අමාත්‍යංශ වාහන 11ක් සින්න කරගන්න හදන ඇමැති කවුද?

0
92

මහනායක හිමිවරුන්ගේ කනස්සල්ල

අපි කියන දේ පාලකයන් කනකට ගන්නේ නැතැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ අනුශාසනා කරති.

දැඩි කනස්සල්ලකින් හා කලකිරුණු ස්වභාවයකින් මේ සඳහන කරන මහ නාහිමියෝ බුදුන් වැඳ දෙවියන්ට පින් දී රට බේරාදෙන ලෙස ඉල්ලීම හැර වෙන කරන්නට දෙයක් නැතැයි ද පවසති.

ගෝඨාභය ආණ්ඩුවේ පාලනයට කලක් ආශීර්වාද කරමින් පූර්ණ සහය පළ කළ බහුතර භික්ෂුන් වහන්සේ මේ වනවිට පාලකයන් විවේචනය කරන්නට පටන්ගෙන තිබෙන්නේ උන්වහන්සේලාගේ උපදෙස් තුට්ටුවකටවත් ගණන් නොගන්නා තත්ත්වය නිසාය. අස්ගිරි මහ නායක හිමියන් කොතරම් කලකිරීමකට පත්ව සිටීද කිවහොත් පවත්වාගෙන ගිය ක්‍රමය යටතේ තවදුරටත් රට කළහොත් බරපතළ අගාධයකට රට ගමන්කරන බව මහා සංඝරත්නය නිරන්තරව ප්‍රකාශ කළ නමුත් පාලකයන් ඊට ඇහුම්කන් නොදීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි පෙන්වා දෙයි.

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් පලක් නොමැති බව තේරුම්ගත් මහා සංඝරත්නය දැන් විශාල කලකිරීමකට පත්ව සිටින බවද මහනාහිමියෝ පැවැසූහ.

රටත් ජනතාවත් මෙතරම් අසීරුතාවකට පත්ව තිබෙන්නේ පාලකයන් මහා සංඝරත්නය ලබාදුන් අවවාද හා අනුශාසනා නොතකා හැරීම නිසා බවද මහනාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

එසේම ගෝඨාභයට හිට්ලර් වගේ වැඩ කරන්නැයි මහා සංඝයා වහන්සේ නමක් අනුශාසනාවක් කළ අවස්ථාවක්ද මේ සටහන තබන විට සිහියට නැඟේ.

හිටපු ජනපති මහින්ද ගැන සමාජ මාධ්‍ය කැලඹූ පුවත

ගෙවී ගිය සතියේ මේ රටේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කළ පුවත වූයේ හිටපු ජනාධිපති හදිසියේ බරපතළ ලෙස රෝගීවී රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ පුවත පළවූයේ සමාජ මාධ්‍ය තුළයි.

මහින්ද රාජපක්‍ෂ බරපතළ අසනීපවී සිටින බව සමාජ මාධ්‍ය ජාලා පළකළ පළමු පුවත මෙය නොවේ. මහින්ද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව පමණක් නොව මියගිය බවටද එම මාධ්‍ය අංශ පුවත් පළකර තිබිණි.

මේ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහින්ද ඉතා හොඳ සෞඛ්‍ය සුවයෙන් නිවෙසේ සිටින බවත් රාජපක්ෂ පවුලේ අය මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

මේ පුවත පළකර තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දායි. එදිනට පෙර දින එනම් බදාදා ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු එම ක්‍ෂේත්‍රයටම සම්බන්ධ අයකු සමඟ මහින්ද රාජපක්‍ෂගේ නිල නිවෙසට ගොස් පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවක යෙදී සිටි අතර, රටේ වර්තමාන තත්ත්වය ගැනද අදහස් හුවමාරු විය.

ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වීමට එක් හේතුවක් වූයේ කාබනික පොහොර ප්‍රශ්නය බව ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියා කියා ඇත. එය පිළිගත් මහින්ද මහතා කියන දේවල්ට ඇහුම්කන් නොදීමේ විපාක තමයි මේ කියමින් චමල් අයියා තමයි ගමේ අපේ කුඹුරු වගා කරන කටයුතුවලට මුල්වන්නේ. එයා වී ගොවිතැන ගැන දන්නවා. අඩු වශයෙන් එයාගෙන්වත් මේ ගැන විමසීමක් කර නෑයි පවසා ඇත.

තෙල් අර්බුදය විසඳන්න තවත් වසරක් කල් ඉල්ලයි

පසුගිය සඳුදා (27දා) ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී ඉන්ධන හා ගෑස් හිඟය මැඬපවත්වා ගැනීමේ අවශ්‍යතාව ගැන ඇමැතිවරු කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ.

විශේෂයෙන් බලශක්ති ඇමැති කංචන විජේසේකර ඉකුත් 26 වැනි දින මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පරිභෝජනය සීමා නොකළහොත් තෙල් අර්බුදය විසඳන්නට තවත් වසරක කාලයක් ගත කරන්නට සිදුවිය හැකි බවයි. ඉන්ධන නිකුත් කිරීමට තෙල් පෝලිම්වලට ටෝකන් ක්‍රමයක් 27 වැනිදා සිට ක්‍රියාත්මක කරන්නට ඇමැතිවරයා ක්‍රියා කළේ මේ තත්ත්වය අනුවය. ටෝකන් ක්‍රමයක් ආරම්භ කළත් පසුව පෞද්ගලික වාහනවලට පෙට්රල් නිකුත් නොකිරීම මේ මස 10 වැනිදා දක්වා ක්‍රියාවට නැංවීමට තීරණය කළේ අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමට ප්‍රමුඛත්වයක් දෙන බව කියමිනි.

එසේම තෙල් නැවක් එවන්නට සමාගම් 40ක් බෑ කී බවක්ද ඇමැතිවරයා කීවේය. එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවූයේ රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව බවද සැලකිල්ලට ගත යුතුය.

ත්‍රීවීලර් දුප්පත් මගියා ගසා කනවා

මේ වනවිට ගම්වල තිබෙන වාහනයකට පෙට්රල් ලීටරයක්වත් ලබා ගැනීමට නොහැකි තත්ත්වය නිසා ගමේ අහිංසක මිනිසකුට පවුලේ අයකු බරපතළ ලෙස අසනීප වුවහොත් රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමටවත් එවැනි රෝගියකු ගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. එසේම ත්‍රිරෝද රථයකට අය කරන ගාස්තු නියම කළත්, මේ වනවිට එදා අය කළ ගාස්තුවට වඩා දෙතුන් ගුණයක් සාමාන්‍ය ජනතාවට ගෙවීමට සිදුව තිබේ. ත්‍රිරෝද රථයක ආරම්භක ගාස්තුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් ලෙස නියම කළත් එවැනි මිලකට යන්නට පුළුවන්කමක් අද නැත. එම ගාස්තුව දැන් රුපියල් 200ක් බවට පත්ව තිබේ.

මේ අතර ඉදිරියේදී බස් ගාස්තුවත්, අනතුරුව දුම්රිය ගාස්තුව බස් ගාස්තුව මෙන් 50%ක් වැඩි කිරීමටත් යන බව දැනටමත් ප්‍රකාශ වී තිබීමෙන් අහිංසක ජනතාවට ගමන්  වියදම් සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇත. ආණ්ඩුව අලුත් කැබිනට් මණ්ඩලයක් හා අගමැතිවරයකුද පත්කර ගෙන මෙතෙක් කර තිබෙන්නේ ජනතාවට ලබාදෙන සියලු සේවාවලත්, භාණ්ඩවලත් මිල වැඩි කිරීම පමණි. සාමාන්‍ය දුප්පත් පවුලක් එදිනෙදා පාවිච්චි කරන පිටි ටිකේත් පරිප්පු ටිකේත් මිල වැඩි වී තිබෙන්නේ ඔවුන්ට දරා ගන්නට බැරි තරමකටය. අද පරිප්පු කිලෝව රුපියල් 650 ඉක්මවා ගොස්ය. අනෙක් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ගැන කියන්නට දෙයක් නැත.

