ජර්මනිය තාප්පෙටම හේත්තු වුණාම volkswagen ඇයි අපිට බැරි

0
47

2021 ජනවාරි 02දා ඔබ ‘මව්බිම’ පුවත්පතේම දේශපාලන සාකච්ඡාවේදී පැවැසුවා “මේ යන ගමන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මෙහෙම ගියහොත් ඉක්මනට ආණ්ඩුව පුපුරනවා” කියලා?

ඉතින් හරියටම හරි නේද?

හරිනම් තමයි. ඒ විතරක් නෙවෙයි. ඔබ පැවැසුවා “අපිට මිනිස්සු හූ විතරක් නෙවෙයි ඉදිරියේදී…?

දෙකේ දෙකේ පොලුවලිනුත් මිනිස්සු ගහනවා කියලා නේද කිව්වේ මම. ඉතින් ඒ කියපු කතාවත් හරියටම හරි ගියා නේද?

ඇමැතිතුමා කියපු දෙය අද මහපොළොවේ යථාර්ථයක් බවට පත්ව තිබෙනවා. එදා කිව්වා වගේම ඉදිරියටත් වෙන්න නියමිත දේ ගැන අද කතා කරමු?

මේ සියල්ලටම මුල ජනතාව රජය කෙරෙහි ඇතිකොට ගත් විශ්වාසය බිඳ වැටීම. විශ්වාසය බිඳ වැටීමත් සමඟ සිතට සහ රටට අවිනිශ්චිතතාවක් ඇතුළු වුණා. ඒත් සමඟම ජනතාවගේ ඉවසීමේ සීමාව ක්‍රමිකව අඩුවුණා. ඒ නිසා තමයි ඇතැම් තරුණ කොටස් ගාලුමුව‍ෙදාර පිටියට පැමිණ කඳවුරු බැන්දේ.

ඔබ එහි වරදක්, ‍ෙදාසක් දකිනවාද?

කිසිසේත්ම ඒ අයට ‍ෙදාස් කියන්න බැහැ. අපි, අපේ රටේ තරුණ පරම්පරාව විශාල බලාපොරොත්තු ගොන්නක් තබාගෙන තමයි 2015 මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කළේ. එහිදී තැබූ බලාපොරොත්තු ඉටු නොවූ නිසා නැවතත් 2019දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ජනාධිපති බවට පත් කළා. එතැනදී මහත් බලාපොරොත්තු රැසක් මුළු රටටම තිබුණා. නීති ආධිපත්‍ය සම්බන්ධයෙන්, ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන්, රටේ සංවර්ධනය හා දියුණුව සම්බන්ධයෙන් ආදී කාරණා ඇතුළු විශාල බලාපොරොත්තු රැසක් ඉටුවේවි යන අපේක්‍ෂාවත් තබාගෙනයි, එතුමාව බලයට ගෙනආවේ. ඒ තැබූ බලාපොරොත්තු එකිනෙක කඩාගෙන වැටෙන විට ජනතාවට යන්න වෙන තැනක් තිබුණේ නැහැ මෙවැනි අරගල භූමියකට හැර. විශේෂයෙන් තරුණ කණ්ඩායම්වලට. නමුත් මෙය තවදුරටත් වර්ධනය වීම එතරම් හොඳ නැහැ.

අරගල පමණක් නොවෙයි ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් දිනෙන් දින දිගු වෙනවා. මේ අයුරින් ජනතාව නිරන්තර පීඩාවට පත්වීමේ සීමාව ලකුණු වන තැන සම්බන්ධයෙන් රතු එළියක් දැල්වී තිබෙනවා නේද?

අපි දැන් අපේ රටේ සුලබව දකින දෙයක් තමයි පෝලිම්. කෙටි නොවෙයි ඉතා දිගු පෝලිම්. මෙතුළින් ගම්‍ය වෙනවා අපි තවදුරටත් ගමන් කරන්නේ යම් අරාජිකත්වයකටද යන ප්‍රශ්නය. ඒ අරාජිකත්වය ආර්ථික වශයෙන් බංකොලොත්වීමක් පමණක්ද එසේත් නැත්නම් හර පද්ධති කඩා වැටීමක්ද යන ප්‍රශ්නයත් මතු වෙනවා. එම හර පද්ධති කඩාවැටීම තුළ දේශපාලනඥයාගේ භූමිකාව ජනතාව තවදුරටත් විශ්වාස කරන නොකරන බව ආදී ප්‍රශ්න ගණනාවක් මතුවෙමින් තිබෙනවා.

මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල තිබෙන පෝලිම්වල සිදුවන අක්‍රමිකතා සහ වංචාසහගත සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා?

ඒක ඇත්ත. අනෙකා ගැන නොසිතන ආත්මාර්ථකාමීත්වයක් සහ බොහෝ තැන් බඩවඩා ගැනීම්දෝ කියලා හිතෙන පරිසරයක් නිර්මාණය වී  තිබෙනවා.

