ඇස් දෙකෙන් නොදැකපු කතන්දරවල විතරක් ජීවත්වන අමුතු සත්තු

0
552

ඉතිහාසය පුරාවට විවිධ මිථ්‍යාමය කතන්දර ගොඩනැඟී ඇති බව ඔබ දන්නවා. ඒවා සත්‍ය හෝ අසත්‍ය වේවා අද වන විට නිකන්ම නිකන් කතාවක් විතරක් වී ඇත. ඒ අතරින් අතීතයේ සිටි ගී්‍රකයන් යනුද ඕනෑම දෙයකට කතන්දර ගොඩ නැඟීමට යුහුසුලු වූ පිරිසකි. ගී්‍රකයන්ගේ ජනප්‍රවාද තුළ අති විශාල ලෙස අනෙක් ශිෂ්ටාචාරවලට වඩා මිථ්‍යාමය සතුන් නිර්මාණය වී ඇත. ඔවුන් අතර ජනප්‍රවාදයෙන් පැවතෙන මිථ්‍යාමය සත්ත්වයන් කිහිපදෙනෙක් සොයා බලමු.

සයික්ලොප්ස්

සයික්ලොප්ස් යනු ගි්‍රකයන් විසින් හඳුන්වනු ලැබූ එක් ඇසක් පමණක් හිමි යෝධයන් පිරිසකි. නළලෙහි මැද තනි ඇසක් පමණක් පිහිටා ඇති යම් අසාමාන්‍ය පෙනුමක් සේම ඉහළ කාය ශක්තියක් හිමි යෝධයන් සේ හැඳින් වූ පිරිසකි. ගී්‍රක භාෂාව අනුව සයික්ලෝප්ස් යන වචනය බිඳී එන්නේ circle යන වදනෙනි. එනම් රවුම් යන තේරුම ඇතිව රවුම් ඇසක් හිමි යන අර්ථය ආරෝපණය කොට ඇත. ක්‍රි.පූ. 7-8 සියවස්වල ජීවත් වූ හෙසිඩෝස් විසින් ඔහුගේ කාව්‍ය ග්‍රන්ථයක සයික්ලොප්ස් පිළිබඳ සටහන් කොට ඇත. එහිදී සයික්ලොප්ස්ලා තිදෙනෙක් සිටිති. ඔවුන් සහෝදරයන්ද වෙති. බේ‍රාන්ට්ස්, ස්ටෙරොප්ස් සහ ආග්ස් යනුවෙන් ඔවුන් හැඳින්වේ. ඔවුන්ගේ මවුපියන් යුරේනස් සහ ගයියා වෙයි.

තවත් අවස්ථාවක ගී්‍රකයෙක් වූ ඔසිඩිසස් තම ඔඩිසි ග්‍රන්ථයේ මරණයෙන් බේරීමට දූපතක සිටි සයික්ලොප්ස් කෙනෙක්ව තමන් විසින් අන්ධ කොට පලා යෑමද සටහන් වේ. ඔබට මතක ඇති මීට ඉහත සඳහන් කළා සයික්ලොප්ස් යනු ඉහළ ශක්තියක් තිබූ අමුතු පිරිසක් බව. ඒ අනුව ඔවුන් විසින් කළ නිර්මාණ පවතින බවට මතයක් ඇත. ඒ ග්‍රීක ශිෂ්ටාචාරයේ මිසනියන් සංස්කෘතියට අයත් ආගොලිස් හි පිහිටා ඇති “සිංහ ‍ෙදාරටුව“ නම් නිර්මාණය වේ. මෙය “සයික්ලොපියන් තාප්ප” ලෙසද හැඳින්වේ. මෙම බැමි හුනුගල්වලින් නිර්මාණය කොට ඇත.

මෙය මිසනියන් ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අතර රළු ලෙස පාෂාණ කුට්ටි නිර්මාණය කොට ඇති අතර පාෂාණ එකිනෙක සම්බන්ධ කිරීමට කිසිදු බදාමයක් යොදා නොගෙන තිබීමත් විශේෂත්වයක් වෙනවා. ඒ අනුව හෙරඩෝටස් විසින් සටහන් කොට ඇත්තේ මෙම බැමි නිර්මාණය කිරීම සයික්ලොප්ස්ලා විසින් සිදුකොට ඇති බවය. එම නිසා අද වන විට මෙම බැමි සයික්ලොපියන් බැමි ලෙස හැඳින්වේ.

මෙම ගෘහ නිර්මාණ ශිල්පයට සමාන ලෙස නිර්මාණය කොට ඇති තාප්ප බොස්නියාවල ඩාඕසන්, ග්‍රීසියේ ටයිරින්ස් හා ඉන්දියාවේ රාජ්ගර් වැනි ස්ථානවල පිහිටා ඇත. ඇත්තටම මේ නිර්මාණය කොට ඇති පුරාණ ගල් තාප්ප සඳහා මෙසේ “එක් ඇසක් හිමි යෝධයන්” ඉදි කළ බවට වාර්තා කරන්නේ මන්දැයි අබිරහසකි. එසේම මෙවන් යෝධයන් පිළිබඳ බයිබලය තුළද සඳහන් වේ.

ඓතිහාසිකව ගී්‍රකයන් හට මෙවන් විකෘති ස්වභාවයක් සහිත ජීවියෙක් පිළිබඳ සිතුවිලි පහළ වීමට යම් ෆොසිල සාධක ඉවහල් වන්නට ඇති බව සැක කෙරේ. එහිදී ගී්‍රසියට අයත් ක්‍රීට දිවයිනෙන් හමු වූ විශේෂ හස්ති වර්ගයක අස්ථි කබල් හේතු වූ බව සමහර පර්යේෂකයන්ගේ අදහස වේ. සත්ත්ව විද්‍යාඥයන්ට අනුව මේ සඳහා “මැමත්” විශේෂයක් හේතුවී ඇත. ප්ලයස්ටොසීන් යුගය නියෝජනය කළ මෙම මැමත් විශේෂය සුවිශේෂී වේ. අප සිතන ආකාරයට මැමත් කියූ විට සද්දන්තයන් සිහියට නැඟේ. නමුත් මේ කතා කරන මැමත් විශේෂය “මැමතුස් ක්‍රීටස්” යනුවෙන් නම් කොට ඇත.

මොවුන්ගේ නෂ්ටාවශේෂ ගී්‍රසියට අයත් ක්‍රීට දූපතින් හමුවේ. ඒ අනුව මෙම ක්‍රීට දූපතට ආවේණික වෙනස්කම් සහිත වූ මෙම මැමත් විශේෂය ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් 200කට ආසන්න විය. වැඩුණු මිනිසකුගේ ඉණට පමණක් උසින් යුතු විය. ඒ අනුව ඔබ දැක ඇති හස්තින්ගේ අස්ථි. විශේෂයෙන් හිස් කබල. මෙම හිස් කබල් තුළ නළල පෙදෙසට වන්නට කපාලයක් පිහිටා ඇත. එනම් වළක් සේ පවතී. නමුත් අතීත ගී්‍රකයන් මෙම කපාලය අක්ෂි කුහරයක් සේ සලකා එය දරුණු එක් ඇසක් හිමි යෝධයකුගේ ශරීරයකට සම්බන්ධ කොට අපූරු කතාවක් ගොඩනැඟූ බව සමහර පර්යේෂකයන්ගේ මතය වෙයි.

හැබැයි මේ සියලුම අනුමාන. ඇත්තටම ගී්‍රකයන් මෙහෙම කතාවක් මෙහෙම අස්ථියක් දිහා බලාගෙන හැදුවාද කියන්න දන්නෙත් ඒ කාලෙ හිටිය ගී්‍රකයෝම තමා. සාමාන්‍ය හස්තියකුගේ හිස් කබලටද මෙවැනි කතාවක් ගෙතුවේ නැත්තේ ඇයි කියා යමකුට සිතෙන්නත් පුළුවන්. ඒ වගේම කතාවේ අතරමැදින් මැමත්ගේ දළ හැලුනේ කොහොමද කියලත් අතුරු ප්‍රශ්නයක් යමෙක් අහන්න බැරි නැහැ. කෙසේ නමුත් සයික්ලෝප්ස් යනුවෙන් රෝගී තත්ත්වයක්ද පවතිනවා.

