දැන් ඉතින් පලයාව්!

0
106

“නැව් එන දවසක් කියන්න බෑ. තෙල් අර්බුදය දිගටම යන හැඩයි. ඊට ආසන්නතම හේතුව තමයි අපේ බැංකු ණයවර විදේශ සමාගම් පිළිගන්නේ නෑ. ඒ නිසා තෙල් දෙන්න බැරි තත්ත්වය ඇත්තයි. සේවකයන් ගෙදර තියාගෙන වැඩ ගන්නැයි පෞද්ගලික අංශයත් ඉල්ලනවා. සති දෙකක් පාසල් වහන්නත් වෙනවා. භූමිතෙල් නම් දෙන්නම විධියක් නෑ” යනුවෙන් ඛනිජ තෙල් ඇමැති මාධ්‍ය වෙත ඇවිත් කළ කතාව නිසා රට ගල් ගැසී ගියාක් මෙනි.  එය සත්‍යයක් විය හැකිමුත් පිළිතුර එය නම් එය එසේම පිළිගන්නට ජනතාව කැමැති නැති බවත් පෙනෙයි. ජනතාවගෙන් විෂය භාර ඇමැතිවරයා සමාව ඉල්ලා සිටියද දැන් නම් වෙන්න ඕනෑ දේ වෙලා හමාරය.

 එහෙත් රට පුරාම ජනතාව කියා සිටින එකම දෙයක් තිබේ. එනම්,

“තෙල් කඳුළක් ඉතිරි වෙන්නේ නැති තරමට අර්බුදය දිග් ගැහෙද්දී විකල්ප විසඳුම් කිහිපයක් තිබිය යුතුයි. නමුත් හෙට අනිද්දා රටම ලොක්ඩවුන් වන තරමට අක්‍රිය වෙන බව දැන දැන මෙවැනි කතා කීම කොයිතරම් බාල වැඩක්ද? වගකීම් විරහිත තත්ත්වයක්ද? තෙල් ඇමැතිලා අගමැතිලා ඉඳලා මොකටද විසඳුමක් දෙන්න බැරි නම්” ය කියලාය.

මේ සටහන තබන මොහොත වන විට කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් හිඳී ඇත. සිපෙට්කෝව සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සපුරා ගත නොහැකිව දොර වසා ඇත. අත්‍යවශ්‍ය සේවාවලට තෙල් සැපයෙන්නේ මුතුරාජවෙල පර්යන්තයෙනි. මේ මොහොතේ ධ්ර්ණීඛ් සමාගම පමණක් පෞද්ගලික වාහනවලට තෙල් සපයමින් සිටියි.  ඒ අනුව බස් රථ දුවන්න පුළුවන් වෙන්නේ තව දවස් කීයක්ද යන්න නොවිසඳුණු පැනයක්ව ඇත.

තෙල් තිබුණත් නැතත් වැඩි වූ තෙල් මිලට සාපේක්ෂව බස් ගාස්තු ජූලි 01දා සිට වැඩි කරන බවට එක් බස් රථ සංගම් මාෆියාවක් තග දාන  අතර තවත් සංගමයක් “මේ මොහොතේ එසේ වැඩිකළ යුතු නැත” යැයි කියමින් පරස්පරයකය. බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ කතා බහ ගාලගෝට්ටියක්ව තිබෙන අතර ජූලි මාසය ඇරැඹෙන්නේ “ජූලි හතයි මළ කෙළියයි” යැයි ජනතා මුවග රැව්දෙන “ජූලි මාසයේ හොඳ හොඳ සෙල්ලං විය හැකියි” යන්න තහවුරු කරමින් මෙනි. ඒ අනුව ජූලි මාසයේදී ජනතාවට තරු විසිවන බස් ගාස්තු වැඩිවීමක් දරාගන්නට සිදුවනු ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව රු. 40ක් ගෙවා පෙනෙන දුරක් යන්නටත්, ජනතාවට තව කැපවීම් කරන්නට සිදුවනු ඇත.

