ශ්‍රී ලංකාව මුදාගැනීමට IMF කොළ එළියක් දැල්වුවහොත් තවත් බොහෝ රටවල් ඒ වෙනුවෙන් උපකාර කරාවි

0
51

ශ්‍රී  ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මුදාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොළ එළියක් දල්වන්නේ නම් තවත් බොහෝ රටවල් ඒ වෙනුවෙන් උපකාර කිරීමට සූදානමින් සිටින බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට පිළිබඳව ගන්නා තීන්දුව මත ඒ සියල්ල තීරණය වන බවද හෙතෙම කීය. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායමේ පිරිසක් සමඟ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මලලසේකර මාවතේ පිහිටි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල නිවෙසේදී පෙරේදා (29දා) උදෑසන මේ සාකච්ඡාව සිදුව තිබේ. එහිදී රට තුළ ඇති වී තිබෙන තෙල්, ගෑස් ඇතුළු අර්බුද සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස කරුණු හුවමාරු වූ බව දයාසිරි ජයසේකර පැවැසීය. දේශපාලනික අර්බුද පිළිබඳව කිසිවක්ම සාකච්ඡාවට බඳුන් නොවූ නමුත් අතිශයින්ම පීඩාවට පත්ව සිටින පහළම ස්තරවල පිරිස් වෙත හැකි ඉක්මනින් සහන සැලසිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද කරුණු දැක්වුණු බවද හෙතෙම කීය.

මේ වනවිට රට කඩා වැටී අවසන් බවත් යළි රට ගොඩනැඟීමට පවතින ආණ්ඩුවට නොහැකි බව මේ වනවිටත් සනාථ වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය. සියලු පක්ෂ ඒකරාශී කොටගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නව අගමැතිවරයෙක් පත් කොට සාකච්ඡා මාර්ගයෙන් රටේ ප්‍රශ්න විසඳිය හැකි යාන්ත්‍රණයක් වහාම ස්ථාපිත කළ යුතු යැයිද මහ ලේකම්වරයා අවධාරණය කළේය.

සවනි ශේශාධි