මෙම රෝගය ඉතාම දුර්ලභ රෝගී තත්ත්වයක්. ඒ අනුව මෙවන් රෝගයක් සහිතව අතීතයේ සිටි පිරිසක් ඇත්තටම ගී්‍රකයන් දැන සිටියාද කියලත් අපට සිතන්න පුළුවන් තවත් පසෙකින්. සමහර විට ඔවුන්ට විශාල කාය ශක්තියක් තිබුණු පෙනුමෙන් කොහොමත් විකෘති ස්වරූපයක් තිබූ නිසා ඔවුන් බොහොම දරුණු රාක්ෂයන් ලෙසත් ගී්‍රක ඉතිහාසයේ ලියවුණා වෙන්න පුළුවන්. කොහොම නමුත් අර කිවූ සයික්ලෝප්ස් නම් රෝගී තත්ත්වය හිමි දරු උපත් වර්තමානයේත් ඉතා දුර්ලභව හෝ සොයා ගන්න පුළුවන්.

ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ 2011 වර්ෂයේදී ඉන්දියාවේ සිදුවූ දරු උපතක්. පැය 24ක පමණ ආයු කාලයක් හිමිවූ මෙම දරුවාට උපතින් නාසයක් හෝ ඇස් පිහිටා නොතිබිණි. තිබුණේ නළල මත එක් ඇසක් පමණි. වර්තමානයේ නම් පිළිගැනීම වන්නේ සයික්ලෝප්ස් යනු දුර්ලභ රෝගී තත්ත්වයක් පමණක් බවය. ගී්‍රක මිථ්‍යාවක් වන එකැස් යෝධයන් එනම් සයික්ලෝප්ස්ලා ඇත්තදැයි හඳුනා ගැනීමට නම් එකැස් යෝධයකුගේ හිස් කබලක් හමු විය යුතුය.

මිනොටෝර්

මිනොටෝර් යනුද ගී්‍රක ඉතිහාසයේම සඳහන් තවත් ප්‍රසිද්ධ සත්ත්වයෙක්. මිනොටෝර්ගේ ස්වභාවය ගව හිසක් සහ වල්ගයක් මිනිස් ශරීරයකට සම්බන්ධ ස්වරූපයකි. ඒ අනුව මිනොටෝර් යනු ගව – මිනිස් හයිබි්‍රඩ් සතෙකි. මෙසේ මෙම සත්ත්වයාට මිනොටෝර් යනුවෙන් නම පටබැ‍ෙඳන්නේ “පාලකයාගේ ගවයා” ලෙසය. එනම් මිනොස් + ටෝර් = මිනොටෝර් ලෙසින් නාමය පටබැ‍ෙ¾දයි. මිනෝස් යනු එවකට ක්‍රීටයේ පාලකයාය. එකල ක්‍රීටයන් මිනොටෝර් “ඇස්ටරියන්” ලෙසද හඳුන්වා ඇත. මිනොටෝර්ගේ කතාව හරි අපූරු එකකි. මිනොටෝර් යනු ගී්‍රසියේ ක්‍රීට දිවයිනටම අයත් මිථ්‍යාමය සතෙකි. මොහුගේ මවුපියන් වන්නේ පැසිෆා සහ සුදු ගොනෙකි. පැසිෆා යනු ක්‍රීට රජුවූ මිනෝස් රජුගේ බිරියය

. ක්‍රීටයේ රාජ්‍යත්වයට පත් වූ මිනෝස් රජු බාරයක් ඔප්පු කිරීමට පොසයිඩන්ගෙන් සුදු ගොනකු ඉල්ලුවේය. නමුත් පසුව බාරය ඔප්පු කිරීම පසෙකලා ගොනා තම සන්තකයේම තබා ගැනීමට මිනොස් රජු ක්‍රියාකරන ලදී. මෙයින් දැඩි ලෙස උරණ වූ පොසයිඩන් මිනෝස් රජුගේ බිරිය වන පැසිෆා හට ශාපයක් කළේය. ඒ මෙම ගොනා හා පැසිෆා ආදරයෙන් බැ‍ෙඳන ලෙසටය. එහි ප්‍රතිඵලයක් ලෙස කලකට පසු පැසිෆා හා මෙම ගොනාට අර්ධ මානවයෙක් ලැබිණි. ඔහු ගව හා මිනිස් ස්වරූපයක් හිමි මිනොටෝර් ලෙස හැඳින් වූ අමුතු සත්ත්වයෙකි. නමුත් කාලයත් සමඟ මේ මිනොටෝර් දරුණු ගති ලක්ෂණ පෙන්වන්නට විය.

