ජාතික ධනය ගිල දමන රජයේ සුදු අලි

0
178

1948 නිදහසින් පසුව ශ්‍රී  ලංකාවේ පාලන බලය භාර ගත් සියලු නායකයන් වර්තමානයේ ශ්‍රී  ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය භාර ගත යුතු බව සමහරු අදහස් දැක්වුවද එය සාධාරණ නොවේ. එය සත්‍යයද නොවේ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී  ලංකාව අපේ නායකයන්ට භාර දෙන විට භාණ්ඩාගාරය හිස්ව තිබුණේ නැත. මේ භාණ්ඩාගාරය හිස් කළේ මේ රටේ දූෂිත දේශපාලනය හා අකාර්යක්ෂම, නිසි ක්‍රමවේදයක්, නිසි ප්‍රතිපත්තියක් හා අනාගත සැලසුමක් නැති රාජ්‍ය සේවය හා ඉහළ පෙළේ දූෂිත නිලධාරීන්ය.

විශේෂයෙන්ම මේ රට දූෂණය, වංචාව, හොරකම සඳහා වැඩි වශයෙන් යොමු වූයේ 1977න් පසුව ඇති කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙනි. විවෘත ආර්ථිකය ගැන කවුරු මොනවා කිව්වද එයින් රටට යහපතකට වඩා අයහපත සිදු වී ඇති බව අද වන විට ඕනෑම අයකුට ප්‍රත්‍යක්ෂ වන කාරණයකි.

1977න් පසුව සිදු වූ බල පෙරළිය මඟින් ආර්ථිකයේ යම්කිසි තාවකාලික පිබිදීමක් ඇති විය. එහෙත් තේ, රබර්, පොල් යන වැවිලි ආර්ථිකය මත රැඳී තිබූ ආර්ථිකය විදේශ රැකියා, ඇඟලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය මත පදනම් වූ ආර්ථිකයක් බවට පත් විය. රටේ නිෂ්පාදන කර්මාන්ත සියල්ල කඩා වැටුණු අතර අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි විය. මෙය පාලනය කිරීමට කිසිම පාලකයෙක් උත්සාහ නොගත් අතර විදේශ විනිමය ලැබීම්වලට වඩා විදේශ විනිමය වැයවීම් වැඩි විය.

දශක ගණනාවක සිට සිදු වූ මෙම සිදුවීමත් 2005-2015 දක්වා බලයේ සිටි මහින්ද රාජපක්ෂ පාලනය කෝටි ලක්ෂ 10 (ටි්‍රලියන 10) පමණ විදේශ ණය අධික පොලී පදනම මත ගෙන ඒවා රටේ ආදායම් ලැබෙන, විදේශ විනිමය ලැබෙන මාර්ගවල නොයොදා ඒවා මඟින් අධික ලෙස කොමිස් ගැසීම්, හොරකම් හා ඇස්තමේන්තු මඟින් අධික ලෙස වංචා කිරීම නිසා වර්තමානයේ අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදවලට මූලික හේතු සාධකය විය. 2005 වන විට අප රට විදේශ රටවලට ණය වී තිබුණේ කෝටි ලක්ෂ 02ක මුදලකි (ටි්‍රලියන දෙකකි). ඒ 1948 – 2005 කාලය තුළයි. කඩිනම් මහවැලිය වැනි මේ රටේ සංවර්ධන ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කළ පසුබිමක් මතය. මහවැලියෙන්ද එජාප ආණ්ඩුව හොරා කෑවේය. ඒ බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

1948න් පසුව මේ රට පාලනය කළ නායක/නායිකාවන් අතරින් අභාවප්‍රාප්ත ඩී.ඇස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මේ රට නිසි මාර්ගයට ගැනීමට උත්සාහ ගත් බව පෙනේ. එම නිසා රට වැනසීමට සියලු නායකයන් සම්මාදම් වූ බව ප්‍රකාශ කිරීම යථාර්ථවාදී නොවේ. ඒ සඳහා අඩු වැඩි වශයෙන් සම්මාදම් වූයේ මේ රටේ ජනතාව ඉදිරියේ වීරයන් ලෙස පෙනී සිටීමට උත්සාහ දැරූ ඊනියා දුටුගැමුණුලාය. විහාරමහාදේවිලාය. අද රටට විය යුතු සියල්ල  සිදු වී අවසානය. “ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගන්නට බැරිය.”

