පටු තීරණ පසෙකට දමා රට අලුත් තැනකට තල්ලු කරමු

0
130

රටට වඩාත් අවශ්‍යව ඇති ඛනිජ තෙල් තොග මිලදී ගැනීම සඳහා රුසියාවේ සහාය ලබාගන්නට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව දැක්වේ. රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියාවට පිටත්ව යනු ඇති බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව තවත් ඉන්ධන තොගයක් මිලදී ගන්නට සූදානමක්  පවතින බව ප්‍රකාශ වන නමුත් එම තෙල් ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් විනිමය සංචිතයක් ගැන අනාවරණයක් නැත. ඉන්දීය රජය කුලුනු හතරකින් යුත් ආර්ථික ආධාර සැලැස්මක් ප්‍රකාශයට පත් කළ අතර ඛනිජ තෙල් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ප්‍රතිචක්‍රිය ණයක් සපයා තිබේ. පසුව එම ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 700 දක්වා භාවිත කර ඇති බවත් තවදුරටත් සහාය ලබාගැනීමට ඇති ඉඩකඩ සීමිත බවත් ප්‍රකාශ වෙයි.

ඉන්ධන හිඟය ජන ජීවිතය අඩාල කර ඇති අතර නාගරික පාසල් පැවැත්වීම දුෂ්කර වී ඇත. බස් ගාස්තු නංවන නමුත් තවදුරටත් තත්ත්වය ව්‍යාකූල වුවහොත් ප්‍රවාහන පහසුකම් දැඩි ලෙස සීමාවිය හැකිය. ජනතාව ඉතා දුෂ්කර තැනක පසුවන අතර තෙල් පෝලිම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ. ගෘහාශ්‍රිතව තබාගන්නා පෙට්රල්වලින් සිදුවන අනතුරු ගැනද කරුණු අනාවරණය වෙයි. හිඟය අතරවාරයේ නැවත ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. ඕනෑම මිලක් ගෙවා තමන්ට අවශ්‍ය පෙට්රල්, ඩීසල් හෝ භූමිතෙල් මිලදී ගන්නට ජනතාව සූදානම්ය. සේවකයන්ගේ ගැටලුව එය නොවේ. තෙල් බෙදාහරින තැන් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාර්යාලයේ සිරකරගෙන සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

ඛනිජ තෙල් සම්බන්ධ ඉරණම ගැන අවබෝධයක්

තෙල් ඇමැතිවරයාට ගැරහීමෙන් හෝ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හිර කරගෙන සිටීමෙන් ඉන්ධනහල්වලට පෙට්රල් හෝ ඩීසල් ලැබෙන්නේ නැත. ක්‍රමය වෙනස් නොකර පැවැත්මක් නැති බව වටහා ගත යුතුව තිබේ. මාස හතරකට කලින් තෙල් බැරල් එකක් ඇමරිකානු ඩොලර්  හැටකි. දැන් එය ඩොලර් එකසිය හයක් වී තිබේ. තෙල් ආනයනය කරන්නට ඩොලර් නැත. විනිමය හිඟ රටක කොතැනකින් හෝ තෙල් ගෙනැත් බෙදාහැරීම ජනතාවට ලැබෙන සහනයකි. වෘත්තීය සමිති බලන්නේ තම අයිතිය ගැන බව පෙනේ.

ඉන්ධන බෙදාහැරීම පෞද්ගලීකරණය කළහොත් වෘත්තීය සමිතිවලට පැවැත්මක් නැත. මාධ්‍ය හමු පවත්වා වීරයන් වෙන්නට නොහැකිය. නිලධාරීන් හිරකර ඔවුන් බියපත්කර ව්‍යසනය තවත් දිගට පවත්වා ගැනීම අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අනතුර අනුව තවදුරටත් හණමිටි යුගය ආරක්ෂා කළ යුතු නැත. තෙල් ගෙන්වීම, බෙදාහැරීම හා අලෙවිය තරගකාරීව පවත්වාගෙන යා යුතුය. අකාර්යක්ෂමතාවයේ හා ඒකාධිකාරයේ වැරදි ජනතාව පිට පැටවී ඇති අතර අධික පාඩු ලබන මෙම පැරණි ක්‍රම තවදුරටත් ගෙන යා යුතු නැත.