දිනක් ක්‍රීටයේ රජතුමා වූ “මිනෝස්” විසින් එම රාජ්‍යයේම සිටි දක්ෂ නිර්මාණ ශිල්පියෙක් වූ “ඩෙඩලස්” හට අණ කිරීමක් කරනවා වංකගිරියක් නිර්මාණය කරන ලෙසට. තම රජුගේ අණ පරිදි ඩෙඩලස් විසින් ක්‍රීටයේ පොළොව යට දැවැන්ත වංකගිරියක් නිර්මාණය කළේය. මෙලෙස වංකගිරියක් නිර්මාණය කිරීමේ හේතුව වූයේ මිනොටෝර් සිර කොට තැබීමටය. මෙම සත්ත්වයා ස්වභාවයෙන් ඉතා දරුණු මෙන්ම මිනිසුන්ට හිංසාකාරී විය.

එම හේතුව නිසා මෙම සත්ත්වයාගේ කරදරයෙන් මිදීමට මෙලෙස වංකගිරියක සිර කිරීමට තීරණය විය. ඒ අනුව මෙම වංකගිරියේ සිර කළ මිනොටෝර්ගේ කරදරයෙන් ගැලවීමට ක්‍රීට වැසියන්ට නොහැකි විය. මේ මිනොටෝර් වංකගිරිය තුළ සිට කෑ ගසන්නට විය. මොහුගේ කෑ ගැසීම් නිසා මුළු ක්‍රීටයම උස්සා පොළවේ ගැසුවාක් මෙන් විය.

විටෙක ගොඩනැඟිලි කඩා වැටෙන්නට විය. මුහුද ගොඩ ගැලීම්, පොළොව නිතර සෙලවෙන්න පටන් ගැනීම්, නිරන්තරව මිනිසුන් මිය යෑම් සිදු විය. ඒ අනුව මිනොටෝර් මඟින් මුළු ක්‍රීටයම විනාශ කරන්නට විය. මිනොස් රජුගේ පුත්‍රයා ඇතීනියානුවන් විසින් ඝාතනය කළ පසු ඇතීනියානුවන් හට දරුණු වසංගතයකට මුහුණ දෙන්නට සිදු විය. එයින් බේරීමට ඔවුන්ට වසරක් පාසා පිරිමි සහ ගැහැනු මිනිස් බිල්ල බැගින් වංකගිරියේ සිටි මිනොටෝර් හට දීමට සිදුවිය. මෙහිදී එක් අවස්ථාවක ස්වකීය කැමැත්තෙන්ම මේ සඳහා ඉදිරිපත් වූ පුද්ගලයෙක් විය. ඔහු තෙසියස් නම් විය. මිනොටෝර්ව තෙසියස් විසින් ඝාතනය කරන ලදී.

කෙසේ නමුත් බොහෝ විට මිනොටෝර් යනු මිථ්‍යාමය සතෙක් විය හැකිය. ගව හිසක් සහ මිනිස් ශරීරයක් හිමි සතුන්ගේ ෆොසිල අද වන තුරු හමුව නැත. අනෙක් අතට එවැනි සත්ත්වයකුගේ පැවැත්ම පිළිබඳ අභියෝගයක්ද පවතී. ඒ අනුව මිනොටෝර් යනුවෙන් අද්භූත සතෙක් වටා කතාවක් ගෙතීමෙන් ගී්‍රකයන් ලොවට පෙන්වීමට උත්සාහ කළේ බොහෝ විට ස්වභාව ධර්මයේම යම් සිදුවීමක් විය හැකිය. නමුත් එය සත්‍ය වශයෙන් අවබෝධ කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මිනොටෝර්ගේ ස්වභාවය අනුව කියවෙන්නේ නොනවතින දරුණු බවකි.

එසේම ඔහු සමස්ත කාලයම පොළව යට සිටී. ඔහු පොළොව යට සිට කෑගැසීමෙන් ගොඩනැඟිලි කඩා වැටීම්, පොළොව දෙදරීම් හා මුහුදු ගොඩ ගැලීම් පොදුවේ සිදුවන සිදුවීම් මාලාවකි. එසේම එය නැවතෙන දෙයක්ද නොවන බව කියැවේ. ඒ අනුව මෙය ස්වභාව දහමේ සිදුවන භූමිකම්පා විග්‍රහ කළ ආකාරයක් බව පෙනේ. ස්වභාවිකවම ක්‍රීට දූපත යනු භූමිකම්පාවලට තෝතැන්නකි. භූතැටි ද්විත්වයකට මායිම්ව පිහිටි දිවයිනකි. එහි නිරන්තර දැවැන්ත භූමිකම්පා සිදුවන බවද වාර්තා සාක්ෂි දරයි. එහි නැවැතීමක්ද නොමැත. එසේ නම් මිනොටෝර් යනු භූමිකම්පාවක් ගී්‍රකයන් විසින් විග්‍රහ කළ ආකාරයක් බව අපට සිතිය හැකිය.

කයිමේරා

කයිමේරා යනු ගී්‍රක මිථ්‍යාමය සත්ත්ව කාණ්ඩයට අයත් සතෙකි. මොහුගේ විශේෂත්වය වන්නේ සත්ත්වයන් කිහිපදෙනකුගේම අංගවලින් ගොඩනැඟුණු සතකු වීමය. කයිමේරා ගොඩ නැඟෙන්නේ සිංහයකු වටාය. සිංහයකුගේ ශරීරයට බද්ධ වුණු එළු හිසක් හා වල්ගය වෙනුවට දිගු නාගයකුගේ හිසක් සම්බන්ධ වී ඇත. ගී්‍රක මිථ්‍යා කතා අනුව කයිමේරා හට ගින්දර ආශ්වාස කළ හැකිය. ටිපොන් හා එචිඩ්නා කයිමේරාගේ පියා සහ මව වන අතර සර්බරස් හා ලනයින් හයිඩ්‍රාය නමින් සහෝදර සහෝදරියන් සිටිති. හෝමර් විසින් රචිත ඉලියඩ් කාව්‍යයේ මෙම කයිමේරා පිළිබඳ සටහන් කොට ඇත. ඒ අනුව හෝමර් කියන්නේ කයිමේරා යනු මනුෂ්‍යයන්ට අයිති දෙයක් නොව දෙවියන්ට අයත් දෙයක් බවය. මේ ගැන හිසියොඩ් සහ ඇපොලොඩොරස් වැන්නවුන්ද අදහස් දක්වා ඇත. හිස් තුනක් හිමි ජීවියෙක්, ඉදිරිපස සිංහයෙක් මැදින් ගින්දර ආශ්වාස කරනා එළුවෙක් හා පසුපසින් සර්පයෙක් ලෙස හඳුන්වයි.

හෝමර්ගේ ඉලියඩ් කාව්‍යට අනුව කයිමේරා එක් අවස්ථාවක ඝාතනය කෙරේ. ඇරයිසෝඩෝරස් යටතේ හැදී වැඩුණු කයිමේරා මිනිසුන්ට ගැටලුකාරී සතෙක් විය. එහිදී “ලයිසියා” වල රජු වූ “ලොබටෙස්” විසින් “බෙලරොපොන්” හට උපදෙස් ලබා දෙනුයේ කයිමේරා ඝාතනය කොට දමන ලෙසය. ඒ අනුව බෙලරොපොන් විසින් කයිමේරා ඝාතනය කරන ලදී. කයිමේරා තවත් ප්‍රසිද්ධ චරිතයක් වීමට ගී්‍රක පින්තාරු ශිල්පය බලපාන ලදී. බඳුන්වල අලංකාරයට පින්තාරු කිරීමේදී කයිමේරා රුවද යොදාගෙන ඇත. හත් වැනි ශත වර්ෂයේදී පමණ කයිමේරා පින්තාරු කරන කලා කෘතියක් බවට පත් වී ඇත. සමහර අවස්ථාවල ඔවුන් කයිමේරා පින්තාරුකරුවන් නම් අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා ඇත.

නමුත් කයිමේරා නම් මිථ්‍යාමය සත්ත්වයෙක් ගී්‍රකයන් ලොවට දායාද කිරීමට උපකල්පනය වන්නේ ගී්‍රසිය ආශි්‍රත ප්‍රදේශවල පවත්නා විශේෂයෙන් තුර්කිය ආශි්‍රතව ඇති “ගිනි ගන්නා කඳු” හේතු වූ බවය. මිථ්‍යාව පසුපස යම් විද්‍යාවක් සැඟව ඇති බව සිතා ගැනීමට ඒ පිළිබඳ සෙවිය යුතුය. නිරිත දිග තුර්කියේ ලිසියන් මාර්ගයේ කඳු නඟින්නන් විසින් දැවෙන ස්ථිර වායු විවර පවතින බව වාර්තා කළ බව ක්ටෙසියස් පවසයි. ක්ටෙසියස් යනු ඉපැරණි ගී්‍රක භෞතික විද්‍යාඥයකු වූ අතර මේ බව උපුටා දක්වන්නේ ස්වභාව ධර්මය අධ්‍යයනය කරන්නකු වූ ප්ලීනි විසිනි. තුර්කි බසින් “යනර්තස්” ලෙස මෙම ප්‍රදේශය හැඳින්වේ.

