ඕස්ට්‍රේලියාව තරගයේ පාලනය අතට ගනියි

0
27

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු පිල ඊයේ (30දා) පළමු දිනයේ තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණු 313ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලැබූ ලකුණු 212ට වඩා ඕස්ට්‍රේලියාව මේ වනවිට ලකුණු 101ක් ඉදිරියෙන් පසුවෙයි.

වෝන්-මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 212ක් ලබාගත් අතර, පෙරේදා දිනයේදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 98ක් ලෙස පැවතිණි.

ඊයේ පෙරවරුවේ සිටම ගාල්ල නගරයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කෙරුණේ දිවා භෝජනයෙන් පසු පස්වරු 1.45ට පමණය.  එහිදී තරගය ආරම්භ වී යැවූ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවටම පන්දු යැවූ ධනංජය අතටම උඩපන්දුවක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 6කට දැවී ගියේය. 

එහෙත් හෙඩ්ගේ දැවී යෑමෙන් අනතුරුව කවාජාට එකතු වූ කැමරන් ගී්‍රන් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 157ක් දක්වා රැගෙන ආවේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවක්ද එක් කරමිනි. පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 7ක්ද සමඟින් ලකුණු 71ක් ලබා සිටි කවාජා ෂෝට් ලෙග් ස්ථානය හරහා පහරක් එල්ල කිරීමට යෑමේදී පැතුම් නිස්සංක එය උඩපන්දුවක් ලෙස පරිවර්තනය කරගත්තේය.

ඉන් අනතුරුව කැමරන් ගී්‍රන්ට එකතු වූ ඇලෙක්ස් කේරි 6 වැනි කඩුල්ලට ලකුණු 84ක් එක් කළ අතර කේරි ලකුණු 45කට දැවී ගියේ 6 වැනි කඩුල්ල ලෙසිනි. කෙසේ වෙතත් වටිනා ඉනිමක් දියත් කළ කැමරන් ගී්‍රන් ලකුණු 77ක් ලබාසිටියදී 7 වැනි කඩුල්ල ලෙසින් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙද්දී මිචෙල් ස්ටාර්ක් ලකුණු 10කට සීමා කිරීට වැන්ඩර්සේට හැකියාව ලැබිණි.

කෙසේ වෙතත් තරගය නතර කරන අවස්ථාව වන විට පැට් කමින්ස් ලකුනු 26ක් සහ නෙදන් ලයන් ලකුණු 8ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය.

ශ්‍රී  ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවාගත් අතර ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2කට සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ලකට හිමිකම් කීවේය.

කෙසේ වෙතත් කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් ලබාගත්තද වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 40 සීමාවටත් පිවිසීමට නෙදන් ලයන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ නම් දැරූ පිතිකරුවන් 6 දෙනකු ලකුණු 139ක් තුළ අහිමි වී සිටි මොහොතක දික්වැල්ල හා රමේෂ් මෙන්ඩිස් 7වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් එක්කිරීම කැපීපෙනුණි.

මේ අතර ඊයේ පෙරවරුවේ සිටම ගාල්ල නගරය පුරා ඇති වූ සුළං තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ තාවකාලිකව ඉදිකර තිබූ කූඩාරම්වලට දැඩි බලපෑමක් එල්ල වී තිබිණි.

ඒ අනුව ගාලු ක්‍රීඩාංගණයේ බලකොටුවට දෙපසින් ඉදිකර ඇති තාවකාලික ප්‍රේක්‍ෂකාගාරයකට දැඩි බලපෑම් එල්ල වී තිබූ හෙයින් ඒ වෙනුවට වෙනත් කූඩාරමක් ඉදිකිරීමට පියවර ගත්තේය.

විචිත්‍ර වීරසිංහ – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිට…