බූරුවා ගසන පුත්තු!

0
225

එක්තරා ගමක ජීවත් වූ වියපත් මවක් මිය ගියාය. මත්පැන්වලට ලොල් වූ පුතා මියගිය මවගේ දේහය දින දාහතරක් නිවෙසේ තබාගත්තේය. මේ පිළිබඳව සැක සිතූ පිරිස් ඒ ගැන සොයා බැලුවේය.

අන්තිමට කාරණාව හෙළිදරව් විය.

මියගිය මවගේ දේහය දින දාහතරක් නිවෙසේ තබාගෙන ඔහු මළ ගෙදර බූරුපොළක් බවට පත් කොට තිබුණේය. සෑම දිනක්ම අවසානයේදී ගුරු පොලිය ගාස්තුව ඔහුට හිමි විය. අම්මාගේ මරණය විකුණා බූරු ගැසූ පුතාලා මේ රටේ හිඳ ඇත.

මේ කතාවත් අද ලංකාවත් අතර කිසිම වෙනසක් නැත.

අදූරදර්ශී දුර්දාන්ත ආණ්ඩුවක් අද රටම ඝාතනය කොට අවසන්ය. දැන් මේ රටේ ගන්නට කිසි දෙයක් නැත. බැලූ බැලූ අත අසන්නටත් දකින්නටත් ඇත්තේ වේදනාවේ, විලාපයේ සහ නැති බැරි කමේ ශෝකාලාපය ය.

දෙවසරක රාජපක්ෂ පාලනය රට ඉතිහාසයේ බරපතළම අගාධයට තල්ලු කොට දමා ඇති අතර මෙතරම් බිහිසුණු ඛේදවාචකයකට මේ රට කිසිදාක පත් වී නැත.

මේ වන විට මුළු රටම සහමුලින්ම මිනිස් ඛේදවාචකයක් බවට පෙරළී තිබේ. සෑම මිනිසකුම පාහේ බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින අතර එය ඇති නැති පරතරය අතර බෙදුම් රේඛාව පවා නැති කරන්නට සමත් වී තිබේ.

දින ගණන් මිනිස්සු පෝලිම්වලය. වෙනිසියුලාව, සිම්බාබ්වේ  වැනි රටවල පවතින ඛේදවාචකයේ ආසන්නම පෙරනිමිතිවලට ලංකාව මුහුණ දෙමින් සිටී.

සරලවම කිව්වොත් ලංකාව දැන් මැරිලාය.

වගකීම් විරහිත උද්දච්ච ආණ්ඩුව කරමින් සිටින්නේ ඒ මරණය මැද බූරුවා ගැසීමය. එහෙම බූරුවා ගස්සවා තෝන් එකතු කර ගැනීමය.

අවාසනාවන්ත ඛේදවාචකය වන්නේ විපක්ෂයද එකී බූරුවා ගැසීමට අනියමින් හෝ සම්බන්ධ පුත්තු වී සිටීමයි.

මේ රටේ ජනතාව පසුගිය මැතිවරණයේදී අතිශය කනගාටුදායක වගකීම් විරහිත තීන්දුවක් ගනු ලැබීය. ඒ තීන්දුව ප්‍රකාරව පොහොට්ටුව තුනෙන් දෙකට ආසන්න බහුතර බලයක් ලබා ගත්තේය. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිවරයාට විසිවැනි සංශෝධනය හරහා අතිමහත් බලයක් ලබා දුන්නේය.

 2022 වර්ෂය සඳහා අය – වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට  පක්ෂව ඡන්ද 157ක් ලැබිණි. අය-වැයට විපක්ෂව ඡන්ද ලැබුණේ 64ක් පමණි. ඡන්දය නොදුන් සංඛ්‍යාව 03කි. මෙම ඡන්ද නොදුන් සංඛ්‍යාව විපක්ෂයේ සහ කථානායක ආණ්ඩු පක්ෂයේ ලෙස සැලකූ විට ඒ වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය වූයේ ආණ්ඩුවට 158ක් සහ විපක්ෂයට 67ක් ලෙසිනි.

ඒ කියන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමි වී තිබුණා.

