ධම්මිකගේ වියදමින් පාස්පෝට් කාර්යාලයට ස(ර්)වරයක්

4
1837

ආගමන විගමන දෙපාර්තමේන්තුවට සිය පෞද්ගලික මුදලින් ලක්ෂ නවයක් වැය කර නව සර්වරයක් කුලී පදනම මත ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා තීරණය කොට ඇත.

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ඡායාරුප උඩුගත (upload) කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම සඳහා මේ අයුරින් සිය පෞද්ගලික මුදල් වැය කොට සර්වරයක් කුලී පදනම මත ලබාදීමට අමාත්‍යවරයා ක්‍රියාකොට තිබේ.

එම තාක්ෂණික ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් අමාත්‍ය ධම්මික පෙරේරා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැය කර ඡායාරූප උඩුගත කිරීම සඳහා සර්වරයක් කුලියට රැගෙන දී ඇත.

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ඡායාරූප උඩුගත කිරීමේදී යම් ගැටලුසහගත තත්ත්වයක් පසුගිය සමයේ උද්ගත වී තිබූ බව ත් උදෑසන 10.00 – දහවල් 01.00 අතර කාලසීමාවේදී විශාල වශයෙන් ඡායාරූප එවීම නිසා දත්ත පද්ධතිය කාර්යබහුල වීම හේතුවෙන් සර්වරය (server) ප්‍රමාණවත් නොවීමෙන් මේ ගැටලුව ඇති වී තිබූ බව ත් පැවසේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (ජූනි 29) එහි ගිය අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

එමෙන් ම, විදෙස් රැකියා සඳහා යාමට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයන් සඳහා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට වෙන ම කවුළුවක් විවෘත කිරීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලයේ මෙම විශේෂ කවුළුව ස්ථාපිත කිරීමට තීරණය වී ඇත.

අදාළ සියලු ලේඛන සම්පූර්ණ කළ අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මේ විශේෂ කවුළුව ඔස්සේ කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍ය ධම්මික පෙරේරා පැවසීය.

එළඹෙන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී ක්‍රියාත්මක කෙරෙන බව ද ඇමතිවරයා කීය. මාතර, මහනුවර සහ වවුනියාව යන නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

එමෙන් ම, ශ්‍රී ලංකාවට එන සංචාරකයන් සංඛ්‍යාව දිනපතා නිවේදනය කිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය ධම්මික පෙරේරා පැවසීය.

ඒ අනුව, ලබන සඳුදා (ජූනි 4) දිනයේ සිට ඊට පෙරදින ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සෑම දිනක ම උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කෙරෙන බව ද හෙතෙම කීය.

ශ්‍රී ලාංකිකයන් සමග විවාහ වූ විදේශිකයන්ට මෙතෙක් ලබා දී තිබූ වසරක වීසා කාලය වසර 5 දක්වා දීර්ඝ කිරීමට ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා තීරණය කර තිබේ.

ඒ අනුව, ලබන සඳුදා (ජූනි 4) සිට Spouse Visa සම්බන්ධයෙන් තීරණය ක්‍රියාවට නැංවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (ජූනි 29) බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සිදු කළ හදිසි නිරීක්ෂණ චාරිකාවකදී එම දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගැනීමට පැමිණෙන මහ ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ තීරණය ගෙන තිබේ.

4 COMMENTS

  1. විදේශ ගමන් බලපත්‍රයක් ගන්න අවශ්‍ය ලියවිලි හදල ඡායාරූපය උඩුගත ( upload) කරන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බිම් මහළේ තැනක් තියෙනවා. එහි ආදායම සුභසාධක අරමුදලකට බැර කරනවා කියල යි මම අහල තියෙන්නේ. ඒක ඇත්තක් නම් මෙවැනි අවශ්‍යතා වෙනුවෙන් ඒ මුදල් වැය කරන්න බැරිද? අපි වැඩ කරන ආයතනවල ගොඩක් අඩුපාඩු අපටම එකතුවෙලා හදාගන්න පුළුවන් දේවල්. හැම අඩුපාඩුවක්ම මහජන මුදල් වැය කරලම හදන රාජ්‍ය සේවය මේ රට මේ තත්ත්වයට පත් වෙන්න එක හේතුවක් කියලයි මට හිතෙන්නේ. අපේ දරු-පවුල්, දෙමව්පියන් රැකගෙන සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙන්නේ අපි කරන රැකියාව නිසයි. ඒ නිසා ඒ ආයතනය වෙනුවෙන් මාස් පතා අවම වශයෙන් රුපියල් 500/= ක් වෙන් කරන්න අපට බැරි නැහැ නේද? හැම දේටම අනුන් දෙස බලාගෙන සිටීමේ ආකල්පය තිබෙන තුරු අපි මෙහෙම ම තමයි.

  2. හොරා කාපු අයගේ කළු සල්ලි සුදු කරන contract එකක්ද මෙයා කරන්නෙ කියලා පොඩියට සැකයක් මතු වෙනවා. නැතුවත් අැති. වෙන්නත් අැති.

  3. අපේ රටේ‍ මිනිහෙක් වැඩක් ඇති දෙයක් කලාම, ඒ දේ අගය කරන්න බැරිනමි, තමුන්ගේ වැඩක් බලා ගත්තා නමි වටිතවා නේද?
    ඒ මිනිහා කලදේ හොඳ නමි, ඒ මුදල්ද ඔහුගේ නමි, තවත් අනවශ්‍ය දේ සොයන්නට තරමි කූහකයන් තවම ත් ඉන්නා රටකට මෙවන් අවාසනාවන්ත ඉරණමක් අත්විමත් පුදුමයක්ද?

Comments are closed.