සහකරුවා නිසා වහ කන්න කලින් ‘Understanding’ Practice කරමු

0
76

බැඳීම් කියන්නේ මිනිස් ජීවිතේ ප්‍රධානතම කොටසක්. ඒ අතරින් ගැහැනු පිරිමි අතර ජනිත වන බැඳීම්, එසේත් නැතහොත් ආදර බැඳීම් සුවිශේෂී වෙනවා. එහෙත් මෙම සුවිශේෂී බැඳීම් සෑම එකක්ම පාහේ දිගු කල් පවතින්නේ නැහැ. ඇතැම් ආදර බැඳීම් අතරමඟදී කැඩී බිඳී යනවා.

එසේ වන්නේ ඇයි?

ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දෙදෙනකු අතර තිබිය යුතු වැදගත්ම කරුණක් වන එකිනෙකා තේරුම් නොගැනීම, එසේත් නැත්නම් අවබෝධය (understanding) මදිකම දක්වන්න පුළුවන්. අවබෝධය දෙදෙනකු අතර බැඳීමකදී තිබිය යුතුම කරුණක්. ඕනෑම ආදර බැඳීමකදී දෙදෙනා තුළම, දෙදෙනා පිළිබඳව නිසි අවබෝධයක් නොතිබුණහොත් විවිධ ගැටලු ඇති වන්නට පුළුවන්. එමෙන්ම එම බැඳීම තුළ ඔබ අත්විඳින්නට අපේක්ෂා කරන සතුටද නොලැබී යන්නට පුළුවන්.

ඔබේ සහකරු හෝ සහකාරිය අවබෝධ කර ගැනීම යනු කුමක්ද?

මෙලොව ජීවත් වෙන කිසිම පුද්ගලයකු කිසිවිටෙක අනෙකාට සමාන වන්නේ නෑ. කිසිම පුද්ගලයකුගේ ගති ලක්ෂණ, චරිත ලක්ෂණ සහ ආකල්ප කිසිසේත්ම තවත් පුද්ගලයකුට සමාන වන්නේද නැහැ. ඕනෑම පුද්ගලයකු හැදෙන වැඩෙන පරිසරය සහ ඔහුගේ හෝ ඇයගේ ජානමය පදනම එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස්. එබැවින් ඔබේ සහකරු හෝ සහකාරියගේ එසේත් නැත්නම් ඔබේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ සමානතා සොයා ගැනීම එතරම් පහසු දෙයක් වන්නේ නෑ.

සෑම විටම සෑම පුද්ගලයකුටම එකිනෙකාට වෙනස් පෞරුෂත්වයෙන් යුක්ත පුද්ගලයන් බව අපට නිරන්තරයෙන් දැකිය හැකි කරුණක්. එබැවින් ඔබ යමකු හා ආදරයෙන් බැ‍ෙඳන විට එසේත් නැත්නම් ඔබ යමකු හා විවාහ වන විට පළමු කොටම මේ පිළිබඳව අවබෝධ කරගත යුතු වෙනවා. දෙවනුව ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය පිළිබඳව අවබෝධ කර ගැනීමට උත්සාහ කරගත යුතු වෙනවා. ඔහුගේ හෝ ඇයගේ ආකල්ප මොනවාද, රුචි අරුචිකම් මොනවාද, ඔහුට හෝ ඇයට කෙබඳු පෞරුෂ ලක්ෂණ තිබේද යන්න අවබෝධ කර ගැනීම සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඔබගේ සහ ඇයගේ සමාන ගති ලක්ෂණ මොනවාද අසමානකම් මොනවාද යන්න පිළිබඳව අවබෝධයද දැන සිටීම මෙහිදී ඉතාම වැදගත්.

ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය අවබෝධ කරගත යුත්තේ ඇයි?