ඔවුන් ලබාගත් අතිමහත් බලය ඔවුන් යොදා ගත්තේ රටේ ඉදිරි අනාගතය ශක්තිමත් කිරීම වෙනුවට තමන්ගේ බල ව්‍යාපෘතිය තව තවත් පුළුල් කර ගැනීම උදෙසා පමණි. පොහොට්ටුවේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ නිරන්තරයෙන් කියා සිටියේ චීනයේ පාලක පක්ෂය මෙන් පොහොට්ටුවද බලවත් කරන බවය.

ඇත්ත වශයෙන්ම ඔහුට අවශ්‍ය වූයේ එය පමණි. ඉතා කෙටි කලක් තුළ බැසිල් තමන්ගේ ආධිපත්‍යය සහ අණසකට සියල්ල නතු කැර ගත්තේය. නැවතත් මේ රටේ දේශපාලනය එක පවුලක් අතට කේන්ද්‍රගත වුණේය. 2005 සිට 2015 වනතෙක් මහින්දට එල්ල වී තිබූ චෝදනාව පවුල් පාලනය ය. ඒ චෝදනාවම නැවතත් වර්තමාන ආණ්ඩුවට එල්ල වෙන්නට පටන් ගත්තේය. මන්ත්‍රිවරු, ඇමැතිවරු සිග්නල් කණු බවට පත්වෙද්දී පරණ පුරුදු සෙල්ලම බැසිල් ඇතුළු කණ්ඩායම පටන් ගත්තේය.

ඔවුන් මුලින්ම කළේ මහින්දගෙන් නැවත දේශපාලන පුනරාගමනයට පාර කැපූ සියලුදෙනාම දේශපාලනිකව කොන් කරමිනි. එහි ප්‍රතිඵලය වුණේ විමල්, ගම්මන්පිල ඇතුළු මහින්දගේ සටන් සගයන් ආණ්ඩුවෙන් ඉවත් වීමය.

එක පිට එක පිට අන්තනෝමතික අදූරදර්ශී සහ අබ්බගාත දේශපාලන තීන්දු තීරණ ගන්නා තැනට රටේ පාලනය පත්විය. මුළු රටේම ජනජීවිත අගාධය කරා තල්ලු කරන්නට පටන් ගත්තේය. මවාගෙන සිටි මොළ හතක මිථ්‍යාව ඇස් පනාපිට කුඩු සංකායම් විය. ජනාධිපතිවරයා සහමුලින්ම රට පාලනය කළේ ඉහළ සඳළුතලයක ඉඳගෙනය.

“ගොවියෙක් ගෙදරට ගේන වට්ටක්කා ගෙඩියක ඇට දෙකක් අරගෙන ගිහින් වෙලේ කොනකට වීසි කළාම පැළ වෙලා ගෙඩි එනවා. ඒවා මේ මහන්සි වෙලා කරන දේ නෙවේ.”

ඒ කතාව කීවේ බැසිල්ය. මේ කතාව සමාන වෙන්නේ අනූ ගණන්වල ගොවීන් වස බී මිය යනවිට එකල එජාපයේ පොළොන්නරුවේ බලවතා වූ නෙල්සන් කීව කතාවටය. ඔහු කීවේ ගොවීන් වහ බොන්නේ ජොලියට කියාය.

එහෙම කීව නෙල්සන්ට විතරක් නෙවේ, ආණ්ඩුවටම ගෙදර යන්නට සිදු විය. මේ ආණ්ඩුව ඒ වගේ තකතීරු කතා ලොරි ගාණක් කීවේය.

මහලොකු තනි සිංහල ආණ්ඩුවේ මහා වාගාලාප කුඩු සංකායම් වෙමින් විසිවැනි සංශෝධනය උදෙසා මුස්ලිම් මන්ත්‍රිවරු ප්‍රමාණයක් ඩැහැගැනීමට බැසිල්ට සිදුවිය.

හැබැයි බලය විසින්ම බලය විනාශ කරන බවට කතාවක් තිබේ.

