නොයන් පුතුනි රට හැරදා

0
81

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මහේෂ් විජේසූරිය වාර්තා කළ පුවතක් ඊයේ අප ‘මව්බිම’ මුල් පිටුවෙහි පළ වී තිබිණි. පුවතින් ප්‍රකාශ වුණේ මේ රටේ පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව රැකියා සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරක වීසා ඇතිව පැමිණි තරුණ පිරිසක් රැකියා නොමැතිව අසරණව සිටින බවය. මේ අතර ඇතැමුනට මහ මඟ සිඟමන් යදින්නට සිදුව ඇති බවද එම වාර්තාවෙහි සඳහන් විණි. මේ බරපතළ ඛේදනීය තත්ත්වයකි. සිදු නොවිය යුත්තකි.

යට කී පුවතෙහි තවදුරටත් විස්තර වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි, ඩුබායි, සාජා, රසල් අයි කයිමා, අජ්මාන්,  පුරේරා ඇතුළු නගර රැසකට රැකියා සොයා පැමිණි බොහෝ ශ්‍රී  ලාංකිකයන්ට අපේක්ෂිත රැකියා නොලැබීම හේතුවෙන් විවිධ තාඩන පීඩනවලට මුහුණ දෙන්නට සිදුව ඇති බවය. මොවුන් වැඩි පිරිසක් ව්‍යාජ රැකියා ඒජන්සි මඟින් විදේශගතව සිටින උදවියයි. ලක්ෂ ගණනින් මාසික වැටුප් ලබාගත හැකිය යන අපේක්ෂාව ඇතිව බොහෝදෙනා ඒජන්සිකරුවන්ට මුළා වී ඇති බවද දැනගන්නට ලැබී ඇත. මේ දිනවල එම රටවල පවතින කාලගුණ තත්ත්වය අනුව දැරිය නොහැකි තරමේ දැඩි උණුසුමකටද ලක් වන්නට ඔවුන්ට සිදුව තිබේ. නිරර්ථක අපේක්ෂා රැසක් ඇතිව අප රටේ පුරවැසියන් මෙසේ දහදුක් විඳින්නේ ඇයි? ආණ්ඩුවේ බලධරයන් මේ සම්බන්ධව සොයා බැලිය යුතු නොවේද?

මේ දිනවල ආගමන විගමන බලපත් ලබාගැනීම සඳහාද පෝලිම්ය. ස්ථාන කිහිපයක උද්ඝෝෂණද ඇතිවූ බව වාර්තා වී තිබිණි. රජයේ සේවක සේවිකාවන්ටද විදේශ රැකියා සඳහා ඉඩ ප්‍රස්තා සලසාලමින් ඒ වෙනුවෙන් දිරි ගැන්වීම්ද කරන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව සැරසෙන්නේ විදේශ ශ්‍රමිකයන් මඟින් මේ රටේ විදේශ සංචිතය ඉහළ නංවා ගන්නට විය හැකිය. එසේ නැත්නම් ආර්ථික අර්බුදය හමුවේ උද්ගතවන රැකියා වියුක්තියට පිළියම් යෙදීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති හෙයින් ඊට සරල විසඳුම් සොයා ගැටලුවෙන් මිදෙන්නට විය හැකිය. එහෙත් පවතින ආර්ථික අර්බුදයෙන් මේ රට මුදවන්නට මේ කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍ෂණික විසඳුම් නොවන බව කිව යුතුය.

කොවිඩ් -19 වසංගතයත් යුක්රේන යුද්ධයත් හේතුවෙන් ගෝලීය ආර්ථිකය වඩාත් විශාල ලෙස මන්දගාමීව ඇතැයිද එය දිගුකාලීනව දුර්වල ආර්ථිකයක් ලෙස පවතිනු ඇතැයිද ඒ නිසාම උද්ධමනය ඉහළ යනු ඇතැයිද ලෝක බැංකුව ගෝලීය ආර්ථිකය පිළිබඳ වාර්තාවක් මඟින් පෙන්වා දෙයි. ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් කියන්නේ යුක්රේන යුද්ධය හා චීනයේ පැවැති ලොක්ඩවුන් තත්ත්වයත් අන්තර් ජාතික සැපයුම් ක්‍රමවලට එල්ල වී ඇති බාධාත් හේතුවෙන් ගෝලීය ආර්ථික සංවර්ධනයට පහර වැදී ඇති බවය. මෙබඳු පසුබිමක මේ රට හැරදා විදේශගත වී රැකියා සොයා ගොස් අතරමංවීම ගැන පුදුම විය යුතු නැත. ලොව බොහෝ රටවල රැකියා වෙළෙඳපොළ තවමත් විධිමත් තත්ත්වයට ගොඩනැඟී නැත.

මහා බි්‍රතාන්‍යයේ මා නූපන්නානම් මා ඉපදිය යුතුව තිබුණේ ශ්‍රී  ලංකාවේය. අපේ රට ගැන ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඒ කාලයේ එසේ සඳහන් කොට තිබිණි. වර්තමානයේ මේ රටේ ශ්‍රමිකයන් උත්සාහ කරමින් සිටන්නේ උපන් බිම අතහැරදා වෙනත් රටකට ගොස් රන් කහවුණු – මසුරන් පොදි බැඳගෙන එන්නටය. එහෙත් එමීර් රාජ්‍යයට ගොස් රැකියා නැතිව සිඟමනේ යන තැනට පත්වන්නට බොහෝදෙනකුට සිදුවුණි නම් සෙසු රටවල සුර සැප හීන ගැන කවර කතාද?

