කවුරු නිවාවිද මේ දුක්ගිනි කන්ද?

0
97

බුදුන්ට දෙවියන්ට කියනවා හැර වෙන කරන්න දෙයක් නෑ. අපි කියන ඒවා පාලකයන් කනකට ගන්නේ නෑ. මේ ඊයේ අප පත්‍රයේ මුල් පිටු පුවතකි. පුවත වරකාගොඩ ශ්‍රී  ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් කළ අනුශාසනයක් හා බැඳෙයි. මහ නාහිමියන්ගේ අනුශාසනයෙන් රටට කියන්නට අපට කතාවක් තිබේ. රටේ පාලකයන් ජනතා හඬට පමණක් නොවේ අඩු තරමින් ගෞරවනීය මහ නාහිමිවරුන්ගේ හඬට පවා කන්නොදෙන බවය.

මේ රට අද වන විට දැවැන්ත අර්බුදයකට ඇද වැටී තිබේ. මේ තත්ත්වයට පත්වන්නට පෙරාතුව අවස්ථා කිහිපයකම කළ යුත්තේ කුමක් දැයි මහ නාහිමිවරුන් රටේ පාලකයන්ට පෙන්වා දුන් හැටි අපට අමතකව නැත. උද්ගතව පවතින අර්බුදයට විසඳුම් ඉදිරිපත් කළ හැකි භාරකාර ආණ්ඩුවක් පිළිබඳව මහ නාහිමිවරුන් ලිඛිතවද යෝජනා ඉදිරිපත් කොට තිබිණි. ඒ සම්බන්ධව රටේ ජනපති ඇතුළු සියලු වගකිවයුත්තන් දැනුවත් කොට තිබිණි. ආර්ථික අර්බුදය ඉක්මනින්ම විසඳාගත යුතු බවද අවධාරණය කොට තිබිණි. පන්සල් ඉඩම් වගා කරන හැටි ආදර්ශයෙන්ම පෙන්වා දෙමින් ආහාර අර්බුදයට විසඳුම් සොයන්නට රටම වගා භූමියක් කරන සැටි කියා දී තිබිණි. මේ කිසිවක් මේ වන විටත් කාටවත් මතක නැත.

මහා මන්දිරයක් ගරාවැටෙන්නට ළංව මහ වැස්සට බිත්ති අතරින් දිය සීරා ගලා හැලෙද්දී හතර වටින් මුක්කු ගැසුවාට ඒ බිඳවැටිල්ල නතර කළ හැකිද?

කළ යුත්තේ පැරණි මැඳුර කඩා දමා භූමිය මුළුමනින්ම සුද්ද පවිත්‍ර කොට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමය. ඒ වෙනුවෙන් ඕනෑනම් ටික කලකට තාවකාලික මඩුවක් අටවාගත හැකිය. ඒ අලුත් මැඳුර ඉදිකිරීමේ අරමුණ වෙනුවෙන්ය. වර්තමාන පාලකයන්ට අලුත් මැඳුරක් හදන්නට අවශ්‍යම නැතිවා සේය. ගරා වැටෙන මැඳුරට වී ආඩින් සේ කැඳ හැළිය හැඳිගාමින් වටේ කැරකෙමින් නට නටා සිටිති. උසුළු විසුළු පාති. මේ සම්බන්ධව අපූරුවට ගළපා ගත හැකි ජනතාවකි. ඒ මහදැනමුත්තා සහ ගෝල පිරිසය. අනුන් කියන දේ නාහන, ඕනෑවට වඩා පණ්ඩිතකම් ‍ෙදාඩන මහදැනමුත්තලාට, ගෝලයන්ට හරියට යමක් කරන හැටි කියාදෙන්නට බැරි වෙයි. එළුවාගේ බෙල්ලේ මුට්ටිය හිරවුණු විට මුට්ටියත් එළුවාත් බේරා ගන්නට මහදැනමුත්තා උපදෙස් දුන්නේ එළුවාගේ බෙල්ල කපා දමන්නටය. දුර දිග නොබැලූ ගෝල පිරිස ඒ වැඩේ අකුරටම ඉටු කළහ. අද මේ රටේ අර්බුදය විසඳන්නට යන මහදැනමුත්තලා කරන්නේත් මේ වාගේම වැඩය.

