අංජනම් දේවිට කියලා රටේ අනාගතය ගැන අංජනමක් බලවමුද?

0
603

අංජනම් බැලීම යන ගුප්ත ශාස්ත්‍රය දෙස බැලුවාම අනාගතය පිළිබඳව දැනගන්න, නැති වුණු දෙයක් සොයා ගන්න නිවෙසට ඇති යක්ෂ භූත ‍ෙදා්ෂ තිබෙනවාද බැලීමට බොහෝ විට භාවිත කරනු ලබන ගුප්ත ක්‍රමයක්. ඒ වගේම අනාගතය පිළිබඳව දැනගන්න, විශේෂයෙන්ම දේශපාලනඥයන් අංජනම් බලන ස්ථාන කරා ගොස් තමන්ගේ අනාගතය බලා ගැනීමට පුළුවන් කියා විශ්වාස කරනවා. ග්‍රහයන් සිටින ස්ථානය බලා, අතේ රේඛා බලා කරන ක්‍රමයට වඩා අංජනම් හරහා සාස්තර කීමේ ක්‍රමය වෙනස් දෙයක්. නමුත් මේ සඳහා විශේෂ ඉගෙන ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. පෙනෙන දේ කීම පමණයි අවශ්‍ය වන්නේ.

අංජනම් බලා ශාස්ත්‍ර කියන අය යම්කිසි දිලිසෙන සුලු ආලේපයක් ගල්වා තිබෙන පැතලි තැටියක් භාවිත කරනවා. සාමාන්‍යයෙන් මෙම තැටිය සඳහා භාවිත කරන්නේ පීරිසියක්. එම පීරිසියේ ඇතුළු පැත්තේ කළු පැහැති දිලිසෙන සුලු දෙයක් ආලේප කර තිබෙනවා. එම ආලේපය අංජනම ලෙස හඳුන්වනවා. ආලේපය සහිත පීරිසියේ සිරස් අතට මල් බුලත් තට්ටුවක් තබා එම පීරිසිය ඉදිරියේ පහනක් දල්වනවා. එම පහන දැල්ලුවාම පහනේ ආලෝකය පීරිසියේ කළු පැහැති දිලිසෙන ද්‍රව්‍ය තුළින් ඉදිරියේ සිට බලන කෙනකුට දීප්තිමත්ව පෙනෙනවා. එලෙස දීප්තිමත්ව පෙනෙන ආලෝකය දෙස බලලා සාස්තරය කියනවා.

එය අංජනම් බලා සාස්තර කීම ලෙස හඳුන්වනවා. පීරිසිය මත ආලේප කර ඇති ද්‍රව්‍ය සාමාන්‍යයෙන් කළු පැහැතියි. එය සැකසීම සඳහා භාවිත කරනු ලබන්නේ විවිධ සතුන්ගේ ඇස් වර්ග වේළා කුඩු කර ඒ කුඩු සමඟ දැලි මිශ්‍ර කර සකසා ගන්නවා යැයි පැවැසෙනවා. ඇතැම් අය දිලිසෙන සුලු තල්පයක් වැනි දෙයක් ආලේප කර එය සකසා ගන්නවා. අංජනම බලලා ශාස්ත්‍ර කියන්නේ අංජනම ගෙනා කෙනා හෝ ශාස්ත්‍ර අහපු කෙනා නෙවෙයි. අංජනම දෙස බලලා ශාස්ත්‍ර කියන්නේ වයස අවුරුදු අටක, දහයක තරම් කුඩා දරුවකු ඒ සඳහා තෝරා ගන්නවා. නමුත් බොහොමත්ම කලාතුරකින් ඒ සඳහා වැඩිහිටි අයකු තෝරා ගන්නා අවස්ථා තිබෙනවා.

