මාවතේ ජීවිතය

0
81

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවතින ඉන්ධන තොග අනුව බස් ධාවනය කළ හැක්කේ තවත් දින 2ක් බවත්, එයින් පසු පොදු ප්‍රවාහනය දැඩි අර්බුදයකට තල්ලුවන බවත් ප්‍රකාශ කළේ අදින් දින දෙකකට පෙරය. ඒ කියන්නේ ගැමුණු කියන්නේ අද වන විට පොදු ප්‍රවාහනය අර්බුදයකට තල්ලු වී තිබේ. ගැමුණු එහෙම නොකීවත් මහපාරට බැස්ස විට මේ කියන අර්බුදය ඇස් පනාපිට දැක ගන්නට ලැබේ.

බස් ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධ පෞද්ගලික බස් සංගම් දෙකක් මත දෙකක සිටී. ගැමුණුලා කියන්නේ තෙල් දුන්නොත් බස් දුවන්නට හැකි බවය. තෙල් නුදුන්නොත් බස් ගෙදර තියාගෙන පාඩුවේ ඉන්නා බවය. දැනටමත් මේ වැඩේ සිදුවෙයි. මේ සටහන ලියන මොහොත වන විට පෞද්ගලික බස් දිවිල්ල මුළුමනින්ම වාගේ ඇනහිටින ලකුණු පෙනෙන්නට තිබේ. මොන ප්‍රශ්නය තිබුණත් බස් ගාස්තු ඉහළ නැංවීම  ගැන තමන් විරුද්ධ වන බව ගැමුණු කියයි. අංජනලා කියන්නේ බස් ගාස්තුව වැඩි නොකළොත් පොදු ප්‍රවාහනය ඉදිරියට පවත්වාගෙන යෑම දුෂ්කර බවය. ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැන් අංජනලාගේ ඉල්ලීම ඉටුකරන්නට සැරසෙයි. ඊයේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත මිල වැඩි කිරීම් හා සම්බන්ධව වාර්තාවද ඉදිරිපත් කොට තිබේ.

දැන් අමාත්‍යවරයාට ඉබ්බා වතුරට දමන්නට පහසුය. ඔහුට තිබෙන්නේ ‘ඇන්නෑවේ’ කියන්නටය. රටේ පොදු ජනතාවට පසුගිය කාලය පුරා වරින් වර වැඩිවුණු බස් ගාස්තුව තවත් ඉහළ නඟින විට හිතෙනු ඇත්තේ දුව යන බසයකට හෝ දුම්රියකට ගෙල තැබිය හැකි නම් ඒ වැඩේ වඩාත් හොඳ බවය. රටේ ජනතාව දැන් කබලෙන් ළිපට වැටී හමාරය.

බස් ගාස්තුව හෙට දින සිට වැඩි වන බවට දැනට තීරණයකි. බස්වල ගාස්තුව දරා ගන්නට බැරිව සිටි ජනතාව දුම්රිය ගමනට ආකර්ෂණය වෙමින් සිටි හැටි පසුගිය කාලය තුළ පෙනෙන්නට තිබිණි. එහෙත් දැන් දුම්රිය ගාස්තුවද සියයට පනහකින් ඉහළ දැමිය යුතු බවට කතාබහකි. ජනතාවට දැන් පෞද්ගලික වාහනද භාවිත කළ නොහැකි තත්ත්වයකි. ඉන්ධන අර්බුදය හේතුවෙනි. තෙල් පෝලිම්වල ත්‍රීවීලර් තිබුණාට දැන් ඒවා කුලී වාහන ලෙස පාරේ එහෙ මෙහෙ යනු පෙනෙනවා අඩුය. දින ගණන් පෝලිමේ සිට අමාරුවෙන් තෙල් ගහගෙන පාර අයිනට වී සිටියත් හයර් යන මිනිසුන් ටික ටික අඩුවෙයි. ඉල්ලන ගාණ දෙන්නට මිනිසුන්ට දැන් බැරි තත්ත්වයකි.

