ඉදිරියේදී හරියට සිංදුවක්වත් හැදෙයිද කියලා කියන්න බැහැ

0
83

ප්‍රේක්ෂක ආදරය වගේම ගැරහුමත් සම සිතින් විඳදරාගත් ඔහු අටලෝ දහමින් කම්පා නොවන පුද්ගලයෙකි. තාක්‍ෂණික ලෝකය පිළිබඳව සුපහන් සිතින් බැලුම් හෙළනා ඔහු ඉතා ප්‍රේමනීය පුද්ගලයෙකි. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ නව පිටුවක් ඇරඹූ ඔහු ඒ ගමනේ නොනැවතීම ගමන් කරන්නෙකි. පවතින අර්බුදය හමුවේ වුව ප්‍රේක්ෂකයා වෙත ටෙලිවිෂනයෙන් ආදරය ගෙනෙන ඔහු ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකි. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්‍ෂ තිළිණ බොරලැස්සයි.

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

මේ දවස්වල දෙරණ නාළිකාවේ මගේ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ රාජිනී සහ ශක්ති කියන ටෙලිනාට්‍ය දෙක. මේ නිර්මාණ ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගනිමින් පවතිනවා. ඒක මට සතුටක්.

ඔබ මේ ක්ෂේත්‍රයට එක් වුණු විධිය ගැන කියනව නම්?

මම මේ ක්ෂේත්‍රයට එක්වෙන්නේ දේවින්ද කෝන්ගහගේ කියන අධ්‍යක්ෂවරයගේ සහාය අධ්‍යක්ෂවරයා විධියට. ඊට පස්සේ ජානක සිරිවර්ධන කියන නිෂ්පාදකවරයා සමඟ එක්වෙලා අග්නි කියන මගේ පළමු ටෙලිනාට්‍ය ඔස්සේ තමයි මම මේ ක්ෂේත්‍රයට අධ්‍යක්ෂවරයෙක් ලෙස අඩිය තබන්නේ.. ඊට පස්සේ අත්තම්මා, සිඳූ වගේ නිර්මාණ රැසක් මම ප්‍රේක්ෂකයට ලබා දුන්නා.

රාජිනී ගැන කතා කළොත්?

රාජිනී තිර පිටපත ලියන්නේ අනෝමා විජේවර්ධන. මේක නිෂ්පාදනය කරන්නේ ජානක සිරිවර්ධන. දෙරණ උප සභාපතිතුමා වන ලක්සිරි වික්‍රමගේ මහතා ආදී සියලු දෙනාගේ මැදිහත් වීමෙන් තමයි රාජිනී නිර්මාණය වෙන්නේ. මේ නිර්මාණයත් සමඟ මේ ක්ෂේත්‍රයට අලුත් මුහුණු කිහිපයක්ම ඉස්සරහට ආවා. මේ වනවිට රාජිනී ටෙලිනාට්‍යයේ කොටස් හැට ගණනක් විකාශය වෙලා තිබෙනවා. ඒ වගේම සෑම සතියේ දිනකම රාත්‍රි 9.39ට තමයි රාජිනී විකාශය වෙන්නේ. මේ දවස්වල රාජිනී එක්ක රූගත කිරීම් සිදුකරගෙන යනවා. රටේ පවතින තත්ත්වය සමඟ අපහසුවෙන් වැඩ කරගෙන යනවා. රාජිනී සම්බන්ධයෙන් ප්‍රතිචාර නම් ඉතා ඉහළයි.