පිටරටකින් තෙල් ගෙන්වා බෙදාහැරීම රජය කළ යුතු දෙයක් බව කල්පනා කරන්නේ ඇයි? මෙම අවස්ථාවේ නැති විදේශ සම්පත් ඉදිරියේ වෙනත් පාර්ශ්වයක් එම කාර්යයට මැදිහත්වන අතර කාර්යක්ෂමව ජනතාවට සේවය ලබාදීම යුක්ති සහගත නොවන හේතුව කුමක්ද? අන්තවාදී කණ්ඩායම්වලට, පටු අදහස් මත ක්‍රියා කරන පිරිසට මෙහි යථාර්ථය වැටහෙන්නේ නැත. මහජනතාව ආණ්ඩු පත් කරන අතර ආණ්ඩු පාලනය කරන්නට වෘත්තීය සමිති තැත් කිරීම සාධාරණීකරණය කළ නොහැකිය. නිලධාරීන් මෙම අවස්ථාවේදී තීරණ නොගෙන පසෙකට වී සිටීමෙන් පවතින බලශක්ති අර්බුදය තවත් වටයකින් දරුණු තැනකට පත්වන බව සඳහන් කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකටම ඛනිජ තෙල් අංශයෙහි විශාල ගැටලු මතු වී තිබේ. රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම සංකීර්ණ ප්‍රශ්න මතු කර ඇත. බොරතෙල් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය කෙරෙහි ජාත්‍යන්තර විචාරකයෝ මහත් විමතියකට පත්ව ඇත. එකී පසුබිම ඉදිරියේ වඩාත් සූක්ෂ්ම හා ඉවසිලිවන්ත සමාජයක් අපට වුවමනා කර ඇත.

තෙල් වෙළෙඳපොළ බරපතළ කැලඹීමක රුසියාවේ බොරතෙල් නිෂ්පාදනය ජාත්‍යන්තර

වෙළෙඳපොළෙන් සියයට දහයකි. යුක්රේනයේ වෙළෙඳ අයිතිය සියයට හයකට ආසන්න බව ප්‍රකාශ වේ. මෙම රටවල් දෙක අතර ඇවිළෙන ගැටුම සියයට සියයකින් තෙල් වෙළෙඳාම අනෙක් පැත්ත හරවා ඇත. රුසියාව පාලනය කිරීම අරමුණු කරගෙන බටහිර රටවල් සම්බාධක පනවා ඇත. යුක්රේනය හා ගැටුමක සිටින රුසියානු පාලකයන් බටහිර තර්ජනය ඉදිරියේ හිස නමන්නට සූදානම් නැත. තෙල් විකිණීමටද සම්බාධක බලපාන බව දැක්වේ.

ආර්ථික ප්‍රශ්න ගණනාවකින් පෙළෙන අතරවාරයේ රුසියාවද ඔවුන් ජාත්‍යන්තරයෙන් ලබාගත් ණයකරයක් ගෙවිය නොහැකි බව ප්‍රකාශයට පත් කර තිබේ. 1918 වසරට පසු පළමු වතාවට විදේශ ණය නොගෙවන තැනට පත්ව ඇති බව දැක්වේ. 1998 කාලයේ ජනාධිපති බොරිස් යෙල්ට්සිං යටතේ රුසියානු ආර්ථිකය කඩා වැටුණු නමුත් දේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක් ගෙවීම පැහැරහැරීම හැර ජාත්‍යන්තර ණය අවදානමක් මතු වූයේ නැත. තමන්ට මුදල් ඇති නමුත් ජාත්‍යන්තර බැංකු තම ගනුදෙනු පිළිනොගැනීම නොගෙවා සිටීමට හේතුව වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත. අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන විස්ස ඉක්මවන යුරෝ බැ¾දුම්කර ප්‍රමාණයක් රුසියාව සතුව තිබිණි. මේවා අවහිර වුවහොත් ලෝක ආර්ථිකය නැවත වටයකින් කැලඹීම වැළැක්විය නොහැකිය.

බටහිර සම්බාධක මැද රුසියාවට යන අතුරේ ගමන

සම්බාධක පනවා ඇති රැසියාව සමඟ ඛනිිජ තෙල් වෙළෙඳාම ආරම්භ කරන්නට සූදානම් වන අතරවාරයේ අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සංචිතයක් සාකච්ඡා කිරීම පරස්පර පැත්තකි. ශ්‍රී ලංකාව අනේකවිධ මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ පා සිටින අතර යක්ෂයාගෙන් හෝ සහාය ලබා ගැනීම අපේක්ෂා කරන බව පෙනේ. බටහිර දක්වන දුර්වල උනන්දුව, ඉන්දියානු සහාය උපරිම තලයට ළඟාවීම, ජපානය ඇතුළු පෙරදිග රටවල නිහැඩියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ණය සඳහා අනෙක් ගමනාන්තයක් නැති  බව පෙනේ. කෙසේ නමුත් රුසියාව සමඟ කරන වෙළෙඳ ගනුදෙනු පරෙස්සම් සහගතව කිරීම ඉතාම වැදගත්ය. සම්බාධක පනවන බටහිර මතය

ප්‍රතික්ෂේප කර රුසියාවට සමීපවීම දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මෙයට කලින් ඉරානයට සම්බාධක පනවන ලද අවස්ථාවක ශ්‍රී ලංකාව වහාම ඇමරිකාව හා සාකච්ඡා කළ අතර සිය ඉන්ධන අවශ්‍යතා සඳහා ඉරානයෙන් ඉන්ධන ලබාගැනීම අවශ්‍ය වන අතර සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දමන්නට සිදුවන අතර තේ වෙළෙඳාමද කඩා වැටෙන බව කියා සිටියේය. එම කරුණු සලකා සහනයක් ලැබිණි.