ඒ වගේම මේ සඳහා තෝරා ගන්නා දරුවා මනුෂ්‍ය ගණයේ කෙනකු විය යුතුයැයි මතයක් පවතිනවා. ජේ‍යාතිෂයට අනුව මිනිසකුට දේව, මනුෂ්‍ය, රාක්ෂ යන ගණ ලෙස ගණ තුනක් පවතිනවා. අංජනම බැලීම සඳහා මනුෂ්‍ය ගණයේ කෙනෙකු තෝරාගත යුතුයි හා එවැනි අයකුට පමණක් අංජනමක් නිවැරදිව පෙනෙන්නේ යැයි විශ්වාසයක් පවතිනවා. තැටිය ඉදිරියෙන් පහනක් දල්වා පහනෙන් තැටිය මතට පතිත වන ආලෝකය දෙස බලා අංජනම කියන අතර එම අවස්ථාවේදී අංජනම්කරු දුම් ඇල්ලීම සහ මන්ත්‍ර ජප කිරීම වැනි නොයෙක් නොයෙක් දේවල් සිදුකරනවා. එලෙස සිදුකර අංජනම් බලන දරුවාගෙන් ‘’දිලිසෙන අංජනමේ, අංජනම් දේවි පේනවා දැ”යි අසනවා.

එවිට කිසිවක් නොතේරෙන දරුවා “මට දෙවියෙක් වගේ කෙනෙක් පෙනුණා” කිව්වොත් ඊළඟට අසන්නේ වඳුරකු වැනි රූපයක් පේනවා දැයි කියලයි. ඔවුන් එතැන වඳුරු රූපය ලෙස අදහස් කරන්නේ හනුමන්තාවයි. සමහරවිට ළමයා හනුමන්තා පේනවා යැයි කිවහොත් ඒ අංජනම්කරු ළමයාට හුළු අත්තක් දෙන්න යැයි පවසනවා. ඉන්පසු ඒ ළමයට කියනවා ගිනිහුල අතට අරගෙන ශාස්ත්‍රය කියන්න ඕන කෙනාගෙ ගෙදරට යන්න කියලා.

හනුමන්තා විසින් ඒ ළමයට ඒ ගෙදරට යන පාර පෙන්නනවාලු. නිවෙසේ තිබෙන ‍ෙදා්ෂ තිබෙනවාද කියලා පෙන්නුම් කරනවාලු. ඒ ළමයට පෙනෙන දේ ඒ ළමයා කියනවා. අංජනම බලන්න ගෙනාව අංජනම්කරු විසින් ඒ ළමයව අංජනම බලන්න යොමු කරනවා. විවිධ ප්‍රශ්න අහනවා. ඒ ළමයා අංජනම බලලා පිළිතුරු දෙනවා.

අනාගතයේදී තරුණ මන්ත්‍රිවරයෙක් වෙනවාද, ඇමැති කෙනෙක් වෙනවාද කියලා අංජනම මඟින් පේනවා කියලා හිතන නිසා දේශපාලනඥයන් අංජනම් බැලීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේවා විශ්වාස කරන කවුරුත් මේවායේ කියන දේවල් ඇත්තද කියලා පරීක්ෂා කරන්න යන්නෙ නැහැ. ඔවුන්ගේ විශ්වාසය මත තමයි ඔවුන් අංජනම් බලන්න පෙලඹෙන්නේ. අංජනම් පෙන්වන අය අංජනම බලන්න ඕන කෙනාගේ නිවෙසටම ගොස් අංජනම බැලීම සිදුකරනවා. ඒවා කරන අයට කිව්වාම තමන්ගේ ගෙදරටම ගෙනල්ලා අංජනම බලන්න පුළුවන්. ඒ සඳහා පුටුවක් මතුපිට කෙසෙල් කොළයක් දමා එයට විවිධ වර්ගවල මල් තබා, පහනක් පත්තුකර දුම් අල්ලලා එය මත අංජනම් තැටිය තබනවා.

වෙනත් රටවල් දෙස අවධානය යොමු කළහොත් යම්කිසි දෙයක් / වස්තුවක් දෙස බලා ශාස්ත්‍ර කීමේ ක්‍රමය වෙනත් රටවල්වලත් පවතිනවා. විශේෂයෙන් දිලිසෙන යමක් දෙස බලා ශාස්ත්‍ර කීම පවතිනවා. බටහිර රටවල් තිරුවාණ වැනි විනිවිද පෙනෙන ඛනිජවලින් සාදාගත් ගෝලයක් දෙස බලා සාස්තර කීම වඩාත් ප්‍රචලිත වී තිබෙනවා.