මම අහන්න සූදානම් වුණේ ඇමැතිතුමා, මේ එන තෙල් ටිකවත් හරියට බෙදලා දෙන්න හරි වැඩපිළිවෙළක් හදාගන්න අක්‍රමිකතා නවත්වන්න ආණ්ඩුවට හැකියාවක් නැද්ද කියන එකයි?

ඒ සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුවී තිබෙන බව පෙනෙනවා. ඔබ කිව්වා  වගේ අක්‍රමිකතා සිදුවෙන බවක් පෙනෙනවා. දැන් පිරවුම්හලකට ඔබ ගියොත් ඔබේ වාහනය බලාගන්නම් කියන, වාහනය ඉස්සරහට දාලා දෙන්නම් කියන තැරැව්කරුවෝ මුණගැසේවි. එහෙම අය දැන් ඉන්නවා. පෝලිමේ ඉඳලා කෑන්වලට, බැරල්වලට ගහගත්තු තෙල් ටික වෙන එකකට දාලා ආයෙත් පෝලිමට යනවා. වාහනයට ගහගත්තු තෙල් ටික ඒ වෙලාවෙම වෙන එකකට ඇදලා දීලා ආයේ පෝලිමට යනවා. කළුකඩ මිලට අලෙවි කරනවා. මේවා වටා දැන් තක්කඩි උප සංස්කෘතියක් බිහිවෙමින් පවතිනවා. මම අහන්නේ මෙහෙම තක්කඩිකම් කරන්නේ කාටද? තමන් වගේම පීඩාවට පත්වෙලා ඉන්න මේ රටේම තවත් මනුෂ්‍යයෙක්ට නේද මේ තක්කඩිකම් කරන්නේ.

මෙහෙම කළාම තවත් කෙනෙක්ට අත්‍යවශ්‍යම දෙයකට යා ගන්න තෙල් ටිකක් නැති වෙනවා නේද? මීට පෙර පැවැති සාමාන්‍ය තත්ත්වය තුළ සාමාන්‍ය දවසක තෙල් පරිභෝජනය තිබුණේ මෙටි්‍රක්ටොන් 5,000 – 6,000ක් වගේ ප්‍රමාණයක්. නමුත් දැන් එය මෙටි්‍රක්ටොන් 11,000ක් පමණ අවශ්‍ය වෙනවලු. මම අහන්නේ ගෙදරක වාහන 10ක් තිබුණත් අවශ්‍යතාවකට පදින්නේ එක වාහනයනේ. ඇයි මෙහෙම අනෙකා ගැන නොහිතන්නේ. මේ වගේ අසීරු වෙලාවක බෙදා හදා ගැනීමනේ වටින්නේ. මේ සියල්ලම වෙනස් විය යුතුයි. මුළු පද්ධතියම වෙනස් කළ යුතුයි. වෙනස් විය යුතුයි. නමුත් තවමත් ඒ දේ වෙලා නැහැ.

සෑම දෙයකම නිසි කළමනාකාරිත්වයක්, විනිවිදභාවයක්, ක්‍රමවේදයක් නොපෙනෙන නිසානේ ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ?

ජනතාව ප්‍රතික්ෂේප කළේ දේශපාලනඥයාවද නැත්නම් මේ යන දේශපාලන රටාවද?

ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ වත්මන් දේශපාලනඥයා සහ ඔහුගේ භූමිකාව, ඔහු විසින් ඇති කරනු ලැබූ දේශපාලන රටාව නේද?

දේශපාලනඥයෝ අතේ වරදක් නැහැයිම කියලා මම කියන්නේ නැහැ. නමුත් මෙතන තව දෙයක් තිබෙනවා තේරුම්ගත යුතු. අවසාන වශයෙන් මේ රටේ ලියවිල්ලකට අස්සන් තබන්නේ දේශපාලනඥයාද, රාජ්‍ය නිලධාරියාද කියන ප්‍රශ්නයට ලැබෙන උත්තරය තුළ බොහෝ දේවල් අවබෝධ කරගන්නට පුළුවන්.

දේශපාලනඥයා සියඹලා ගෙනල්ලම නැහැ රාජ්‍ය නිලධාරියා පමණයි සියඹලා ගෙනාවේ කියලා දැන් ඔබ බෝලය පාස් කරන්නද හදන්නේ?

නැහැ. මම මේ බෝලය පාස් කරන්න හදනවා නෙවෙයි. මම මේකේ සියලුම පැතිකඩයන් පෙන්වන්නයි හදන්නේ. මේ රටේ දැනටත් ක්‍රියාත්මක වෙන මුල්බැසගත් දේශපාලන රටාවන් තුළ කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ නාමයෝජනා දෙන්නේ හිතවතුන්ටනේ. නමුත් ඒ හිතවතා හෝ විශ්වාසවන්තයා විෂය පිළිබඳ නොදන්නවා වෙන්න පුළුවන්. දන්නේ නැත්නම් ඉක්මනින් ඉගෙන ගත යුතුයි. නැත්නම් මම මේ විෂය දන්නේ නැහැ කියලා ඉවත් විය යුතුයි. ඕකෙන් පළමුවැනි එක වෙනවද නැද්ද මම දන්නේ නැහැ. නමුත් දෙවැන්න නම් කොහෙත්ම වෙන්නේ නැහැ. එහෙම විෂය නොදන්නා කෙනෙක් ඇමැති ධුරයකට පත් වුණාම කවුද එයාගේ පිහිටට එන්නේ. රාජ්‍ය නිලධාරීන්නේ. එවිට ඇමැතිට සිද්ධ වෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට යටවෙලා ඉන්න. බොහෝ විට ඇමැතිවරයාව අන්දගෙන නොයෙක් දේවල් තම අභිමතය පරිදි කරන එකයි වෙන්නේ.

