පාසල් ක්‍රිකට් තරග ඇරැඹේ

0
15

ශ්‍රී  ලංකාව තුළ මේ වනවිට පවත්නා දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කිරීමට නියමිතව තිබූ අවුරුදු 15න් හා 17න් පහළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ දැඩි අපහසුතාවක් නිර්මාණය වී ඇතැයි “මව්බිම”ට වාර්තා වේ.

එහිදී මෙම වයස් කාණ්ඩයේ තරගාවලියන් මෙම මස මැද භාගයේදී පැවැත්වීමට මෙයට පෙර තීරණය කර තිබුණද රට තුළ විද්‍යමාන වී ඇති ආර්ථික අර්බුදය හමුවේ එම තරගාවලියන් පැවැත්වීමේ දින වකවානු වෙනස් කිරීමට පාසල් ක්‍රිකට් සංගමයට සිදුවී ඇත.

ඒ අනුව අවුරුදු 15න් හා 17න් පහළ තරගාවලියේ පළමු තරග තුනක් ජුලි මස 20 වැනිදාට පෙරත්, ඉතිරි තරග අගෝස්තු මස 10 වැනිදාට පෙරත් පැවැත්වීමට මේ වනවිට තීරණය කර ඇති නමුත් ප්‍රවාහන හා අනෙකුත් දුෂ්කරතා තවදුරටත් සංකීර්ණ වුවහොත් මෙම දින වකවානුවල යම් වෙනස් වීමක් සිදුවිය හැකි බවද පැවැසේ.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ තරග කිහිපයක් ඊයේ (27දා) සිට හදිසියේම පවත්වන්න තීරණය කර තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සභාපති තිලක් වත්තුහේවා මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි. “යොවුන් ලෝක කුසලානයට සහභාගි කරවන සංචිතයට ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා මෙම තරගාවලි දෙක තමයි අපිට තියෙන වැදගත්ම තරගාවලි දෙක. ඒ නිසයි මෙය පැවැත්වීමට අපි උපරිම උත්සාහ කරන්නේ. ඒත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක. ඒ කියන්නේ ප්‍රවාහන පහසුකම්, ක්‍රීඩාංගණ වෙන්කර ගැනීමේ ගැටලු හින්දා අපි ලොකු අමාරුවක වැටිලා තියෙනවා මෙම තරගාවලි දෙක අවසන් වන තෙක් පවත්වා ගන්නේ කොහොමද කියලා. ඒත් දැනට අපි තීරණයකට ආවා ජුලි 20ට පෙර පළමු තරග තුනත්, අගෝස්තු 10ට පෙර අනෙක් තරඟත් පවත්වන්න”

විචිත්‍ර වීරසිංහ