අංජනම් බලනවා වගේ දෙයක් ඒ රටවලත් පවතිනවා. ඒ රටවල ඒ සඳහා යොදා ගන්නේ ගෝලාකාර ඛනිජයක්. එම ඛනිජය දෙස දෙස බලා ශාස්ත්‍ර කීමේ ක්‍රමයක්. ඒ අය ගෝලාකාර ඛනිජය එසේත් නොමැතිනම් වීදුරුවලින් සැකසූ ගෝලයක ඇතුළත බලා ශාස්ත්‍ර කියනවා. එලෙස ගෝලාකාර යමක් දෙස බලා ශාස්ත්‍ර කීම සිදුකළ හැකි වන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කළ අයකුට පමණයි. එය ස්ඵටික වර්ගයක් දෙස බලා ශාස්ත්‍ර කීමේ ක්‍රමයක්. ඒ අය කියනවා, ගෝලය ඇතුළත බලා යමෙක් අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් සහ අනාගතය ගෝලය මඟින් පෙන්නුම් කරනවා කියලා.

ඒ විධියට ගෝලයකින් පෙනෙන දේවල් බලා ශාස්ත්‍ර කියන අය යුරෝපයේ බහුලව දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අප්‍රිකානු කළු ජාතික කාන්තාවන් අතර එවැනි ශාස්ත්‍ර කියන අය බහුලව ඉන්නවා. ඒ අය ඒවා සිදුකරන්නේ අ¾දුරු පැහැති කාමරයක් තුළ සිට ගෝලය ලී ආධාරකයක් මත තබා ගෝලය දෙස බලා ශාස්ත්‍ර කීමයි. මේවා ආදි කාලයේ සිට පැවැතිලා තිබෙනවා. ඔවුන් විසින් විශ්වාස කරන්නේ පූජකවරුන් පිරිසක් තිරුවාණවලින් සැකසූ ගෝලාකාර දෙයක් දෙස බලාගෙන අනාගතය කියන්නට ඇතැයි කියාය.

ඇතැම් අය සිහිනවල පලාපල දැන ගන්න මෙවැනි ක්‍රමවේදයක් භාවිත කරනවා. ඒවා වර්තමානයේ කරන්නේ තිරුවාණ ඔක්සිඩියම්, මැලයිට් යන විශේෂ ඛනිජ භාවිත කරනවා. ඒවාගෙන් පහසුවෙන් කෙනෙක්ට ආවේශ වෙන්න පුළුවන්, ඒවායින් ලැබෙන ශක්තිය අනුවට ආවේශ වෙලා තමන්ට සිහි නැතිවන අවස්ථාවට පත්වූ විට ශාස්ත්‍ර කියන්න පුළුවන් තත්ත්වෙට පත්වෙනවා කියලා විශ්වාස කරනවා. ලංකාවේ දෙස බැලුවාම ඉතිහාසය තුළ රජවරුන් විසින් අංජනම් බැලූ බවට සඳහන් වෙලා නැහැ. නමුත් එංගලන්තයේ පළමුවැනි එලිසබෙත් රැජන පළිඟු ගෝලවලින් කියන අනාවැකි පිළිබඳව විශ්වාස කළ අයකු ලෙස හැඳින්වෙනවා.

මහාචාර්ය ජෝන් ඩී නැමැති පුද්ගලයකු රැජින සඳහා එලෙස අනාවැකි කීමට සඳහා සිටිය බව පැවැසෙනවා. එලෙස අනාවැකි කීම සඳහා භාවිත කළ පළිඟු ගෝලය අදටත් බි්‍රතාන්‍යයේ කෞතුකාගාරයක් තුළ තැන්පත් කර තිබෙනවා. එයින් පැහැදිලි වනවා ගෝලය දෙස බලා ශාස්ත්‍ර කීම ප්‍රචලිතව තිබුණ බවට. විශේෂයෙන්ම ග්‍රීක ජාතිකයන් අතර ද මෙය පැතිරිලා තිබෙනවා. ඒ අය දිලිසෙන දේවල් භාවිත කර ශාස්ත්‍ර කියන්න උත්සහ කරලා තිබෙනවා. චීනයේත් මෙවැනි ගෝලාකාර දේවල් දෙස බලා ශාස්ත්‍ර කීම පැවැතිලා තිබෙනවා. චීන රැජනට අයත් කෞතුකාගාරයක් තුළ රාත්තල් 55 බර ගෝලයක් තිබෙන බව පැවැසෙනවා.

