ශ්‍රී ලංකාවට පැමිණි හොඳම ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම මෙයයි

0
50

පසුගිය කාලය පුරා ශ්‍රී  ලංකාවේ ටෙස්ට් තරග සංචාරයන්හි නිරත වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතුරින් දඟ පන්දු යවනන්නන්ට වඩාත්ම සූදානම් සහ හොඳින්ම මුහුණදෙන කණ්ඩායම වත්මන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම බව තම අදහස වී ඇතැයි ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු උස්මාන් කවාජා පවසා ඇත.

ඒ අනුව අනිද්දා (29දා) ආරම්භ වීමට නියමිත ශ්‍රී  ලංකා-ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය සම්බන්ධයෙන් අන්තර් ජාලය ඔස්සේ එරට ක්‍රිකට් පාලක මණ්ඩල නිල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබූ කවාජා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ 2016 වසරේ ලද අමිහිරි පරාජයෙන් අනතුරුව තමන් ඇතුළු කණ්ඩායම වඩාත් හොඳ සූදානමකින් වැරදි නිවැරදි කරගනිමින් මෙවර ශ්‍රී  ලංකාවට මුහුණදීම වෙනුවෙන් එක්ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කවාජා පවසා තිබුණේ මෙවැන්නකි. “පසුගිය තරග සංචාරයේදී එනම් 2016 වසරේදී ශ්‍රී  ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරග 3 සඳහා වෙන වෙනම සැළසුම් සකස් කර තිබුණා. එය කිසිසේත්ම නොවිය යුත්තක් ලෙස මා දකිනවා. ඒ අනුව මෙයට පෙර ක්‍රියාත්මක වූ පාකිස්තාන තරග සංචාරයට පෙරත් කණ්ඩායම් සැලසුම් සකස් කිරීමේදී මා මේ බව පෙන්වා දුන්නා. විශේෂයෙන් ශ්‍රී  ලංකාව වැනි රටක ක්‍රීඩා කරද්දී පිතිකරණය ඉතාමත් අසීරු අභියෝගාත්මක වන අතරම එහි තත්ත්වයන් ක්ෂණිකවම වෙනස්වන සුළු වීම ඊට හේතුවයි. ඒ අනුව මාගේ පෞද්ගලික අදහස නම් අවසන් වරට 2016 වසරේ මෙහි සිදු කළ සංචාරයේදී අපි කිසිදු ලෙසකින්වත් සූදානමකින් හොඳින් ක්‍රීඩා නොකළ බවයි.”

ඒ අනුව පසුගියවර ශ්‍රී  ලංකාවේ තරග සංචාරය කළ කණ්ඩායමට වඩා හොඳ සූදානමකින් යුත් දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදිය හැකි කණ්ඩායමක් මෙවර තමන් සතු බවද පවසා තිබූ ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවා “මාගේ ක්‍රීඩා දිවිය තුළ මා සාමාජිකත්වය දැරූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතුරින් දඟ පන්දු යවන්නන්ට මුහුණදීමේ හැකියාව අතින් ඉහළින්ම පසුවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙය බව මාගේ විශ්වාසයයි. අපි පසුගිය පාකිස්තාන සංචාරයේදීත් එය ඔප්පු කර පෙන්වා තිබෙනවා.” ලෙස සඳහන් කර තිබිණි.

එමෙන්ම ශ්‍රී  ලංකාවෙන් එල්ල විය හැකි අභියෝගය වෙනුවෙන් තම පෞද්ගලික සූදානම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළකර තිබූ කවාජා පවසා තිබුණේ මෙවැන්නකි. “මෙයට පෙර මාගේ ක්‍රීඩා දිවිය තුළ යොදා නොගත් පහරවල් කිහිපයක් මෙහිදී දඟ පන්දු යවන්නන් වෙනුවෙන් යොදා ගැනීමට මා සැළසුම් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී  ලංකාවේදී පිතිකරුගේ සීමාව උපරිමයෙන් භාවිතා කිරීම දඟ පන්දු යවන්නන්ට මුහුණදීමේදී සාර්ථකම ක්‍රමයක් ලෙස මට හැඟී යනවා. කෙසේ වෙතත් ඒ සැමට වඩා ශ්‍රී  ලංකාවේදී ක්‍රීඩා කරන්නේ නම් සාර්ථක වීමට යම් කිසි වාසනා ගුණයක් පැවතිය යුතු බවත් මා තරයේ විශ්වාස කරන කරුණක්.” මේ අතර පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට ස්ටීවන් ස්මිත් සූදානමින් පසුවන බවද වාර්තා වේ.

ගමිත දෙහිපිටිය