ගැමි කතුන්ගේ රීරි මාංස හූරං කන ක්ෂුද්‍ර මූල්‍ය අපරාධයේ විළාපයක තරම

0
166

සෝමලතා උදෙන්ම ආවේ සතුටුදායක ආරංචියක් අර ගෙන. ඒක අහලා ජයන්තිගෙ හිතට දැනුණෙ පුදුම සහනයක්. මාස ගණනක් වෙනව ගෙදර මනුස්සයට රස්සාවක් නැතිව. අතට අහු වෙන කුලියක් කර ගෙන ඒ හම්බ වෙන සොච්චමෙන් කීයක් කරන්නද? කුඹුරු කෑල්ල කර ගත්තොත් හාල් ටික හරි තියේවි. ඒත් කෝ කුඹුරු කරන්න සල්ලි? කවුද අපිට ණයක්වත් දෙන්නේ? ඔහොම හිත හිත ඉද්දි තමයි සෝමලතා ඇවිත් කිව්වේ එහා වසමට ආපු මහත්තුරු ටිකක් ඉඩම් ඔප්පු ලියකියවිලි මොකුත් ඉල්ලන්නේ නැතිව ඉල්ලන පරක්කුවට ණය දෙනව කියල.

ඊට පස්සෙ සෝමලතාලා ජයන්තිලා එකතු වෙලා ඒ මහත්තුරු ටික ගමේ ප්‍රජා ශාලාවට ගෙන්නල රැස්වීමක් තියල ගමටම ණය අරන් දුන්නා. එදා මේ කාන්තාවන්ට දැනුණෙ හරියට හතර මහ නිධානෙ පහළ වුණා වගෙ සතුටක්.

මේ විදිහට වසමෙන් වසම ගමෙන් ගම නොනැවතී ලංකාව පුරා පැතිර ගිය ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය වසංගතයක්ව අද වන විට බොහෝ ජීවිත අහිමි කරමින් ද ජන ජීවිත අවුල් කරමින් ද රටට ශාපයක් වී හමාරය. සමාජ සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව හඳුන්වාදී තිබුණද අද වන විට ඉතාම විනාශකාරි ලෙස ක්‍රියාත්මක වන්නකි.

නාගරික, ග්‍රාමීය වෙනසකින් තොරව නමුත් විශේෂයෙන් දැඩි දරිද්‍රතාවයෙන් පීඩිත, ග්‍රාමීය කාන්තාව මූලික කර ගත් පවුල් මෙහි ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත.

නිධානය පහළවී ඇත්තේ මෙම ණය ලබා දෙන සමාගම්වලටය.

මහත්වරු මහත් හොරු බව දැන ගන්නා විට බොහෝ දේ සිදුව හමාරය. වසර ගණනාවක සිට මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කරුණු හෙළිදරව් කෙරුණද අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැත. එනම් එළිපිටම සිදු වන මෙම මංකොල්ලය අදටත් අවසාන වී නැති අතර තවදුරටත් උග්‍ර වී ඇතිවා පමණි.

මාරුවෙන් මාරුවට බලයට පැමිණි දේශපාලකයන් හැමදාම සිදු කළේ ධනවතුන් සුරතල් කිරීම මිස දුප්පතුන් හඬන හඬට සවන් දීම නොවේ.

එවන් පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් වෙනුවෙන් හඬ නඟන්නට ශක්තිමත් සංවිධානයක් ඉදිරිපත්ව සිටීම සතුටට කරුණකි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයෙහි සැබෑ ස්වරූපය සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාරිනි නිරෝෂා ගුරුගේ ‘මව්බිම’ට අදහස් දැක්වූවේ මෙසේය.

“ඇත්තෙන්ම මේ ගැන කියන්න තියෙන්නේ මේ ණය ක්‍රමය හේතුවෙන් අද වන විට බොහෝ පිරිසක් අකාලයේ සදාකාලික නින්දට ගිහින් ඇති බව සහ ජීවත්ව සිටින පිරිසගේ නින්ද පවා සොරා ගැනීම ගැන දුක්බර කතාවක්.

මේ අහිංසක මිනිස්සු ණය වෙන්නෙ එදිනෙදා අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට මිසක් යාන වාහන ගන්න, මහා මන්දිර ඉදි කරන්න නෙවෙයි.

එංගලන්තෙ සුද්දන්ට පවා කියව ගන්න බැරි බර ඉංග්‍රීසියෙන් තියෙන ගිවිසුමක් සිංහලෙන් යන්තමට අස්සන ගහ ගන්න පුළුවන් මිනිස්සුන්ට කියවා තේරුම් ගෙන අස්සන් කරන්න දීලා තමයි මෙයාලා මේ ණය දීම පටන් ගන්නෙ. ඒ එක්කම හිස් කොළ කිහිපයකට අස්සන් ගන්නත් අමතක කරන්නෙ නෑ. විශ්වාසය රඳව ගන්න කියල කරන්නේ පොඩි කාඩ් පතක් අතට දීම.

රාජ්‍ය බැංකුවලින් ණය ගනිද්දී වගේ නෙවෙයි ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන්න ලියකියවිලි කිසිවක් අවශ්‍ය නෑ. බොහෝ විට ණය දෙන්න එන නියෝජිතයා එන්නෙම මුදල් අතේ තියා ගෙනමයි. පෝරම පිරවිලි නෑ. පෝලිම් නෑ. රස්තියාදු නෑ. ඉතින් මේ ක්‍රමයට ණයක් ලබාගැනීම හරිම පහසු කාරණයක් කියල හිතෙන එකත් පුදුම නෑ. ඔවුන්ට විකල්පයක් නෑ.

ඒ නිසාම අපි කොයි තරම් දැනුවත් කිරීම් කළත් උද්ඝෝෂණ කරලා ඔවුන් වෙනුවෙන් පෙනී හිටියත් මේ ජාවාරමට අහු වෙන පිරිස සහ එයින් මිදීමට අකැමැති පිරිස වැඩියි.  දැනට ණය අරන් ඉන්න මිනිස්සු කරන්නේ තවත් ණය වෙමින් මේ උගුලෙ තව තව පැටලෙන එක. ඒක ඒ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි. ආණ්ඩුව මේ මිනිස්සු දිහා නොබලන එකයි වැරැද්ද.

කොරෝනාවෙන් බැට කාපු මේ මිනිස්සු අද වන විට රටේ පවතින උද්ධමනය හේතුවෙන් අන්ත අසරණ වෙලා ඉන්නෙ.  ජීවන තත්ත්වය පහතටම වැටිලා. වගා කර ගන්න පොහොර ටික නැතිව ඒවා පාළු වෙලා. වෙන රස්සාවල් නෑ. කුලියක් නෑ. දවල් කෑම වේල මඟ ඇරලා වේල් දෙක කාපු මිනිස්සු අද යන්තමට එක වේලක් කාලා පණ රැක ගන්නෙ. බෙහෙත් ටික නෑ. පෙට්ට්‍රල්, භූමි තෙල් ටික ගන්න විදිහක් නෑ. දරුවො ඉස්කෝලේ යවා ගන්න විදිහක් නෑ. ඉතින් අලුතින් ණය ගැනීම සහ ඒ ණය ගෙවීමට නැවත නැවත ණය ගැනීමට සිද්ධ වෙලා.

මහ බැංකුවේ අර්ථ ගැන්වීමට අනුව දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ලබා දෙන ණයක් ලෙස මෙම ණය ක්‍රමය හැඳින්වූවත් අද වන විට ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මේ මිනිස්සු මුලින් හිටිය තැනෙන් තවත් පහළට වැටිලා කබලෙන් ළිපට වැටීමක් වගේ දෙයක්.

