ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු පිරිසට එරෙහි නඩුව ගැන අධිකරණයේදී ගත් තීරණය

4
1664

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවසරය ලබා දීම සම්බන්ධයෙන් ජූනි 28 වන දින ගැනීමට තිබූ තීරණය අද දින (ජූලි 01) අධිකරණයේදී සැලකිල්ලට ගන්නා ලදී.

වගඋත්තරකරුවන් තිදෙනෙකු පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

පළමු වගඋත්තරකරු (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ), අට වන වගඋත්තරකරු වන නන්දලාල් වීරසිංහ සහ නව වන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය නියෝජනය කළ නීතිඥවරුන් පමණක් අද දින නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිට ඇත.

අට වන සහ නව වන වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මීට සමාන නඩුවක් (SCFR 195/2022) දැනටමත් ගොනු කර ඇති බව ත්, ජූලි 4 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරිපිට සහාය දැක්වීම සඳහා එය නියමිතව ඇති බවත් ය.

ඒ අනුව, මෙම කරුණු දෙක ම එකවර විභාගයට ගැනීම සලකා බලන ලෙස නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, එම ඉල්ලීම සලකා බැලීම පිණිස අධිකරණය විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කරන ලදී.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් (මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්), හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ ගමන්වල යෙදීම තහනම් කරන ලෙසට පෙත්සම්කරුවන් අතුරු සහනයක් ඉල්ලා ඇත.

මෙම තත්ත්වයට හේතු සහ වගඋත්තරකරුවන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම සඳහා මෙන් ම, මුදල් අක්‍රමිකතා සහ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ කමිටුවක් පත් කිරීමේ ඉල්ලීමක් ද පෙත්සම්කරුවන් කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් චන්ද්‍රා ජයරත්න, ජූලියන් බෝලිං සහ ජෙහාන් කනගරත්න යන සෙසු පෙත්සම්කරුවන් සමග මෙම පෙත්සම ගොනු කරන ලදී.

එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට විනිවිදභාවයකින් තොරව සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමට එරෙහිව ය.

එහි සඳහන් කර ඇති පරිදි ආර්ථික අර්බුදයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ.

  1. 2019 වසරේදී නීතිවිරෝධී ලෙස බදු සහන දීම හරහා රජයේ ආදායම් අඩු කර ගැනීම.
  2. එම බදු සහන ආපසු හැරවීමට අසමත් වීම.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රමාද කිරීම.
  4. රුපියලේ අගය සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණ නොගැනීම.

පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ, ඉහත කී කරුණු සඳහා අදාළ වග උත්තරකරුවන් ඍජුව වගකිව යුතු බවට ය.

4 COMMENTS

  1. හැබැයි පාරට බැහැලා අරගල කරන අය සහ විවිධ දේශපාලන පක්ශ චෝදනා කරන්නෙ හොරකම් කල නිසා මෙහෙම වුනාලු කියලයි. ඒත් නඩු දාලා තියෙන්නෙ මේ කියන බදු සහන දුන්නා කියන ඒවට.

  2. නඩු වලට හේතුවෙලා තියෙන කාරණා විහිලු කාරණා.ඕවගේ කාරණා වලට නඩු දානවනම් බලයට පත්වන කිසිවෙකුට කිසිම තීරණයක් ගන්න බෑනේ මේ අයගෙන් අහන්නෙ නැතුව.

Comments are closed.