සමහරවිට ගෝලවලින් පමණක් නෙවෙයි මතුපිට දිලිසන තවත් දේවල්වලින් බලනකොට ඒ අයට ඒවා තුළින් යම් යම් නිර්මාණ පේනවා යැයි සිතනවා. විද්‍යාඥයන් පවසන ආකාරයට අනුව මෙලෙස යමක් කීමට හැකියාව ඇතිවන්නේ මොළය හරහා යම් නිර්මාණ සිදුකිරීමට හැකියාව ලැබීම හරහායි.

මම එක් උදාහරණයක් කියන්නම්. අංජනම්වල සත්‍ය අසත්‍යව මැන ගැනීමට. අපගේ හේතුවාදී සංගමය විසින් අංජනමක් බලන්න ගියා. එහිදී අංජනම දෙස බලා අප යම් ආකාරයකට මුද්‍රාකරන ලද නෝට්ටුවක තිබෙන ඉලක්කම කියන්න යැයි අපි අංජනම්කරුවන්ට පැවැසුවා. එලෙස එම නෝට්ටුවේ පවතින ඉලක්කම නිවැරදිව කිවහොත් කියන පුද්ගලයාට, අප සංගමය විසින් මුදලින් රුපියල් ලක්ෂ දහයක් දෙන බවටත් අපි පොරොන්දු වුණා. නමුත් මේ අභියෝග කිසිම කෙනෙක් භාර ගත්තෙ නැහැ. ඒ අය කිව්වේ “අපි කරන්නේ ශාස්ත්‍ර තුළින් යම්කිසි මෙහෙවරක් කිරීම පමණයි.”

මේවායේ ආරම්භය පිළිබඳව කතා කළහොත් කුමන හෝ වස්තුවකට කළු පැහැති ද්‍රව්‍යයක් හෝ ද්‍රව ස්වභාවයේ මැලියම් වර්ගයකට ආලෝකය ලැබුණාම එතැන ඇතිවන ආලෝකය නිසා යම්කිසි මෝස්තර පෙනෙන්නට ඇති බව විශ්වාස කරනවා. ඉතින් අංජනම්කරුවෝ සහ ඒවා විශ්වාස කරන්නන් එම මෝස්තර අනුව එයින් අනාගතය හෝ වෙනත් දෙයක් පෙන්නුම් කරන බවට සිතන්නට ඇතැයි විශ්වාස කරනවා.

ඒ අය හිතනවා අංජනම පෙන්වන්නේ අංජනම් දේවි බව. කවුරු හෝ බලවේගයක් තුළින් මෙය සිදුවන බව විශ්වාස කරනවා. එවැනි දෙයක් පිළිබඳව විශ්වාසයක් ඇතිවෙලා ඒ පිළිබඳව තව දුරටත් සිතා ඒ තුළින් යම් දෙයක් කිරීමට හැකි බව සිතීම තුළින් අංජනම් බැලීම ආරම්භය වූ බවට සිතනවා. ඒ අය විශ්වාස කරනවා අංජනම් දේවි සහ හනුමන්තා යන දෙදෙනා අංජනම් ශාස්ත්‍රය තුළ පෙන්නුම් කරන බව. යමක් නැති වූ විට නැති වූ වස්තුව තිබෙන ස්ථානය කියන්න කිව්වාම හනුමන්තා එය සොයා ගැනීමට පාර පෙන්වන බව සිතනවා. උදාහරණයක් විධියට සිනමා පටයක දර්ශනයක් මෙන් ව¾දුරකු පැමිණ (හනුමන්තා) පාර පෙන්වනවා යැයි විශ්වාස කරනවා. ඒ අය කියන විධියට අංජනම් ද්‍රව්‍ය හදලා ජප කර මැතිරුවාට පසු අංජනම් දේවිගේ බැල්ම පවතින බවට සිතනවා.

