පළමු එක්දින තරගය අද

0
27

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී  ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10.00ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භයට පෙර අන්තර්ජාලය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී  ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා කියා සිටියේ තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තම උපරිම ශක්තිය සහ දක්ෂතාව යොදාගතහොත් මෙහිදී ඉන්දීය පිලට අභියෝගයක් එල්ල කරමින් තරගාවලිය ජයගැනීමේ හැකියාව පවතින බවයි.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ හෂාන් තිලකරත්න මහතා “මෙම තරගාවලිය සඳහා අපගේ සූදානම ඉතාමත් ඉහළ මට්ටමක තිබෙනවා. අවසන් විස්සයි-20 තරගය ජයගැනීමත් සමඟින් එය ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට හේතුවක් වුණා. අපගේ උපරිම දක්‍ෂතාවයෙන් ක්‍රීඩා කළහොත් ඉන්දීය ක්‍රීඩිකාවන් ඉක්මවා යෑමේ හැකියාව අපිට තිබෙනවා.” යනුවෙන් කියා සිටියේය.

මෙහිදී ඉන්දීය කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී  ලංකා ප්‍රධාන පුහුණුකරුවා “ඉන්දීය පිල කෙතරම් ශක්තිමත් කණ්ඩායමක් ද යන්න අප ඉතා හොඳින් දන්නා කරුණක්. එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් විශාල ගෞරවයක් අපිට තිබෙනවා. එමෙන්ම ඔවුන් ලෝකයේ දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායමයි. ඒ අනුව අපගේ උපරිම ශක්තිය යොදවමින් අපගේ හොඳම ක්‍රීඩා දක්ෂතා දක්වා මෙම තරගය ජය ගැනීම අපගේ බලාපොරොත්තුවයි.” ලෙසද සඳහන් කළේය.

මේ අතර මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් හෂාන් තිලකරන්ත මෙසේ ද පැවැසීය. “කෙසේ වෙතත් මෙහිදී නිර්භය ලෙස ක්‍රීඩා කිරීමේ රටාව (fearless cricket) අපි අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය පාකිස්තාන සංචාරයේදී සහ පසුගිය තරග කිහිපයේදී අපගේ පිතිකාරිණියන් ඉතා අවාසනාවන්ත ලෙස පහත වැටුණා. එසේ වුවත් පසුගියදා නිමා වූ අවසන් විස්සයි-20 තරගයේදී පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීමේ යන අංශ තුනෙන්ම ඉතාමත් ඉහළට පැමිණීමට අපිට හැකිවුණා.

එයට සමාන ක්‍රීඩා විලාශයක් මෙහිදීත් අපි ක්‍රීඩිකාවන්ගෙන් අපේක්ෂා කරනවා. හොඳින් සලකා බැලුවොත් අපගේ පන්දු යවන්නියන් විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් අපට පැහැදිලිව පෙනෙන කරුණක්. පසුගිය තරගාවලියේ ඉන්දීයාව සතුව දක්ෂ පිතිකාරිණියන් සිටියත් ඔවුන් 140ට අඩු සීමාවේ රඳවා ගැනීමට හැකිවීමත් විශාල ධනාත්මක සාධකයක්.”

ගමිත දෙහිපිටිය