ඉන්ධන රැගත් නැව් පිට පාරේ ගියේ ඇයි?

ඉන්ධන මිල වැඩි කිරීමත්, හිඟයත් නිසා අද භාණ්ඩ ප්‍රවාහනය දුෂ්කර වීම බඩුමිල වැඩි වීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබේ. පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ හිඟයකින් තොරව, පෝලිම් නැතිව ඉන්ධන බෙදා හැරීම ගැනය. බලශක්ති ඇමැති කංචන කීවේ ජූලි 10 වැනිදායින් පසුව ඉන්ධන හා ගෑස් ප්‍රශ්නය විසඳීමට පියවර ගත හැකි බවය. මේ සඳහා කඩිනම් පියවරක් ගත යුතු බව කැබිනට් ඇමැතිවරු වැඩි පිරිසක් ප්‍රකාශ කළහ.

ලබන 10 වැනිදා වනවිට ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි කංචන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය. එසේම 10 වැනිදායින් පසුව තවත් ඉන්ධන නැව් කිහිපයක් ඒමට නියමිතව ඇති බවද ඔහු කීය. ඒ අනුව 10 දායින් පසුව ඉන්ධන පෝලිම්වල අඩුවක් සිදුවනු ඇති බව කංචන ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. බලශක්ති ඇමැති එසේ විශ්වාසය පළ කළත් මීළඟ පෙට්රල් නැව එන්නේ ජූලි 22 දින බව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක අගමැති සහභාගි වූ මාධ්‍ය හමුවකදී පැවැසීය.

සාගලගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ තවත් සති 3ක් යන තුරු රටට පෙට්රල් නොඑන බවය. මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන නැව හදිසියේ නොපැමිණීම ඉන්ධන පෝලිම් දිග් ගැසීමට හේතුවක් වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. එසේම තිබෙන ඉන්ධන ටික බෙදා හැරීමේදී හරි කළමනාකරණයක් නොතිබීමද පෝලිම් දික්වීමට හේතුවක් වූ බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබාදීමේ ඇති අවශ්‍යතාව ගැන මෙහිදී ඇමැති නලීන් ප්‍රනාන්දු පෙන්වාදී ඇත.

එසේම කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පෙන්වා දී තිබෙන්නේ කෘෂිකර්ම කටයුතුවලට පොහොර බෙදාහැරීම, අස්වනු නෙළීමට හා ලබාගැනීමට ප්‍රමාණවත් ඉන්ධන අවශ්‍ය බවයි.

රුසියාව යුරෝපයට බෙදාහරින ගෑස් ප්‍රමාණය අත්හිටුවීම නිසා එම රටවල් එළැඹෙන ශීත කාලයට අවශ්‍ය ගෑස් එකතු කිරීමක යෙදී සිටීම ගෑස් හිඟයට හේතුවක් වී තිබෙන බවද මෙහිදී ඇමැතිවරයෙක් පෙන්වාදී තිබේ.

පියවරෙන් පියවර උණුසුම් වන අරගලය

සාමකාමී උද්ඝෝෂණකරුවන් ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨයෙන් රාජපක්‍ෂවරු පන්නා දමන්නට ගාලුමුව‍ෙදාර ප්‍රධාන කරගනිමින් රටපුරා නගරවල ආරම්භ කළ සාමකාමී උද්ඝෝෂණය දැන් ආණ්ඩුව පන්නා දමන පුළුල් දේශපාලන සටනකට අවතීර්ණ වෙමින් තිබේ.

‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය ඉබේ පහළ වූවක් නොවේ. ඒ සටන් පාඨය දේශපාලන කරළියට ආවේ ජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලන්නට රාජපක්‍ෂ පාලනය අසමත් වූ නිසයි. එක් පැත්තකින් එය වර්ධනය වූයේ රාජපක්‍ෂ පාලනය අවසන් කරන්න ඕනෑ යන බලපෑමත් ඇතිවය. මේ රටේ ආර්ථිකය හැසිරවීමේ බලය තිබුණේ මුදල් ඇමැතිවරුන් ලෙස රාජපක්‍ෂවරුන්ටය. රටේ කෘෂිකර්මය විනාශ කිරීමේ වගකීමෙන් රාජපක්‍ෂවරුන්ට නිදහස් වෙන්නට බැරිය. ණය ගෙවා ගන්න මුදල් නැතැයි ජාත්‍යන්තරයට ප්‍රකාශ කළේ රාජපක්‍ෂවරුන්ය. මහ බැංකුව පාලනය කරන්නට යොදා ගත්තේ ආර්ථික විද්‍යාව නොදත් රාජපක්‍ෂවරුන්ගේ ගැත්තෙකි.

මේ සුළු සටහනට ඇතුළත් කරුණු බුද්ධිමත්ව සිතා බලන විට රාජපක්‍ෂ පාලනය පන්නා දැමීම රටේ බහුතර ජනතාව, දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, සංවිධාන, ගොවි ජනතාව එක පොකුරට එකතුවීම වළක්වන්නට තරම් සමතෙක් පේන තෙක් මානයකවත් නැත.

හමුදාව – පොලිසිය ජනතාව සමඟ එක්වන දිනය වැඩි අෑතක නොවේ

මේ වන විට ආණ්ඩුව පන්නමු සටන් පාඨය මුල්කර ගත් ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 28 වැනිදා මාතරදී පැවැති උද්ඝෝෂණ රැලියේදී කියා සිටියේ, මේ දූෂිත ආණ්ඩුව පන්නන්න අපි සැලසුම් හදා අවසන් කියායි. ඔහු ඊටත් එහා ගිය බරපතළ ප්‍රකාශයක්ද කළේය. හමුදාව හා පොලිසිය ජනතාව සමඟ සිටගන්නා දිනය වැඩි අෑතක නොවේ කියාය. එතැනින් නොනැවතුණ අනුර කුමාර ජනතාවටද බලගතු නිවේදනයක්ද කළේය. ‘ආණ්ඩුව පන්නමු – පාරට බහිමු – අපි දිනය වේලාව කියන්නම් සූදානමින් සිටින්න’ අනුර කුමාරගේ අවසන් නිවේදනය බව පෙනේ.

ජාතික ජන බලවේගය අනුරාධපුර, කුරුණෑගල, අම්බලන්තොට, මාතර ආදී ප්‍රධාන නගරවල පැවැත්වූ ආණ්ඩුව පන්නමු උද්ඝෝෂණ, පාගමන් හා රැලි රටේ සෙසු ප්‍රධාන නගරවල පවත්වමින් සටනට ජනතාව පෙළ ගැස්වීමෙ සංවිධානය වෙමින් සිටී. ඔවුන් මේ තැනට පැමිණියේ අෑත පිටිසර ගම් නියම්ගම්වලින් උද්ඝෝෂණ, පාගමන් ආරම්භ කිරීමෙනි. ජාතික ජන බලවේගයට සහායට වෘත්තීය සමිති, ගොවි සංවිධාන ආදී බහුජන සංවිධානද එකතු වෙමින් සිටින බව එම පෙරමුණේ නායකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුද වන නලින්ද ජයතිස්ස “කැබිනට් එකට” පැවැසීය.

රට පත්ව තිබෙන බංකොලොත්භාවය ගැන ජවිපෙ නායකයා මෙවැනි සඳහනක්ද කර ඇත. “රටේ ආදායම වෙනුවෙන් භාණ්ඩාගාරයට එන්න ඕනෑ සල්ලි මැති ඇමැතිවරුන්ගේ එකවුන්ට්වලට හරවලා. ඒ නිසා රටේ දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්.” මේ ප්‍රකාශය කොතරම් බරපතළ එකක්දැයි ජනතාව කල්පනාවට ගත යුතුය. භාණ්ඩාගාරය පතුලටම සිඳී ගියේ ඔය කියන ඇමැතිවරුන්ගේ මේ පහත් ක්‍රියාවන්ද?

