සඳලුතලෙන් බැස දේශපාලුවන් තාලෙට ඉඟසුඟ නටවනවා

0
127

වර්තමානයේදී  පින් කෙත හෙළ රන් දෙරණට වෙලා තියෙන ඛේදවාචකය ගැන අපූරුවට විග්‍රහ කරන සින්දුවක් මගේ කනට වැටුණා. 1983දී බණ්ඩාර ඇහැලියගොඩ රචනා කරලා රෝහණ වීරසිංහ සංගීතවත් කරලා සුනිල් එදිරිසිංහ ගායනා කරපු මේ සරල නමුත් ගැඹුරු අර්ථයක් තියෙන සින්දුව මම මීට කලින් අහලා තිබුණත් අද රට පත්වෙලා තියෙන අභාග්‍යසම්පන්න තත්ත්වයට හේතුව මේ සින්දුවේ තියෙනවා නේද කියලා ආයෙත් මේ සින්දුව අහද්දි මට හිතුණා. ඒ ගැන කියන්න කලින් මේ සින්දුවේ වචන හිමින් සීරුවේ ආයෙත් අපි කියවමු.

තිරය ඇරෙනවා තිරය වැහෙනවා

ඔල්වරසන් හඬ පැතිරෙනවා….

සඳලුතලෙන් බැස මානවිකාවන්

තාලෙට ඉඟසුඟ නටවනවා….

කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති

නළ වතුරෙන් සැනහෙන දරුවෝ….

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුන දරුවෝ….

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට

කරළිය හිමි නැති අපේ ළමයි….

හේනට කුඹුරට ගත සවි දියකර

කරළිය අබියස බලා හිඳී….

පුළුවන් නම් මේ ලිපියේ ඉතුරු ටික කියවන්න කලින් මේ ගීතය රධභබභඡඥ එකේ තව සැරයක් අහන්න.

බණ්ඩාර ඇහැලියගොඩ මේ ගීතය ලියන්නේ ඔහු ලබපු පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන්. බණ්ඩාර ඇහැළියගොඩ කියන්නෙත් ගොවිතැනත්් එක්ක ගොඩක් සම්බන්ධ කෙනෙක්. එක කාලෙකදී ඔහුට විශාල විවිධ ප්‍රසංගයක් නැරඹීමට අවස්ථාව ලැබුණා. එතෙන්දි කොළඹ කාන්තා විද්‍යාලයේ දැරියන් පිරිසක් “බතේ උපත” නර්තනයේ යෙදුණා. ඒ වෙලාවෙදී කැත්ත, උදැල්ල, දෑකැත්ත එක්ක ඔට්ටු වෙලා මඩ ගොවිතැනට සක්‍රියව දායකත්වය දුන්න බණ්ඩාර ඇහැළියගොඩ, වේදිකාවෙන් පහළ ඉඳගෙන වේදිකාව දිහා බලාගෙන ඉන්නවා. දෑකැත්තක්වත් අතින් අල්ලපු නැති කොළඹ ඉන්න දැරිවියන් පිරිසක් ගොයම් නැටුම වේදිකාවේ නටනවා. මෙන්න මෙතැනදී ආපු සිතුවිල්ලක් තමයි බණ්ඩාර ඇහැළියගොඩ ගීතයක් බවට පත් කළේය.

ඔහු ඒ ගීතය එහෙම ලිව්වත් ඒකෙ තියෙන අර්ථය වර්තමාන දේශපාලනයත් එක්ක සියයට සියයක් ගැළපෙනවා නේද කියලා මට හිතුණා. තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඬ පැතිරෙනවා…. අවුරුදු කිහිපයකට සැරයක් එන මහ මැතිවරණ, ජනාධිපතිවරණවලදී තමයි තිරය ඇරෙන්නෙ. මැතිවරණය කවුරුහරි දින්නට පස්සේ ආයෙත් තිරය වැහෙනවා. තිරය ඇතුළෙ වෙන දේවල් අපිට පේන්නේ නෑ.

ඒත් සඳලුතලාවෙන් බැහැලා එන අය නැටුමට ලෑස්ති වෙලා තිරය අරිනවා. එතකොට හැමෝටම සතුටුයි. ඒක දැකලා කරළිය අබියස බලාගෙන ඉන්න ඡන්දදායකයෝ ඔල්වරසන් දෙනවා. ඉහළ සමාජ පන්තියක ඉන්න පිරිසක් සඳලුතලාවෙන් බැහැලා ඇවිල්ලා ප්‍රේක්ෂකයන්ට පේන්න නටනව. ඒ නැටුම දිහා බලාගෙන ඉන්න ඡන්දදායකයෝ ඒ නටන අයගේ ගුණ ගායනා කරනවා. දුක්විඳින ජනතාව හැමදාම වේදිකාවෙන් පහළ ඉඳගෙන බලාගෙන වේදිකාව උඩ නටන අයට අත්පොළසන්, ඔල්වරසන් දෙනවා. ඒ අත්පොළසන් හ¾ඩින් ජයග්‍රහණය ලබාගෙන අර නටපු අය ආයෙත් සඳලුතලාවට යනවා. තිරය වැහෙනවා.

