අපේ රට ඉතියෝපියාවටත් වඩා පහළට වැටිලා

0
87

ඔහු කලාවේ දැවැන්තයෙක්. පුංචි තිරය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන ඔහු අප කවුරුත් අතර ඉතාම ජනප්‍රිය, ප්‍රවීණ රංගනවේදී හේමන්ත ඊරියගමයි. මෙවර හදගැස්ම කතාබහ වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.

පළමුව මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය ගැන කියමු?

එහි මගේ චරිතය සිලම්බුවා. අධ්‍යක්ෂවරයා වන සනත් අබේසේකර මහතා නාට්‍ය ඇතුළුව අප සියලු දෙනාව ඉතා හොඳින් මෙහෙයවනවා. මෙයට දක්ෂ ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් සම්බන්ධ වී සිටිනවා. මේ දිනවල මහවිරු පණ්ඩු ඉතා ජනප්‍රියයි.

ආගමික සහ ජාතක කතා ඇසුරින් නිමවන නිර්මාණ ඇතැම්විට විවේචනයට ලක්වෙනවා නේද?

මෙහෙමයි. ජාතක කතා ආදී කොයිතරම් දේවල් තිබුණත් ඒ ඇසුරින් නිර්මාණ බිහි කරන්නට පිරිස් නැහැනේ. සීමිත දෙනෙක් තමයි ඒ සඳහා අත ගසා තිබෙන්නේ. මම සිතන ආකාරයට මේ වකවානුවේදී එවැනි බොහෝ එවැනි නිර්මාණ කරන්නේ සනත් අබේසේකර මහතා පමණක් වෙන්නට ඇති.

ඉතිහාසය පිළිබඳ නොදන්නා අයට වුවත් ඒ තුළින් ඉතිහාසය පිළිබඳව දැන ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මගේ අදහස නම් එවැනි දේ බිහි වීම හොඳයි. මෙහිදී ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වීමක් සිදු වන්නේ නැහැ. කතාවට උචිත ආකාරයට, රසිකයන්ට රස විඳිය හැකි ආකාරයට යම් කතාවක් නිර්මාණය කිරීමේදී යම් යම් වෙනස්කම් ඇති විය හැකියි. නමුත් නියම කතා වස්තුව රැගෙන ඒ හරහා නිර්මාණය ගොඩනැඟීමක් සිදු වේ. එනිසා මම සිතන්නේ නැහැ ඒ හරහා ඉතිහාසය විකෘති වීමක් වනවා කියා.

සංගීතේ ටෙලි නාට්‍යය ගැනත් නොකියාම බැහැ?

සංගීතේ ටෙලි නාට්‍යයෙහි කරන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. තම දුවව ඇමැතිතුමන්ගේ පුතාට කසාද බන්දලා දෙන්න උත්සාහ කරන මස් කඩ මුදලාලි කෙනෙක්. චරිතයට කළ හැකි උපරිමයක් කිරීමට මම ඉතින් උත්සාහ කරනවා. ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩග්ලස් රණසිංහ වැනි ප්‍රවීණයන් ඇතුළු හරිම උනන්දුවෙන් වැඩ කරන නවකයන් රැසක් මේ කතාවට සම්බන්ධ වෙලා සිටිනවා. නොදන්න දෙයක් තිබෙනවිට අපෙන් වුණත් මේක කොහොමද කරන්නේ කියලා අහනවා. අපි ඉතින් සහයෝගයෙන් වැඩ කරගෙන යනවා.

වර්තමාන සමාජ තත්ත්වය හමුවේ කලාවේ අනාගත දිශානතිය කුමන පැත්තකට ගමන් කරාවිද?

දැන් යන තත්ත්වය ගැන නම් සිතා ගන්න බැහැ. අවුරුදු 3ක කාලයක සිට කලාවේදීන් විධියට අපට කිසිදු පාර්ශ්වයක හව්හරණක් නැහැ. අපිත් ජනාධිපතිවරයාට කඩේ ගිය 69 ලක්ෂයේ මිනිස්සු. නමුත් අද වන තුරු කලාකරුවන්ට සත 5ක හෝ ප්‍රයෝජනයක් ලැබී නැහැ. ප්‍රවීණ කලාකරුවන් ඇතුළු කීදෙනක් නම් පාර්ලිමේන්තුවට තේරුණාද? කලාවට සිදුවුණු සෙතක් නැහැ. අපි දේශපාලනය කරේ තබාගෙන නැහැ. දේශපාලනයක් අපට අවශ්‍ය නැහැ. නමුත් නිවැරදියි යැයි හැඟෙන පාර්ශ්වයට සහයෝගය ලබා දෙනවා.

