දඟයන් තිදෙනකු සමඟ ශ්‍රී ලංකාව අද තරග බිමට

0
75

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී අද (29දා) පැවැත්වීමට නියමිතය. මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානුවන් අවස්ථා 4කදී මුණ ගැසී ඇති අතර, එහිදී ඕස්ට්‍රේලියානුවන් අවස්ථාව දෙකකදීත් (2004 හා 2011) , ශ්‍රී ලංකාව එක් අවස්ථාවකදීත් (2016) ජයගෙන ඇත.

දෙපිළ අතර මෙම පිටියේදී පැවැති තරග 4දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් පමණක් (මහේල (105) හා ඩිල්ෂාන් (104) වාර්තා වී ඇති අතර, 2004 වසරේදී ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් ලැබූ ලකුණු 130 ශ්‍රී ලංකාවට එරෙහිව මෙම පිටියේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එකතු වී තිබේ. වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් 2016 වසරේදී ඇන්ජිලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් මෙම පිටියේදී පිළිවෙලින් ලකුණු 95ක් 86ක් ලබා තිබීමද විශේෂත්වයකි.

දඟ පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වී ඇති ක්‍රීඩා පිටියක් ලෙස සැලකෙන මෙම ගාලු ක්‍රීඩා පිටියේදී 2004 වසරේදී ඕස්ට්‍රේලියානුවන් කඩුලු 9කට ලකුණු 512ක් ලබා ඇති නමුත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව මෙම පිටියේදී වාර්තා කර ඇති ඉහළම ලකුණු ප්‍රමාණය 381කි. දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලියෙනුත් එක් තරගයක් ජයගෙන, එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයගෙන ඇති ශ්‍රී ලංකාවට යහපත් මානසිකත්වයකින් යුතුව අද තරගයට මුහුණදීමට හැකියාවක් ඇති නමුත් අවසන් වරට 2016 වසරේදී ටෙස්ට් තරගාවලියේදී ලැබූ අන්ත පරාජයේ වාඩුව මෙවර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් පිඹුරුපත් සකසා ඇතිවාට සැක නැත.
වෝන් – මුරලිදරන් කුසලානය වෙනුවෙන් අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකම දඟ පන්දු යවන්නන්ගෙන් යැපීම අරමුණු කරගෙන ඇති බැවින් ශ්‍රී ලංකා පිල රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රමගේ සේවාව ලබාගැනීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි පැවැසේ. එසේම ධනංජය ද සිල්වාගෙනුත් අමතර සේවාවක් ලබාගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ දරනු ඇත. ඕස්ට්‍රේලියානුවන් දෙස බැලුවහොත් නේතන් ලයන්, ඇස්ටන් ඒගර් හා කලකට පසු ටෙස්ට් කණ්ඩායමට එකතු වී සිටින ග්ලේන් මැක්ස්වෙල්ගේ සහායත් ඕස්ට්‍රේලියානු පිල ලබාගැනීමට ඉඩ ඇත.


කෙසේ වෙතත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය මෙම තණතීරුවේදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරනු ඇති බවය. “තණතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය බව පෙනෙන නිසා බොහෝ විට දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදාගන්න ඉඩ තියෙනවා. ඒ වගේම දික්වැල්ල හා චන්දිමාල් දෙදෙනාම බොහෝ විට සෙල්ලම් කරාවි” මේ අතර තරග දෙකකින් යුත් මෙම තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් ශේ්‍රණිගත ලකුණු 94ක් ලබා ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි මේ වනවිට සිටින 7වැනි ස්ථානයේ සිට එක් පියවරක් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබීමද විශේෂත්වයකි.


තවද මෙම තරගාවලියේදී පූර්ණ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් ලෝක ශූරතා ටෙස්ට් තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවන ඉන්දියාව (58.33%) සිවුවැනි තැනට ඇද දමා තෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වන නමුත් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 52.38ක් ලබා පස්වැනිතැන සිටින පාකිස්තානයට සිවුවැනි තැන සිටින ශ්‍රී ලංකාවේ ස්ථානය ඩැහැගැනීමට අවකාශය සැලසෙයි.

අද තරගයේදී ක්‍රීඩා කරනු ඇතැයි සැලකෙන
ශ්‍රී ලංකා පිල

දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම

විචිත්‍ර වීරසිංහ