ටෙලිවිෂනයේ නිර්මාණය වන අනෙක් නිර්මාණ ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම දැන් නිර්මාණය වන ටෙලිවිෂන් නිර්මාණ ගැන මට තිබෙන්නේ යහපත් අදහසක්. විශේෂයෙන්ම ප්‍රේක්ෂකයාව ඉතා හොඳින් නතු කරගන්නවා වගේම තාක්‍ෂණික අතිනුත් දැන් නිර්මාණය වන නිර්මාණ ඉතා හොඳයි. සමහර වෙලාවට අපේ ටෙලිනාට්‍ය කලාව චිත්‍රපටයට වඩා හොඳ තැනක තිබෙනවා කියන්න පුළුවන්. ඒ වගේම නාළිකා අතර පුදුමාකාර තරගයක් තිබෙනවා. එකකට එකක් දෙවැනි නැති මට්ටමට ටෙලිනාට්‍ය කලාව දියුණු වෙලා. අපිට ලැබෙන මුදල වැඩි වුණා නම් මීටත් වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන් කියන රෙකමන්ඩ් එක මට දෙන්න පුළුවන්.

ඇතැම් පිරිස් ඔබේ නිර්මාණ ආදරයෙන් වැලඳ ගන්නවා. ඇතැම් පිරිස් දෝෂාරෝපණ එල්ල කරනවා. ඔබ මේක දකින්නෙ කොහොමද?

මේක තමයි ලෝක ස්වභාවය. ටයිටැනික් වගේ ලෝකයම ආදරය කරන චිත්‍රපටයක් ගත්තත් ඒකට කැමති නැති පිරිසකුත් සිටිනවා. එකිනෙකාගේ අභිරුචිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමහරු කැමැති කොමර්ෂල් වැඩවලට. සමහරු අද්භූත කතන්දරවලට. ඒක තමයි මේ ලෝකේ විධිය. ඇත්තටම විවේචන එල්ල වීම හරහා අපිට අපේ නිර්මාණවල අඩුපාඩු හදාගන්න පුළුවන්. මම විවේචනය කියන දෙය දකින්නෙ සාධනීය දෙයක් විධියට.

ඉස්සරහට එළඹෙන අභියෝග කාලය ටෙලිවිෂනයට කොහොම බලපායිද?

විශාල බලපෑමක් මේ වනවිටත් අපිට තිබෙනවා. නිර්මාණ කටයුතු කරගන්න තරම් මානසික මට්ටමක් මිනිස්සුන්ට නැහැ. නිර්මාණයක් කරනවිට මානසික නිදහස කියන එක අනිවාර්යම දෙයක්. මුදල් ප්‍රශ්න වගේම උද්ධමනයත් මේකට සෘජුවම බලපාල තිබෙනවා. කාලයක් යනතුරු ප්‍රේක්ෂකයාට බලන්න දැනෙන නිර්මාණයක් ඉස්සරහට කරන්න බැරිවෙයි. මම හිතන්නෙ නැහැ ඉස්සරහට සින්දුවක්වත් හරියට හැදෙයි කියල. මේ තත්ත්වය දිගටම ගියොත් කිසිම නිර්මාණයක් සිදුවෙන එකක් නැහැ.

පවතින අර්බුදය ගැන ඔබේ අදහස සහ අර්බුදය කලා ක්ෂේත්‍රයට බලපාන විධිය ගැන කතා කළොත්?

පැහැදිලිවම කියනවා නම් දේශපාලනය හැමදේම විනාශ කරලා දාලා. මේක සියලු ක්ෂේත්‍රවලට බලපාලා. අඩුම තරමේ සුරතල් සතෙක්වත් ඇතිකරන්න බැරි රටක් වෙලා මේක. පවතින ඩොලර් අර්බුදය විසඳුණේ නැත්නම් මොනව වෙයිද කියන එක හිතාගන්න බැහැ. හැබැයි මේ දවස්වල මිනිස්සුන්ගේ ආතතිය නැති කරන එකම දෙය වෙලා තිබෙන්නේ ටෙලිවිෂනය. හැබැයි මේ දිනවල ඉතා අඩු වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ.