අෑත අතීතයේ සිටම මේ රටේ ජනතා හිතෛෂී පාලකයන් මහ සඟරුවනේ අවවාද අනුශාසනා ගරු කළ බව රහසක් නොවේ. බි්‍රතාන්‍ය යුගයේ 1805-1812 කාල පරිච්ඡේදයෙහි මේ රටේ ආණ්ඩුකාරයාව සිටි ශ්‍රී මත් තෝමස් මේට්ලන්ඩ් රාජ්‍ය පාලනයට සහාය ගැනීම සඳහා භික්ෂුන් වහන්සේගෙන් සමන්විත කොමිටියක් පත් කරගත් බව සඳහන්ය. එම කොමිටියේ  නායකත්වය සඳහා පත්කොට තිබුණේ කරතොට ධම්මාරාම හිමියෝය. බි්‍රතාන්‍ය ආණ්ඩුව එම කොමිටියේ කටයුතු කළ හිමිවරුන්ට වැටුප්ද ගෙවා ඇති බව සඳහන්ය. විදේශිකයන් පවා මෙරට භික්ෂුන් වහන්සේට එසේ ගෞරව කළ හැටි  පෙනෙන්නට තිබේ. අද අස්ගිරි මහ නාහිමියන්ට ‍ෙදාස් නඟන්නට සිදුව තිබෙන්නේ මේ රටේම ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබ සිටින පාලක පිරිසකටය. කියන දේ කනට ගන්නේ නැති හිතුමතේ වැඩ කරන දඩබ්බර පිරිසකටය. අවස්ථා කිහිපයකම අටපිරිකර පුද පඬුරු ගෙනැවිත් පාමුල තබා වැඳ නමස්කාර කොට ඇති, සැදැහැබර බව ඉහෙන් කනෙන් උතුරා ගලා ගිය පිරිසකටය.

පසුගිය කාලයේ සංඝාඥාවක් පනවන බවට ප්‍රකාශයක්ද ප්‍රචලිතව තිබිණි. අර්බුදය විසඳීමට සමඟි සම්පන්න මැදිහත්වන තුරු ඊට අදාළ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා තුරු තමන් වහන්සේ හමුනොවිය යුතු බවට තහංචියක්ද පනවා තිබිණි. මේ කිසිවකින් පලක් වූයේ නැත. පාලකයන්ට ඇස් ඇරෙන්නේ ද නැත. කන් ඇහෙන්නේද නැත. තෙල් පෝලිම්වල පවා මරණ සිදුවෙද්දී ඒ ගැන හෝ සංවේදී වන බවක් පෙනෙන්නේ නැත. මහ පාරේ මහ දහවල ගිනිඅවි හරඹවලට මැදිව මිනිසුන් මරා දමද්දී ඔවුහු නිදිවැද සිටිති.

අනේ අම්මේ තාත්තා කතා කරන්නේ නෑ. මේ තෙල් පෝලිමක ත්‍රීවීලරයට තෙල් ගහගන්නට පෝලිමේ සිටි පියා අවසන් හුස්ම හෙළද්දී යතුරුපැදියට තෙල් ගහගන්නට පැමිණ සිටි පුතාගේ මුවින් ගිලිහුණු හද සසල කරවන වදන්ය. අනේ තාත්තේ අම්මා කතා කරන්නේ නෑ කියා තවත් පුතෙක් තෙල් පෝලිමේ සිටින තාත්තාට කියනු ඇත. දැන් රටම මුහුණ දෙමින් සිටින්නේ මේ තරම් අවිනිශ්චිත වූ බරපතළ ඛේදනීය කාල පරිච්ඡේදයකටය.

අස්ගිරි මහ නාහිමිපාණන් අද මේ ‍ෙදාස් නඟන්නේ තමන් කියන දේවත් අහන්නේ නැති පාලක පිරිසකටය. මේ රටේ මහ සඟරුවන නියෝජනය කරමින් කොටසක් සෙත් පිරිත්, ජය පිරිත් කියමින් ආශීර්වාද කළේද මේ පාලකයන්ටමය. හිට්ලර්ලා වැනි අය රටට අවශ්‍ය කාලය මෙය බව කී අයද සිටියහ. පාලකයන් තමන් කළ කී දේ ගැන තමන් ගත් වැරදි තීරණ ගැන  පසුතැවෙමින් ඒ ගැන කනිපින්දම් කියමින් සිටියදී මේ රටේ සමස්ත ජනතාවගෙන් වැඩි පිරිසක් රට විනාශ මුඛයට ඇද දැමූවනට ශාප කරමින් සිටිති.

බුදුන් වැඳ දෙවියන්ට පින් දී රට බේරා දෙන ලෙස ඉල්ලීම හැර වෙන කරන්නට දෙයක් නැතැයි අස්ගිරි මහ නාහිමිපාණන් ප්‍රකාශ කරන්නේ කියන්නට තිබෙන හැම ආකාරයටම කියා ඒ කිසිවක් අහන්නේ නැති තැනය. මේ මාතෘභූමිය දැන් අසාධ්‍ය රෝගියකු වැන්න. නිසි කලට නිසි පරිදි නිසි ප්‍රතිකාර කළා නම් මේසා ආසාධ්‍ය තත්ත්වයකට ගොදුරු වන්නේ නැත. රෝහල් ගත කළද අත්‍යවශ්‍ය ඔෟෂධ නැත. වෛද්‍යවරුන්ට කලට වේලාවට රෝහලට පැමිණෙන්නට පහසුකම් නැත. අස්ගිරි මහ නාහිමියන් කියන ආකාරයට දැන් ඉතින් තෙරුවනෙහි පිහිටය. දෙවියන්ගේ  පිහිටය. කෙසේ වෙතත් මේ අසාධ්‍ය රෝගියාගේ දිවි ගලවාගතහොත් එය නම් හාස්කමකි. ප්‍රාතිහාර්යයකි.