බර්මින්හැම් පොදුරද මඩුලු උළෙලට ශ්‍රී  ලංකාවෙන්  ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 114ක්

0
30

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මෙම මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් අතුළු 165 දෙනකුගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් මෙවර ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නිමිතව ඇති බව වාර්තා වේ.  මේ සම්බන්ධයෙන් කොළඹ ඔලිම්පික් නිවහනේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය වූ අතර, මෙම කණ්ඩායමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 114 දෙනකු (ක්‍රීඩිකාවන් 60ක්, ක්‍රීඩකයන් 54ක්) ඇතුළත්ව ඇති බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී  ලංකා කණ්ඩායමේ මෙහෙයුම් කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ මෙහෙයුම් කමිටු ප්‍රධානියා “මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 165 දෙනකු සම්බන්ධ වීමට නියමිතයි. ජාතික ක්‍රීඩා සංගම්වලින් සිදු කළ තෝරා ගැනීම්වලින් අනතුරුව ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික තේරීම් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම යටතේ මෙම අවසන් තෝරාගැනීම් සිදු කර තිබෙනවා. එම කණ්ඩායමට ක්‍රීඩකයන් 54 දෙනකු සහ ක්‍රීඩිකාවන් 60 දෙනකුත් අතුළත් වෙනවා.

එයට අමතරව නිලධාරීන් 35 දෙනකු සහ සහාය කාර්යමණ්ඩල සාමාජිකයන් 16 දෙනකුත් මෙහිදී ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් එක්වීමට නියමිතව තිබෙනවා. බර්මිංහැම් නුවරදී ක්‍රීඩා ගම්මාන 5කින් 4ක අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය වෙන් කිරීම් මේ වන විටත් සිදුකර තිබෙනවා. ඒ අනුව මෙසේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායම මේ වන විටත් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරග සංවිධායකයන්ගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා.” යනුවෙන් කියා සිටියේය.

එමෙන්ම මේ වන විටත් විදේශයන්හිදී පුහුණුවීම් සිදු කරන පදක්කම් බලාපොරොත්තු සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුද බර්මිංහැම් නුවරදී ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතව ඇති බවද මෙහිදී අනාවරණය විය. කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද ඒ අතර වෙති.

තවද ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන අරමුදල සහ පොදුරාජය මණ්ඩලයීය ක්‍රීඩා සංගමය මඟින් මෙම ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රාහක දායකත්වය සැපයීමද විශේෂත්වයකි. එමෙන්ම මෙවර විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය බරපැන දරනු ලබන බවද මෙහිදී අනාවරණය විය. තවද ජාතික ඔලිම්පික් කමිටුව මෙම කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය සෙසු පහසුකම් සියල්ල සැපැයීමට මේ වන විටත් කටයුතු යොදා තිබීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී  ලංකා කණ්ඩායමේ කළමනාකාරවරුන් ලෙස කටයුතු කරන ගාමිණී ජයසිංහ, චන්දන ලියනගේ යන මහත්වරු ද සහභාගි වූහ.

ගමිත දෙහිපිටිය

ඡායාරූපය _ මංජුල දයාවංස