ඉන්දියාවට ඇති ශක්තිය ආරෝපනය කරගැනීම

ඉන්දියාව දීර්ඝ කාලයක් තිස්සේ රුසියාව සමඟ ගනුදෙනු කරමින් සිටී. මෑතකදී රුසියාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ප්‍රදානය කළ ඉන්දියාව එරටින් ඛනිජ තෙල් මිලදී ගැනීමේ කටයුතුවලද නිරතය. ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය හරිදීප් පූරි මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ඉන්දියාවට අවශ්‍ය තෙල් තොගවලින් සියයට එකක් පමණක් රැසියාවෙන් මිලදී ගන්නා බවය. ජර්මනිය ගෑස් මිලදී ගන්නේ රුසියාවෙන්ය. ගෑස් සපයන ගෑස් නළ පද්ධතියද වසා දමන බවට රුසියාව ප්‍රකාශ කළ නමුත් වහාම එය ක්‍රියාවට නැඟුණේ නැත.

යුරෝපා හවුල පසුගිය මාසයේ කරන ලද නිවේදනය අනුව මුහුදු මාර්ගයෙන් ගෙන්වන ඛනිජ තෙල් සම්පූර්ණයෙන්  නතර කරනු ඇත. මෙම ප්‍රමාණය දවසකට බොරතෙල් බැරල් මිලියන 2.2ක් වන අතර එය නතර කළහොත් දිනකට අහිමි වන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් බව රුසියානු බලධාරීහු ගණන් බලා ඇත. ජර්මනිය හා පෝලන්තය නළ මාර්ගයෙන් රුසියානු තෙල් මිලදී ගන්නා අතර  එම මිලදී ගැනීම් නතර කරන්නට මෙම වසර අවසානය තෙක් කල් ලබා ගෙන ඇත.

බලවත් රටවල් හැසිරෙන හා තීරණ ගන්නා ආකාරයට

ශ්‍රී ලංකාවට තනි තීරණ ගත නොහැකි බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ අනුව සියයට තිස්පහක් ඇඟලුම් මිලදී ගන්නා ඇමරිකාව, තේ හා මතස්‍ය සම්පත් මිලදී ගන්නා යුරෝපා රටවල් ශ්‍රී ලංකා – රුසියා ගනුදෙනු ගැන අවධානයෙන් සිටින්නට ඉඩ තිබේ. බි්‍රතාන්‍ය ගෙන ඇති තීරණයක් අනුව රුසියානු බැංකු සමඟ ගනුදෙනු නතර කර ඇත. මෙම රටවල් රැසියාවේ ව්‍යාපාරිකයන් දහසක පමණ පිරිසකගේ සබඳතා අත් හැර ඇති අතර ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට සමීප ඛනිජ තෙල් වෙළෙඳාම සම්බන්ධ ඉහළ අධිකාරියක් සහිත අයවලුන් ඒ අතර වන බව දැක්වේ.

ඛනිජ තෙල් සහ ගෑස් සඳහා ඇති දැවෙන ඉල්ලුම

ශ්‍රී ලංකාවේ තෙල් ඉල්ලුම පාලනය කරගත නොහැකි එකකි. පසුගිය මාස හය තුළ නොකඩවා ගෙන එන ලද ඉන්ධන සම්පූර්ණයෙන් පුලුස්සා අවසන්ය. ආර්ථික අර්බුදයක සිටින, අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගන්නට වත්කමක් රහිත ස්වභාවයක් රට තුළ තිබේද යන ප්‍රශ්නය මෙහිදී පැන නඟී. ඩීසල් හා පෙට්රල් මිල සියයට සියයකින් නංවා ඇත. එම මිල ජනතාවට ප්‍රශ්නයක් නොවේ. මෙම වැදගත් කරුණ පාලකයන් වටහාගත යුතුව ඇත. මැදි ආදායම් රටක ජනතාවගේ වුවමනා එපාකම් දුප්පත් රටක ස්වභාවයෙක නොවේ. ආහාර හා සමානව බලශක්තිය හා තොරතුරු හුවමාරුව සඳහා දත්ත අවශ්‍යව ඇති යුගයකි.

