අවසන් විස්සයි-20 තරගයෙන් ලැබූ ජය එක්දින තරගාවලියට වැදගත් වේවි

0
37

ඉන්දීය කාන්තා කණ්ඩායම සමගින් නිමා වූ අවසන් විස්සයි-20 තරගයේ ජය එක්දින තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් බවට පත්වනු ඇති බව ශ්‍රී  ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසීය. ඇය මේ අදහස් පළකර සිටියේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී  ලංකා තරග සංචාරයට අදාළව පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ ශ්‍රී  ලංකා නායිකාව මෙසේද පැවසූවාය. “අපට මෙම තරගාවලිය ජය ගැනීමේ ලොකු අවස්ථාවක් තිබුණත් අඩුපාඩු කිහිපයක් තිබූ නිසා පරාජය වුණා. පිතිකරණයේ සහ පන්දු රැකීමේ අංශයන් දෙක හොඳ මට්ටමක පැවැතුනා නම් මෙම තරගාවලිය ජය ගැනීමේ හැකියාව තිබුණා. නවක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී  ලංකා කණ්ඩායමට එක්ව තිබෙන නිසා මෙම තරගාවලිය ඔවුන්ට වඩාත් වැදගත් අත්දැකීමක් වනු ඇති බව මා සිතනවා. විශේෂයෙන් ඉන්දියාව වැනි කණ්ඩායමක් සමඟින් ක්‍රීඩා කිරීමට එම අවස්ථාව සැළසීම වඩාත් වැදගත්. මෙම සියලු අත්දැකීම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි සහ එක්දින තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා මනා සහයෝගයක් දක්වනු ඇති බව විශ්වාස කරනවා.”

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ විස්සයි-20 තරග ජය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කළ චමරි අතපත්තු “ශ්‍රී  ලංකාව තුළ ඉන්දියාවට එරෙහිව එක්දින තරගයක් ජයගෙන තිබුණත් විස්සයි-20 තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය වීම නිසා සතුටට පත්වෙනවා. ඒ අනුව මෙම ජය නවක ක්‍රීඩිකාවන්ට විශාල පන්නරයක් වනු ඇති බවත් මා විශ්වාස කරනවා. එක්දින තරගාවලිය ආරම්භයේදී කණ්ඩායම තුළ එම ජයග්‍රාහී මානසිකත්වය පැවැතීම වඩාත් වැදගත් වනු ඇති බවත් මා සිතනවා. එමෙන්ම මෙම තරගාවලියෙන් අනතුරුව අපි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලියට මුහුණදිය යුතුයි. ඒ සඳහා මෙම තරග ජය වඩාත් පිටිවහලක් වනු ඇති බවත් මා සිතනවා.” යනුවෙන් පැවසුවාය.

එමෙන්ම තම කණ්ඩායමේ යොවුන් ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දක්වමින් චමරි පවසා තිබුණේ මෙවැන්නකි. “අපට විශ්මි ගුණරත්න වැනි ක්‍රීඩිකාවක් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ගැන සතුටු විය හැකියි. ඇය තවමත් වයස අවුරුදු 16ක ක්‍රීඩිකාවක්. ඒ අනුව විශාල කාලයක් ශ්‍රී  ලංකා කණ්ඩායමට සේවය කළ හැකි ක්‍රීඩිකාවක් ලෙසින් ඇය හඳුන්වාදිය හැකියි.

එමෙන්ම එතරම් යොවුන් වියේ සිටියත් ඇය ඉතා හොඳින් ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළා. ඇය ඉදිරියේදී ශ්‍රී  ලංකාව වෙත ජයග්‍රහණ රැසක් ලඟා කරනු ඇති බවත් මා බාලාපොරොත්තු වෙනවා. එමෙන්ම කවීෂා දිල්හාරි යනු ලෝකයේ විශාල අවධානයක් දිනා ගත් ක්‍රීඩිකාවක්. එමෙන්ම හර්ෂිතා මාධවීත් එක්දින තරග රටාව තුළ ඉහළ දස්කම් දක්වනු ඇති බවත් මා විශ්වාස කරනවා.”  

ගමිත දෙහිපිටිය