හැම දේටම අයුක්ති සහගත ලෙස වෘත්තීය සටන් මෙහෙය වන, පාරට බැස ඉල්ලීම් පමණක්ම ඉල්ලන, වගකීම් ඉටුනොකර මස් රාත්තලම ඉල්ලන සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් වැඩ වැරුමකට යොමු වූයේ ප්‍රවාහනය සඳහා ඉන්ධන පහසුකම් නොමැති වීම කරණකොට ගෙනය. ඊට විසඳුම් දෙන්නට ආණ්ඩුවට ශක්තියක් හෝ ක්‍රමවේදයක් සකස් කරගන්නට බැරි තැනකය.

මේ අවුඅස්සේ රට කොතරම් සිරගත වූ තැනකට කොටුවේදැයි කියතොත් මෙරට තෙල් වෙළෙඳාම විදේශීය සමාගම්වලට විකුණා දමන්නට රජය අවසර දී තිබීමෙන් පෙනෙයි. මෙහි ඇති සැක සහිත තැන නම් “මෙවැනි දුෂ්කර මොහොතක් එළැඹෙනතුරු සිට අදාළ  සමාගම්වල කේවල් කිරීමේ ශක්තියත්, ගණන් ඉස්සීමේ සම්භාවිතාවත් වැඩි මොහොතක එකී සමාගම්වලට මෙරට තෙල් සැපයීම හා බෙදා හැරීම මෙන්ම වෙළෙඳාමත් දීම සුදුසුද?” යන්නය.

රජය සැරසෙන්නේ එවැනි සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතව ඉන්ධන ලබාගැනීමටත් බෙදා හැරීමටත්ය.  මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයෙන් ගිවිසුම් ගතවනවා කියලාය. මේ සමාගම් මොනවාද? ඒවා පිටුපස ඇතිවන ඒකාධිකාරි බලය කොතෙක්ද? සමාගම් හසුරුවන්නේ කවුරුන්ද? එහි ප්‍රතිලාභ සැබැවින්ම යන්නේ කාගේ සාක්කුවටද යන්න පිළිබඳ සමාජයේ විවිධ කතාබහද ඇති වී තිබේ.

ඊටත් වඩා රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%ක් පමණ පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේය. සංස්ථාවේ දූෂණ හා අක්‍රමිකතා මෙන්ම සේවකයන් වැඩිපුර බඳවාගෙන දේශපාලන පත්වීම් ලබාදීමෙන් වූ පාඩුව කෙසේ වෙතත්, එම සංස්ථාව රටේ හදවත බඳු එකකි. එය නඩත්තු කර ගොඩ ගත හැකි නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු ද ගත හැකිව තිබුණත් මෙයින් සිදුවන්නේ සංස්ථාවට තිබුණු හයිය නැති වී එය දියාරු වී සංස්ථාව නැත්තට නැති වී එකී සමස්ත ආදායම විදේශීය සමාගම් අතර බෙදී යෑමය. එය  රටේ ජනතාවට අහිමි වන ජනතා සම්පතකි.

සංස්ථාවට තෙල් සැපයීම කරන්නට නොහැකි වූයේ ආණ්ඩුවේ අදූරදර්ශී මූල්‍ය පාලනය හා ඉහවහා ගිය ආණ්ඩුවේ ඇත්තන්ගේ දූෂණ හා වංචාවන් නිසා බව රටම පිළිගන්නා දෙයකි. එබැවින් ජනතාව අන්ත දුකට පත්ව සිටින මොහොතක ජනතාව ඇපයට  තබා, ජනතාවට කරකියා ගන්නට බැරි වූ තැනක “මොකාට හරි දීලා අපට තෙල් දියල්ලා” යන්න කියවාගෙන රටේ සම්පත් විදේශීය තෙල් සමාගම්වලට පූජා කිරීමක් මෙයින් සිදු වන්නේය.

තෙල් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රට පුරා රෝහල්වල එදිනෙදා කාර්යසාධනය කඩා වැටී ඇති බවක් පෙනෙයි. ඒ නිසා සැබැවින්ම තෙල් නැතිව රෝහල් කොට උඩය. ප්‍රතිකාර කෙරෙන්නේ බොහෝ රෝහල්වල හදිසි රෝගීන්ට පමණය. සැත්කම් හා සායනයන් ඇනහිට ඇත. ඊට අමතරව ඔෟෂධ හිඟකම හා නොමැතිකම නිසා ජීවිතය අනතුරට වැටුණු රෝගීන් බරපතළ අඩියකට වැටී ඇත. බෙහෙත් නැතිව රෝගීන් බුරුතු පිටින් මියයන දිනය වැඩි අෑතක නොවන බැව් පෙනෙයි.

