙන් ඩී. මංජු දිවි ගලවා ගත්තේ බරපතළ තුවාල ලබාය. පසුව 2019 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ වත්තලදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී මංජු මැරුම් කා තිබිණි.

2019 වසරේදී මොහු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සිය සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මොහු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අත්බෝම්බයක්ද සමඟිනි. මේ නිසා කාලයක් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතවද සිට ඇත.

ඉකුත් 26 වැනිදා රාත්‍රියේ සිය දෙහැවිරිදි දරුවා හා බිරිය සමඟ රඹුටන් මිලදී ගැනීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පෑලියගොඩ, ගුරුකුල විද්‍යාලය අසලදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මොහු ඝාතනය කරන ලදී.

මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකුට මත්කුඩු විකිණීමෙන් පසු ලබාදිය යුතු මුදල් නියමිත පරිදි නොගෙවීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු කොන්ත්‍රාත් කුලී මිනීමරුවන් යොදා පොලිස් අත්තනායක නමැත්තා ඝාතනය කර තිබිණි. ඒ අතර ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද වේ. ඔහුට ලක්‍ෂ 20ක් ලබානොදීමද මොහුට තිබූ චෝදනා අතර වේ.

ඉකුත් මැයි මස 30 වැනිදා පිටකොටුව බැස්ටියන් මාවතෙන් ඇරැඹි මෙම වෙඩි තැබීමේ සිද්ධීන් දහතුන සම්බන්ධ වැදගත් තොරතුරු විමර්ශකයන් සතුව තිබුණද එක් වෙඩික්කරුවකු හැරෙන්නට සෙසු ඝාතන සිදුකළ තුවක්කුකරුවන් තවමත් නිදැල්ලේ පසුවෙති.

විමර්ශකයන් පවසන්නේ මෙම වෙඩි තැබීම් කිහිපයක්ම එකම තුවක්කුකරුවකු විසින් සිදුකර ඇති බවට සැක කරන බවය.

බැස්ටියන් මාවතේ සිදුකළ වෙඩි තැබීම අත්වැරැදීමකින් සිදුවූවක් බවට අනාවරණය වී තිබේ. තුවක්කුකරුවන්ගේ ඉලක්කය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්‍ෂි දුන් පුද්ගලයකු වුවද ලැබුණු තොරතුරට අනුව තුවක්කුකරුවන් වෙඩි තබා ඇත්තේ වෙනත් නඩුවකට අධිකරණයට පැමිණ එය අවසන්ව නිවෙස බලා යෑමට සිටි පුද්ගලයකුටය. ඔහු එතැනම මරුමුවට පත්වී තිබිණි.

පසුව තුවක්කුකරුවන්ගේ ඉලක්කය වැරැදී ගියද එම නඩුවේම තවත් සාක්‍ෂිකරුවකු වූ එම සාක්‍ෂිකරුවකුගේ මස්සිනා නාඳුනන තුවක්කුකරුවන් විසින් අලුත්ගමදී ඝාතනය කර තිබිණි. ඒ ඔහු තැඹිලි වෙළෙඳාම සිදු කරමින් සිටියදීය.

මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල ශාලා හිමිකරුට වෙඩි තබා මරා දමන්නේ පෞද්ගලික කෝන්තරයක් මත බව පොලිසිය සැක කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සෙබළා නමැති අයකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කළත් ඔහු මල්ශාලා හිමිකරු ඝාතනය කළ තුවක්කුකරු නොවන බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණ තිබුණේ මෝටර් රථයකිනි.

අන්දුබදු කුරුඳුපටබැඳිගේ ප්‍රභාත් මංජු නමැති මල්ශාලා හිමිකරු මීට පෙර ඇඹිලිපිටිය ප්‍රදේශයේ මල්ශාලාවක සේවය කර ඇති අතර මෑතකදී ඔහු තමන්ට කියා අවමංගල ශාලාවක් මිද්දෙණිය පොලිස් වසමේ විවෘත කර තිබේ. 26 වැනිදා උදෑසන එම මල්ශාලාව විවෘත කිරීමට පැමිණි මොහොතේදී වෑන් රියකින් පැමිණි තුවක්කුකරු මොහු වෙඩි තබා ඝාතනය කෙරිණි. ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසියේ සැකයයි. කෙසේ වෙතත් මොහු ඝාතනය කර තිබුණේ ටී. පනස්හය වර්ගයේ ගිනි අවියකිනි.

මේ අනුව මැයි 30 පිටකොටුව, ජුනි 3 පානදුර, ජුනි 3 අලුත්ගම, ජුනි 4 අහංගම, ජුනි 5 තංගල්ල, ජුනි 6 මෝදර, ජුනි 14 වත්තල, ජුනි 21 පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ, ජුනි 26 මිද්දෙණිය, ජුනි 26 පට්ටියහන්දිය ජුනි 29 කටුබැද්ද සහ ජුනි 30 කොලොන්නාවේදී මෙම මිනිස් ඝාතන සිදුවිණි.

නාඳුනන තුවක්කුකරුවන් මසක් ඇතුළතදී දිගින් දිගටම සිදුකරන මෙම මිනිස් ඝාතනවල නතරවීමක් තවමත් දක්නට නොමැති බව පෙනේ. මෙම තුවක්කුකරුවන් අතර ටී. පනස් හය ගිනි අවිද සංසරණය වීම බරපතළ ප්‍රශ්නයකි. නාඳුනන තුවක්කුකරුවන් විසින් දිගින් දිගටම සිදු කරන මෙම මිනිස් ඝාතනවලට තිත තැබීමට පොලිසිය හෝ ආරක්‍ෂක හමුදා ක්‍රියා නොකරන්නේ නම් ඊළඟට මෙම තුවක්කුකරුවන්ට කවුරුන් බිලි වේදැයි සිතාගත නොහැකිය.

කලක් පාතාල කෙරුමන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර තිබුණෙත් මර බියකි. ඒ දිගින් දිගටම පාතාල කෙරුමන් පොලිස් හෝ ආරක්‍ෂක හමුදා අතර ඇතිවූ වෙඩි හුවමාරුවලදී ඝාතනය වීම නිසාය. පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසි දිනක නීතිගරුක පුද්ගලයන් වන්නේ නැති බව පැහැදිලිවම දන්නා දෙයකි.

එසේ නම් අවි ගත් මෙවන් තුවක්කුකරුවන්ට පිළිතුරු දිය යුත්තේ අවියෙන්මද යන්න හොඳින් සිතා බැලිය යුත්තකි.

 කීර්ති මෙන්ඩිස්