නිසි පරිදි සැපයීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත්ය. බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග විනිවිද පෙනෙන සේ ජනතාවට අවබෝධ කරදෙන වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුව ඇත. මෑත කාලය තුළ ඇති වූ සිද්ධි මඟින් ඇති කරන ලද ව්‍යාකූලත්වය ඉතාම නරක ප්‍රතිඵල අත්කරදී තිබේ. ලෝකයේ සිදුවන සිද්ධි සලකා බලන විට විනිමය රහිත අවස්ථාවක ඛනිජ තෙල් අවශ්‍ය පරිදි ගෙන්වන්නේ කෙසේද?

දැවිතෙල්, ගල් අඟුරු හෝ ඩීසල් ප්‍රමාද වුවහොත් විදුලිය උත්පාදනයටද බාධා සිදුවන බව නොරහසකි. ජල විදුලිය කිසිසේත් ප්‍රමාණවත් නැත. ප්‍රවාහනය හා විදුලිය උත්පාදනය සඳහා නිසි අවස්ථාවේදී තීරණ ගැනීම ප්‍රමාද කළහොත් තවත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වීම වැළැක්විය නොහැකිය. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතු අතර ආණ්ඩු මාරු කිරීමෙන් ඉන්ධන ලැබෙන්නේ හෝ ඉන්ධන මිලදී ගැනීමට ප්‍රමාණවත් පරිදි විනිමය ලැබෙන්නේ නැති බව අවධාරණය කළ යුතුව ඇත. අර්බුදයක් ඉදිරියේ පරෙස්සමෙන් තීරණ ගත යුතුව තිබේ. ජන ජීවිතයට අවශ්‍ය මූලික කාරණා සාක්ෂාත් කරගත යුතුය. ලෝකයේ පවතින වෙනස්කම් හා ශ්‍රී ලංකාවට කරගත හැකි තරම ගැන විනිශ්චයක් සමාජයට නොතිබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

මහා සම්පත් බව හිතන ධනය හානි කරන තැන්

මෙම තීරයෙන් පුන පුනා පෙන්වාදී ඇති පරිදි සිංගප්පූරුවට තෙල් ළිඳක් හෝ නැත. එහෙත් ලෝකයේ තුන් වැනි ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරන රට බවට පත්ව තිබේ. දැවැන්ත සමාගම්වලට තෙල් පිරිපහදුවට ඉඩදී ඇති අතර ඒවා අපනයනයෙන් ලැබෙන විනිමය, බදු ආදායම හා රැකියා අවස්ථා එරටට මහත් සම්පතකි. ඉන්දියාවට තෙල් සම්පත් ඇති නමුත් රටට අවශ්‍ය තෙල්වලින් සියයට අසූ දෙකක් ආනයනය කෙරේ. ඒවා කරන්නේ ආණ්ඩුව පමණක් නොවේ. පෞද්ගලික අංශයද එහි නිරතය. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඇත. පේසාලේ බොරතෙල් ඇති බව 1970 ගණන්වල සිට කියයි. තෙල් ළිං කැණ බොරතෙල් නිපදවන්නට ගත්  ප්‍රයත්න අසාර්ථක වී තිබේ. ඛනිජ තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් නවීකරණය කළ යුතුය. මේවා කරන්නට රටට සම්පත් නැත.

ශ්‍රී ලංකාවට අලුත් තීරණ ගන්නට සිදුවේ. ණය ගෙවාගත නොහැකිව සිටින රටකට තෙල් වෙළෙඳාමේ ව්‍යුහය වෙනස් කරන්නට ඉඩ නොදෙන්නේ ඇයි? සමාජය මෙම ප්‍රශ්න විවෘතව සාකච්ඡා කළ යුතුය. කළ නොහැකි දේ අත්හරින්නටත්, අලුත් ව්‍යවසායකත්වයක් තුළින් ආර්ථිකය වෙනස් කරන්නටත් පියවර ගැනීම වැදගත්ය. පැරණි ව්‍යුහ වෙනුවට අලුත් පැති ගැන අවධානය යොමු කරන සාකච්ඡා බළකායක් රටට අවශ්‍යය. ආණ්ඩු පත්කරන්නේ මැදහත්ව සිතා තීරණ ගැනීමට බව අවධාරණය කළ යුතුය. ධනය උත්පාදනය කරන සහ නිසි

කළමනාකරණය ඇති කරන ක්‍රමවේද ගැන වෙහෙසීම බලධාරීන්ගේ වගකීමකි. පටු තීරණ පැත්තකට කර රට නැවත අලුත් තැනකට තල්ලු කරන්නට වෘත්තීය සමිති වගබලා ගැනීම සුදුසුය.

ශාමින්ද වත්තේගෙදර