අන්තෝ ජටා – බහි ජටා

0
93

අද කතුවැකිය ලියන මාතෘකාවද අවුල්ය. වචන පාලියෙනි. ඒත් සිංහල ජනවහරට එකතු වී ඇති පිරුළක් වැන්න. අරුත, ඇතුළෙත් අවුල්ය. පිටතත් අවුල්ය. අද වනවිට ආණ්ඩුව ඇතුළේ මහා අවුලකි. පිටස්තර ජන සමාජයේ ඊටත් වැඩි තරම් වූ අවුලකි. පිටස්තර අවුල ඇතුළේ අවුල නිසාය. රටේ මහජනතාව පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් යවා තිබෙන්නේ රටේ අවුල් ලිහන්නටය. විධායකය බල ගන්වා ඇත්තේ අවුල් ලිහන්නට නායකත්වය දෙන්නටය. එහෙත් සබ්බ සකලමනාවම පඹගාලක පටලවා තමනුත් එහි පැටලී ඇතිසේය.

පෙරේදා, එනම් 27දා මධ්‍යම රාත්‍රියේ සිට ලබන ජූලි මස 10 දක්වා පුරා දින 13ක්ම පෞද්ගලික වාහනවලට තෙල් නැත. තෙල් බෙදාදෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව ආණ්ඩුව කියයි. මේ කැබිනට් මණ්ඩල තීරණයකි. පෙරේදා පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය හමුවේ, අනාවරණය වූ කරුණක් බව කියා ඇත්තේ ජනතාවගේ පෞද්ගලික වාහන වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් අපොහොසත්ව ඇති බවය. ඒ අනුව ආණ්ඩුවේ අපොහොසත්කම ජනතාව හමුවේ ප්‍රකාශයට පත්කොට තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම් දුන්නේ අත්‍යවශ්‍ය  ආහාර ප්‍රවාහන රථ, සෞඛ්‍ය සේවා රථ, පොදු ප්‍රවාහන සේවා ආදී සේවාවන්ට අයත් රථ වෙනුවෙන් පමණක් ඉන්ධන සැපයීමට තීරණය කොට තිබෙන බවයි. මේ තීරණය ප්‍රකාශයට පත්කරන මොහොතේදී එක දිගට දින කිහිපයක්ම පෝලිම්වල දිගින් දිගට රස්තියාදුවෙමින් මහත් පීඩනයකට පත්ව සිටි ජනතාව ආණ්ඩුවේ ටෝකන් කතාව ගැන සෝදිසියෙන් සිටියහ. ටෝකන් බෙදිල්ල ඊයේ ඇතැම් පිරවුම්හල්වල සිදුවුණත් වැඩි වේලාවක් යන්නට පෙර නිවෙස්වල ටෝකන් අතැතිව සිටි පිරිස් පිරවුම්හල් කරා දුව එන්නට වූහ. ලබාදුන් ටෝකන්වල අනු පිළිවෙළ තවත් මහා අවුලකි. අර්බුදය කොතරම් උග්‍රවීදැයි කිවහොත් බොහෝ පිරවුම්හල් ළඟ ටෝකන් හටන්ය. ඇතැම් තැන්වල මිනී මරා ගන්නට ගහ බැන ගන්නට සැරසෙනු පෙනිණි.

මේ සටහන ලියන මොහොත වනවිට ආණ්ඩුවේ ඇමැතිවරු දෙදෙනෙක් රුසියාවට ගිහින්ය. බලශක්ති අමාත්‍ය කංචන, අමාත්‍ය නසීර් ද සමඟ කටාර් ගිහින්ය. ඒ තෙල් දෙනවාදැයි අහන්නටය. ලැබේද නොලැබේද කියා අප දන්නේ නැත. ඒ ගමන් බිමන්ද අවුල්ය. හදිසියේ දුවගෙන ගිහින් දෙරටක් අතර සම්බන්ධතා හදා ගන්නේ කොහොමද? ඒ දෙරටින් තෙල් ලැබුණොත් ඒක අපේ වාසනාවය. තෙල් ඉල්ලන්නට ගිය අමාත්‍යවරුන්ට ලකුණු කිහිපයක් හෝ වැටෙයි. ඒත් මේ ගිය ගමන්වලට විය හියදම් මේ රටේ ජනතාවගෙනි. හය මසක් තුළ අවස්ථා හයක්ම අයි.ඕ.සී.ත් සිපෙට්කෝත් දෙකම තරගයට වගේ තෙල් මිල ඉහළ නංවා තිබේ. පෝලිම්වල දින ගණන් රස්තියාදු වී අමාරුවෙන් විය පැහැදම්කොට තෙල්ටික ගත්තත්, පාරේ දුවන්නට හැකිකම ඇත්තේ දින කීයද? හදිසි ගමනක් බිමනක් යන්නට ඒ තෙල්ටික රැක බලා ගත්තත් ඊටත් වැඩි ලොකු හදිසියක් වුණොත් ටෝකන් එක අරගෙන කෝල් එකක් එනතුරු බලා ඉන්නට සිදුවෙයි. මේ මොන විහිළුවක්ද?