මේ හේතුව නිසා නාළිකාවලට මූල්‍යමය පියවීම් සිදු කරගන්න අපහසු වෙලා තිබෙනවා. මේ නිසා යම්කිසි ආකාරයක පරතරයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉස්සරහට එන කාලේදී දැන් දරන පිරිවැයට වඩා අඩුවෙන් නිර්මාණ සිදු කිරීමට අපිට සිද්ධ වෙනවා. මේක ඉතා නරකයි. හැමදේකටම මුදල කියන එක බලපානවා. කොස්ටියුම් එකේ ඉඳන් ලොකේෂන් එක දක්වාම හැමදේම මුදල්. ඒ ෆ්‍රේම් එකේ තමයි අපිට වැඩ කරන්න වෙලා තිබෙන්නේ. ලාභය නැති වුණත් කොස්ට් එක කවර් කරගන්න වෙන තැනක තමයි අපි අද සිටින්නේ.

ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයා හෙම්බත් වෙලා සිටින්නේ. මෙයට ඔබ පිළියම් විධියට දකින්නේ මොනවද?

රැල්ලට යන වැඩ තමයි කොහෙත් තිබෙන්නේ. ඒකට අපිත් වගකියන්න ඕනෑ. කොපමණ හොඳ නිර්මාණයක් කළත් බහුතර ප්‍රේක්ෂකයො ඒ නිර්මාණය බලන්නෙ නැහැ. මේ නිසා බොහෝ දෙනා රැල්ලට කරන නිර්මාණ කරන්න පුරුදු වෙලා. මේ වෘත්තිය නිසානේ අපිත් යැපෙන්නේ. ලංකාවෙ කැකුළු හාල්වලටත් ඩයි කලවම් කරන ජාතියේ මිනිසුන් ඉන්නේ. එහෙම බලන විට අනෙක් හැමදේම අගාධයක තිබෙන්නෙ. එතකොට මේ ක්ෂේත්‍රය විතරක් කොහොමද උසස් විධියට පවත්වාගෙන යන්නේ.

අද වනවිට සමාජ මාධ්‍යජාලා සමාජයට සහ කලාවට කරන බලපෑම ගැන ඔබේ අදහස?

මගේ සිඳු කියන නිර්මාණය හරහා තමයි මම දැනගත්තේ සෝෂල් මීඩියා හරහා කොච්චර බලපෑමක් නිර්මාණය වෙනවද කියන එක. අපි  සිඳු ටෙලිනාට්‍යට ලැබුණු හැම පෝස්ට් එකක්ම ෂෙයා කළා අපිට ෆ්‍රී කැම්පේන් එකක් සෝෂල් මීඩියා හරහා ලැබුණා. දැන් අපිට අලුත් නිර්මාණවලට කැම්පේන් කරන්න සිද්ධ වෙලා. අපිට හොඳ ඕඩියන්ස් එකක් මේ හරහා හැදිලා තිබෙනවා. නෙගටිව් වගේම පොසිටිව් විධියට අපිට මේකෙ බලපෑමක් තිබෙනවා. ටෙලිනාට්‍ය කිව්වම ටෙලිවිෂනයේ තමයි විකාශය වෙන්නේ. අද මිනිස්සු බහුතරය ටෙලිනාට්‍ය බලන්නෙ යූටියුබයේ. ඇත්තටම යූටියුබ් තාම LMRB වගේ රිපෝට්ස්වල ඇනලයිස් වෙන්නෙ නැහැ. නමුත් සෝෂල්මීඩියා මගේ නිර්මාණවලට බලපාන විධය ගැන මම සතුටුයි. මේ විධියට දිගටම ගියොත් ටෙලිවිෂනය නැතිවෙලා ගිහින් යූටියුබ් විතරක් ඉතිරි වෙයිද කියලත් සිතෙනවා.

ඉස්සරහට එන්න තිබෙන නිර්මාණ ගැන කියන්න?

තවම මම කිසිම අලුත් නිර්මාණයක් ගැන හිතල නැහැ. කෙරෙමින් පවතින නිර්මාණවලට උපරිම සාධාරණයක් ඉටුකිරීම තමයි මගේ එකම අපේක්ෂාව.

ගිහාන් සචින්ත