කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියෝ සුංගාවිල බීට්ටු කාර්යාලය සුද්ද කරති

0
51

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පිහිටා තිබෙන සුංගාවිල බීට්ටු කාර්යාලය කඩා එහි තිබූ දේපළවලට හානි කර වනජීවී නිලධාරීන්ගේ කෑමට තබාගත් පිසූ ආහාර කා සබන්, ඇඳුම් ඇතුළු තවත් වටිනා ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ රැසක් පැහැර ගෙනගොස් ඇති බව පුලස්තිපුර පොලිසිය කීය. මේ සම්බන්ධව සුංගාවිල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂාක අසංක ප්‍රදීප් මහතා පැමිණිල්ලක් ගොනුකර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ 29 වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සමඟ පලාගිය රැඳවියෝ සුංගාවිල වනජීවී කාර්යාලයට පහරදේ යැයි සැකපිට එහි සිටි නිලධාරීන්ට ඉවත්වන ලෙසට ආරක්ෂක අංශ මඟින් වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබිණි.

ඒ අනුව වනජීවී නිලධාරීන් එම කාර්යාලයෙන් ඉවත් වී යෑමෙන් පසු ප්‍රකෝපකාරීව සුංගාවිල මාර්ගයේ ආ රැඳවියෝ විශාල පිරිසක් එම සුංගාවිල වනජීවී කාර්යාලයට කඩාපැන දේපළවලට හානි කර වනජීවී නිලධාරීන්ගේ පරිහරණයට තිබූ පිසූ ආහාර කෑමට ගෙන කබඩ් හා ලියකියවිලි මෙන්ම රාජ්‍ය දේපළවලට හානි කර ඇති බවද  වනජීවී නිලධාරීන් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධ පුලස්තිපුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මනම්පිටිය – නිමල් ජයරත්න