යුරෝපීය රටක් මෙන් අප රටත් දියුණුවේ යැයි සිතුවත්, සිදුවුණේ අපේ රට ඉතියෝපියාවටත් වඩා අන්ත තත්ත්වයට පත්වීමයි. කලාකරුවන් විධියට තවත් ඇස් කන් පියාන සිටිය නොහැකියි. අරගලයට අපත් එක් වුවද, ඒ තුළද ඇති විවිධ කල්ලි, පක්ෂපාතීව වැඩ කරන ස්ථාන සහ කණ්ඩායම්වලට නම් එකතු වුණේ නැහැ. එවැනි දේට මා කැමැති නැහැ.

ඔබ කලාවට අවතීර්ණ වී දැන් දශක 3කටත් වැඩියි නේද?

මම කලාවට පැමිණියේ 1988දී. දැන් අවුරුදු 34කට ආසන්නයි. එදා සහ අද හාත්පසින්ම වෙනස්. කලා ශිල්පීන් වශයෙන් එදා අපට තිබෙන සැලකීම් අතිනුත් උපරිමයෙන්ම සැලකුවා. ඉස්සර කාලේ වගේ නෙවෙයි අද. තව ටික කාලක් යන විට බත් පතත් නිවෙසින් රැගෙන යෑමට සිදුවන තත්ත්වයක්  උදාවෙලා තිබෙන්නේ. මා මුලින්ම සිනමාවට සම්බන්ධ වුණේ සටන් නළුවෙක් විධියටයි. මගේ තිරගත වූ පළමු චිත්‍රපටය ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ “උතුර-දකුණ” චිත්‍රපටය. නමුත් මා මුලින්ම රඟපෑවේ 1989-90දී නිෂ්පාදනය වූ “සිංහ රජා” චිත්‍රපටයේ.

මගේ ගම වැල්ලම්පිටියේ. රුක්මනී සිනමා ශාලාව පිහිටා තිබුණේ අපේ නිවෙස ඉදිරිපිට. ඉතින් අවුරුදු 15 -16 කොලු ගැටයා කාලේ සිටම පාසල් නිමවී කෙළින්ම සිනමාශාලාවටයි ගියේ. සිනමාහලේ පිරිස පවා අප සමඟ හරි හිතවත්. ඉතින් අපි කෙළින්ම යන්නේ චිත්‍රපට පෙන්වන පාලක මැදිරියටයි. බොහෝවිට සිනමාපටය ක්‍රියාකරවන්න භාර වන්නෙත් අපට. ඔවුන් කරන්නේ පසෙකට වී බලා සිටීම පමණයි. අපට ඒ සියලු කටයුතු කියා දී ඇති නිසා ගැටලුවක් ඇති වන්නේ නැහැ. සටන් ජවනිකා ඇතුළුව දැනට මා චිත්‍රපට 40කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙනවා.

ඔබ මෙතක් ආ ගමන් මඟ සෙමින් ආ ගමනක්ද?

ඇත්තටම ඔව්. සටන් නළුවෙක් විධියට වුවත් මුලින්ම සම්බන්ධ වුණේ කුඩා චරිතවලටයි. හැකියාවන් වැඩි දියුණු කරගෙන දෙබස් උච්චාරණයන් සහිත චරිත නිරූපණයට පැමිණියා. ජනප්‍රියම වුණේ ගිරිරාජ් කෞශ්‍යලය අධ්‍යක්ෂණය කළ “සිකුරු හතේ” චිත්‍රපටයයි. එහි මගේ චරිතය “සාජන් ආරියපාල”. ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ අභියෝගයන් භාරගෙන මට චරිතය ලබා දුන් පුද්ගලයෙක්.

සිකුරු හතේ චිත්‍රපටය පිටුපසත් රසවත් කතාවක් තිබෙනවා නේද?

ඔව්. චිත්‍රපටයේ නිෂ්පාදකතුමන්ලා සාජන් ආරියපාලගේ චරිතයට හේමන්ත ඊරියගම හරි යන්නේ නැහැ, ඒ වෙනුවට අපේ නැසී ගිය ප්‍රවීණ නළුවකුව ගන්නැයි යෝජනා කොට තිබුණා. චිත්‍රපටයට හේමන්ත ඊරියගම යොදා ගෙන යම්හෙයකින් පාඩු ලැබුවහොත් එම සම්පූර්ණ වගකීම ගිරිරාජ්ට ගන්නා ලෙසත් දන්වා තිබුණා. එදා ඔහු එකහෙළාම එම අභියෝගය භාර ගත්තා. එම චරිතයට නිවැරදිම කෙනා මා බවත් ඔහු එදා පවසා තිබුණා.

නමුත් අවසානයේදී සරසවි සහ සිග්නීස් සම්මාන උළෙලවල රංගන කුසලතා සම්මාන පවා මට හිමි වුණා.  චරිතාංග රංගන ශිල්පියාව ඉස්මතු කළ හැකි චරිත සිනමාව තුළ මට ලැබී නැහැ කීවොත් නිවැරදියි.  සිකුරු හතේ කියන්නේ, ජෝ අබේවික්‍රම මහතා සම්බන්ධ වූ සිංහල සිනමාවේ අනර්ගතම හාස්‍ය චිත්‍රපටයක් වන “අල්ලපු ගෙදර” චිත්‍රපටය පසුව බිහිවූ තවත් හොඳ නිර්මාණයක්. ගිරිරාජ් කෞශල්‍ය මහතාට බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුයි. එමෙන්ම ශිවගුරුනාදන් මහතාවත් මතක් කළ යුතුයි.

වේදිකාවත් සමඟ ඇති සබඳතාව මතක් කළොත්?

මහේෂ් කාරියවසම් මල්ලි ඔහුගේ “කාසි” නම් වේදිකා නාට්‍යයෙහි ප්‍රධාන චරිතය වන චණ්ඩියකුගේ චරිතය මට ලබා දුන්නා. ඒ වන විට මා වේදිකා රංගනයක් සිදු කරලම නැහැ. එය ඉතාම සාර්ථක නිර්මාණයක් වුණා. එම වේදිකා නාට්‍යය නැරඹූ පතිරාජ එල්.එස්. දයානන්ද මහතාගේ බුදු දහම ඇසුරෙන් සැකසුණු “බලසෙබළු” නම් ටෙලි නාට්‍යයක “කිරි බණ්ඩා” නම් චරිතයට මට ආරාධනා කළා. සෑහෙන වියදමක් දරා නිපදවූ නමුත් එය තිරගත වුණේ නැහැ. සිනමාවෙන් වේදිකාවටත් වේදිකාවෙන් පුංචි තිරයටත් ගියේ ඒ ආකාරයටයි.

ඔබ වැනි දක්ෂ, ප්‍රවීණ කලාකරුවකුගෙන් කලාවට නිසි ප්‍රයෝජන ගත්තා යැයි ඔබ සිතනවාද?

අද වන තුරු මගේ නිසි ප්‍රයෝජන අරගෙන නැහැ. ඒ පිළිබඳ අදටත් දුක් වෙනවා. මගෙන් එසේ ප්‍රයෝජන ගත් එකම මනුස්සයා තමයි ගිරිරාජ් කෞශල්‍යය.

පවුලේ විස්තර කීවොත්?

මගේ ගම වැල්ලම්පිටිය. දුවලා දෙන්නයි පුතයි ලෙසින් මට දරුවෝ 04 දෙනෙක් සිටිනවා. ලොක්කා අනෝජා සාගරිකා ඊරියගම, දෙවැනියා නෙළුම් තක්ෂිලා ඊරියගම, තුන්වැනියා සමීර ඊරියගම, බාලයා අමිල ධනුෂ්ක ඊරියගම. මගේ ආදරණීය බිරිය කුමුදු. මා පිළිබඳ දරුවන්ටත් වඩා සොයා බලන හිතවතා නිශාන්ත ප්‍රියදර්ශන. ඔහුත් නිෂ්පාදකවරයෙක්. මේ මොහොතේ ඔහුවත් මතක් කළ යුතුයි.

දිනූෂා මනෝරි නිශ්ශංක