පොලිසිය, හමුදාවත් මේ සටනට සහාය දෙන බවට ඉඟි කළ අනුර කුමාර එය සනාථ කරන්නට මෙහෙම කතාවක්ද කළේය. “ඉන්ධන හල් අසලදී හමුදාව පොලිසිය ජනතාවට බනින්නේ ඔවුන් සමඟ තරහකින් නොව, ගෝඨාභය රාජපක්‍ෂ ගැන තරහින්.”

පළාත් පාලන නියෝජිතයන් 30ක් එජාපයෙන් නෙරපන යෝජනා

එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ පිරිසක් ඉදිරියේදී අත්වැල් බැඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඒ අයට පක්ෂය සමඟ එක්වීමට ඉඩකඩ සලසා දිය යුතු බව පසුගිය අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට ඇත.

ඔහු එසේ ප්‍රකාශ කෙළේ පක්ෂය හැරගොස් වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය දැක්වූ පළාත් පාලන ආයතනවල එජාප මහජන නියෝජිතයන්ට එරෙහි පැවැති විනය පරීක්ෂණවලින් ඔවුන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය ගැන මෙම රැස්වීමේදී ඇරඹි සාකච්ඡාවේදීය.

පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර එවැනි පළාත් පාලන නියෝජිතයන් 30 දෙනකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මොවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට අවසන් එකඟතාවකට පැමිණ තිබෙන බව දැනුම් දුන්නේය. එසේ වුවත් මේ අය අතරින් 4 දෙනකු නැවත පක්ෂය සමඟ එක්ව කටයුතු කරන්නට එකඟතාවකට පැමිණ සිටින බවද රංගේ දැනුම් දුන්නේය.

නායක රනිල් එහෙනම් මේ සියලුදෙනා ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය තාවකාලිකව නවත්වමු. ඔය කියන 4 දෙනා වගේම අනෙක් අයත් නැවත පක්ෂය සමඟ එකතු වී නැවත කටයුතු කරගෙන යන්න කැමැති ඇති. ඒ අය කැමැත්තෙන් සිටිනවා නම් ඔවුන්ට අපි සමාව දිය යුතුයි කියමින් මේ සම්බන්ධව නැවත ඔවුන් සියලු දෙනා සමඟද සාකච්ඡා කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එකතුවීමට කැමැති අය සිටිනවා නම් ඊළඟ කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගමුයි රනිල් සඳහන් කළේය.

බලවේග එකතු කරගෙන ඉදිරියට යා යුතු බව රනිල් කියයි

අනාගත අපේක්ෂා ඇතිව අදහස් දැක්වූ රනිල් ප්‍රකාශ කළේ සියලු බලවේග ඒකරාශි කර ගනිමින් පක්ෂය නැවත ජයග්‍රහණය කරා ගෙන යා යුතු බවයි. රනිල්ගේ යෝජනාවට එකඟත්වය පළ කළ කාත්‍යාධිකාරි මණ්ඩලය එම කටයුතු නායකයාගේ ආශීර්වාදය හා සැලැස්ම මත සිදුවිය යුතු බවටද සාමාජිකයන් කිහිපදෙනකු අදහස් දක්වමින් පැවැසීය.

මේ අතර පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පසුගිය බදාදා එජාප ගාල්ල කාර්යාලයේදී ගාලු දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ දිස්ත්‍රික්කයේ පක්ෂ ඉදිරි කටයුතු හා රටේ පවතින වත්මන් තත්ත්වය ගැනයි.  දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට තමා සැලසුම් කර තිබෙන බව වජිර දැනුම් දුන්නේය.

රනිල්ගේ වැඩපිළිවෙළ සාර්ථක බව වජිර කියයි

රනිල් අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසුව ගතවු කාලය තුළ එතරම් වෙනසක් වී නැති බව මෙහිදී පෙන්නා දී ඇති ක්‍රියාකාරීන් පිරිස යම් දියුණුවක් කර ඇත්නම් ඒ ගැන තොරතුරු කියන්නැයි වජිරගෙන් ඉල්ලීමක් කොට ඇත.