දැන් ඔබ කියන ආකාරයට ඇමැතිවරු හරිම අහිංසකයි, මුකුත් දන්නේ නැහැ, පොඩි දේටත් ඇඳගන්න, රැවටෙන අය?

නැහැ, මම එහෙම කොතැනකවත් කිව්වේ නැහැ. මම කිව්වේ පැතිකඩවල් කිහිපයකින් එක් පැතිකඩක් ගැන පමණයි. ඇතැමුන් මන්ත්‍රි ධුර ගන්නෙත් ගහ මරාගෙන. ජනතාවට සේවය කරන්න ගහන්න ඕනද? මිනීමරන්න ඕනද? එහෙම දේවල් කරලා ගත්තු මන්ත්‍රි ධුරය පවත්වාගෙන යද්දි කට්ටියට අමතක වෙනවා අපි ජනතාවගේ සේවයට ආපු සේවකයෝ කියන කාරණය. කාලයක් ගතවෙන විට ඔවුන් හිතන්නේ අපි තමයි ජනතාවගේ ස්වාමියෝ කියලා. මේක ජනතාවටත් අමතක වෙනවා. මුල් කාලේ ඡන්ද අපේක්ෂකයා මහජනතාව කරේ තබාගෙන යනවා. ඡන්දය දිනුවට පස්සේ මහජනතාව අපේක්ෂකයාව කර තබාගෙන යන්න පටන් ගන්නවා. දෙපාර්ශ්වයටම තම තමන්ගේ භූමිකා අමතකයි. දේශපාලන ක්ෂේත්‍රය මහා සාගරය වගේ කියලනේ හිතන්නේ. ඉතින් මේකට ආවට පස්සේ ඉවක් බවක් නැතිව සොරකම් කරන්න පටන් ගන්නවා. ලැබෙන සෑම අවස්ථාවකින්ම සොරකම් කරන්න පුළුවන් නම් ඒක කරනවා. ඒ නිසා මම බහුතරයක් දේශපාලකයෝ හරි හොඳයි අහිංසකයි කියලා කියන්නේ නැහැ.

නමුත් හැමෝම කියන්නේ අපි නම් ශත පහක සොරකමක්, වංචාවක් කරලා නැහැ. පුළුවන් නම් නීතිය හමුවේ ඔප්පු කොට පෙන්වන්න කියලනේ?

එහෙම කිව්වට අපිට තේරෙනවානේ සොරකමක් සිද්ධවෙලා කියලා. දැන් කාලයක් පුරා කිව්වනේ අපි ගී්‍රසියේ ආයෝජනය කරපු බව. ඩොලර් මිලියන 800ක්ද කොහෙද. හරි දැන් ඒවාට වගකියන්නේ කවුද? මිලියන 800ක් ආයෝජනය කළාම අපි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් අපට ලැබෙයි කියලනේ. නමුත් ලැබුණද, ඒ පිළිබඳව කාවහරි උසාවි ගෙනාවද නැහැනේ. දැන් අපි පුන පුනා බැඳුම්කර වංචාව ගැන කතා කළානේ. සෑම දේශපාලන වේදිකාවකම තඩිබෑවේ ඕක අල්ලගෙනනේ. කීදෙනෙක්ට චෝදනා කළාද, නමුත් අද වනවිට කීදෙනෙක්ව උසාවි අරගෙන ගිහින් වැරදි කරපු අය සොයා ගත්තද? නීත්‍යනුකූල කටයුතු ආරම්භ වුණාද? දැන් මේ ඔබයි මායි කතා කරමින් සිටින තැනට පෙනෙන නෙළුම් කුලුන ගමුකෝ. දැන් වසර කීයක්ද, තවම අපි මේවාට ණය ගෙවනවා. මේ වගේ ජනතාවට වසන් කරපු බොහෝ දෑ තිබෙනවා. මේ වසන් කිරීම තුළ තමයි ඔය බොහෝ සොරකම් වෙන්නේ කියලා මට සිතෙනවා.

සොරකම් කරපු බවත් දන්නවා, ගසා කාපු බවත් ජනතාව හිඟමනටම ඇදලා දාපු බවත් දන්නවා. නමුත් දැන් කොහොමද ඉදිරියට යන්නේ. මොකක්ද වැඩපිළිවෙළ කාටද  එවැනි පැහැදිලි වැඩපිළිවෙළක්, දැක්මක් තිබෙන්නේ?

