අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ට පුරාණ ඉසිවරු අනුමත කළ බෙහෙත් වට්ටෝරු 5ක්

0
73

අර්ශස් රෝගයෙන් පීඩා විඳින්නන් බොහෝය. ඒ සෑම අයකුම එම රෝගය නිසාවෙන් මහත් වූ පීඩාකාරී, මානසික තත්ත්වයක පසුවන්නෝය. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී එය ඇතැමුන්ට අල්ලන්නේ නැති බවත්, ඉන් රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙන්නේ නැති බවටත් වන කතා බොහෝය.

මෙම රෝගය ඇති වීම සඳහා හේතු ගණනාවක් තිබේ. මලබද්ධය, වයස්ගත වීම, දිගු වෙලාවක් වැසිකිළියේ ගත කිරීම හා අධිකව තැටමීම, මවට හෝ පියාට අර්ශස් රෝගය තිබීම මෙයින් ප්‍රධාන වේ. එමෙන්ම ගර්භණී කාලයේදී හා උදර කුහරය තුළ පීඩනය වැඩිවන රෝගාබාධවලදී ද අර්ශස් ඇති විය හැකිය.

මෙහි අවස්ථා කිහිපයක් දැකිය හැකිය. ආරම්භයේදී ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම පමණක් මෙහි ලක්ෂණය. රුධිරය රතු පැහැයෙන් විදීමක් ලෙස පිටවේ. මේ අවස්ථාවේදී ගෙඩි පිටතට ඒමක් හෝ වේදනාවක් ඇති නොවේ.

දෙවැනි අවස්ථාව නම්, මලපහ කරන විටදී ගුද මාර්ගයෙන් ගෙඩියක් පිටතට පැමිණේ. මලපහ කර අවසානයේ එය ඉබේම ඇතුළට යයි. පළමුවන අවස්ථාව මෙන් ලේ පිටවිය හැකිය. සාමාන්‍යයෙන් වේදනාවක් නැත.

තුන්වැනි අවස්ථාවේදී මලපහ කරන විට පිටතට පැමිණෙන ගෙඩිය ඇතුළට නොයයි. එබැවින් ඇතැමුන්ට එය අතින් තද කර ඇතුළට යවන්නට සිදුවෙයි. පළමු අවස්ථාව මෙන් ලේ යා හැකිය.  එය වේදනාකාරීය. ගෙඩි පිටතට පැමිණි ඇති විට සාමාන්‍ය වැඩපල කිරීමට පවා අපහසුතා ඇති වේ. ඉක්මනින් කෝපයට පත්වේ.

හතරවැනි අවස්ථාවේ පිටතට පැමිණි අර්ශස් ගෙඩි අතින් තද කර හෝ ඇතුළට යැවිය නොහැකිය. ඒ නිසා අර්ශස් ගෙඩි ගුද මාර්ගයේ පිටත ඉදිමී අවහිර වේ. ඉතා වේදනාකාරිය. වාඩිවෙන්නට බැරි වේ. ඇලයට ඉඳගන්නට සිදුවේ. සෙවල වැනි ශ්‍රාවයක් ගලා විත් දුඟඳ හමයි. ලේ යෑමටත් පුළුවන.

අර්ශස් ඇති වූ අයට මෙන්ම ඇති වන්නට පෙර හෝ මුල් අවස්ථාවේ සිටින අයට පුරාණ ඉසිවරු අනුමත කළ ඔසු වට්ටෝරුවලින් අපූරු සහනයක් සලසා ගත හැකිය. එම පුරාණ ඔසු වට්ටෝරු කිහිපයක් මෙසේය.

• කොහිල අල, ගොටුකොළ, සෙනෙහෙ කොළ කළං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා උදේ සවස බොන්න.

• සේපාලිකා දලු දෙමිටක් තම්බා රාත්‍රි නින්දට යන්නට පෙර බොන්න.

•  සූදුරු කළං 4ක් වතුර පත  1/2ට සිඳුවා හිස්බඩ ඉන් භාගයක් බී, පැය දෙකකට පසු කොහිල අල සමඟ බත් කා දහවල් 11ට පමණ වතුර හා 12ට ඉතිරි භාගය බොන්න.

• ලේ යනවා නම් නෙළුම් රේණු, මී පැණි එළවෙඬරුවෙන් අනා බුළු ගෙඩියක් පමණ කන්න.

•  ගෙඩි පිටවේ නම් එළඟිතෙල්, වැල්පෙනෙල දලු, උණු අලු පල්ලේ තැම්බූ රතුලූනු එකට අඹරා ගෙඩිවල ගාන්න. බෙහෙත් අනෝදා කොළ එළඟිතෙලෙන් අඹරා ගාන්න.

වෛද්‍ය ජීවනය ඇසුරෙනි

 සුභානි එච්. ආරච්චිගේ