ක්‍රියාකාරීන් ඇසූ ප්‍රශ්නය වජිරට එල්ල කළ එකක් සේ පෙනුණු නිසා ඔහු එයට ඇඟ බේරා ගනිමින් උත්තරයක් දුන්නේය. රනිල් මහත්තයට රට භාර දුන්නොත් ඉතා කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර පවතින ඉන්ධන, ගෑස් පෝලිම්  නැතිකරන බව මම මීට දිගු කාලයකට පෙර ප්‍රකාශ කළා. එය තවමත් ඉටු කිරීමට නොහැකි වී ඇති බව ඇතැම් අය අද ප්‍රකාශ කරනවා.

මම  ප්‍රකාශ කළ පරිදි රනිල්ට එදා රට භාර දුන්නා නම් අද කෙටි කාලයක් තුළ මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න තිබුණා. නමුත් එතුමාට අගමැති ධුරය භාරදෙන කොට රටේ ආර්ථිකය පතුලටම කඩා වැටිලා. විදේශ සංචිත නැති රට බංකොලොත් බව ජාත්‍යන්තරය ප්‍රකාශ කර තිබූ අවස්ථාවකයි. වැටී තිබෙන රට යළි ගොඩ ගැනීමට ජාත්‍යන්තර  සහය ලබා ගැනීමට අගමැතිතුමා ගෙන තිබෙන පියවර අගය කළ යුතුයි. එතුමා ගෙන යන ජාත්‍යන්තර වැඩ පිළිවෙළ මේ වන විට ඉතා සාර්ථක වෙමින් තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ දීර්ඝ වශයෙන් කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ජූලි මාසයේ අගවන විට එම අරමුදල සමඟ නිල මට්ටමේ ගිවිසුමකට එළැඹීමට හැකිවන බව අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. එසේම අපට ණය ආධාර ලබාදෙන ඉන්දියාව, ජපානය සහ චීනය සම්බන්ධ කරගෙන ආධාර සමුළුවක් පැවැත්වීමට අගමැතිතුමා පියවර ගෙන තිබෙන බවද වජිර එජාප ක්‍රියාකාරීන්ට දැනුම් දීමක් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තුරු අන්තර්කාලීන, කෙටි කාලීන ණය ලබාගැනීම සඳහා මේ වන විට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජනපදය, අනෙකුත් මිත්‍ර ජාතීන් සහ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවටද වජිර වැඩිදුරටත් තොරතුරු අනාවරණය කෙළේය.

අගමැති රනිල්ගේ රියැදුරත් ඉන්ධන පෝලිමේ

රට වැටී තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩ ගන්නට දියසෙන් කුමාරයා ලෙස පහළ වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් ඔහුගේ කාර්යාල වාහනවලට ඉන්ධන ලබා ගන්නට රියැදුරන්ට පැය 12ක් පෝලිම්වල තපින්නට සිදුවූ පුවතක් වාර්තා විය.

රනිල්ගේ කාර්යාලය පාවිච්චි කරන වාහන හතරකට (4) ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලක පෝලිමකට රියැදුරන් හතර දෙනකු සමඟ වාහන හතර යවා ඇත. පැය කිහිපයක් පෝලිමේ සිටි රියැදුරන්ට පසුව දැන ගන්නට ලැබී තිබෙන්නේ කූපන්වලට එම පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් නොකරන බවයි. පෝලිමේ පැය ගණනක් රස්තියාදු වුණත් එම වාහනවලට කූපන්වලට ඉන්ධන ලබා ගන්නට බැරිවී ඇත.