ලංකාවේ දැනට පවත්නා අර්බුදවලට මුල වත්මන් ජනාධිපති බලයට පත්වූ වහාම බදු කපාහැර රාජ්‍ය ආදායම අඩු කිරීමය. එයින් රටට අහිමි වූ ධනය සුවිශාලය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා තවත් අන්ත අදූරදර්ශී තීන්දුවක් ගත්තේය. ඒ පොහොර තහනමය. පොහොර තහනම නිසා රටට වූ විනාශය එදා මෙදාතුර ඉතිහාසයේ බරපතළම විනාශයන්ගෙන් එකක්ය. කොරෝනා හේතුකොටගෙන රටේ ආර්ථිකය සහමුලින් කඩා වැටී තිබියදී පොහොර තහනමත් සමඟ කෘෂිකර්මාන්තයට එල්ල කළ අතුල් පහර හේතුකොටගෙන සමස්ත රටේම ආහාර සංචිතය විනාශ වී ගියේය. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා එදා මෙදා තුර ගත් සියලු තීන්දු තීරණ වැරදි ඒවාය. ඒත් තීරණ කිසිවක් නිවැරදි යැයි කියන්නට කිසිවකුට පුළුවන්කමක් නැත. ඒ තරමටම ඔහු රට විනාශ කොට දැමුවේය. මේ රට විනාශ කිරීමේ අනෙක් චූදිතයා වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ය. ඔහු මේ රටේ ජීවිත සමඟ සෙල්ලම් කළා පමණක් නොව මේ රට වළපල්ලට දැක්වීමට කටයුතු කළ මූලිකයන් අතර ප්‍රමුඛ තැනක සිටින්නෙකි. අනෙකා බැසිල් රාජපක්ෂය.

දරාගත නොහැකි පීඩනයත්, බලාපොරොත්තු විරහිත අනාගතයත් පිළිබඳව කලකිරුණු තරුණ ප්‍රජාව අරගලයේ මාවත තෝරා ගත්හ.

ඒ තීරණාත්මක තෝරා ගැනීමත් සමඟ මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලටම වගකීමක් පැවරුණි. තමන් උපන් මවුබිම විනාශය කරා තල්ලු කරගෙන යන පාලනය පෙරළා දැමීමේ වගකීම මේ රටේ තරුණ පරම්පරාව විසින් විපක්ෂයේ දේශපාලන බලවේගවලට ලබා දුන්නේය. හැබැයි තවමත් ඔවුන් සිටින්නේ මර නින්දේය.

මේ රටක් මරණ මංචකයට දැක් කූ චූදිතයන් බිත්තියට හේත්තු වූ විට ඔවුන් අතරමැද පලිහක් සේ හිටගෙන සටන පාවා දුන් ඊළඟ චූදිතයා වර්තමාන අගමැති රනිල්ය. තමන්ගේ සදාකාලික හිතේෂීවන්ත රාජපක්ෂ පවුල සුරක්ෂිත කිරීම වෙනුවෙන් රනිල් නොවළහා පියවර ගත්තේය.

එහි ප්‍රතිඵලය වුණේ බිත්තියට හේත්තු වී සිටී ගෝඨාභය ඇතුළු කල්ලිය නැවත සුරක්ෂිත වීමය.

මෙහිදී විපක්ෂයේ සක්‍රිය දේශපාලන පක්ෂ ගල්ගැසුණු භූමිකාවක් රඟපෑම කනගාටුදායකය. ඔවුන් විවිධ කොන්දේසි මත සිරගත වී කොටු වී සිටියා මිස ආණ්ඩුවට එරෙහි අරගලය තීව්‍ර කරමින් දුර්දාන්ත පාලනය පෙරළා දැමීමට කටයුතු කළේ නැත.

එකී චෝදනාවෙන් ගැලවෙන්නට සමගි ජන බලවේගයටත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයටත් පුළුවන්කමක් නැත.

ඔවුන් එකිනෙකා විපක්ෂයේ තම කොටස ඩැහැගැනීම උදෙසා අරගල කළා මිස ආණ්ඩුව පෙරළා දමා මේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් අරගල කළේ නැත. එලෙස රට බේරා ගැනීමට තිබූ ආසන්න අවස්ථා සියල්ල ඔවුහු අලුයම කෙළ පිඬක් සේ බැහැර කළහ.

මේ තීරණාත්මක මොහොතේත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සිටින්නේ බොරදියේ මාළු බාමින්ය. “මට දෙන්න කරල පෙන්නන්න” යැයි කියන්න කෙරෙන කියා නොකෙරෙන වෙදකමට කෝ¾දුරු තෙල් හත් පට්ටයකුත් තවත් කොටසක් සොයන විපක්ෂයක් අදත් අපට දැකිය හැකිය.

රට මේ තරම් බරපතළ ඛේදවාචකයන්ට තිබියදීත් වගකීම් විරහිත හැසිරීම පිළිබඳව වන චෝදනාවෙන් විපක්ෂයටද ගැලවීමට නොහැකිය.

“සමහරු ඉන්නවා මේ රට ශ්‍රේෂ්ඨ ලන්තයක් කළාට පස්සේ භාරගන්න. තව සමහරු ඉන්නවා තමන්ට ආසන කිහිපයක් වැඩි කරගන්න. තව සමහරු ඉන්නවා මේ රට විනාශම වුණාට පස්සේ පාංශකූලය දෙන්න.”

රටේ හතර දිග්බාගය තියෙන පෝලිම්වල මිනිස්සු කියන්නේ එහෙම කතාය.

කෙනත් කවුන්ඩා නමැති ජනාධිපතිවරයා සැම්බියාව කියන රට ලෝකයේ ස්ථාවර තැනකට ඔසවා තැබුවේය. එකල වසරකට තඹ මෙටි්‍රක් ටොන් 3,37,000ක් නිපදවූ ඒ රට ලෝක තඹ සපයන්නන්ගේ ප්‍රමුඛයකු විය. විනාශ වී සුන්නද්දූලි වී තිබූ සැම්බියාව ගොඩනැඟීමේ ප්‍රමුඛයා වූයේ කෙනත් කවුන්ඩාය.

ඔහුගේ දේශපාලනය කතාව පුදුමාකාරය.

1948 වසරේදී පිහිටුවුණු උතුරු රොඩේෂියානු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ආරම්භක සාමාජිකයකු වුණු කවුන්ඩා මත ගැටුමක් හේතුවෙන් ඉන් ඉවත් වුණේය. ඔහු ප්‍රමුඛව  අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සම්බන්ධව වැඩ කළ තරුණයන් පිරිසකට ඒත්තු ගොස් තිබුණේ නකුම්බුලාගේ නායකත්වය යටතේ සාර්ථක ඉදිරි ගමනක් නොමැති බවය.  1958 වසරේ මැද භාගය  වන විට කවුන්ඩාත් පක්ෂ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ කලකිරීමෙන් පසුවී කවුන්ඩා සහ තරුණ පිරිස එක්ව 1958 ඔක්තෝබර් මාසයේදී සැම්බියා අප්‍රිකානු ජාතික සම්මේලනය පිහිටුවා ගත්හ. එලෙස අභිනවයෙන් පිහිටුවා ගත් සංවිධානයේ සභාපති තනතුර කෙනත් කවුන්ඩාට හිමිවිය.

ඉන් පසු ඔහු ඇතුළු පක්ෂය රට බේරා ගැනීමේ අරගලය ආරම්භ කළහ. 1959 මාර්තු මාසයේදී සැම්බියා, අප්‍රිකානු සම්මේලනය නීතිවිරෝධීව සංවිධානය කළ දේශපාලන රැස්වීමක් අතරතුර කවුන්ඩා අත්අඩංගුවට ගෙන සිරගතව සිටි අතර එහි සිට එක්සත් ජාතික නිදහස් පක්ෂය ආරම්භ කළේය. 1960 ජනවාරි මාසයේදී හිරෙන් නිදහස් වුණු කවුන්ඩා නව පක්ෂයේ සභාපති තනතුර භාර ගත් අතර එය උතුරු රොඩේෂියානු නිදහස් සටනේ තීරණාත්මක සිදුවීමක් බවට පත්විය.

