ඉන්ධන අර්බුදය නොවිසඳෙන්නේ පාලකයන්ගේ ග්‍රහ ‍ෙදා්ෂයකින්ද?

0
177

සමස්තයක් වශයෙන් බලනවිට වර්තමානයේ පවතින තෙල් අර්බුදය විසඳාගත නොහැකි තත්ත්වයකට පත්වී ඇත්තේ රටට විදේශ විනිමය අහිමිවීම නිසා යැයි පාලකයෝ පවසති. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඉන්ධන අර්බුදය ඇතිවීමත් සමඟ ජනතාවගේ ආහාරපාන ඇතුළු මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇත.

සාම්ප්‍රදායික සිරිත් විරිත් බැහැර කරමින් තාක්ෂණික ශිල්ප ක්‍රම ඔස්සේ කටයුතු කිරීමට පුරුදු වූ වර්තමාන මිනිසාට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ගොවිබිමේ සිට කර්මාන්තශාලාව දක්වාම ප්‍රශ්න පත්තරයකට මුහුණ දීමට සිදුවී තිබේ. ඇත්ත වශයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කුමන ආකාරයේ හෝ ක්‍රමවේදයක් ජේ‍යාතිෂය ඇසුරින් පවතීද යන්න විග්‍රහ කිරීම මෙහි අරමුණ ලෙස සඳහන් කරමි.

ලෝකයේ බලවත් රාජ්‍යයක් ලෙස සැලකෙන සෝවියට් රුසියාව ලංකාවේ නිෂ්පාදිත තේ සඳහා හොඳ ඉල්ලුමක් ලබාදීමට අතීතයේ සිට මිත්‍රශීලීව ඉදිරිපත් වූ බව කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම සුළු අපනයන භෝග පවා මිලදී ගැනීමට මෙම රාජ්‍යය කැමැත්තෙන් සිටීම අප විසින් අගය කළයුතු කරුණකි. ආසියාතික රටක් වූ සෝවියට් රුසියාවට හිමි ලග්නය වෘශ්චික රාශිය යැයි ඉවෝනා බැරන්සීල් සඳහන් කරයි. මෙම රාශියේ අධිපති කුජ ග්‍රහයා ලංකා කේන්දරයේ දහවැනි භාවයයි. එය වෘශ්චික රාශියට අයත්වේ. ලෝකායත කේන්දරයට අනුව රටක ආණ්ඩුව නිවේදනය වන්නේ දහවැනි භාවයෙනි.

වර්තමානයේ පවතින ග්‍රහ පිහිටීමට අනුව ලංකා කේන්දරයේ අධිපති සෙනසුරු ග්‍රහයා කුජට අයත් දෙනට නැකතේ ගමන් කිරීමත් ලංකා කේන්දරයේ දෙවැනි භාවය අධිපති ගුරු ග්‍රහයා ධනස්ථානය වූ දෙවැනි භාවයේ ගමන් කිරීමත් 2022 ජුනි මාසයේ විසිඅට වැනි දින සිට කුජ ග්‍රහයා තුන්වැනි භාවයේ ගෝචරවීමත් හේතුවෙන් මෙම අවස්ථාව රුසියාව සමඟ වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමට යහපත් අවස්ථාවක් උදා කරන ග්‍රහ පිහිටීමක් බව පැහැදිලි වේ.

එහෙත් එවැනි විදේශ සබඳතාවන් ආසියානු කලාපයේ බලවත් රටක් වූ රුසියාව සමඟ ගොඩනඟා ගැනීමට නොහැකි වන්නේ මන්ද එය ජේ‍යාතිෂමය බලපෑමක්ද නැතහොත් රාජ්‍ය නායකයන්ගේ දුර්වලතාවක්ද මහජනතාව විසින් විමර්ශනය කළයුතු වැදගත් ගැටලුවකි. 2022 ජුනි මාසයේ තිස්වැනි දිනෙන් පසු රාජ්‍ය නායකයාගේ කේන්දරයෙහි පස්වැනි භාවයේ ගුරු ග්‍රහයා සහ නෙප්චූන් ග්‍රහයා වක්‍රව ගමන් කිරීම තුළ ඉන්ධන අර්බුදය ඇතුළු අනෙක් සියලුම ප්‍රශ්න කෙරෙහි අවධානයක් දැක්වීමේ මානසිකත්වයක් මෙම ග්‍රහ තත්ත්වය තුළ නායකයාට ඇති නොවේ.

මෙම ග්‍රහයන්ගේ යෝගවීම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ලග්න භාවයේ සිදුවේ. එම පිහිටීමේ  බලපෑම අනුව තෙල් අර්බුදය නිසා පැනනඟින ගැටලු ප්‍රතික්‍ෂේප කරමින් කටයුතු කිරීමට ඔහු පෙලඹේ. එමෙන්ම ලංකා කේන්දරයේ දහවැනි භාවය අධිපති කුජ ග්‍රහයා අග්‍රාමාත්‍යවරයාගේ දෙවැනි භාවයේ ගෝචර වීමෙන් පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාගැනීම අපහසු කාර්යයක් බවට පත්වේ. මෙම ග්‍රහ පිහිටීමේ බලපෑම මත ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමද අපහසු කරුණකි.

මේ අනුව රුසියාව සමඟ ඉතා හොඳින් ගොඩනඟා ගත හැකි මිත්‍රශීලී සබඳතාව වෙනුවෙන් සතුරු බලවේග මතුවීම නිසා දැනට රට තුළ උද්ගත වී ඇති බොහෝ ප්‍රශ්න දරුණු ආකාරයෙන් ඉස්මතු වීමට මෙම ග්‍රහචාරය හේතුවේ. මෙසේ රටට බලපා ඇති පීඩාකාරී තත්ත්වයෙන් රටත්  ජනතාවත් මුදාගෙන රට යහපත් කරගැනීම සඳහා මෙහි කලින් විග්‍රහ කරන ලද මෙරටේ පාලකයන්ගේ පාපී ග්‍රහ බලපෑම් ඉවත්විය යුතුය. වර්තමාන ග්‍රහචාරයට අනුකූල වූ ආධ්‍යාත්මික ගුණය පවතින දූරදර්ශී නව පාලන තන්ත්‍රයකට මාවත සකසා ගැනීමට මහජනතාව සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය කරුණකි.

මෙය නිමා කිරීමට අවශ්‍ය අරගලයට නිසි ජවය ලැබෙන්නේද යන්නත් ප්‍රශ්නයකි. අරගලයේ බලපෑම වැඩි දියුණු කර ගැනීමට දැනට භාවිත කරන “ගෝඨාගෝහෝම්” සහ “ගෝඨාගෝගම” යන උද්ඝෝෂණ පාඨ ශබ්ද විද්‍යානුකූලව අරගලයට ජවය සපයනු වෙනුවට සතුරු පිලට වාසිදායි වෙයි. ඒවා වෙනස්කර ගිනි ගණයේ බලය පවතින “නන්දසේන ගෝ හෝම්” සහ “නන්දසේන ගෝගම” ලෙස උද්ඝෝෂණ පාඨයන් කාලානුරූපව වෙනස්කර ගැනීමෙන් අරගලකාරීන්ගේ වුවමනාවන් සපුරා ගැනීමට ශබ්ද විද්‍යානුකූල බලය යොදා ගත හැකි බව පෙනේ. එය මෙතෙක් අපේක්ෂා කළාවූ අරමුණ වෙත පහසුවෙන් ළඟාවීමට උපකාරී වන බවද පෙනීයයි.

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ

071 8664273