මේ දේවල් ජීවිතේට උරුම කරුම කියල හිතාගෙන ජීවිත ගෙවන මේ මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක් දරා ගෙන.

දිළිඳු ජනතාවගේ සුබ සාධනය පිණිස විවෘත ආර්ථිකය යටතේ හඳුන්වා දුන් මෙම  ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පවරනු ලැබුවේ වාණිජ බැංකුවලට වන අතර එය නිශ්චිත අවබෝධාත්මකව සිදු කරපු දෙයක්. එහි ලියාපදිංචි ආයතන ප්‍රමාණය 60ක් පමණ ද ඉන් පසු 2016 දී රජය විසින් හඳුන්වා දුන් ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියාපදිංචි වී තියෙන්නේ ආයතන 04 වැනි ප්‍රමාණයක්. නමුත් රට පුරා හතු පිපෙනව වගේ දිනෙන් දින බිහි වන මෙම ආයතන 10,000 _ 15,000 අතර ප්‍රමාණයක් අද වන විට ක්‍රියාත්මකයි. මහ බැංකුව අනුමත පොලි අනුපාතය 3.5%ද ඉක්මවමින් ඔවුන් අත දිග හැර ණය ලබා දෙනවා. 220% දක්වා යන පොලියක් අය කර ගන්නා ආයතන තියෙන බව කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ආසන්න වශයෙන් මිලියනයක පමණ පිරිසක් මෙම ණය ලබා ගෙන තියෙනවා.  ඉන් බහුතරයක්ම කාන්තාවන්. ඇත්තෙන්ම මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනවල ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය දිළිඳු කාන්තාව.

සාමාන්‍යයෙන් වාණිජ බැංකුවක් හරහා ණය ලබාදීමේදී යම් තක්සේරු කරන ක්‍රමවේදයක් තියෙනවා. ණය ගන්නා පුද්ගලයා යම් ඇගයීමකට ලක් කරනවා.

නමුත් මේ ණය ක්‍රමයේ දී එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඇතැම් විට හැඳුනුම්පත විතරයි ඕනෙ ණයක් ගන්න. ඉතුරුම් පිළිබඳ වැඩපිළිවෙළක් නෑ. ආයෝජනයට නෙවෙයි පරිභෝජනයට පමණයි මේ මිනිස්සු මේ ණය ගන්නෙ. ඉතින් සිද්ධ වෙන්නෙ එක් ණයක් ගෙවන්න තව ණයක් ගන්න වෙන එක. මේ ව්‍යාපාර කිසිදු පැකිළීමකින් තොරව එය ඉටු කරනවා. පාලනයකින් තොරව මෙහෙම සිද්ධ වීම හරිම භයානක තත්ත්වයක්.

බංග්ලාදේශ ජාතික මොහොමඩ් යුනුස් 1983දී ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරයට ග්‍රාමින් (Grameen) නමැති ක්‍රමවේදය හඳුන්වා දෙමින් 2006දී නොබෙල් සාම ත්‍යාගය පවා හිමි කර ගත්තා. මෙම සංකල්පය ඔහු හඳුන්වා දුන්නේ දුප්පත්කම කෞතුකාගාරයට යැවීම ලෙසයි.

 නමුත් අවාසනාවට එම සංකල්පයේ එක් අරමුණක් වූ ස්වයං පෝෂිත මූල්‍ය සමාගම් පිහිටුවීම  යන කාරණය පමණක් අද වන විට හොඳින් ක්‍රියාත්මක වන අතර එහි සඳහන් කාන්තාවන් බල ගැන්වීම  වැනි අරමුණු අද වචනවලට පමණක් සීමා වෙලා. කාන්තාවන් සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් කළේ සාමාන්‍යයෙන් ආසියාතික කාන්තාවන් ණය වෙලා ඉන්න කැමැති නෑ. ඉක්මනින් ගෙවා දාලා නිදහස් වෙන්න උත්සාහ දරනවා. එය තමන්ගෙ වගකීමක් විදිහට සලකනවා. ආත්මගරුත්වයට මුල් තැන දෙනවා. ඒ නිසා මෙය ඔවුන් කෙරෙහි සාර්ථකව බලපායි කියලයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිත සමාජය තුළ සාමාන්‍ය වහරේ මේ ණය හඳුන්වන එක් නමක් තමයි “කොට්ටෙ යට ණය”.  එහෙම කියන්න හේතුවක් තියෙනවා.