“අප තවෙකකු හඳුනා ගැනීම එතරම් වැදගත් ද?” ඔබට ඇතැම් විට එසේ සිතෙන්නට පුළුවන්. ඇත්තෙන්ම ඔව්. එය ඉතා වැදගත්. ඔබට ශක්තිමත් සහ ස්ථාවර බැඳීමක් නිර්මාණය කර ගැනීමට නම් ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය හඳුනාගත යුතුමයි. එසේ එකිනෙකා අවබෝධ කර ගැනීම ප්‍රීතිමත් සහසම්බන්ධතාවකට මඟ පාදා දෙනවා. අප අනෙකාව අවබෝධ කර ගන්නා විට ඔහුගේ හෝ ඇයගේ සිතේ සතුට ඇති වෙනවා. ආදරය ඇති වෙනවා. විශ්වාසය ජනිත වෙනවා. ජීවිතය සාර්ථක වෙනවා.  ඔබ දෙදෙනාට ප්‍රීතිමත් ලෙස කාලය ගත කිරීමට එක් හේතුවක් වෙනවා. මතුපිටින් බලන විට තවෙකකු තේරුම් ගැනීම පහසු ලෙස පෙනුණත් එය එතරම්ම පහසු කාර්යයක් නොවේ. ඒ නිවැරදි යතුර සොයා ‍ෙදාරගුළු හැරීමකට සමාන වෙනවා. එසේ ‍ෙදාරගුළු හැරීම තුළින් ඔබට අනෙකාගේ ඇතුළාන්තයේ ඇති බොහෝ රිද්මයන්ට සවන් දෙන්නට පුළුවන්කම ලැබෙනවා.

ඔබේ සහකරු හෝ සහකාරිය අවබෝධ කරගන්නේ කෙසේද?

1. සවන් දෙන්න.

මිනිසුන් වන අප බොහෝවිට අන්‍යයන් හා ‍ෙදාඩමලු වීමට බොහෝ කැමැතියි. එහෙත් අන්‍යයන්ට සවන්දීම අප සිදු කරන්නේ හරිම අඩුවෙන්. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය අවබෝධ කරගැනීමට නම් පළමුවෙන්ම ඔබට හොඳ සවන් දෙන්නකු බවට පත්වීමට සිදුවෙනවා. ඔහුට හෝ ඇයට සවන් දීමෙන් ඔවුන්ගේ ඇතුළාන්තයේ සැඟව ඇති බොහෝදේ ඔබට නිසි ලෙස අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ජීවන දැක්ම ඔබට නිරායාසයෙන්ම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබ ඔහුට හෝ ඇයට හොඳින් සවන් දෙන විට ඔහුගේ හෝ ඇයගේ මුහුණේ ඉරියව් අංග චලනයන්හි අර්ථය පවා සියුම් ලෙස අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. එය ඔබට සාර්ථක සහ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා පමණක් නොව ඔබේ තේරීම නිවැරදිද යන්න අවබෝධ කරගැනීමට පවා විශාල උපකාරයක් වෙනවා.

2. විවෘත ලෙස අදහස් ප්‍රකාශ කරන්න.

ඔබ ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට හොඳින් සවන් දෙනවා මෙන්ම ඔබේ අදහස් හා සිතුම් පැතුම් පැහැදිලිව ප්‍රකාශ කිරීමද අවබෝධාත්මක සහ සම්බන්ධතාවට අත්‍යවශ්‍ය කරුණක්. ඔබ නිහඬව සිටීම, ඔබ නිසි ලෙස ඔහු හෝ ඇය සමඟ සන්නිවේදනය නොකිරීම, ඔවුනට ඔබව හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව අහිමි කිරීමක්. එබැවින් ඔබ ඔහු හෝ ඇය සමඟ සෘජු හා විවෘතව අදහස් බෙදා හදා ගැනීම සිදුකළ යුතු වෙනවා. එසේ නොවන විට සාර්ථක ආදර බැඳීමක් ගොඩනඟා ගැනීමට අපහසු වන අතර ඉන් ඔබේ සහකරු හෝ සහකාරිය ප්‍රීතියට පත් වන්නේ නැහැ. එබැවින් ඔබට අවශ්‍ය දේ, ඔහුගෙන් හෝ ඇයගෙන් බලාපොරොත්තු වන දේ සෘජුව සහ ආදරණීය ලෙස ප්‍රකාශ කරන්න. ඔබට ගැටලු සහගත අවස්ථා පැනනඟින විට ඒ පිළිබඳව විමසන්න. සාකච්ඡා කරන්න. ගැටලු විසඳාගන්න. එසැණින් එම ගැටලු අමතක කර දමන්න.

3. ඔහුව හෝ ඇයව විනිශ්චයට ලක් නොකරන්න.

ආදර සබඳතා මෙන්ම විවාහ සබඳතාද හැම විටම ඉතා සුන්දරව ඉදිරියට ගලා යන්නේ නෑ. විටින් විට විවිධ ගැටලු සහ ප්‍රශ්න ඇතැම් විට සිත් රිදවීම් සහ වේදනාවට පවා මුහුණ දීමට සිදුවෙනවා. බොහෝවිට මෙවන් අවස්ථාවලදී ඔබ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයාට චෝදනා කරන්න පුළුවන්. බැනවදින්න පුළුවන්. එහෙත් එය සාර්ථක සහ ශක්තිමත් බැඳීමකට විශාල බාධාවක්. එබැවින් ඕනෑම ගැටලුවක් පැනනැඟුණු අවස්ථාවකදී පූර්ව විනිශ්චයන් ගෙන් තොරව එය විසඳා ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ව විනිශ්චයට ලක් කිරීමට පෙර විවෘත ලෙස ප්‍රශ්න ඇසීමෙන් ගැටලුව ඇතිවීමට හේතුව සොයා ගැනීමට උත්සාහ කරන්න. එය ඔබට ඔබගේ සහකරු හෝ සහකාරිය අවබෝධ කර ගැනීම සඳහා ගත හැකි ඉතා හොඳ පියවරක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

4. සංවේදනය (Empathy) ප්‍රගුණ කරන්න.

සංවේදනය එසේත් නැතහොත් අනෙකාගේ දුක් වේදනාවන් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව වත්මන් ලෝකය තුළ වෙසෙන මිනිසුන් තුළ දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. එහෙත් සාර්ථක ජීවන සබැඳියාවක් සඳහා “අනෙකාගේ දුක අවබෝධ කර ගැනීම” අත්‍යවශ්‍යම ගුණාංගයක්. ඔබේ සහකරු හෝ සහකාරියගේ දුක් වේදනාවන් ඔබට දැනෙන බව, ඔහුගේ හෝ ඇයගේ චිත්තවේගයන්  ඔබට දැනෙන බව ඔවුන් දැනගෙන සිටීම, ඔබේ සම්බන්ධතාව යහපත් එකක් බවට පත්කර ගැනීමට ඔබට ඇති මහඟු අවස්ථාවක්. ඔබ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් වීමට මහත්සේ උපකාරී වනු ලබන්නක්. එමෙන්ම එය ඔබට ඔබේ සහකරුට හෝ සහකාරියට ඔබේ උදවු අවශ්‍ය බව හඳුනා ගැනීමටද හොඳ අවස්ථාවක්. එබැවින් සංවේදනය හැකිතාක් ප්‍රගුණ කරන්න. එතුළින් ඔවුන්ව අවබෝධ කර ගැනීමට හැකි තාක් උත්සාහ කරන්න.

ඔබේ ආදරණීය බැඳීම වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා පළමුව ඔබේ ජීවිතයේ කොටස්කරු නිසි ලෙස අවබෝධ කරගන්න. දෙවනුව ඔහු හෝ ඇයට ඔබව තේරුම් ගන්නට ඉඩහරින්න. ඒ සඳහා සහාය වන්න.

අරෝෂා මේදිනී දසනායක

 උපදේශන මනෝවිද්‍යාඥ