අංක එක අපේ රටට චින්තන විප්ලවයක් අවශ්‍යයි. අපේ රටට, අපේ කමට අපි නැවතත් ආදරය කරන්න පටන් ගත යුතුයි. රට මස්තබාල්දු වෙලා කුණු බාල්දියෙනුත් එහාට රට වැටිලා කියලා හිතලා බොහෝ දෙනෙක් රට දාලා යනවා. නමුත් මේක වාසනාවන්ත රටක්. මේක අවාසනාවන්ත කරන්න යම් යම් පුද්ගලයෝ මුල් වුණා.

යම් යම් පුද්ගලයෝ කිව්වේ දේශපාලනඥයෝද නැත්නම් වෙනත් අයද?

දේශපාලකයෝ වෙන්න පුළුවන්. මම පෙර කියූ ආකාරයට රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. මහ බැංකු අධිපතිවරු වෙන්න පුළුවන්. මොනතරම් අය ඉන්නවද? අවාසනාව කියන්නේ. දැන් අපි එක් පාර්ශ්වයක් එපා කියලා වෙනත් පාර්ශ්වයක් බලයට ගේනවානේ. එම පත් කිරීමේදී හුවමාරුවක් වෙනවා. මාව රැකගන්න, මගේ පවුලේ අයව රැකගන්න. මගේ පක්ෂයේ මන්ත්‍රිවරු රැකගන්න කියනවා. එකිනෙකාගේ පිට කැසීමේ න්‍යායක් මොන පාර්ශ්වය බලයට ආවත් ක්‍රියාත්මක වෙනවා.  එයා මෙයාව රකිනවා, මෙයා එයාව රකිනවා. අපේ රටේ දේශපාලනය මහ විහිළුවක් වෙලා. අවුරුදු 5ට පෙර එපා වුණු අයව ඊගාවට නැවතත් ඕන වෙනවා. මෙහෙම වෙන්නේ අපේ මානසිකත්වවල වරදක්ද, නැත්නම් අපේ විකල්පවල අඩුවක් නිසාද කියලා හිතන්න වෙනවා.

ඔබ පවසන විධියට ඇමැතිතුමා, අද එපා කියන රාජපක්ෂවරුන්ව තව වසර කිහිපයකින් පසුව නැවතත් ඕනා කියයිද?

ඉතින් මීට පෙරත් එහෙම වුණානේ. නැවතත් එහෙම නොවෙයි කියලා හිතන්නේ කොහොමද. ඇත්තටම  ඒක හරි පුදුමයි. මැරෙන්න යන මිනිහට පිදුරු ගහත් ලොකු වෙනවනේ. ඒ වගේ ඒ මොහොතේ පාස්කු දින ප්‍රහාරය සිදුවුණා.  එය සිදුවුණු ගමන් ජනතාවට සිහිපත් වුණේ LTTE ත්‍රස්තවාදය සහ එය අවසන් කිරීම. අන්න එතැනනේ ඔය ගැළපීම හැදුණේ. ජාතික ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් ජනතාව තුළ ඇතිවුණා. ඒ සමඟම නැවතත් එපා කියූ පාර්ශ්වයම නැවත අවශ්‍ය වෙන්න පටන් ගත්තා.

කන්දකාඩු වැනි පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉන්න රැඳවියෝ ටික පලායන්න නොදී බලාගන්න බැරි වුණු ආණ්ඩුවකින් තවදුරටත් ජාතික ආරක්ෂාව වගේ විශාල කාර්යයක් ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ නේද?

ජාතික ආරක්ෂාව කියන එක අපි නිවැරදිව විග්‍රහ කරගන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා යුද ටැංකි අරගෙන සබ්මැරීන්වලින්, ජෙට්වලින්, ප්ලේන්වලින් සතුරෝ එන  එක නවත්වන එක විතරයි ජාතික ආරක්ෂාව කියන්නේ කියලා. අතීතයේ අධිරාජ්‍යවාදී පාලනය යටතේ ඛ්ධතධදඪචත ඉරඵබඥථ එකක් තිබුණනේ. නමුත් දැන් තිබෙන්නේ නව අධිරාජ්‍යවාදී යටත්විජිත ක්‍රම. අපි දැන් ඒවටත් නතුවෙලා  අවසන්. එවායෙන් රට සුරක්ෂිත කිරීමත්  රටක ජාතික ආරක්ෂාව තහවුරු කිරීමක් තමයි.

ඔබ ඔය වක්‍රාකාරයෙන් කියන්නේ ණය ආධාර ලබාදීමත් නව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියන එකනේ?