අධ්‍යාපනය මේ රටේ අත්‍යවශ්‍ය නැද්ද? පිට පිටම අවුරුදු දෙක තුනක්ම රටේ දරු පරපුරට හරියට පාසල් යන්නට ලැබුණේ නැත. ඔන්ලයින් ඉගෙනුම් ක්‍රමය ක්‍රියාවට නැඟුවත් එහි සාර්ථකත්වය ගැන ගැටලු එමටය. මුලින් දින තුනක් හෝ පවත්වන බවට තීරණය කළ පාසල් දැන් ලබන ජූලි 10 දක්වාම වසා දමා තිබේ. මේ නගරබද පාසල්වලට තහංචි දමා ඇති සැටියි. අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි පැවැත්වීමට තීරණය කිරීමට හැකි බව ආණ්ඩුව කියයි. මේ, මේ රටේ තිබෙනවාය කියන නිදහස් අධ්‍යාපනයට අත්කර දෙන්නට යන ඉරණමය. අඳෝමැයි අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පොදු අවශ්‍යතා සම්බන්ධව පළාත් ප්‍රභේද, ග්‍රාම නගර භේද පෙරටු කරගෙන තීරණ ගත හැකිද? අන්තිමට විෂය නිර්දේශ ආවරණය නොවූ සිසු දරු දැරියන් වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? පාසල් පවත්වන හා නොපවත්වන නිසි අධ්‍යාපනය ලබන හා නොලබන සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට සාධාරණය යුක්තිය ඉටුවෙයිද? තීරණ ගන්නට පෙර බලධරයන්ගේ අවධානය යොමුවිය කාරණා බොහෝමයකි.

රටක් වශයෙන් සිතූ විට දින 13ක් යනු සුළුපටු කාලයක් නොවේ. කාලය රත්රන් හා සමාන බව කියයි. නැත. ඊටත් වඩා වටින්නේය. සත්‍යය නම් මිල කළ නොහැකිය. ආණ්ඩුවේ අමනෝඥ තීරණ හේතුවෙන් හැමදාමත් තැළෙන්නේ. පොඩි වෙන්නේ මේ රටේ දහදුක් විඳින ජනතාවය. රටේ පාලක පෙළැන්තියත් සමඟ තවත් බොහෝ දේවල් නඩත්තු කරන, පෝෂණය කරන, බදු බර උහුලන, ණය බර උහුලන ජනතාවය.

මේ රටේ පොදු ජනතාවට යම්තමින් හෝ සැනසිල්කට ඇති තීන්දුවක් ගැන කීවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පමණය. අනෙක් හැම කෙනාම කීවේ ජනතාවගේ හිත් රිදවන තීන්දු ගැනය. ඉදිරි කාලය තුළ බස් රථ ධාවනය අවිනිශ්චිත බව ගැමුණු විජේරත්න කීවේය. බස් 18 දහසකින් ඉකුත් 27දා දිව්වේ බස් 3,000ක් බව ඔහු කීවේය. ඉදිරි දින ගණනාවෙහිම දිවිල්ල අවදානම්ය. සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කොට ඇතත් ඒ සියල්ල ගෙවල්වලට වී කරන්නට පුළුවන් වැඩකටයුතු නොවේ. රටක් දුවන්නේ රාජ්‍ය අංශයෙන් පමණක් නොව පෞද්ගලික අංශයේද සහභාගිත්වයෙනි. මේ රටේ වගකිවයුත්තන්ට නොතේරෙන්නේ මේ කතාවය. මේ හැම අවුලක්ම මේ නොතේරුම්කමේම ප්‍රතිඵලයි.

මේ වසරේ මාර්තු මාසය අවසන්වන විට රජය විසින් ගෙවීමට තිබෙන මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 21,69.660ක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. රජය විසින්ය කීවාට මේ ණය කන්දරාවත් මේ රටේ පොදු මහජනතාවගේ හිස මතය. ණය ගෙවීමට අපහසු කතන්දරවලට ආණ්ඩුව තැන දෙන්නට ගියවිට එන තෙල් නැවත් ආපසු හැරී යන තැනට කටයුතු යෙදෙනු වළකාලිය නොහැකිය. ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ දූරදර්ශීවය. බුද්ධිමත්වය. සාමුහිකත්වය. අද මුළු රටම අක්‍රිය වන තැනට කටයුතු යෙදී තිබෙන්නේ ගත් තීරණවල වැරැද්දෙනි.

හැම දේම හිතා බලන්නට දැනටමත් ප්‍රමාද වුණා වැඩිය. කබලෙන් ළිපට වැටුණු ජනතාවට ආයෙත් වැටෙන්නට තැනක් නැත. සැනසිල්ලෙන් හුස්ම පොද හෙළන්නටවත් රටක් තිබිය යුතුමය.