ඒ අය නැටුවේ කළගෙඩි නැටුම්. ඒ අය නැටුවේ ගොයම් නැටුම්. ඒත් ඒ අය කවදාවත් කළයකින් වතුර අරගෙන ඇවිල්ලා නෑ. ඒ අය සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ශවර් එකෙන් නාන අය. ගොයම් නැටුම් නැටුවත් කවදාවත් කුඹුරට බැහැලා නෑ. දෑකැත්තක් අතින් අල්ලලා නෑ. ඒත් ඒ අය නටන නැටුමට රැවටෙන ප්‍රේක්ෂකයෝ උද්දාමයට පත්වෙලා ඔල්වරසන් දෙනවා. ඡන්දය දෙනවා.

ලංකාවට වුණෙත් ඔන්න ඕකයි. ගොයම ගැන තීරණය ගන්නේ ගොයම ගැන හරියට දන්නේ නැති අය. එහෙම අය ගන්න තීරණවලට අනුව ගොයම ගැන දන්න අයටත් වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නෙ, විෂය ඇත්තටම දන්න කෙනා ඒ විෂය ගැන නොදන්න කෙනෙක්ගේ උපදෙස් අනුව වැඩ කරනවා. ඒකෙන් වෙන්නේ ගොයම විනාශ වෙන එක. රසායනික පොහොර සම්බන්ධයෙන් මතුවෙච්ච මහා අර්බුදයත් එක්ක ලංකාවට වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කාබනික පොහොර වගාව ගැන පම්පෝරි ගහපු ගොඩක් අය කුඹුරට බැහැපු අයද? සඳලුතලාවලින් බැහැපු අය ගොයම ගැන නටපු නැටුම් හැමෝම දන්නවා. ගොයම ගැන දන්න ඇත්ත ගොවියෝ ප්‍රේක්ෂකාගාරයට වෙලා සඳලුතලාවෙන් බැහැලා ආපු අය ගොයම ගැන කියන දේවල් දිහා බලාගෙන ඔල්වරසන් දෙන එක මොනතරම් ඛේදවාචකයක්ද ?.

ලංකාවේ දේශපාලනය ඇතුළේ සුදුසුකම් තියෙන හරි අයට කරළිය උරුම නෑ. ඒ අය නටන විදිහ හරියටම දන්නවා. බෙර පදවල තාලෙට කකුල් සෙලවෙනවා. ඒත් ඒ අයට වේදිකාවට නඟින්න සඳලුතලාවේ ඉන්න අය ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා ගොයම ගැන හරි දැනුමක් තියෙන සැබෑ මිනිස්සු හේනට කුඹුරට තමන්ගේ දහඩිය මහන්සිය ශ්‍රමය ධනය කැප කරලා වේදිකාවෙන් පහළට වෙලා බලාගෙන ඉන්නවා.

ලංකාවේ දේශපාලනය ඇතුළේ හරියටම වෙන්නේ මෙන්න මේකයි. සඳලුතලාවල ඉන්න පිරිසක් විසින් පොළොවේ ඉන්න ඇත්ත මිනිස්සු ගැන තීරණ ගන්නවා. මහ පොළොව ගැන ප්‍රායෝගික අත්දැකීම් නැතුව සඳලුතලයට වෙලා ඉන්න අය ගන්න මේ තීරණ වැරදුණාට පස්සේ ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහපොළොවේ පයගහලා ඉන්න ජනතාවට. මධ්‍යම පන්තිය සහ පහළ පන්තියේ මිනිසුන්ගේ දුක තේරෙන්නෙ නැති සුඛෝපභෝගී පැලැන්තියේ දේශපාලකයන් පිරිසක් තමන්ගේ හිතු මනාපෙට තීරණ අරගෙන රට පාලනය කරනවා. ඒ අය ගන්න වැරදි තීරණවල වන්දි ගෙවන්න වෙන්නේ වේදිකාවෙන් පහළ ඉන්න ජනතාවට.

හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වේදිකාව උඩ නර්තනයේ යෙදෙන ඒ නැටුම්වලට ප්‍රේක්ෂකාගාරය හැමදාමත් අහුවෙන එක. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂකාගාරයේ තියෙන මෝඩකම. ඒ මෝඩකම ගැන ප්‍රේක්ෂකාගාරයට අවබෝධ නොවිය යුතු නිසා තමයි වේදිකාවේ ඉන්න අය හැමතිස්සෙම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අයව ලස්සන සුන්දර වචනවලින් අන්දවන්නෙ. ඒ වගේම මේ මෝඩ ප්‍රේක්ෂකාගාරය බුද්ධිමත් කියලා වේදිකාවේ නටන අයගේ කටින් නිතර නිතර පිටවෙනවා.

බුද්ධිමත් මහජනතාව බුද්ධිමත් ඡන්ද දායකයෝ වගේ කියමන් භාවිත කරලා සඳලුතලාවේ ඉන්න අය වේදිකාවේ නටලා ප්‍රේක්ෂකාගාරය රවට්ටනවා. ඊට පස්සේ ආයෙත් සඳලුතලාවට ගිහිල්ලා සුරසැප විඳිනවා. මෙන්න මේ සරල දේශපාලන යථාර්ථය තේරුම් නොගන්න තාක්කල් අපිට ගොඩ එන්න බෑ.

ලක්මිණ රණසිංහ