මේ ආයතන ණය ලබා දෙන දිනයේදීම මුල් වාරිකය කපා හරිනවා, දින තුන හතරකින් නැවත ඊළඟ වාරිකය ගෙවීමට සිද්ධ වෙනවා. රක්ෂණයට සහ ලිපි ලේඛන සඳහා වියදම් යනුවෙන් තවත් මුදලක් අයකර ගන්නවා. මෙහෙම හිතන්න. විසිදාහක් ලබාගන්නා පුද්ගලයකුට සැබෑ ලෙසම අතට ලැබෙන්නේ රුපියල් පහළොස් දාහක් වැනි මුදලක්. ඒ කියන්නෙ ඉතාම අසාධාරණ විදිහට දෙනවට වඩා වේගෙන් ගන්නව වැඩිපුරත් එක්ක. කොට්ටෙ යට තියන් ඉඳල ණය බේරනවා වගේ වැඩක් ඒක.

“ඇඳ ණය”.  මේකත් මේ ණය හඳුන්වා දෙන තව නමක්. එහෙම කියන්න හේතුව ණය ලබා ගන්නා කාන්තාවන්ට සිදුවන ලිංගික බලහත්කාරකම් සහ අපචාර. ණය වාරික ගෙවීම් වෙනුවට අකැමැත්තෙන් හෝ කාන්තාවන්ට මේ දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. අනිත් කාරණය තමයි වාඩිවෙන්න පුටුවක්වත් නැති මේ ගෙවල්වල මහ රෑ වෙනකං ඇඳන් උඩ වාඩි වෙලා ඉඳල හරි ණය වාරික ගෙනියන්න එන නියෝජිතයන් තමයි මේ ආයතනවල සේවය කරන්නේ.

විශේෂයෙන් කියන්න ඕනෙ මෙම කාන්තාවන්ට සහ ඇතැම් විට දරුවන්ට පවා මොවුන් අතින් කායික සහ මානසික ලිංගික අපයෝජන සිද්ධ වන බව. මේ කරුණ පිටින් පෙනෙනවට වඩා බරපතළ තත්ත්වයක්. ලංකාව වැනි රටක සංස්කෘතික පරිසරය නිසාම මේ දේවල් සඟවා ගෙන ජීවත් වනවා හැරෙන්න නීතිමය පිළිසරණක් පතන්න මේ කිසිවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. අනිත් අතට ඔවුන් වෙනුවෙන් නීතිය ඉටු කරන්න කවුරුත් ඇත්තෙත් නෑ.

මේ සියල්ලත් සමඟ අය කරනු ලබන අධික පොලී සහ වැල් පොලී නිසා වැලේ වැල් නැතිව ගෙල වැල දා ගත් මිනිස්සු ඉන්නවා. වාර්තා වන විදිහට දෙසිය ගණනකට අධික පිරිසක් මේ වෙද්දී සිය දිවි නසා ගෙන. මේ ප්‍රශ්නය නිසා බොහෝ පවුල් ජීවිත කඩා වැටිලා. ඔවුන්ගේ කනකර, ගෙවල්වල තිබුණ වටිනා බඩු සියල්ල විකුණලා එහෙම නැත්නම් මේ මූල්‍ය ආයතන විසින්ම සම්බන්ධීකරණය කරන උකස් කඩවල.

අලුත්ම තත්ත්වය නම් කණ්ඩායම් ක්‍රමයට ණය දීම.

 එහිදී කණ්ඩායමේ එක් අයෙක් ගේ ඉඩම් ඔප්පුවක් හෝ බලපත්‍රයක් ඇපයට ගන්නවා. කණ්ඩායමේ කාට හරි ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණොත් ඔප්පුව සින්න කර ගන්නවා.

පොළොන්නරුව, බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල බහුලවම මේ වන විට මෙය සිද්ධ වෙනවා.

මේ විදිහට වරිපනම් බිල්, ඔප්පු, බලපත්‍ර ඇපයට තබා ගැනීම කිසිසේත්ම නීත්‍යනුකූල නෑ.

මෙහෙම ඉඩම් මංකොල්ලයක් වන අතරේ තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒක නම් හරිම අමානුෂිකයි. ඒ තමයි වකුගඩු රෝගය බහුල අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල, ණය ලබා ගෙන වාරික ගෙවා ගන්න බැරුව ඉන්න මිනිස්සුන්ගෙන් සමහරු වකුගඩු රෝගීන්. ඔවුන්ට රජයෙන් මාසිකව දෙන 5000 පමණ වන සොච්චම් ආධාරය ලැබෙන දාට කාක්කො වගේ එතැනට එන මේ නියෝජිතයන් අර සල්ලි ටික උදුර ගෙන යනවා. සමහර විට ඔවුන් ඊළඟ වාරිකය ගන්න එද්දී අර මනුස්සය බෙහෙත් ටික ගන්න විදිහක් නැති නිසාම ජීවිතය හැරදා ගිහිල්ල. මේ දේවල් ඉතාම සංවේදී කාරණා. ඒත් මේවා මාධ්‍යවලින් හෙළිදරව් වෙන්නේ නැති තරම්. හාස්‍ය උපදවන කාරණයක් කියන්නම්. 

රුපියල් පන්දාහක විතර වාරිකයක් ගෙවා ගන්න බැරි අම්පාර වගේ ප්‍රදේශයක මනුස්සයෙක්ට මේ ආයතන විසින් කොටුව උසාවියේ නඩු පවරනවා. හිතා ගන්න පුළුවන් නේද? එහෙමත් නැත්නම් නීතිඥවරයෙක් මාර්ගයෙන් ලිපියක් එවනවා නඩු පවරන බවට. ඇත්තෙන්ම මේ ගම්වල මිනිස්සුන්ට නීතිය ගැනවත් මේ ක්‍රියාකාරකම් ගැනවත් ප්‍රමාණවත් දැනුමක් නෑ. මෙවැනි බිය ගැන්වීම්, තර්ජන හමුවේ ඒ මිනිස්සු අන්ත අසරණයි. ඒ නොදැනුවත් බව තමයි මේ ණය දෙන ආයතනවලට තියෙන ප්‍රධානම වාසිය. ඔවුන් එය පාවිච්චි කරනවා ඉතාම නින්දිත විදිහට. මෙයින් අගතියට පත් කාන්තාවන් ගැන අපි විශේෂ අවධානයක් දක්වනවා. මොකද සමාජයේ ප්‍රධානම භූමිකාව කාන්තාව. ඇය රැක ගැනීම අපේ වගකීමක්.

මෑත කාලය තුළ බලය ලබා ගත් සෑම ආණ්ඩුවක්ම සහ පවතින ආණ්ඩුව මේ මිනිස්සුන්ට පොරොන්දු දෙමින් ඡන්දය ගත්තා මිසක් ඒවා ඉටු කළේ නැහැ. හේතුව තමයි මේ හැම අසාධාරණයක් පසුපසම තියෙන්නේ දේශපාලනය. ඒක පැහැදිලියි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය වශයෙන් අපි කියන්නෙ මෙච්චරයි.

අපිට ණය ගෙවන්න බෑ.. අපි ණය ගෙවන්නෙ නෑ..