පසුව එක් වාහනයක රියැදුරකු බස් රථයකින් අගමැති කාර්යාලයට පැමිණ ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් හා අදාළ ලිපි ලේඛනද රැගෙන ෂෙඩ් එකට ගොස් තිබේ. එම ලිපි ලේඛනද ෂෙඩ් එකේ සිටි බලධරයකුට ලබාදී වාහන හතරට ඉන්ධන ලබාගෙන තිබෙන්නේ රාත්‍රි 10ටය. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාගන්නට පැය 12ක් පෝලිමේ තපින්නට සිදුව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඔවුන් පදිංචි ප්‍රදේශවල ඇති දුර ප්‍රමාණය අනුව පාර්ලිමේන්තුවට පැමිණීමට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන සැපැයීමක් කරන අතර ඒ සඳහා වන වැය මන්ත්‍රිවරුන්ට ලබාදෙයි. එසේ වුවත් මන්ත්‍රිවරුන්ටත් ඉන්ධන ලබා ගන්නට සුළු වේලාවක් හෝ පෝලිමේ සිටින්නට සිදු වේ.

මේ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඔවුන්ගේ වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබා ගන්නේ ඔවුන්ගේ පෞද්ගලික මුදල් ගෙවා අත්පිට මුදලටය. එම මන්ත්‍රිවරුන් බොහෝ විට එම ඉන්ධන ලබාගන්නේ පිටකෝට්ටේ, තලවතුගොඩ සහ පැලවත්ත පවත්වාගෙන යන ෂෙඩ්වලිනි.

බැසිල් යළි වැඩට බසී

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ පොහොට්ටු පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ සුළු කාලයක නිහඬතාවකින් පසු යළි පොහොට්ටුවේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයට අතගසා තිබේ. ඔහු පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ සාමාජික පිරිසක් කැඳවා රටේ පවතින දේශපාලන තත්ත්වය ගැනත්, පොහොට්ටු පක්‍ෂය දේශපාලන වශයෙන් දැනට මුහුණ දෙන තත්ත්වය ගැනත් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔහු මේ සාකච්ඡාවේදී දැඩි ලෙසම කියා තිබෙන්නේ පොහොට්ටුවේ නායකත්වයෙන් ශක්තිමත් ආණ්ඩුවක් යළි පිහිටුවිය යුතු බවයි. පළාත් පාලන මැතිවරණයක් ළඟදී පැවැත්වීමට ඉඩ තිබෙන බවද මෙහිදී බැසිල් පවසා ඇත. මොන බාධාව පැමිණියත් තමා පොහොට්ටුව දිනවන්න කැපවන බවට මේ සාකච්ඡාවේදී රැස්ව සිටි පිරිසකට බලාපොරොත්තුවක්ද දී තිබේ.

බැසිල් රාජපක්‍ෂ ඇමෙරිකාවේ පදිංචියට යන බවට ඇතැම් මාධ්‍ය හරහා ප්‍රචාරයක් ගෙන ගියත්, ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් දැන්ම ඉවත් නොවන බවට ඔහුගේ සමීපතමයන්ට ප්‍රකාශ කොට තිබේ.

ඇමැති වාහන බාර නොදෙන ඇමැති

වනජීවී අමාත්‍යාංශයේ හිටපු කැබිනට් අමාත්‍යවරයා හා කාර්ය මණ්ඩලයද එහි රාජ්‍ය අමාත්‍යවරයා හා කාර්ය මණ්ඩලය ද භාවිත කළ වාහනවලින් 11ක් මේ වනතුරුත් භාරදී නැතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අමාත්‍යවරයා භාවිත කළ ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රථයක්, බී.එම්.ඩබ්ලිව්. එක්ස් 5 වර්ගයේ රථයක් හා ඩිෆෙන්ඩර් රථයක්ද ඇති අතර වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා භාවිත කළ ලෑන්ඩ් කෘෘෂර් වී 8 වර්ගයේ රථ දෙකක් හා කැබ් රථයක් ද වන බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා භාවිත කළ කැබ් රථයක්, රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් භාවිත කළ නිසාන් සනී හා නිසාන් සෙල්ෆි වර්ගයේ මෝටර් රථ දෙකක් ද මෙතෙක් භාර දී නැත.