ඔව්. දැන් ඔන්න ණය දෙනවා. අරවට මේවට සේරටම ණය දෙනවා. හයිවේද අරවද මේවද හැමදේටම අපි දෙන්නම් කියලා කැමැත්තෙන්ම දෙනවා. කොහොම දුන්නත් මේවා ණයනේ. ඒ කියන්නේ ගෙවන්නම වෙනවා. ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ. දැන් අර අප්‍රිකාවට මොකක්ද වුණේ අවසානයට තමන්ගේ ගුවන් තොටුපොළත් වෙන රටකට දෙන්න වුණා. අපේ රටේත් ආර්ථික මර්මස්ථාන තිබෙනවා. ඒවා අපි විදේශීය රටවලට දෙන්න ඕනද එහෙම නොදී අපිටම මේව පාලනය කරගෙන යන්න බැරිද? විකිණීමක් නොකර බදු දීමක් වගේ දෙයක් සලකා බලන්න බැරිද කියන කාරණා ගැන නැවත සිතා බලන එක වඩාත් ප්‍රායෝගික වෙයි කියලා මට සිතෙනවා.

මේ මොහොතේ ණය නොගෙන ඔළුව උස්සන්න පුළුවන්කමක් තිබෙනවද?

ඒක තමයි මම කියන්නෙ. කොහෙන් වුණත් මේ ගන්නේ සහ දෙන්නේ ණයනේ. අපි කියනවා ඉන්දියාව අපේ ලොකු අයියා අපිට ගොඩක් උදවු කරනවා මේ වෙලාවේ බිලියන දෙකකුත් දුන්නා අපි ගැන බලනවා කියලා. ඒක හොඳයි අපිට අමාරු වුණු වෙලාවක්නේ. නමුත් ඒ කොහොම වුණත් මේ දෙන්නේ ණයනේ. අපි තව රටවල් බොහොමයකටම මෙහෙම ණයයි. ඇත්තටම ඇයි අපිට මෙහෙම ණය ගන්න සිදුවුණේ. පළමුවැන්න තමයි අපිට දරන්න බැරි ව්‍යාපෘති ඇති කිරීම. ඒ ව්‍යාපෘතිවලිනුත් ඇතැමුන් සොරකම් කළා කියලා මම හිතනවා. දෙවැන්න ඒ ව්‍යාපෘති ඵලදායී වුණාද කියන එක. කොපමණ කාලයක් යනවද ඒ ගත්තු මුදල් ආපසු ලබා දෙන්න කියන එක තුන්වැන්න. කොටින්ම ඇපල් ගෙඩිය, මිදි ගෙඩිය ගන්නත් අපි ණය ගත්තා. ඇත්තටම රටේ ජාතික නිෂ්පාදනයක් නෑ. එහෙම වුණා නම් අපනයන අඩු කරන්න තිබුණා. අපේ තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික නැවත පණගන්වන්න ඕනා. ඒකට මේක වෙස්වළාගත් ආශීර්වාදයක්.

ඔබත් අර ධනාත්මක චින්තන දේශකයෝ කියනවා වගේ කතානේ කියන්නේ. දැන් ඔබ කියන්නේ මේ සා බරපතළ ව්‍යසනයක් ආශීර්වාදයක් විධියට ගන්න කියලද?

මම දන්නවා මේ තත්ත්වය අතිශය නරකයි. අසීරුයි. මිනිස්සු දුක් විඳිනවා නමුත් මෙවැනි වටපිටාවක් තුළ තමයි අපේම දේවල් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නෙ. මොන තරම් නිර්මාණශීලී මිනිස්සු බිහිකරන්න පුළුවන් මොහොතක්ද මේ. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය තාප්පෙටම තල්ලු වුණු වෙලාවක තමයි වොක්ස්වැගන් මෝටර්රථය හැදෙන්නේ. ඇයි අපටත් ඒ වගේ සිතන්න බැරි. ඒ වගේ නිර්මාණ කරන මිනිසුන්ට සල්ලි අච්චු ගහලා දුන්නත් කමක් නෑ. නව චින්තන විප්ලවයත් සමඟ කෘෂිකාර්මික විප්ලවයකුත් මේ රටට අවශ්‍යයි. ඊට සමගාමීව කාර්මික විප්ලවයකුත් අවශ්‍යයි. මේ රට ඇතුළේ පාපැදි පවා හැදුවා. කෝ ඒවා අද. සේරම ගේන්නෙ විදේශ රටවලින්. අපි තල්ලු වුණේ මහ කරුමක්කාර තැනකට.

අලුතින් පත්වුණු කැබිනට් මණ්ඩලය ගැනත් මිනිසුන්ගේ විශ්වාසයක් නෑ. කාටවත් දැක්මක් නෑ කියලයි මිනිස්සු කියන්නේ?

මෙතැනදී මට විරුද්ධව බොහොමයක් විවේචනත් එල්ල වෙන්න පුළුවන්. අපිට මේ වෙද්දි කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය තුළ විවිධ දේශපාලන ධාරාවන් නියෝජනය කරන අය ඉන්නවා. ඒ හැමෝම මේ රට මෙතැනින් ගොඩගන්න ඕනා කියන එක ඉලක්කයක් කරා යමින් ඉන්නවා. අපිට හොඳ තරුණ කණ්ඩායමකුත් දැන් ඉන්නවා. ඒ අය අතර හොඳ දැනුමක් තිබෙන අයත් ඉන්නවා. මට තේරෙනවා මේ හැමෝම එකතුවෙලා යම් දිශානතියකට යන බව. මේ තීරණය වැරදියි කියලා බොහොමයක් අය කිව්වත් එය තීරණය කරන්න ඕනා කාලය. අඳුරු බිං ගෙය තුළ කෙළවරක යම් එළියක් මතුවෙලා තිබෙන බව පෙනෙනවා. මතවාද මතභේද සියල්ල අමතක කරලා එකට වාඩිවෙලා කෙටිකාලීනව සහ දිගුකාලීනව රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. විශේෂයෙන් මේ මතුව තිබෙන පෝලිම් ප්‍රශ්නය මුලින් විසඳගන්න වෙනවා. ඒවගේම ඉදිරියට ඇතිවීමට නියමිතයි කියන ආහාර අර්බුදයටත් පිළියම් සොයන්න වෙනවා. මේවාට විසඳුම් සොයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මට පෙනෙනවා.

ඒක ඔබට පෙනුණට රටේ ජනතාවටත් පෙනෙන්න ඕනනේ. දවසින් දවස පතුලක් නොපෙනෙන අගාධයකට වැටෙන බවක් තමයි අපිට නම් පේන්නේ?

බඩගිනි වෙලා ඉන්නකොට හරියට කෑම වේල් ටික පිළිවෙළට වැටෙනවා නම් එහෙම කියයි. ඒකට තමයි මේ උත්සාහ කරන්නේ.

මේක විසඳන්න පුළුවන් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට විතරයි කියලා ඇතැම් දේශපාලකයන් කියන්නේ?

ඉතින් ජනාධිපතිතුමා විරුද්ධ පක්ෂ නායකතුමාට කිව්වනේ එන්න රට භාරගන්න කියලා. නමුත් භාරගත්තේ නැහැනේ. ඒ මොහොතේ භාරගන්නේ නැතිව පස්සේ සර්වපාක්ෂික ආණ්ඩු කතා කියලා වැඩක් නැහැනේ.

ජ.වි.පෙ.ත් ආණ්ඩුව භාරගන්න සූදානම් බව කියනවා. ඇයි ඔවුන්ගේ සහ ජනතාවගේ කීමට යම් අවස්ථාවක් නොදෙන්නේ. ඔවුන් කියනවනේ ඔවුන්ට මෙය කරන්න පුළුවන් කියලා?

ඔවුන්ටත් කිව්වනේ මුලින් භාරගන්න කියලා. නමුත් ඔවුනුත් භාරගත්තේ නැහැනේ. දැන් ඉල්ලුවත් මාස 6ක් දෙන්න කියලා කියනවනේ. අපි තවම සති 5 යිනේ. අපිටත් තව මාස දෙකක් විතර දෙන්නකො. අපි බලමු.

නමුත් ඒ මොහොතේ ඔවුන් පැහැදිලිව කිව්වනේ ගෝඨාභය ජනාධිපතිවරයා ඉන්නවා නම් ආණ්ඩුව භාරගන්නේ නෑ කියලා?

ඒ කතාව කියන්න බෑනෙ. සියලුම මැති ඇමැතිකම් කරපු රාජපක්ෂවරු ඉවත් වුණා. කැබිනට් මණ්ඩලයත් ඉවත්වුණා. ඉතින් ඔවුන්ට තිබුණා මේක භාරගන්න ඇවිත්.

ඔබට හැඟෙන්නේ නැද්ද මිනිසුන්ට රාජපක්ෂවරු සහ රාජපක්ෂ නායකත්වය දැඩි සේ එපා වෙලයි තිබෙන්නේ. මිනිසුන්ට තවදුරටත් එය අවශ්‍ය නෑ කියන එක ඇත්ත හැඟීමක් කියලා?

මම මේ ගැන පෙරත් කිව්වා. පාස්කු දවසේ ප්‍රහාරය සිදුවෙලා දවසක් ගතවෙන්නත් කලින් ඔය මතයම නෙවෙයිද ජනගත වුණේ. 225ම එදත් එපා කිව්වා නේද. ඊට පස්සේ 2019 ඡන්දයෙන් ඒ එපා කියපු 225න් බහුතරයක් පාර්ලිමේන්තුවට එව්වේ නැත්ද?

රාජපක්ෂවරු සියලු තනතුරුවලින් ඉවත්වෙලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා කිව්වට ඒක නිකන් මතුපිට නිරීක්ෂණය කරලා කියන කතාවක් වගේ දෙයක් නෙවෙයිද?

ඔබ ඇයි එහෙම කියන්නේ?

ජනතාව තුළත් යම් මතයක් තිබෙනවා ඔවුන් තනතුරුධාරීන් නොවුණත් යටිබිම්ගතව අදිසි ආකාරයට ඔවුන්ගේ සැලසුම් සහ මෙහෙයවීම් සිදුකරන බවට?

වෙන්න පුළුවන්.

කැබිනට් ඇමැතිවරයෙක් විධියට ඔබට එය පෙනෙනවාද? දැනෙනවාද?