එහි තේරුම නම් “ගිනි ගන්නා පාෂාණ” යන්න වේ. මෙම ස්වභාවික විවර මඟින් සදාතනිකව “මීතේන්” වායුව විමෝචනය වන බව සඳහන් කළ හැකිය. මීතේන් යනු ඉක්මනින් ගිනි ගන්නා වායුවක් වන අතර අතීතයේ මෙම ගිනි දැල් මාර්ග සංඥා ලෙසද නාවිකයන්ටද මාර්ග සංඥා ලෙස පැවැති බවට සැලකේ. ඒ අනුව අතීතයේ මෙවන් ගිනි ගන්නා සුළු මීතේන් වායුව නිකුත් වන විවර යම් මිථ්‍යාමය සතෙක්ගේ ස්වභාවයකට ආරෝපණය කොට තිබූ බව පිළිගත හැකි කරුණකි. සමහර විට ඔබද අද වනතුරු මෙවැන්නක් අසා නොතිබෙන්නටද ඇත.

කෙන්ටෝර්

කෙන්ටෝර් යනු ගී්‍රක මිථ්‍යාමය සත්ත්ව කාණ්ඩයේ තවත් අපූරු සතෙකි. මිනිසෙක් හා අශ්වයක්ගේ එකතුවක් වන කෙන්ටෝර්ගේ ඉණෙන් පහළ අශ්වයෙක්ගේ කඳ සම්බන්ධ වී පවතී. ඒ අනුව අශ්ව – මිනිස් හයිබි්‍රඩ් සත්ත්වයෙක් ලෙස කෙන්ටෝර් හැඳින්වේ. මොහු හැඳින් වෙන්නේ හීලෑ නොකළ වනචාරී අශ්ව විශේෂයක් ලෙසය. කෙන්ටෝර්ලා මවුන්ට් පෙලියොන්, එලිස්හි ෆොලෝයි ඕක් වනාන්තරය වැනි වනාන්තර ගත ප්‍රදේශවල වාසය කළ බවද ජනප්‍රවාදයේ කියැවෙයි. කෙන්ටෝර් “ඉක්සියන්” සහ “නෙෆෙල්” හරහා උපත ලැබූ බව කියැවේ.

කතාන්දරය අනුව නෙෆෙල් යනු “හේරා” කෙරෙහි ඇති ඔහුගේ ආශාව සියුස්ට හෙළි කිරීමට ඉක්සියන් රවටා ගැනීමේ කුමන්ත්‍රණයක, හේරාගේ ස්වරූපයට සාදන ලද වලාකුළක් බව හඳුන්වයි. ඉක්සියන් නෙෆෙල්ව පොලඹවා ගත් අතර එම සම්බන්ධතාවයෙන් සෙන්ටෝර්ස් නිර්මාණය විය. කෙන්ටෝර්ලා සැලකූ විට ඉතා දීර්ඝ ලැයිස්තුවක් සිටී. ඇබස්, ඇගි්‍රයස්, කේ‍රාමිස්, ඩැෆ්නිස් ආදී ලෙස 30කට අධික කෙන්ටෝර්ලා ගී්‍රක ඉතිහාසයේ සඳහන් වේ. කෙන්ටෝර් යන ගී්‍රක වචනයේ සම්භවය කුමක්ද යන්න පිළිබඳ නිවැරදි අදහසක් නොමැත. නමුත් කෙන් + ටෝර්ස් ලෙස පද නිරුක්ති කළ හැකි බව පෙන්වා දේ. එනම් “විදින ගොනා” ලෙසය. නමුත් මෙහි සිටින්නේ අශ්වයකු බැවින් ගොනෙක් කෙසේ සම්බන්ධ වූවා දැයි සිතිය නොහැකිය.

කෙන්ටෝර්ස් නමැති මිථ්‍යාමය සත්ත්වයකු නිර්මාණය වීමට හේතුව ලෙස පොදුවේ පිළිගන්නේ මෙය වැරදි වටහා ගැනීමක ප්‍රතිඵලයක් බවය. එනම් අශ්වයන් සමඟ සංචාරයේ නොයෙදුණු මිනෝවන් ශිෂ්ටාචාරයෙන් කෙන්ටෝර්ස් ගැන ලැබුණු අදහසක් බව පිළිගනී. එනම් අශ්වයකු පිට නැඟ මිනිසෙක් ගමන් කිරීමේදී මිනිසාගේ ඉණෙන් ඉහළ අර්ධය පමණක් පැහැදිලිව දැක ගත හැකි වීම මිනෝවන් වැසියන් විසින් මේ පැමිණෙන්නේ අශ්ව මිනිස් අර්ධ සත්ත්වයකු බවට කතාවක් ගොඩනැඟුවා විය හැකිය. එය පිළිගත හැකි වන්නේ මිසනියන්/ මිනෝවන් ශිෂ්ටාචාරය තුළින් විවිධ භාජන පින්තාරු කිරීම් සඳහා කෙන්ටෝර්ස් සත්ත්වයාගේ රුව භාවිත කොට තිබීමයි. එසේම ගී්‍රක කලාව තුළද ආකාර 3කින් කෙන්ටෝර්ස් නිරූපණය කෙරේ. එක් ආකාරයක් වන්නේ මිනිස් සිරුරක් සහ කකුල් අශ්වයකුගේ ඉණෙන් පිටුපසට සම්බන්ධ කර ඇති ලෙස නිරූපණය කිරීමය.

අනෙක් ආකාරය වන්නේ මිනිස් පෙර පාද කුරවලින් අවසන් වන එනම් අශ්වයාගේ ඉදිරිපස පාදවලින් අවසන් වන ලෙස කළ නිර්මාණය වේ. අවසන් ආකාරය වන්නේ ප්‍රාණය දුර්වලව යන අශ්වයකුගේ ශරීරයට සම්බන්ධ කර ඇති මිනිස් කඳක් මඟිනි. මෙය සම්බන්ධ කොට ඇත්තේ අශ්වයාගේ බෙල්ලටය. කෙසේ නමුත් අද වන විට මෙම අශ්ව – මිනිස් දෙමුහුම් සත්ත්වයා කලා කෘතියක් ලෙස ප්‍රංශය හා රෝමය වැනි ස්ථානවලද නිරූපණය කොට ඇත. ගී්‍රසිය තුළ කාන්තා කෙන්ටෝර්ස්ලා පවා පසුකාලීනව නිරූපණය කොට ඇත. එසේම ඉන්දියාව තුළද එසේ සඳහන් කොට ඇත. බොහෝ අවස්ථාවල යම් කිසි යුද්ධවලට මොවුන්ගේ සහභාගීත්වයක් පැවැති බවට සඳහන් වේ.

විශේෂත්වය වන්නේ මෙවැනි ආකාරයේ කෙන්ටෝර්ස්ලා ලෝකයේ ඉපැරණි බොහෝ ස්ථානවල නිරූපණය කොට ඇත. මැදපෙරදිග කලාපයේ බුරාක්, ඉන්දු කලාපයේ කාමධේනු, රෝමයේ ෆෝන්, පිලිපීනයේ ටික්බලාන්ග් වැනි ආකාරයෙන් අශ්ව – මිනිස් දෙමුහුම් සත්ත්වයන් නිරූපිතය. ඒ අනුව එකල සිටි මිනිසා අශ්වයන් පිට නැඟී ගිය මිනිසුන් පිළිබඳ වැරදි වැටහීමෙන් සිටින්නට ඇතැයි සිතිය හැකිය. එසේම බර්නල් ඩයස් නම් ස්පාඤ්ඤ පුද්ගලයාද පවසා සිටියේ සංචාරකයන් නොවූ ඇස්ටෙක්වරුන් හටද ස්පාඤ්ඤයන් මෙසේ පැමිණීමේදී ඔවුන් අශ්ව මිනිස් දෙමුහුම් සත්ත්වයන් බවට වැරදි වැටහීමක් ඇති කරගෙන සිටි බවකි.

රවිඳු බණ්ඩාර