මෙයින් වසර හතළිහකට පනහකට තරම් පෙර යුගයේ උගතුන් රට හැර යෑම, බුද්ධි ගලනය පාසලේ ඉහළ පන්තිවල සිංහල රචනා මාතෘකාවකි. පාසලේ සිංහල ගුරුවරයා ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරමින් සිසුන්ට කියා දුන්නේ උගතා, ශ්‍රමිකයා මේ රට අතහැරදා ගිය විට රටේ ආර්ථිකය කඩා වැටෙන්නට මඟ සැලසෙන ආකාරය ගැනය. අද ඒ තර්ක විතර්ක කණ පිට හරවාගෙනය. මේ රටේ ජීවත්වන්න බැහැ. පුළුවන් නම් කොහේ හරි කමක් නැහැ රටකට පැන ගන්න එකයි තියෙන්නේ. මේ දැන් එහෙන් මෙහෙන් වැඩිපුරම ඇහෙන කතාවය. කොහොම කොහොම හරි  විය පැහැදම් කරගෙන රට ගියත් අන්තිමට සිදුවන්නේ හිඟමන් යදින්නට නම් ඒ රට පැනිල්ලෙන් ලැබෙන සුගතිය කුමක්ද?

මේ රට ජීවත්වන්නට බැරි තැනට ඇද දැමුවේ කවරහුද? තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල වටිනා කාලය කා දමමින් දහදුක් විඳින තැනට රටේ ජනතාව යොමු කළෝ කවරහුද? ඉන්න හිතෙන රටක් ගැන ඒ කාලයේ කතා කළ උදවියටද එහෙම රටක් ගොඩනඟන්නට පුළුවන් වුණේ නැත. අද ආණ්ඩුවටද හිඟමන හොඳට හුරුපුරුදුය. තිබුණු දේ නැති නාස්ති කරගෙන ලැබෙන දේ නිසි ලෙස පරිහරණය නොකොට සියල්ල නන්නත්තාර වූ පසුව දැන් ඉතින් සිදුවී තිබෙන්නේ ලෝකයට අතපාන්නටය.

“තෙල් නැවක් එවන්න සමාගම් 40ක්ම බැහැ කිව්වා. එන්න තිබුණු තෙල් නැවත් අත්පිට මුදල් ඉල්ලුවා.” මේ බලශක්ති අමාත්‍ය කංචන ලොව සෙසු රටවල් මේ රටට දක්වන සැලකිල්ලේ තරම කියා ඇති සැටිය. පරිභෝජනය සීමා නොකළොත් තෙල් අර්බුදය විසඳන්න තව වසරක්වත් ගතවන බව ඔහු කියයි. මෙහෙම ඍණ ආකල්ප ඇති කරවන රටක ජීවත්වනවාට වඩා එමීර් ගිහින් හිඟාකන එකත් සැපයි කියා කියන්නට මේ රටේ තරුණ තරුණියන්ට දැන් සිදුවී තිබේ. “නොයන් පුතුනි රට හැරදා” යනුවෙන් රටේ දූ පුතුනට කියන්නට හැකිවනු ඇත්තේ මේ රට නිදහසේ සුවසේ ජීවත්විය හැකි තැනක් බවට ගොඩනැඟූ කලය. අප සියල්ල කැප කළ යුත්තේ ඒ වෙනුවෙනි.

“වෙසෙන සඳ මේ පාළු ලෙන තුළ

නෙක් දිසා සිත පියාඹා යයි

නොමඳ සිතිවිලි සීන බියකරු

බූත වෙස්ගෙන මා පෙළයි නිති”

මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ ගී ඛණ්ඩයකි. තරුණ සිතිවිලිවල ස්වභාවය කියා පාන තැනකි. අද මේ රට ගැන වුවද තරුණ පරපුර සිතනු ඇත්තේ පාළු ලෙනක් සේය. ආර්ථික අර්බුදය විසින් ඇති කළ පාළුවකි මේ. එහෙත් මේ තත්ත්වය වහා වෙනස් කළ යුතුය. ඒ සඳහා වගකිවයුත්තන් පෙළ සැදිය යුතුය.

මේ කතු සටහනට සිංහබාහු උද්ධෘතය එකතු කරන්නට හේතුවකි. මේ රටේ ශ්‍රමිකයන් හිඟමනේ යමින් සිටි බව කියන එමීරයේ එමිරේට්ස් අන්තර් ජාතික පාසල් වේදිකාවේ විසිහත් වසරකට පසු සිංහබාහු නව නාට්‍ය කණ්ඩායම එම නාට්‍යය රඟදක්වා ඇත. ඒ ඉකුත් ජුනි 5දාය. එදින රඟහල රසික කැලගෙන් පිරී ඉතිරී ගිය බවත් ඔවුන් මහත් සේ ආනන්දයට පත්ව සිටි බවත් කියයි.

ශ්‍රී  ලංකාව හැර දමා යා යුතු රටක් නම් නොවේ. එය හදා වඩා රැකබලා ගත යුතුමය.