ජූලි 12 වැනිදා නැවත මකරයට යන සෙනසුරුගෙන් අද්භූත අත්දැකීමක්

0
566

දැනට කුම්භ රාශිය තුළ වක්‍ර චලිතයක යෙදෙන ශනි ග්‍රහයා 2022 වසරෙහි ජූලි 12 වැනිදා ප.ව. 2.50ට මකර රාශිය කරා ප්‍රවේශ වන්නේ තම වක්‍ර චලිතය තුළම යෙදෙමින් අසාමාන්‍ය ලෙසය. මෙසේ මකර රාශිය කරා පිවිසෙන ශනි ග්‍රහයා 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා ප.ව. 06.03 වන තෙක්ම තම මකර රාශි චලිතය පවත්වාගෙන යයි.

මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි ජූලි 12 වැනිදා ආශ්‍රිතව සහ 2022 වසරෙහි ජූලි 12 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ බලාපොරොත්තු රහිත අද්භූත හෝ අසාමාන්‍ය සිදුවීමකට ඉඩකඩ පවතින බව පෙනේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි ජූලි 12 වැනිදා ආශ්‍රිත දින කිහිපය තුළ හදිසියේ සිදුවන බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට ඉඩකඩ පවතින බවද පෙනේ.

ඉහත කාල සීමාවන් තුළ දේශපාලන ක්‍ෂේත්‍රය තුළද සුළු වශයෙන් හෝ කැලඹීම්වලට ඉඩකඩ පවතින බව පෙනේ. එමෙන්ම මෙම ග්‍රහ  ගෝචරයට අනුව 2022 වසරෙහි ජූලි 12 වැනිදා ආශ්‍රිතව වර්ජන, උද්ඝෝෂණ ආදිය නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ පවතින බව පෙනේ. මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි ජූලි 12 ආශ්‍රිත දින කිහිපය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධව ආන්දෝලනාත්මක සහ අසුබ ආරංචි ලැබෙන්නට ඉඩකඩ ඇත.

මීට අමතර ලෙස ඉහත කී ආකාරයට ශනි වක්‍ර චලිතයක මකර රාශියට පිවිසීමට අනුව 2022 වසරෙහි ජූලි 12 වැනිදා ආශ්‍රිත දින කිහිපය තුළ රටම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයකුට ඇති වන බලගතු අපලයක් පෙන්නුම් කෙරේ. මෙම ග්‍රහ ගෝචරයට අනුව ඉහත කාලසීමාව තුළ උගතුන්ට, බුද්ධිමතුන්ට, අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය ක්‍ෂේත්‍රවලට, අධ්‍යාපනවේදීන්, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ප්‍රධානීන්ට බලගතු අපල ඇති වීමේ අවදානමක් ඇති වේ.

සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව මිථුන, කටක, මකර සහ කුම්භ යන ලග්න හිමියන්ට 2022 වසරෙහි ජූලි 12දා අවට දිනවල වෙනදාට වඩා පරීක්ෂාකාරීව කාලය ගත කිරීම නුවණට හුරු වේ. විශේෂයෙන් කටක සහ කුම්භ යන ලග්න හිමියන්ට 2022 වසරෙහි ජූලි 12 වැනිදාත් 2023 ජනවාරි 17 වැනිදාත් අතර කාලසීමාව බෙහෙවින් තීරණාත්මක වෙයි. එනම් එම කාලසීමාව තුළ ඔවුන්ට රැකියාවේ උසස්වීම්වලට හෝ රැකියාවේ වෙනස් වීම්වලට හෝ වෙනත් ජයග්‍රහණවලට ඉඩ ඇතිවා වුවද බලගතු අභියෝගවලට හෝ බලගතු බාධාවලටද මුහුණ දීමටද සිදුවනු ඇත.

විශේෂයෙන් සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2022 වසරෙහි ජූලි 12 වැනිදා අවට දිනවලට අමතර ලෙස කටක සහ කුම්භ යන ලග්න හිමියන් 2022 වසරෙහි ඔක්තෝබර් 23 වැනිදා අවට දිනවලද, 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා අවට දිනවලද වෙනදාට වඩා පරීක්ෂාකාරීව කාලය ගත කිරීම නුවණට හුරුය. කටක සහ කුම්භ ලග්න හිමියන් තරම්ම නොවුණද මිථුන සහ මකර යන ලග්න හිමියන්ද 2022 වසරෙහි ඔක්තෝබර් 23 වැනිදා අවට දිනවල සහ 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා අවට දිනවල තරමක් දුරකට හෝ අවධානයෙන් සිටීම නුවණට හුරුය.

සැබැවින්ම සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව ශ්‍රී  ලංකාව තුළ නවෝදයක් නොහොත් නැවුම් වෙනසක් බලාපොරොත්තු විය හැක්කේ 2023 වසරෙහි ජනවාරි 17 වැනිදායින් පසුව එළැඹෙන  මාස කිහිපය තුළය. කෙසේ වෙතත් එවැනි වෙනසක් ඇති වීම ක්‍ෂණිකව සිදුවිය හැකි දෙයක් නොවන නිසා ඉදිරි මාස කිහිපය තුළ ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා ඉඟි ලැබෙනු ඇත.

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

0714410906