පෞද්ගලික යාන වාහන පාවිච්චි කළ බොහෝදෙනා දැන් පොදු ප්‍රවාහනය පැත්තට නැඹුරුව සිටිති. එහෙත් බස් ගාස්තුව උහුලනු බැරි තරමට ඉහළ නැංවූ විට රැකියාවලට යන මිනිසුන්ට මාසිකව හෝ දින සති අනුව ලැබෙන වැටුපෙන් මඟ වියදම පියවාගත් පසු අත ඉතිරි වන්නේ කීයද? කොළඹ නගරයේ රැකියාවෙහි යෙදෙන තැනැත්තෙක් කඩුවෙල බෝඩිමක නතර වී සිටී. ඔහු තනිකඩය. බෝඩිමට මසකට රුපියල් දසදහසකි. කෑම කඩෙන්ය. ඊට වැය වන ගණන විසිදහසකි. දැන් මාසෙට ලැබෙන තිස් දහසේ වැටුප හරිය. වැඩිවන බස් ගාස්තුව අනුව සාමාන්‍යයෙන් දින විසි පහක් වැඩට යන්නට _ එන්නට රුපියල් දසදහසක් පමණ වෙයි. ඒ මුදල රැකියා ආයතනයෙන් නොලැබෙයි. මේ තැනැත්තා තවත් මාස දෙක තුනකින් විවාහ වන්නට සිතයි. මේ රටේ කාට කාටත් මීටත් වඩා බරපතළ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවේ. බස් ගාස්තුව, දුම්රිය ගාස්තුව ඉහළ නැංවූ විට ආගන්තුක ගැටලු රැසකට යළිදු මැදිවෙයි. ගාස්තු නැංවීම සෙල්ලමක් නොවන්නේ මේ තත්ත්වය බරපතළ නිසාය.

ප්‍රවාහන කටයුත්ත භාර අමාත්‍යවරයාද රජයේ වගකිවයුතු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූ සාකච්ඡාව අතරතුර අමාත්‍යවරයා නැඟිට ගියේය. ඒ තවත් අත්‍යවශ්‍ය කටයුත්තක් බව කියමින්ය. ගැමුණුත් තවත් නිලධාරීන් පිරිසකුත් ඇමැති සමඟින්ම සාකච්ඡාවෙන් ඉවත්ව ගියහ. ගැටලු විසඳා ගැනීමට පවත්වන සාකච්ඡාවල තත්ත්වය මෙහෙමය. ප්‍රවාහන අමාත්‍යවරයා “ආර්ථික විද්‍යා පාඩම” අවසන් කොට පිටව ගිය බව එහි සිටි අයෙක් පැවැසීය.

ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා කීවේ අවම ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට එකඟතාව ඇති කර ගත් බවය. කෙටි ගමන් බිමන් සඳහා පාපැදි පාවිච්චි කිරීමට ජනතාව උනන්දු විය යුතු බව බොහෝදෙනා කියති. ඇමැති බන්දුල ද මෑතකදී ඒ පිළිබඳ අදහස් දක්වා තිබිණි. පාපැදිකරුවන් සඳහා මහපාරේ විශේෂ මංතීරුද වෙන් කොට දෙන බවට අදහසක්ද දක්වා තිබිණි. බස් ගාස්තුව, දුම්රිය ගාස්තුව ඉහළ දැමීමේ සාකච්ඡා සංවාද කඩිනම් කොට ඇතත් සහන මිලට පාපැදි ලබාදීම ගැන හෝ පාපැදි මංතීරු වෙන් කිරීම ගැන කිසිදු කතා බහක් තවමත් සිදුවී නැත.

අමාත්‍ය කංචන තෙල් හොයන්නට රට රටවල සවාරි යන්නට පටන්ගෙන තිබෙන්නේ මේ රටේ තෙල් අර්බුදය උත්සන්න වී විසඳුමක් ළඟපාතක නොපෙනෙන වෙලාවකය. අමාත්‍ය බන්දුල දැන් ප්‍රවාහන ගැටලු විස¼දන්නට හදන්නේ තෙල් ටිකවත් හරියට නැති වෙලාවකය. කාට කාටත් විසඳුම් සිහිපත්වන්නේ හොඳටම අමාරුවේ වැටුණු පසුය. සියල්ලටම මුල මේ කිසිදු ක්‍ෂේත්‍රයකට නිශ්චිත ප්‍රතිපත්තියක් නැති වීමය.

මාවතේ ජීවිතය සුව පහසු නැත. දුෂ්කරතා එමටය. පැහැදිලි අපේක්ෂා නැත. පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන්ද අද සිදුව තිබෙන්නේ බරපතළ ගැටලු රැසකට මුහුණ දෙන්නටය. මේ ආණ්ඩුව, ජනතාව තව තවත් පීඩාවට, දුක් හරිහැරවලට ලක් කළ යුතු අවස්ථාවක් නොවන බව කවුරු කවුරුත් සිතට ගත යුතුව තිබේ. බස් ගාස්තුව, දුම්රිය ගාස්තුව වැඩි කරන්නට පෙර තව ටිකක් හිතා බැලුවා නම් හොඳය.