මෙහෙමයි. මම මේ අමාත්‍යාංශය ගන්න කලින් මේ අමාත්‍යාංශය භාරව සිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයානේ. නමුත් මම මේ තනතුර භාරගත්තට පසුව එතුමා කිසි වෙලාවක මට බලපෑමක් කරලා නෑ මොනයම්ම ආකාරයකින්වත්. මම මේ අමාත්‍යාංශයේම වෙනත් කොටසක රාජ්‍ය ඇමැතිකම දරන වෙලාවෙදිවත් කිසිම විටෙක එතුමා මට බලපෑමක් කරලා නෑ. ඒ ගෞරවය දෙන්න ඕනනේ. මම මේ කිව්වේ මට තිබෙන අත්දැකීම. නමුත් වෙන දෙවල් ගැන මම දන්නේ නැහැ.

නමුත් ඔබ දකින්නට ඇති කංචන විජේසේකර තෙල් ඇමැතිගේ සාකච්ඡාවකට නාමල් රාජපක්ෂ සහභාගී වෙන ආකාරය?

මම හිතුවා ඔයා ඔය ප්‍රශ්නේ දැන් මගෙන් අහයි කියලා.

ඒක තමයි මම අහන්නේ. දැන් මේ වගේ දේවල්වලින් පැහැදිලිව ඔප්පු වෙනවා නේද ඇමැතිතුමා තවමත් රාජපක්ෂවරුන්ගේ අතපෙවීම් සිදුවෙන බවට?

නාමල් රාජපක්ෂ අනාරාධිතව ආවද ආරාධිතව ආවද අපි හරියට දන්නේ නැහැනේ. මගේ දැනුම අනුව එදින පවත්වා තිබුණේ යූනියන් සම්බන්ධ දැනුවත් කිරීමක්. පො.ජ.පෙ. යූනියන් භාරව ඉන්නේ නාමල් රාජපක්ෂ බව පැවැසෙනවා. ඒ නිසා ආවා වෙන්න පුළුවන්.

වර්තමාන තෙල් අර්බුදය ඉන්දියාවට ප්‍රතිලාභ අත්කරදෙන අරමුණින් සැලසුම් සහගතව නිර්මාණය කළ එකක් බවත් එයත් රාජපක්ෂවරුන්ගේම කුමන්ත්‍රණයක් බවත් ඇතැමුන් පවසනවා?

වර්තමාන මහ බැංකු අධිපතිවරයා කෙරෙහි මගේ යම් ගෞරවයක් තිබෙනවා. එහෙම දෙයක් තිබෙනවා නම් එතුමා ඒ බව කියයි කියලා මම හිතනවා. ඇත්තටම රටේ දැන් ඩොලර් අර්බුදයක් තිබෙනවානේ. ඒ නිසානේ මේ අර්බුද සියල්ල. එහෙම නම් මේක සිද්ධ වෙන්න ලොකු කාලයක් පුරා සැලැස්මක් තිබෙන්නට ඇති. ඒ කුමන්ත්‍රණයට උදව් වෙන්න මහ බැංකු අධිපතිවරු වෙනස් කළාද වෙනස් වුණාද කියන එක ගැනත් යම් සැකයක් එනවා. බැඳුම්කර වංචාවේදී අපි දැක්කනේ සිංගප්පූරුවේ සිටි මනුස්සයෙක්ව ගෙනත් ඒ පුටුවේ වාඩිකරවලා ඒ විෂය අග්‍රාමාත්‍යවරයා අරගත්තේ ඇයි කියලත් හිතන්න වෙනවා. මේ සෑමදෙයක්ම සැලසුම්සහගතව වුණා නම් එය දීර්ඝ කාලය පුරා වෙන්න ඕන දෙයක්. නමුත් එහෙම ඔබ කියනවා වගේ කුමන්ත්‍රණයක් වෙන්න තරම් මේ කාලය ප්‍රමාණවත් නෑ කියලයි මට හිතෙන්නේ. නමුත් කෙටිකාලීනව යම් කුමන්ත්‍රණයක් වෙනවද කියලා මට කියන්න අපහසුයි.

ඇමැතිතුමාලට නම් තෙල් ප්‍රශ්නෙ පෝලිම් ප්‍රශ්න බලපාන්නෙ නැතිව ඇති නේද මේ අපිට තරම්?

ඔයා මේ මොනා කතා කරනවද මන්දා. කවුරුත් විශ්වාස කරන්නේ නෑ කිව්වට, මම පෝලිමේ නොසිටියට මගේ රියැදුරු මහත්මයා පැය 64 කට පස්සේ තමයි වාහනේට තෙල් ගහන් ආවේ. මීට දවස් 3ට පෙර අපිට දුන්නේ ලීටර් 20. ඒ හැරෙන්න ඊට වඩා ගන්න හෝ පෝලිමේ ඉදිරියට දාගන්න වගේ දේවල් නම් මම කරන්න ගියේ නැහැ.

