ධර්මරාජ මැණියන් සදාකල් දිනේවා !

0
39

දිගු කලක් විදේශ ආධිපත්‍යයට ලක්වුණු බෞද්ධ අධ්‍යාපනය, පිරිහෙමින් පැවැති වකවානුවේ කළු සුද්දන් පිරිසක් රට තුළ බිහිවෙමින් පැවැතියේය. අමාරුවෙන් බෞද්ධ අධ්‍යාපනය පවත්වාගෙන ගිය පිරිවෙන් සඳහා රාජ්‍ය අනුග්‍රහයක්ද නොලැබුණු අතර ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම පවා සුදු පාලකයන් විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ මිෂනාරි පාසල්වල ඉංගී්‍රසි උගත් පිරිසම බැවින් මෙරට පිරිවෙන් අධ්‍යාපනය සහමුලින්ම විනාශ වන තත්ත්වයක් උදාවිය.

මේ නිසා බෞද්ධයන් පවා කතෝලික මිෂනාරි අධ්‍යාපනයට අකැමැත්තෙන් හෝ නතුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මෙහි අයහපත් ප්‍රතිඵලය ලෙස මුළුමහත් දේශයම කතෝලික ග්‍රහණයට හසුවෙමින් තිබෙනු දුටු මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල වැනි දේශමාමක බෞද්ධ භික්‍ෂුන් ඉතිරිව සිටි ජාතිහිතෛෂීන් එකතු කර ගනිමින් බෞද්ධ හැඟීම් වඩවා කතෝලික මිෂනාරි අදහස් පරාජය කිරීම සඳහා සංවාදාත්මක ස්වරූපයෙන් රටපුරා පංච මහා වාද සංවිධාන කළහ.

මින් ඉතා ප්‍රබල වූයේ කතෝලිකයන් ප්‍රසිද්ධියේ පරාජය කළ පානදුරාවාදයයි. ලොව පුරා එකල දැඩි අවධානයට ලක්වූ පානදුරාවාදයේ සංවාදාත්මක අදහස් ඉංගී්‍රසි බසට පෙරළුණු අතර එම සංවාදයේ පිටපත් දහස් ගණනින් ඇමරිකාව වැනි විදේශ රටවලට යැවිණි. එකල පුවත්පත්වලද වැඩි ඉඩකඩක් මෙම වාදය සඳහා වෙන්කෙරිණි. විදෙස් පුවත්පත්ද මෙම සංවාදයන්හි අවස්ථා තම පුවත්පත්වල පළ කිරීමට උනන්දු විය.


මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානුවකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට් හා රුසියානු ජාතික කාන්තාවක වූ බ්ලැවැට්ස්කි බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් බැහැදැක පංචශීලය සමාදන්වී සැදැහැති බෞද්ධයෝ වූහ. ඔවුහු මෙරට බෞද්ධයන් හා එක්ව බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීමේ මූලික වැඩපිළිවෙළ ආරම්භ කළහ. එහි ප්‍රතිඵලය වූයේ 1886දී කොළඹ ආනන්දයත් 1887දී කන්ද උඩරට බෞද්ධ පාඨශාලාවත්, ගාල්ලේ මහින්ද, කුරුණෑගල මලියදේව, කටුගස්තොට රාහුල වැනි බෞද්ධ පාසල් කිහිපයක්ම රට තුළ ඇති වීමය. එමඟින් දිවයින පුරා බෞද්ධ අධ්‍යාපනයේ පිබිදීමක් ඇති විය.

කන්ද උඩරට බෞද්ධ පාසල නමින් බිහිව විදුහල්පති බැන්බරි සමයේ ධර්මරාජය නම් ලද මෙම පාසල අද දරුවන් 5,000කට ආසන්න පිරිසකට සෙවණ දෙන ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක තුන අතර තිබුණද එදා එහි මුල්ම ශිෂ්‍යයන් වූයේ අන් පාසල්වට වැද්ද නොගන්නාවූ වැඩිහිටි සිසුන් 12 දෙනෙකි. වඩුගොඩපිටිය පුංචිරාල කෝරාලේතුමන් විසින් එක රැයකින් කපා ඉවත් කරන ලද බෝරුක තිබූ භුමියේ ඉදිකළ විදුහලේ ප්‍රථම ප්‍රධානාචාර්යවරයා වූයේ ගාල්ලෙන් ආ අන්දිරිස් ද සිල්වා මහතායි. ඊට පසුව ප්‍රථම විදුහල්පති වූයේ ශ්‍රී මත් ඩී.බී. ජයතිලකයන්ය. එල්.එච්. මෙත්තානන්ද, පී. ද එස්. කුලරත්න වැනි ජාතික නායකයන්ගෙන් පන්නරය ලද ධර්මරාජය අද අක්කර 54ක මනරම් භුමිභාගයක පිහිටා ඇත්තේ දළදා තේවාව ඇසෙන සීමාවේයි.

විල් දසුන් නම් මෙම පුණ්‍ය භූමිය බිලිමෝරියා සමයේ මිලට ගැනුනකි. අංගසම්පූර්ණ පාසලක තිබිය යුතු සියලු අංගයන්ගෙන් සපිරි ධර්මරාජය වසර 135ක් ජාතියට අවශ්‍ය ගුණගරුක දරුවන් පිරිසක් බිහිකිරීමේ උදාර කර්තව්‍ය නිසිලෙස වටහා ගෙන කටයුතු කිරීම ජාතියක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයකි. එහෙත් ධර්මරාජයට වර්තමානයේ අභියෝග රැසක් ජය ගැනීමට ඉතිරිව තිබේ. ජාතියට අවශ්‍ය ඍජු අවංක නායකත්වය සැපයීම එහි මුලටම ගැනෙන්නකි.

තම අතීතය පිළිබඳව අභිමානයෙන් පසුවන ධර්මරාජය වර්තමාන ධර්මරාජ ප්‍රජාවෙන් බලාපොරොත්තු වන්නේ එම වගකීම ඉටු කිරීම සඳහා තමන් සන්නද්ධ කිරීමය. ධර්මරාජයේ ඉදිරි සියවස තීරණය වන්නේ එම අභියෝගය ජය ගන්නා ආකාරය අනුව බැවින් ඒ පිළිබඳව සිතා වර්තමානයේ ජීවත්වන සියලු බෞද්ධයන් ධර්මරාජය ආරක්‍ෂා කර ගැනීම සඳහා පෙරට ආ යුතු කාලය එළැඹ තිබේ. ජුනි 30 දින සිය 135 වැනි ජන්ම දිනය සැමරූ ධර්මරාජ මෑණියනි, ඔබ සදාකල් දිනේවා. එය අප හදපත්ලෙන්ම නැඟෙන ආදරණීය සුභාශිංසනයයි.

ප්‍රේමලාල් විජේසිංහ,
සංස්කාරක,
ධර්මරාජ විද්‍යාලයීය
ආදි ශිෂ්‍ය සංගමය