පසුගිය දිනවල රට පුරා ඇදහැලුණු වර්ෂාව නිසා ජලාශ පිරී ගියෙන් ටික කලකට හෝ ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කර ගත  හැකි විය. එය තෙල් නැති  රටකට මඳ සහනයක් විය. එහෙත් මේ වන විට ඒ හැටි වර්ෂාවක් නොලැබෙන බැවින් ජලයත් මදිය. තෙලුත් මදිය. ජල විදුලිය ඒ නිසා උත්පාදනය කරගත නොහැකි වෙද්දී තෙල්වලින් දුවන බලාගාර පණ ගන්වන්නට සිදුවේ. ඒ අනුව තෙල් නැතිවීම යනු විදුලිය කප්පාදු කිරීමේ පැය ගණන දිනෙන් දින වැඩිවීමකි. මෙය ජනතාවට මෙන්ම රටට ඩොලර් ගෙන එන අපනයන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තවලට මෙන්ම රටේ සමස්ත ක්‍රියාවලියට බාධාවක්ම වේ.

ජනතාව අතේ තිබෙන මුදලට යාන්තමින් දෙයක් මිලදී ගෙන ජීවත්වන්නට දැන් හොඳහැටි පුරුදු වන ගමනකය. එහිදී බොහෝ දෙනාට  ඒ මොහොතේ සහනයක් වන දෙයක් නම් කේ‍රඩිට් කාඩ් පතෙන් බඩු බාහිරාදිය මිලදී ගෙන එය හෙමිහිට පියවා දැමීමය. වාරික වශයෙන් ගෙවන සහනයක් තිබුණද පසුගියදා ජනතාවට නොදැනීම ආණ්ඩුව කේ‍රඩිට් කාඩ් පොලියත් වැඩි කර ඇත. සාමාන්‍යයෙන් තිබුණේ 18%ක පොලියකි. දැන් එය 30% දක්වා ඉහළ දැමීමට මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී තිබීමෙන් ජනතාව තවත් කබලෙන් ළිපට වැටීමකට බඳුන් වෙයි.

මේ අතර කොත්තු රොටී මෙන්ම බත් පැකැට්වලද  මිල ඉහළ ගොස් ඇත. එය  රු. 10කින් හෝ ඊට ආසන්න විවිධ ගණන්වලටය. මෙය එක්තරා ආකාරයට මෙම පීඩන තත්ත්වයේ එක්තරා කඩඉමක් පසුකර යෑමකට ආසන්නය. පාන් ගෙඩියටත්, බනිස් ගෙඩියටත් සීමා වී යාන්තම් දිවි රැක ගන්නා දුප්පතාටත් පාන් සහ බනිස් සුපිරි ආහාර වන තැනකය.  එසේ වූ විට පාන් බනිස් අනවශ්‍ය ආහාර නොවන තැනකට තල්ලු වේ. එහිදී ජනතාවට ඒවා මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වන අතර එයින් සිදුවනුයේ එම කර්මාන්ත ද කඩා වැටීමය. ඒ නිසාම බහුතරයක් බේකරි හිමියෝ කියන්නේ “තෙල් මිල නග්ගන ගාණේ් අපට පාන් බනිස් මිල උස්සන්න වේද ඒකෙන් බේකරි කඩා වැටේවි” කියලාය.

තවත් පැත්තකින් ජනතාවට උහුලා ගන්නට බැරි බරක් පැටවෙන අවස්ථාවක් ළඟ ළඟය. ඒ අනුව විදුලි ගාස්තුව 82%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇත. 82%කින් විදුලි බිල නග්ගනවා නම් ඊට සරිලන ආදායමක් ජනතාවට ලැබෙමින් තිබිය යුතුය. මෙවැනි වටපිටාවක ජනතාවට ජීවත්වන්නට බැරි තත්ත්වයක් තිබෙද්දී ආදායම් මාර්ගද අහිමි වී තිබෙද්දී විදුලි බිල වැඩි කළාය කියා කිසිවකුටත් එම වැඩිකළ මුදල් ගෙවීමට හැකිවේද යන්න සැක සහිතය.