මේවා පමණක් නොව සෑම මිථ්‍යා විශ්වාසයටම මිනිස්සු පෙලඹුණේ තර්ක නොකර අධි විශ්වාසයෙන් සිතාමතා කටයුතු කිරීමට පෙලඹීම නිසයි. කොතරම් ප්‍රශ්න කළත්, තාර්කික විධියට මෙවැනි දේවල් කොතරම් ප්‍රායෝගික දැයි කියා අසා ප්‍රශ්න කිරීමට පොඩි හෝ උත්සාහ කිරීමක් සිදු කරන්නේ නැහැ.

මේවා අතීතයේ පටන් සමාජයේ තිබෙන මිථ්‍යා විශ්වාස. මෙවැනි දේවල් හරහා කිසිම ප්‍රතිඵලයක් ලබෙන්නේ නෑ.

තවද අංජනම් බැලීම නිධන් හාරන අය විසිනුත් යොදා ගන්නවා. ඒ අය විශ්වාස කරන්නේ පැරණි පන්සල්, කෝවිල් ආශ්‍රයේ නිධන් ඇති බවට. ඒවා හෑරීම සඳහා නිධන් ඇති ස්ථානය නිවැරදිව සොයා ගැනීම සඳහා අංජනම් හා ශාස්ත්‍ර යොදා ගන්නවා. පැරණි වෙහෙර විහාරවල අතීතයේදී රජවරු විවිධ වටිනා වස්තූන් තැන්පත් කර තිබෙනවා. එවැනි ඕනෑම තැනක් හෑරුවාම කොහොමත් කුමන හෝ ද්‍රව්‍යයක වස්තූන් හමුවෙන්න පුළුවන්. ඒ සඳහා අංජනම් බැලීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේ තැනක අංජනමක් බලලා නිධානයක් ලැබුණොත් සිතනවා අංජනම් ශාස්ත්‍රය ඇත්ත කියලා. අංජනම නිසා තමයි නිධානය සොයා ගන්න පුළුවන් වුණේ කියලා.

කෙනකුගේ අනාගතය කියන්න පුළුවන්, නැතිනම් ඉන්න ස්ථානය කියන්න අද්භූත බලවේගවලට හැකියාවක් නැහැ. එලෙස අප නොදකින අද්භූත බලවේගයක් මේ විශ්වය තුළ නැහැ. ඒ වගේම ඒවා කරන්න පුළුවන් පුළුවන් යැයි පෙන්වන විශේෂ ක්‍රමයකුත් නෑ. ඒ නිසා අපි කළ යුතු වන්නේ යම්කිසි වස්තුවක් නැති වුවහොත් විද්‍යාත්මකව හා ප්‍රායෝගික සිතා බලා පොලිසියේ සහය පැතීම පමණයි. කෙනකු නැති විට එය පොලිසියට දැනුම් දීම හරහා ඒය නැති වුණ කෙනාව සොයන්න පටන් ගන්නවා. තමන්ට ලෙඩක් හැදුනහොත් ශාස්ත්‍රකරුවකු ළඟට යන්නේ නැතිව හොඳ වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕන. යම් දෙයකට විද්‍යාත්මක විසඳුමක් තිබියදී මෙවැනි මිථ්‍යාව පසුපස යෑම හරහා සිදුවන්නේ තමන්ගේ මුදලුත්, කාලයත් විනාශ කරගෙන කරදර රාශියකට මුහුණ දීමට සිදු වීමයි. එවැනි දේවල් විශ්වාස කිරීම හරහා සිදුවන්නේ නිෂ්ඵල, කිසිදු ප්‍රතිඵලයක් නැති දෙයකට යොමු වීම පමණයි.

රමෝද් ජයවර්ධන

සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර