තමන්ගේම සිරුරේ මස් කඩාගෙන කාපු භූතයෝ 7ක් එක්ක ජීවත් වුණු ඇනා එළිසබෙත්

0
345

ඇනා එළිසබෙත් මිචෙල් එහෙමත් නැතිනම් ඇනලීසාගේ සිදුවීම මීට වසර ගණනාවක සිට පැවැත එන සුලමුලක් සොයා ගැනීමට නොහැකි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්නට පවා අපහසු සිදුවීමක්. අතීතයේ සිටම අපි ආගමික විශ්වාස, ඇදහිලිවලට පුරුදු වී සිටි වර්ගයක්නේ. ඉතින් ඒක ලංකාවට පමණක් කොටු වූ කාරණයක් නෙවෙයි.

මුළු මහත් ලෝකයෙන් වැඩි පිරිසක් ආගම් සමඟ ඇදහිලි, විශ්වාස සමඟ ජීවත් වෙනවා. ඉතින් මේ අපි කිසි දිනක ඇසට නොදැකපු ඇදහිලි, විශ්වාස  ඇස් ඉස්සරහම වෙනවා වගේ දැනුණොත් මොනව වෙයිද. අපේ ඇතැමෙක්ට ඔය හොල්මන් පේනව කියන කතාවත් අන්න ඒ වගේ එකක්නේ. මොකද මැරුණට පස්සෙ ආත්මය සැරිසරනවා කියන විශ්වාසය තිබෙන නිසා සමහරු හොල්මන් දැක්කා කියලා කියනවා. ඒ වගේම හොල්මන් දැකලා බය වුණු අයව ශාන්තිකර්ම මඟින් සුව කරනවත් දැකල තිබෙනවා. ඉතින් මේවා ඇත්තද, මේවා විශ්වාස කරන්න පුළුවන් කුමන පදනමක් මතද කියන එක ගැන කවමදාකවත් සිතල නැහැනේ.

අද මේ කියන්න යන ඇනලීසාගේ සිදුවීමත් එවැනිම වූ කිසිවිටක විශ්වාස කළ නොහැකි සිද්ධියක් වගේම ඉතාමත් භයානක මුහුණුවරක් සහ අවසානයේ අවාසනාවන්ත ඉරණමකින් නතර වූ සිද්ධියක්. ඉතින් මේ ඇනලීසාගේ කතාව සම්බන්ධයෙන් ලෝකයේ බොහොමයක් චිත්‍රපට අද වන විටත් නිර්මාණය වෙනවා වගේම ඒවා බොක්ස් ඔෆිස් ලාභී චිත්‍රපට බවටද පත්වී තිබෙන්නේ මේ ඇනලීසාගේ කතාව ඒ තරම්ම කුතුහලයක් සහ කිසිවකුට සොයා ගැනීමට අපොහොසත් වුණු ප්‍රශ්න මාලාවක් ඉතුරු කළ නිසාම වෙන්නට ඇති.

මේ සියලුම දේ ආරම්භ වන්නේ 1952 වර්ෂයේදීයි. එනම් 1952 වර්ෂයේ සැප්තැම්බර් 21 වැනි දින තමා ඇනලීසා මෙලොව එළිය දකින්නේ. ඇය ඉපදුණු දින සිටම මවුපියන් නොසෑහෙන ලෙස ආදරය කළ අතර ටික ටික ලොකු වෙන ඇනලීසාට පවුලේ කොයි කවුරුත් ආදරය කරන්න ගත්තේ ඇයගේ කුඩා කාලයේ තිබූ හුරුබුහුටි පෙනුම නිසාවෙනුයි. පාසල් යන වයසට පැමිණි ඇනලීසා පාසලේද කැපී පෙනෙන ළමයකු වූ අතර ඇයට මිතුරන්ද ගොඩක් සිටියා. ඇය පාසලේ දක්‍ෂතම සිසුවා නොවුණත් ඇයට ලැබෙන එදිනෙදා වැඩ කරගනිමින් පාසලේ නමක් තබන්න හැකියාව ලැබෙනවා. මෙලෙස කාලය ගත වී යත්ම නව යොවුන් වියේ තරුණියක් ලෙස ඇය කාගෙත් ආදරයට පාත්‍ර වුණේ ඇයගේ රූමත් බව නිසාවෙන්මයි.

ඒ වගේම ඇය ජර්මන් ආභාසයක් තිබෙන කතෝලික පවුලකින් පැවැත එන දරුවෙක් නිසා ඇයට ආගම ගැන ළැදියාවක්, භක්තියක්ද තිබූ අතර පවුලේ මව සහ පියා මෙන්ම ඇනලීසාද දෙවියන් විශ්වාස කළා. ඇයගේ පියා පල්ලියේ ලොකු කාර්යභාරයක් කිරීමේ තනතුරක් සඳහා පුහුණු වූ කෙනෙක් වගේම ඇයගේ නැන්දලා තුන් දෙනෙක්ම කන්‍යා සොහොයුරියන්ද වූවා. ඉතින් මේ පවුලේ ආගමික පසුබිම ගැන තවත් කතා කිරීමට අනවශ්‍යයි. මොකද මේ විස්තර ටිකම ඇති මේ අය තමන්ගේ ආගමට කොතරම් ආදරය කළාද යන්න තේරුම් ගන්න නම්. ඒත් මේ ඇනලීසාගේ ලස්සන එන්න එන්නම නැති වෙලා ගිහින් අවසානයේදී ඇයට වයස 23ක් වැනි ඉතාමත් කෙටි ජීවිත කාලයකින් මෙලොව අතහැර යෑමට සිදු වෙනවා. ඉතින් මේ හැම දේම පටන් ගන්නේ ඇය නව යොවුන් වියට පා තැබීමත් සමඟයි. සාමාන්‍ය නව යොවුන් වියේ තරුණියන් වගේ ඇයත් ක්‍රියාශීලීව ශක්තිමත්ව දුවල පැනල සිටියා.

ඉතින් ඇයගේ මේ වෙනස් වීම ආරම්භ වූයේ ඇයට වයස 16ක් වගේ කාලයේදීයි. ඒ කියන්නේ වර්ෂ 1968දී ඇය එක පාරම රෝගී තත්ත්වයකට භාජන වූවා. ටිකක් කෙට්ටු වෙන්න ගත්තා. මේක ටිකක් විතර සැක සහිත නිසා මවුපියන් වෛද්‍යවරු ළඟට රැගෙන ගියත් වෛද්‍යවරු පැවැසුවේ මේ වයසට ගැහැනු ළමයි වෙනස් වෙනවා, ඒක සාමාන්‍යයි. ඒ නිසා බය නොවී ඉන්න කියල. ඉතින් ඇත්තටම වයස 16 වගේ කාලයේදී සාමාන්‍යයෙන් ගැහැනු ළමයි කෙට්ටු වෙනව මහත් වෙනවා. ඒක ඒ වයසට වෙන දෙයක්. ඒත් ඇනාට එහෙම දෙයක් නෙවෙයි වුණේ. ඇත්තටම මේ සිද්ධ වෙන්න යන්නේ ලෝකයේ සිදුවූ දුක්ඛිතම සිදුවීමක මුල් ආරම්භයයි. මෙහෙම කාලය ගෙවුණා. ඇය හොඳ සෞඛ්‍යයක් තිබෙන කෙනෙක් සේ ජීවත් වූවා. ඒත් නැවත වාරයක් ඇයගේ ඇඟපත වේදනාවක් පැමිණියා.

මේ බව මවුපියන් වෙත කියූ අතර ඔවුන් දින දෙකක් පමණ බලල වේදනාව අඩු නොවූ නිසා වහාම වෛද්‍යවරයෙක් වෙත ගියා. වෛද්‍යවරයා නැවත වාරයක් පරීක්‍ෂා කර බැලූ අතර කිසිම රෝගී තත්ත්වයක් ඇයට නොතිබූ නිසා ඇයට ඇඟපත වේදනාවට වේදනා නාශක පෙති වගයක් ලබා දුන්නා. ඉතින් මවුපියන් එතැනින් තෘප්තිමත් නොවූ නිසා 1969 වර්ෂයේදී වෙනත් වෛද්‍යවරයෙක් වෙත ගියා. ඔහුගේද නිගමනය වූයේ ඇයට කිසිම රෝගී තත්ත්වයක් නොමැති බවත් ඇය සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි. ඉතින් ඇත්තටම මොකද්ද මේ වෙන්න යන්නේ, මොනවද මේ වෙන්නේ කියන එක මවුපියන්ට සිතාගන්න බැරි වුණා. ඇනා යම් කිසි දෙයකින් සැඟවීම සඳහා මෙවැනි බොරු ලෙඩ කියනවාද යන්න මවුපියන් සැක කළා. මොකද නව යොවුන් වියේ ළමයි සාමාන්‍යයෙන් පාසලේ යම් යම් දේවල්වලට සහභාගි වීමට අකැමැති වීම හේතුවෙන් බොරු ලෙඩ හදාගන්නවනේ. ඒත් මේක එහෙම වුණේ නෑ.

පස්සේ මවුපියන්ටම තේරුණා ඇනාට යම් කිසි රෝගී තත්ත්වයක් තිබෙනවා කියලා. ඒ නිසා වෛද්‍යවරුන්ට කරන්න බැරි වූ දේ පල්ලියේ පූජකවරු ලවා කරගන්න උත්සාහ කළා. කොහොමත් පේන දෙයියොන්ට කරන්න බැරි වුණාම නොපෙනෙන දෙවියන්ගේ පිහිට පතන එක මිනිසාගේ හැටියක්නේ. ඒ නිසාම පූජකයන්ද උපරිම උත්සාහ ගෙන රෝග සුව කිරීමට උත්සාහ කළ අතර ඇය ටික දවසකින් යම්තාක් දුරට සුව අතකට හැරුණා. ඔහොම ටික ටික ඇනා සුව වෙවී නැවත ලෙඩ වෙවී ගත කළ අතර වසරක් ගත වී 1970ට පැමිණියා.

ඇයගේ රෝගය මේ කාලයේදී උත්සන්න වී තිබුණා. හිටියට වඩා භාගෙකටත් වඩා ඇයගේ බර අඩු වී තිබුණා. ඉතින් මේ රෝගය කුමක්ද යන්න කිසිම වෛද්‍යවරයකුට සොයා ගන්නට නම් බැරි වුණා. ඇත්තටම ඒ කාලේ තිබ්බ වෛද්‍ය තාක්‍ෂණය අනුව සොයා ගන්න බැරි වුණාද නැතිනම් ඇත්තටම මේක නොපෙනෙන බලවේගයකින් සෑදුණු රෝගයක්ද යන්න හිතාගන්නට බැහැ. මේ තත්ත්වය එන්න එන්නම බරපතළ වීගෙන ගියා.

ලෙඩ සුව වෙන පාටක් නම් පෙනෙන්නට තිබ්බෙම නැහැ. වර්ෂ 1972 වන විට ඇනාගේ රෝගය උත්සන්නම අවස්ථාවන් වෙත පැමිණීම නිසා ඒ කාලයේ ඇයගේ මවුපියන් සිටියේ මහත් කනස්සල්ලෙනි. දිගින් දිගටම වෛද්‍යවරු සහ මිථ්‍යා විශ්වාස වගේම ආගමිකව ලෙඩ සුව කරන අය ළඟට ගියත් කිසි විදිහකින් මේ රෝග සුව කිරීමට නොහැකි වුණා. වෛද්‍යවරු නම් දිගින් දිගටම කියා සිටියේ මොළේ ක්‍රියාකාරිත්වය සාමාන්‍යයි, මෙන්ම ඇයට රෝගයක් තිබෙන බවට සොයා ගැනීමට නොහැකි බවයි.

මේ වෙනකම් ඇනා ඇයගේ රෝගය සුව වේ යැයි හිතාගෙන හිටියත් ඒක එහෙම වුණේ නැහැ. 1972 වර්ෂය වෙනකොටත් සෑහෙන වෛද්‍යවරු ප්‍රමාණයක් ඇනාට ප්‍රතිකාර කර තිබූ අතර ඇය ඔවුන්ට තමන්ගේ රෝග ලක්‍ෂණ ප්‍රකාශ කළත් ඇය 1973 වර්ෂයේදී රෝගය නිසා ඇති වී තිබෙන වේදනාව ප්‍රකාශ කළේ ගැඹුරු වේදනාත්මක හඬකිනුයි. ඇයව පරීක්‍ෂා කරන්න පැමිණි වෛද්‍යවරයාට ඇය එදින කියා සිටියේ තමා තුළ යක්‍ෂයකු ගැබ්ගෙන සිටින බවත් ඇයට ඒ යක්‍ෂයා ලොකු වේදනාවක් ගෙන දෙන බවයි. එමෙන්ම ඇයට මලපහ සහ මුත්‍රා ගන්ධයක් නිතරම දැනෙන බවට වෛද්‍යවරයාට පවසා සිටියා.

ඉතින් මෙන්න මේ සිදුවීමෙන් පසුව ඇනා දිගින් දිගටම කියා සිටියේ ඇයගේ ඇඟ තුළ යමෙක් ඉන්නාක් මෙන් දැනෙන බවයි. මේ නිසා බියට පත්වූ මවුපියන් වැඩි වැඩියෙන් ආගමික පැත්තෙන් ඇයගේ ලෙඩ සුව කරන්න පෙලඹුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් වෛද්‍යවරයාට අමතරව ඇනාව සුව කිරීමට පූජකවරයෙක්ද එක් වුණා. ඇතැම් වෛද්‍යවරු ඇය අපස්මාර රෝගය උත්සන්නම වූ රෝගියෙක් ලෙස සැලකුවද තවත් වෛද්‍යවරුන් කියා සිටියේ මෙවැනි රෝග ලක්‍ෂණ තිබෙන රෝගයක් මින් පෙර දැක නැති බවයි.

වර්ෂ 1973 – 1975 කාලය තුළදී ඇනාගේ ශරීරයේ මෙන්ම මානසිකවද බිඳ වැටීම්වලට ලක්වූ අතර ඇනා කරන කියන දෑ ගැනද ඇයට දැනීමක් නැති බවක් මවුපියන්ට දැනුණා. මොකද ඇනා කියන්නේ බුද්ධිමත් ළමයෙක් වුවත් 1975 වර්ෂයේ හැසිරුණේ වනචාරි ළමයෙක් විදිහටයි. මේ කාලය වෙනකොට ඇය ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබුණා මෙන්ම දින දෙක තුන රාත්‍රි කාලයේ ඇහැරගෙන ඉන්න පුරුදු වී සිටියා.

එමෙන්ම ඇය සාමාන්‍ය ආහාර ප්‍රතික්‍ෂේප කර මැස්සන්, මකුළුවන්, කැරපොත්තන් වැනි කුඩා සතුන් ආහාරය කරගත් අතර අඟුරු වැනි දේද ආහාරයට ගන්න හුරු වුණා. ඒවා වැළැක්වීමට එන මවුපියන්ට පහර දීමටද  ඇය දෙවතාවක් සිතුවේ නැහැ. ඒ වගේම වරක් ඇය දින දෙකක් නිවෙසේ තිබෙන මේසයක් යටට වී සතෙක් මෙන් කාලය ගත කළා. බල්ලකු මෙන් බුරනවා වගේම ආහාර ගැනීමද එලෙසම සිදු කළා. මේ කාලය වෙනකොට ඇනාගේ ශරීර බර සෑහෙන අඩුවී තිබුණා. බලන කෙනෙක්ට ඇයව පෙනුණේ ඇට කටු ගොඩ උඩින් තියෙන හම ගොඩක් විදිහට පමණයි.

ඉතින් මේ තරම් කෙට්ටු ශරීරයක් හිමි ඇනා මානසිකවද ඒ හා සමානව දුබල වී සිටියා. ඉතින් ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරු නම් කියා සිටියේ ඇය දුර්ලභ මානසික රෝගයකින් පෙළෙන බවයි. එම රෝගය ඇතැම් විට අලුතෙන්ම සොයා ගන්නා ලද රෝගයක් වෙන්නටද පුළුවන් බව ප්‍රකාශ කළත් ඇයට සහාය වීමට නම් වෛද්‍යවරුන්ට හැකියාව කිසිම වෙලාවක ලැබුණේ නැහැ.

ඇය කායික වශයෙන් දුර්වල වී සිටියද ඇය ඇත්තෙන්ම දුර්වල බවට ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. එයට හේතුව නම් ඇයගේ වැඩවලට බාධා වන ලෙස මැදිවූ මවුපියන්ට එල්ල කළ පහරවල් ඉතාම දරුණු පහරවල් වීම. අනෙක් කාරණය නම් ඇය තනි අතින් ඇපල් ගෙඩියක් මිරිකා හරිනවා ඇයගේ බාල සහෝදරිය දැක තිබෙනවා. ඉතින් මෙතරම් දුර්වල වී සිටි ඇනාට කායික වශයෙන් මෙතරම් ශක්තියක් ලැබුණු ආකාරය නම් පැහැදිලි කිරීමට අපහසුයි. එමෙන්ම මානසික රෝගයක් යැයි ප්‍රකාශ කළද වෛද්‍යවරුන්ට 100%ක් නිවැරදි කියා නිගමනයකට එළ ඹෙන්නට හැකියාවක් නැහැ.

1975 වර්ෂයේ සැප්තැම්බර් 24 වැනි දින ඇනලීසාගේ සුවයක් නොදුටු මවුපියන් වෛද්‍ය ප්‍රතිකාර සියල්ල අතහැර දමා සම්පූර්ණයෙන්ම පූජකවරු හරහා කර ගැනීමට තීරණය කළා. මොකද ඇය නිතරම ශරීරය තුළ යක්‍ෂයෙක් සිටින බවට කියූ නිසා. ඉතින් ඇනාගේ නිවෙසට එදින පැමිණි පූජකයන් මව සහ පියා සමඟ ඇයගේ රෝගය ගැන බැලීමට අවශ්‍ය දේ ගෙන ඇතැයි විමසූ අතර සුළු මොහොතකට පසු ඇයගේ ශරීරයේ ගැබ් වී සිටින යකා කවුදැයි බැලීමට පූජකයන් සියල්ල සූදානම් කිරීමට පටන් ගත්තා.

මේ විදිහට එදින ඇනා ගැන සොයා බැලූ පූජකයන්ටද අදහාගත නොහැකි ආකාරයේ දෙයක් සිදු වූවා. පූජකවරු සොයා ආවේ ඇනාගේ ශරීරයේ සිටි යක්‍ෂයා වුවත් ඔවුන් පැමිණ යක්‍ෂයා පලවා හැරීම ආරම්භ කොට පසුව දැනගන්නට ලැබෙන්නේ ඇනාගේ ශරීරය තුළ එක් යක්‍ෂයෙක් නොව යක්‍ෂයන් හත් දෙනකු සිටින බවයි. ඉතින් මේ සිටින්නේ ඇත්තටම යක්‍ෂයන්ද නැත්තන් වෛද්‍යවරු පැවැසූ ආකාරයට ඇනාට මානසික රෝගයක්ද. ඒ කොහොම වුණත් ඇයගේ ශරීරයේ ගැබ් වී සිටි යක්‍ෂයන් මෙසේය.

1 Judas (ජේසුතුමාව පාවා දුන් කෙනා)

2. Nero (රෝමයේ කෘෘර පාලකයෙක්. ඔහු කතෝලිකයන් අමු අමුවේ පිලිස්සූ පුද්ගලයෙක්)

3. Cain (ආදම් සහ ඒවාගේ පුත්‍රයකු වූ අතර බයිබලයට අනුව ලෝකයේ පළමු ඝාතනය සිදු වූවා යැයි සැලකෙන්නේ මොහු අතිනුයි. ඒ ඔහු ඔහුගේම සහෝදරයා ඝාතනය කිරීමෙන්)

4. Hitler (ජර්මනියේ නාසි හිට්ලර්)

5. Belial අපායේ සිටින යක්‍ෂයෙක්)

6. Lucifer (දිව්‍යලෝකයේ සිට අපායට වැටුණු දේව දූතයෙක්, එමෙන්ම අපායේ පාලකයන්ගෙන් කෙනකු බවටද සැලකේ)

7. Valantine Fleishman (පූජකයෙක්)

ඉතින් මේක බලා සිටින අයට වගේම මම මේ ලියන කතාවත් අදහාගත නොහැකිව හෝ විශ්වාස නොකරන අය සිටිනවා ඇති. ඒ දේ කියැවෙන ඔබට භාර කරන අතර මෙහි සත්‍යතාව මා නොදන්නා නමුත් ඇනා 1975දී මේ යක්‍ෂයන් පලවා හැරීමට ආ පූජකයන් සමඟ ඉහත කියූ අයගේ හඬ විලාසයන්වලින් කතා කිරීමට පටන් ගන්නවා. ඒ සියලුම දේට එදින පැමිණි පූජකයන් පිළිතුර දෙන අතර ඇනාගේ කටහඬ ඒ අවස්ථාවේ ඉතාමත් බියජනක ස්වභාවයක් ගන්නවා. ඉතින් ඇනාගේ ශරීරයේ සිටි යක්‍ෂයන් හත් දෙනා සහ පූජකයන්ගේ සංවාදය ඔයාලටත් අහන්න අවශ්‍යම නම් Youtube එකේ Real Anneliese Michel 6 Demons යනුවෙන් Search කරන්න.

ඉතින් මේ වෙනකොටත් ඇනාගේ ඇස් යට කළු වෙලා මූණ සුදුමැලි වෙලා ඇකිළිලා ගිහින් විශාල වශයෙන් දුර්වලව පෙනෙන ශරීරයක් තිබුණත් ඇයගේ ශරීර ශක්තියේ නම් කිසිම විදිහකින් අඩුවක් තිබුණේ නැහැ. මොකද එදින ඇයව බැලීමට ආ පූජකයන්ට අවශ්‍ය ලෙස ඇනාව පාලනය කරන්න හොඳින් වැඩුණු මිනිසුන් කිහිප දෙනෙක්ම අවශ්‍ය වුණා. මක් නිසාද ඇයගේ ශරීරය කටු ගැසී තිබුණද ඇයට දෙතුන් දෙනෙක් සමඟ වුණත් පොර බදන්න පුළුවන් තරමේ ශරීර ශක්තියක් තිබුණා.

ඒ වගේම ඇය නිතරම තමන්ගේ ඇඳුම් ඉරාගන්න පුරුදු වෙලා හිටියා. මෙවැනි වනචාරියකු ලෙස ජීවත් වූ ඇනාගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණා. වෛද්‍යවරුන්ගෙන් මෙන්ම පූජකයන්ගේද සහාය නැතිව ඇනාගේ මවුපියන් අසරණ වුණා. ඔවුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ගියාක් මෙන් දැනෙන්නට ඇති. මක් නිසාද මේ මාරයා අසල සිටින්නේ ඔවුන්ගේ දරුවා නිසා. ඉතින් මෙලෙස කාලය ගත වී ගොස් 1976ට පැමිණියා.

1976 වර්ෂයේ මැයි මාසය වන විට ඇනලීසාගේ තත්ත්වය උග්‍රව නරක අතට හැරුණා. මේ වනතෙක් එතරම් ප්‍රචණ්ඩ නොවුණු ඇනලීසා මේ වනවිට ප්‍රචණ්ඩත්වයෙන් ක්‍රියා කරන්න පටන් අරන් අවසන්. ඇයගේ වැඩවලට බාධා කරන අයට පමණක් නොව ඇය අසලට පැමිණෙන ඕනෑම කෙනෙක්ට ඇය පහර දීමට මේ කාලයේදී දෙවරක් සිතන්නේ නැහැ. එමෙන්ම ඇයගේ වේදනාව නිසා ඇය ඇයවම සපාකෑමට තරම් සාහසික වීම ඇරඹුණා. අත පයවලින් ලේ එන තුරු මස් කෑලි කැඩී වෙන් වෙන තෙක්ම ඇය තමන්ගේම ශරීරය සපා කන්නට වුණා.

ඉතින් මේ විදිහේ වැඩ දිගින් දිගටම වෙන නිසාම ඇනලීසාව ගැට ගසා තැබීමට ඇයගේ මවුපියන් විසින් තීරණය කළා. ඒ වගේම කිසිම ආහාරයක් ගැනීමට ඇය කැමැත්තක් දැක්වූයේ නෑ. පෙර මෙන් සතුන් අල්ලා කෑමට නම් ඇය ගොඩක් ආස කළා. ඒකට හේතුව විදිහට ඇනලීසා දුන්න උත්තරය තමා ඇයගේ ශරීරය ඇතුළේ ඉන්න භූතයන් ඇයට කෑමට අවසර නොදීම යන කාරණය. ඔවුන් කියන පරිදි ඇය නොසිටියහොත් එම යක්‍ෂයන් ඇයටද වේදනා පමුණුවා ඇයව මරණය වෙත ගෙන යනවා යැයි පවසන නිසා ඇය ඔවුන් කියන දේ දිගින් දිගටම සිදු කරන බව පවසා සිටියා.