“මිනිසුන්ගේ සීමාව ඉක්මවා යමින් තියෙනවා. හැම පැත්තෙන්ම වැඩි කළාම ඒක එක තැනකට එල්ල වෙනවා. පීඩනය දරුණුම වුණාම පුපුරා යනවා. එක්කෝ සල්ලි ගෙවන්නේ නැතිව ඉන්න වෙනවා. එතකොට සැපයුමත්, ආදායමත් බිඳ වැටෙනවා. මණ්ඩලයත් ජනතාවත් දෙපාර්ශ්වයම අර්බුදයට යනවා. ඒක වළක්වන්න බෑ”

මේ පිළිබඳව නිරතුරු විමසුමක යෙදෙන ආර්ථික විශ්ලේෂකයන් කියන දෙයකි. එය බැහැර කළ නොහැකි තැනකය. ජනතාව කොයිතරම් තැනකට කඩා වැටුණද සමාජ සංස්ථාවන් කොතරම් දෙදරා ගිහින්දැයි දැනගන්නට තවත් කියැවීමක් මෙසේය. මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයකි.

“පෝලිම්වල සිටීමෙන් 40%කට මානසික පීඩා ඇතිවෙලා. ආර්ථික අපහසුතා නිසා පවුල්වල ගහ මරා ගැනීම් වැඩිවෙලා. මෙය හොඳ තත්ත්වයක් නොවෙයි. මේවා ඉවර වෙන්නේ මහත් වූ සමාජගත පරිහානියකිනුයි”

ආණ්ඩුව අදූරදර්ශීව සිදුකරගත් වින්නැහිය ඉතා බරපතළ තැනකට රට තල්ලු කර අවසන්ය. එහි ඉතා බිහිසුණු ප්‍රතිඵල පෙනෙන තෙක් මානයේය. විපක්ෂ බලවේග කියන්නේ ඉන්දියාව අපට අමාරු වෙලාවක උදවු කළාට ඊට වඩා දෙයක් ඔවුන් අපෙන් සොරාගනු ඇති බවය. එහි සාරාංශය මෙසේය.

“ඉන්දියාව උපායශීලීව අපේ රටේ ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමේ වැඩපිළිවෙළක. විදුලි බලාගාර කිහිපයක්, මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප 2ක්, ත්‍රිකුණාමලය වරාය අවට වටිනා ඉඩකඩම් සමූහයක් ඩැහැගන්න පිඹුරුපත් සකසමින් ඉන්නවා. ඉන්දියාවේ මේ සියලු උදවු පිටුපස තියෙන්නේ වෙනම වැඩපිළිවෙළක්. ඔවුන් අප ගොදුරු කරගන්නයි හදන්නේ”

තත්ත්වය මෙලෙස පෙළ ගැසෙද්දී රට තව තවත් අර්බුදයෙන් අර්බුදයට යන්නේය.  එය වළක්වා ගන්නට ප්‍රශස්ත වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව නැති තරම්ය. අගමැති දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන පේනකාරයකුගේ තැනට වැටී ඇති අතර ජනාධිපතිවරයා ඉඳහිට යළිත් පිරිස් කැඳවා අහවල් දේ කරන්නැයි උපදෙස් දෙන තැනකය. ඇමැතිවරු සිටියද ඒ එක්කෙනකුටවත් තමන්ගේ අමාත්‍යාංශය හෝ ගොඩ දමා ගන්නට බැරි තරම්ය. එබැවින් මේ ගතවන්නේ අතිශය තීරණාත්මක කාලයක්ය. පීඩනය ඉතා දරුණුය _ පිපිරෙන මායිමේය.

එනිසාම ජනතාව පාලකයන්ට නොකියා කියන්නේ “දැන් ඉතින් පලයල්ලා” කියලාය.

සජිත් රෝහිත ලියනගේ