මොකද,

ගෙවන්න ණයක් නෑ. අදාළ ආයතන මේ වන විට ගත් ණය සියල්ල අය කර ගෙන අවසන්. මේ අසරණ ජනතාවගේ ඊරි මාංසය හූරා ගෙන ඔවුන් අධික ලාභ ලබන ආයතන බවට පත්වී හමාරයි.

ඒ නිසා රජය මැදිහත් වී මෙම සිය ණය කපා හැරිය යුතුයි. පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් මුදල් නීති කෙටුම්පතක් හරහා පොලිය රහිත සාධාරණ ණය මුදලක් මේ දිළිඳු ජනතාවට ලබා දිය යුතුයි. සිය ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන කෙරෙහි මහ බැංකුවේ නිශ්චිත නියාමනයක් ඇති කිරීම කඩිනමින් සිදු කළ යුතුයි. මෙතෙක් කලක් මහ බැංකුව සිදු කළේ ජනතාව දැනුවත් කිරීම පමණයි. එය ප්‍රමාණවත් නැහැ. දැනට පවතින නීත්‍යනුකූල නොවන ආයතන අහෝසි කිරීම සිදු කළ යුතුයි. ඒ ආයතන අපෙන් ගත්ත මුදල් නැවත අප වෙත අය කර දිය යුතුයි. ධනකුවේරයන්ගේ බොල් ණය කපා හැරීම වෙනුවට නිශ්චිත බදු මුදල් අයකර ගෙන මෙම ජනතාවට සහන ලබාදීම කළ යුතුයි. අනිත් කාරණාව තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය පනතෙහි වගන්ති ලියැවිලා තියෙන්නේ සමාගම්වලට වාසි විදිහට මිසක ණය ගන්න මේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි. එය ඉතාම අසාධාරණයි. අපි බල කර සිටිනවා මේ පනත ජනතාවාදී එකක් බවට පත් කරන ලෙසට.

ග්‍රාමීය ජනතාව කෙරෙහි ක්‍රය ශක්තිය ඇති කර ඔවුන්ගේ අයිතිවාසිකම් දිය යුතුයි. ඔවුන් ද මේ රටේ පුරවැසියන්. ඔවුන් ක්‍රමවත් ලෙස රටේ ආර්ථිකයට දායක කර ගත යුතුයි. ඒ සඳහා සහන සැලසීම සහ ණයකාරයා කියන මානසිකත්වයෙන් මුදා මානසිකව සහ කායිකව සුරක්ෂිත කිරීමට ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් තුළ රජය එම වගකීම ගත යුතුයි. මේ පවුල්වල දරුවන්ගෙ අනාගතයට රජය වග කිව යුතුයි. අවසාන වශයෙන් කියන්නෙ මේ අසරණ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු වෙන තුරු අපි මේ සටන අත් හරින්නෙ නැහැ.”

හිතක් පපුවක් නැති දඩයක්කරුවන් පිරිසක් විසින් ඇටවූ විශාල මර උගුලකට හසු වූ මුව රැළක් සේ ඉන් ගැලවී ගත නොහැකිව ජීවත් වෙන්නට බලාපොරොත්තුවක් ඉල්ලන මේ අසරණ මිනිසුන් වෙනුවෙන් නිරෝෂා ගුරුගේ වැනි සමාජ ක්‍රියාකාරිනියන් ප්‍රමුඛ සංවිධානයන්හි නිර්භය ඉදිරිපත් වීම සහ කැප වීම වගකිවයුතු පුරවැසි සැමගේ ප්‍රශංසාවට සහ ඇගයීමට ලක් විය යුතු කරුණකි.

ලක් පොළොව මත හුස්ම ගන්නා සැමට සම අයිතින් ලැබෙන නිදහස් පොහොසත් හෙටක් උදා වෙනු දැකීම පොදු පැතුම කර ගනිමු.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