ආහාර නොගැනීම නිසා ඇයගේ බර ශීඝ්‍රයෙන් අඩුවී ඇති නිසා පිරිපුන් රූමත් කාන්තාවක්ව සිටි ඇනලීසා මේ වනවිට වයස 60ක 70ක මහලු කාන්තාවකගේ මෙන් ඇස් ගිලී කම්මුල් වේළී ගියපු ස්වභාවයක් අරන් තිබුණා. ඒ වගේම ඇයගේ ශරීර උෂ්ණත්වය පවා ශීඝ්‍රයෙන් ඉහළ ගිහිනුයි තිබුණේ. සෑම දෙයක්ම සමාන්‍ය මිනිසකුට වඩා වෙනස් විදිහටයි තිබුණේ.

1976 ජූලි 1 වැනි දින ඇය නිදා සිටි ඇඳේම මිය ගොස් සිටියේ ආගමික ශාන්තිකර්ම 67ක් සහ වෛද්‍යවරුන් සෑහෙන පිරිසකගේ පරීක්ෂාවෙන් පසුවයි. ඒ වගේම ඇයගේ ප්‍රචණ්ඩත්වය නිසා දණහිසේ අස්ථි බිඳීමකුත් සිද්ධ වෙලා තිබෙනවා. මොකද ඇනා මේ රෝගය නිසා දරදඬු කාන්තාවක් බවට පත්වී ඇය ඇයටම රිදවාගත් නිසා. වෛද්‍ය පරීක්‍ෂණවලින් හෙළිවුණු විධියට මන්දපෝෂණය, උණ, නිවුමෝනියාව වගේ රෝගවලටත් ඇය ගොදුරු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ මරණයෙන් පස්සේ ඇයගේ පියාට සහ පූජකවරුන්ට මිනීමැරුම් චෝදනා පවා ගොනු වෙන්නේ නිසි වෛද්‍යවරයෙක් වෙත යොමු නොකර ගොඩ වෙදකම් සහ ශාන්තිකර්ම පසුපස ගිය නිසාවෙනුයි. මොකද ඇගේ පියා දැඩි ආගම් භක්තිකයෙක් වූ නිසා වෛද්‍යවරුන්ගේ කීමට වඩා පූජකයන්ගේ කීම විශ්වාස කළා.

මොකද ඉතින් නොදකින භූතයන් විශ්වාස කිරීමට වෛද්‍යවරු සහ අනික් පුද්ගලයන් කැමැති වුණේ නෑ. මොකද මේ සිදුවීමත් නූතන විද්‍යාව මඟින් විසඳුම් හොයන්න ගත්ත නිසා. කොහොම වුණත් මිය ගියායින් පස්සේ කරපු පරීක්‍ෂණවලින් ඔප්පු වෙනව ඇයට කිසිම මානසික රෝගයක් තිබුණේ නෑ කියලා. මොකද මියයනකම්ම ඇගේ මොළය නිරෝගී පුද්ගලයකුගේ මෙන්ම තිබුණා කියල තමා වෛද්‍යවරු කියන්නේ.

ඉතින් විද්‍යාවද මිථ්‍යාවද කියන මාතෘකා දෙක අතර මේ සිදුවීම ‍ෙදා්ලනය වෙන නිසා අදටත් කිසිම පිළිතුරක් දීමට කිසිම පුද්ගලයෙක් සමත් වෙන්නේ නැහැ.

භූතයන් සහ විද්‍යාව යන කාරණා දෙකම එකතු කරල පෝස්ට් එක ලිව්වා. හරි කෝකද වැරදි කෝකද කියන එක තීරණය කරන එක ඔයාලට භාරයි.

ඇනා එළිසබෙත් මියයන්න පෙර රාත්‍රියේ එනම් 1976 වර්ෂයේ ජුනි 30 රාත්‍රියේ ඇයගේ මවට අම්මේ මට බයයි යනුවෙන් ප්‍රකාශ කරල තිබෙනවා. මිය යන විට ඇයට වයස අවුරුදු 23යි.

ධනංජය මදුශාන්