රනිල් අගමැතිතුමා මොකක්ම හරි ගේමක් ගහලා වැඩේ ගොඩදාලා දෙයිද. මොකද ඔහුගේ ජාත්‍යන්තර සබඳතා ජාලය හොඳ එකක් කියලනෙ සාමාන්‍යයෙන් කියවෙන්නේ?

මේ තත්ත්වය තුළ කාටවත් ගේම් ගහන්න බෑ. විශ්වාසය කියන දේ අත්‍යවශ්‍යයි, ඒ විශ්වාසය දැන් යම්තාක් දුරකට ගොඩනැඟී තිබෙන බව පේනවා. ඒකත් මේ මහා ලොකු ප්‍රමාණයක් නෙවෙයි. එතුමා පැමිණීමෙන් පසු විදේශ සේවා සහ විදේශ දූත සේවාවල විශ්වාසය යම්තාක් දුරකට ගොඩනැඟී තිබෙන බව පෙනෙනවා. මුලින් උදව් උපකාර කරන්න අකමැතියි වගේ තිබුණු අයත් දැන් තරමකට උපකාර කරන්න කැමැති බවකුත් දැනෙනවා. නමුත් කාටත් ප්‍රාතිහාර්යය පාන්න බෑ. මේකෙ ප්‍රාතිහාර්ය  නෑ. නමුත් ප්‍රාතිහාර්යයක් අවශ්‍යයි. ඒක තනි පුද්ගලයෙක්ගෙන් නෙවෙයි සමස්ත රටම එකතුවෙලා පෑ යුතු ප්‍රාතිහාර්යයක්.

දැන් විදුර වික්‍රමනායකගේ සැර බාල වෙලාද. කට්ටිය කියනවා ඇමැතිකම ගත්තට පස්සේ කෙලින් ඍජුව සැරට ආණ්ඩුව විවේචනය කරපු විදුර වික්‍රමනායක දැන් වෙනස් වෙලා කියලා?

දැන් මම කොයිතරම් දේවල් වෙනද වගේම කිව්වද. වැරදි අඩුපාඩු මොන තරම් පෙන්නුවද. මාව ටිකක් ඔය කැබිනට් එකෙන් එළියෙන් තියන්නකො. එතකොට ඔබට පේනවනේ අලුත් කැබිනට් මණ්ඩලයක්. මම අහන්නේ, ඇයි ඒ අයටත් වැඩ කරන්න යම් කාලයක් ඉඩක් නොදී ඔවුන්ව පටන් ගත්තු තැන ඉඳන්ම විවේචනය කරන්නෙ කියලයි. අපි දෙමු මාස දෙක තුනක කාලයක්. මාධ්‍යක් වුණත් අලුත් ආණ්ඩුවක් පත්වුණාම ඒ ආණ්ඩුවට දින සීයක මධුසමයක් ලබාදෙනවානේ. ඊට පස්සෙනේ ගුණ ‍ෙදාස් කියන්නෙ. ඒ වගේ අවස්ථාවක් දෙමු. ඇත්තටම මම කියන්නම ඕනා මේ වගේ අර්බුදකාරී තත්ත්වයකදී මාධ්‍යටත් ලොකු වගකීමක් තිබෙනවා මිනිස් ජන මනස හරි තැනට මෙහෙයවීමට සහ නිවැරදි තොරතුරු ජනගත කිරීමටත්  ප්‍රකෝපකාරි හැසිරීම් නොවන ආකාරයට මධ්‍යස්ථව වාර්තා කිරීමටත්.

ඒ ඉන්නෙත් හොරු කියලා වංචාකාරයෝ කියලා හංවඩු ගහපු පිරිස්මයි. මූණු මාරු වුණාට වැඩේ හරියට වෙන්නේ නෑ කියලයි ජනතාව කියන්නෙ?

මේ රට සහ මිනිසුන්ව මේ තරම් දුක්විඳින තැනට ගෙනාවේ කවුද කියලා සොයා බලලා ඒ අයට දඬුවම් දෙන්න ඕනා. කරපු සොරකම් ඔප්පු කරගන්න පුළුවන් වුණොත් ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කළ යුතුයි. නමුත් හොරා ඒක කරන්නේ අහුවෙන්න නෙවෙයි. නමුත් හැමදාම එහෙම ඉන්න බෑ කොහෙන් හරි ඉස්මතු වෙනවා. වසර 30 ට 35 ට පෙර මුළු ආසියාවෙම දරුණුම ඒකාධිපතියා වුණේ පිලිපීනයේ මාකෝස්. ඔහු කරපු සොරකම් අල්ලන්න බෑ කිව්වා. ඒත් අවසානේ ඇල්ලුවනේ. කොටසක් රටටත් ගෙනාවා. ඔහු මැරුණේ ඉන්න හිටින්න රටක්වත් නැතිව. නමුත් ඉතින් පුදුමේ කියන්නේ එපා කියපු මාකෝස්ගේ පුතා දැන් ඉන්නවා රටේ ජනාධිපති වෙලා.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූප – කැලුම් චාමර නෙළුම්දෙණිය