කවුන්ඩාගේ පක්ෂයට කෙටි කාලයක් ඇතුළත විශාල ජනප්‍රියත්වයක් හිමිවිය. 62 ඔක්තෝබර් මහ මැතිවරණයේදී  කවුන්ඩාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පක්ෂය ආසන 14ක් දිනාගත් අතර එහිදී බෙන්ග්විලු ආසනයට තරග වැදුණු කවුන්ඩා 92.45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබිණි. නකුම්බුලාගේ නායකත්වය යටතේ තරග වැදුණු උතුරු රොඩේෂියානු අප්‍රිකානු ජාතික කොංග්‍රසය ආසන 7ක් ජයග්‍රහණය කළහ. එදා කවුන්ඩාගේ පක්ෂය සහ නකුම්බුලාගේ පක්ෂය එකට එක්ව සන්ධාන රජයක් පිහිටුවූහ.  ආණ්ඩුවේ පළාත් පාලන සහ සමාජ සුබසාධන අමාත්‍ය තනතුර කවුන්ඩාට හිමිවිය.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් කවුන්ඩා උතුරු රොඩේෂියානු ජනතාවට විශාල සේවයක් සිදු කළේය. එනිසා කවුන්ඩා ඉදිරි අනාගතයේදී උතුරු රොඩේෂියාවේ  නායකයා විය යුතු බවට ජනමතයක්  ගොඩනැඟුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1964 ජනවාරි මහා මැතිවරණයෙන් කවුන්ඩාගේ පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වීමය. එදා කවුන්ඩාගේ නායකත්වය යටතේ තරග වැදුණු එක්සත් ජාතික නිදහස් පක්ෂය ආසන 65න්, 55ක්ම ජයග්‍රහණය කළහ. ඉන් අනතුරුව බිහිවුණු රජයේ අගමැති ධුරය කවුන්ඩාට හිමිවිය. 1964 ඔක්තෝබර් 24 වැනිදා උතුරු රොඩේෂියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය.

ඇත්ත වශයෙන්ම කවුන්ඩා තමන්ගෙ රට ලෝකයේ ඉහළ තලයකට රැගෙන ආවේය. ඔහුගේ මුල් වකවානුව ජනතාව වෙනුවෙන් පවිත්‍රව සේවය කළ වකවානුවක් විය.

එකල සැම්බියාවට ඛනිජ නිධිවලින් විශාල ආදායමක් ලැබුණු අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබුණේ තඹ නිෂ්පාදනයයි.  එනිසා සැම්බියානු ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවැතුණා. කවුන්ඩා  ගෙන ගිය පාලනයට සැම්බියා ජනතාව බුරුතු පිටින් ආශීර්වාද කළහ. 1968 මහා මැතිවරණයේදී ඔහුට 81.8%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර  1973 මහා මැතිවරණයේදී කවුන්ඩාට 88.80%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය.

හැබැයි ඉන් ඔබ්බට කවුන්ඩාගේ පරිහානියද ආරම්භ විය.

පාලකයකු අසීමිත බලය ලබා ගත් විට අත්‍යන්තයෙන්ම පිරිහීමට ලක් වෙයි.

 මැතිවරණ ක්‍රමය ඔහුට අවශ්‍ය ආකාරයට වෙනස් කරගනිමින් කවුන්ඩා ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතර  කවුන්ඩා ගෙනගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා 1980 දශකයේ අග භාගය වන විට සැම්බියාව දිළි¾දුකමේ පතුලටම බැස තිබිණි.

අවසානයේ කවුන්ඩාට සිද්ධ වුණේ පරාජය මැද ගෙදර යන්නටය.

මේ මොහොතේ ලංකාව ඇද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගන්නට නම් කෙනත් කවුන්ඩා වර්ගයේ නායකයෙක් අවශ්‍යය. අපි හැමදාමත් සොයමින් සිටියේ ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වර්ගයේ නායකයෝය. හැබැයි එහෙම කියාගෙන ආව නායකයෝ ලී ක්වාන් යූ ලාටත් අපහාස කළහ.

ඇත්තටම මේ මොහොතේ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගන්නට නම් අවශ්‍ය වන්නේ කෙනත් කවුන්ඩා වැනි නායකයන්ය.

එහෙත් විපක්ෂයට ඒ වෙනුවෙන් අවංක වුවමනාවක් තියෙනවද කියා නම් කියන්න දන්නේ නැත. මොහොතින් මොහොත අගමැති, ජනාධිපති සහ අගමැතිගේ හෙන්චයියන් රට බය කරමින් සිටී. රනිල් ආවොත් පැය 24න් පෝලිම් ඉවරයි කියූ පුරසාරම් සියල්ල දැන් පාරාවළල්ලක් වී තිබේ.

දැන් තෙල් එනවා යැයි කී නැවත් අතුරුදන්ය. තව ටික දවසක් මෙහෙම ගියාම ජනාධිපති, අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයක් අතුරුදන් වුණොත් පුදුම නැත.

මේඝනාද