රාජ්‍ය අමාත්‍යවරයා‌ගේ මාධ්‍ය ලේකම් භාවිත කළ කැබ් රථයක් ද ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරි භාවිත කළ මෝටර් රථය ද මේ වනවතුරුත් භාරදී නැත.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම රථ නැවත භාර දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරයාට හා රාජ්‍ය අමාත්‍යවරයාට ද අදාළ හිටපු නිලධාරීන්ට කිහිප වතාවක් ලිපි යවා ඇතත් මේ වනවතුරුත් ඊට පිළිතුර ලැබී නැතැයි එම අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘කැබිනට් එක’ තීරුවට පැවැසුවේය.

ආණ්ඩුව පන්නන්න සජිත් පෙරමුණේ

සජිත් නායකත්වය දෙන සමගි ජන බලවේගයත් ආණ්ඩුව පන්නා දැමීමේ සටනේ පෙරගමන්කරුවකු ලෙස ඉදිරිපත්ව සිටී.

එම බලවේගය පසුගිය බ්‍රහස්පතින්දා (30දා) කොළඹ කොටුවෙන් ඒ සඳහා වන මුල් වෙඩි මුරය පත්තු කළේය. ඔහු විරෝධතා පාගමන අවසානයේ පැවැති ජන හමුවේදී පැවැසුවේ රාජපක්ෂවරු රටින් පන්නා දැමීමට සූදානම් වන්නැයි ජනතාවට ආයාචනයක් කරමිනි.

ආණ්ඩුව පන්නා දැමීමේ ජයග්‍රහණය සනිටුහන් කරන්නට පසුගිය 28 වැනිදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් මුල පිරුවේ ජාතික අර්බුදයෙන් ගොඩ ඒමටත් අදූරදර්ශී ආණ්ඩුව පලවා හැරීමටත් ලියාපදිංචි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමටය. පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට පක්ෂ නායක සජිත් දුන් උපදෙස් අනුව අදාළ කටයුතු සම්පාදනය කළේය. ඒ අනුව නව ලංකා නිදහස් පක්ෂය, පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් මේ අවස්ථාවට එක්විය.

සාකච්ඡාව මෙහෙය වූ සජිත්, ආණ්ඩුවේ අත්‍යවශ්‍ය සේවාව වන්නේ ජනපති, අගමැති මැති _ ඇමැති පුටු ආරක්ෂා කරගැනීම පමණයි. එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවලින් දුක්විඳින බව කීවේය.

ආණ්ඩුව එළවමු වෙල්ගම කියයි

නව ලංකා නිදහස් පක්ෂයේ කුමාර වෙල්ගම මේකට තියෙන එකම විසඳුම මේ ආණ්ඩුව එළවා දැමීම බව කීය.

විපක්ෂ නායක සජිත් සිය අස්සනින් විපක්ෂයේ මෙන්ම ස්වාධීන වී ඇති සියලු කණ්ඩායම්වලට ආරාධනා ලිපියක් යවමින් ආණ්ඩුව පරාජය කිරීමට එක්වී කටයුතු කරමුයි ඉල්ලීමක් කර තිබිණි. සාකච්ඡාවට සහභාගි වූ සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මේ වෙලාවේ රට තුළ ඉන්න පාලකයෝ එක්කෙනෙක්වත් ජනතාව පිළිගන්නේ නෑ. ඔබතුමා තවම අත්හදා නොබලපු ප්‍රතික්ෂේප නොවිච්ච නායකයෙක්. ඒ නිසා ඔබතුමා තිරසර වැඩපිළිවෙළක් හදන්න රට ගොඩනඟන්නේ කෙහොමද කියලා. ඔබතුමාගේ හුස්ම සහ සක්වළ වැඩසටහන විශේෂයි කීය. සජිත් උත්තරයක් දෙමින් කීවේ මේ වනවිට හුස්ම වැඩසටහන් 50ක් කෝටි 14ක් වැය කර තිබෙන බවත් සක්වළ හරහා කෝටි 17ට වැඩි මුදලක් වටිනා සෞඛ්‍ය උපකරණ හා පරිගණක උපකරණ බෙදා දී තිබෙන බවය. සජිත්ගේ එම වැඩපිළිවෙළ ගැන සරත් මනමේන්ද්‍ර අගය කිරීමක්ද කළේය.

බෙනට් රූපසිංහ