දැන් අප සිතිය යුත්තේ මේ රට නැවත ගොඩ ගත යුත්තේ කෙසේද යන්න ගැනයි.  මෙහිදී මේ රටේ දූෂිත දේශපාලනය හා දේශපාලනඥයන් ගැන කතා කරන අතර අකාර්යක්ෂම, දූෂිත රාජ්‍ය සේවය ගැනද කතා කළ යුතුයි. රටේ සමස්ත ජනතාව වූ මිලියන 22 ගෙවන බදු මුදලින් 86%ක් මේ රටේ මිලියන 1.5 (ලක්ෂ 15) ක් වූ රාජ්‍ය සේවකයන් නඩත්තු කිරීමට වැයවේ.  නැත්නම් මේ රට උපයන සෑම රුපියල් 100කින්ම රුපියල් 44ක් රාජ්‍ය සේවකයන් සඳහා වැයවේ. නමුත් සමස්ත රාජ්‍ය සේවයේ රාජ්‍ය ආදායමට දායකත්වය 6.8%ක් පමණි. ඒ වගේම මේ රටේ සමස්ත ජනතාවට මේ රටේ රාජ්‍ය සේවයේ බර දැරීමට සිදුවී ඇති අතර මිලියන 20.5ක් වූ ජනතාව මිලියන 1.5 (ලක්ෂ 15) රාජ්‍ය සේවකයන් නඩත්තු කරයි. නමුත් මිලියන 20.5 ක් වූ ජනතාවට රටේ බදු ආදායමෙන් ලැබෙන්නේ 14%ක් පමණි. මෙය මොන තරම් අසාධාරණද?

1977න් පසුව වැඩිපුර පාලකයන් විසින් රාජ්‍ය සේවයට අසීමිතව ජනතාව බඳවා ගත්තේ රටේ සංවර්ධනය සඳහා නොව තමන්ගේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට අවශ්‍ය නිසාය. මෙයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලක්ෂ 09ක් පමණ රාජ්‍ය සේවයට බඳවා ගෙන රට විනාශයට යන මාර්ගයට පාර කැපීය. රට වනසන රාජ්‍ය ආයතන අතර ශ්‍රී ්‍රි ලන්කන් ගුවන් සේවය ප්‍රමුඛය. මෙම ආයතනය නිසා මේ රටේ සමස්ත ජනතාව (මිලියන 22) රුපියල් 17,000 බැගින් ණය කර ඇත. විදුලි බල මණ්ඩලයද තවත් එවැනි රට වනසන යෝධයෙකි.

තෙල් සංස්ථාව මෙන්ම ජනතාවට සේවයක් වුවද ශ්‍රී  ලංකා දුම්රියද එවැනිය. අධික ලෙස වංචා දූෂණ පාඩු සිදුවන තවත ආයතනයකි. ශ්‍රී  ලංකා රේගුව, එමෙන්ම මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවද අන්ත දූෂිත ආයතනයන්ය. පොලිසිය හා බන්ධනාගාරය ගැනද මේ රටේ ජනතාව පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් සමඟ හොඳින් දනී. සමස්තයක් ලෙස රටේ පරිපාලනය මෙහෙය වන දිසාපති කාර්යාලය, උප දිසාපති කාර්යාලය සර්ව සාධාරණ දූෂිත නොවන ආයතන නොවේ. ඒවායෙහි සිදුවන දූෂණයන් එළිපිට සිදු නොවේ. විශ්වවිද්‍යාල පද්ධතියද දූෂිත බව පසුගිය කාලයේ පුවත්පත් මඟින් අපට දැනගන්නට ලැබීණි. එසේ නම් මේ රටේ රාජ්‍ය සේවය ගැන උදන් අනන්න අපට හැකිද?

මේ අතර ජනතාව නොදන්නා තවත් ආයතනයක් ගැනද කතා කළ යුතුව ඇත. මේ රටේ කිරි නිෂ්පාදනය සමස්ත ඉල්ලුමෙන් 15%ක් පමණි. ඉතිරි 85% සඳහා විදේශ විනිමය වැය කිරීමට සිදු වී තිබේ. මේ රටේ සමස්ත කිරි නිෂ්පාදනයට දායක වන පාර්ශ්ව කිහිපයක් තිබේ. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයයි. මෙයින් පෞද්ගලික අංශය සමාගම් කිහිපයකින් හා පවුල් ලක්ෂ 03 කින් සමන්විත වේ. රාජ්‍ය අංශය සමන්විත වන්නේ N.L.D.B. නොහොත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයයි. මෙම ආයතනයෙන් රටේ කිරි නිෂ්පාදනය සඳහා දායක වන්නේ 3%ක පමණ ප්‍රමාණයකිනි. මෙම ආයතනය තුළ රට පුරා ඇති කිරි ගොවිපළවල කිරි දෙනුන් 10,000ක් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර දෛනික කිරි නිෂ්පාදනය වර්තමාන වන විට ලීටර් 40,000 සිට 20,000 දක්වා පහළ බැස ඇති බව වාර්තාවේ. එසේ නම් දෛනික කිරි නිෂ්පාදනය 50%කින් අඩු වූයේ ඇයි? සෑම කිරි ගොවිපළකම ආහාර නිෂ්පාදනය සඳහා පහසුකම් තිබියදී ඒවා වැඩි මිලට පිට ආයතනයෙන් ගෙන මිලදී ගෙන අධික ලෙස වංචාවන් හා කොමිස් ගැසීම් සිදු කරන බව ජනතාව මෙන්ම සේවකයෝ පවසයි.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයිති සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 30,000ක් බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙයින් පොල් අක්කර 12,000ක් පමණ ඇති අතර උඩරට පළාතේ අක්කර 4,000ක් පමණ ඇති බව පැවැසේ. පොල් වගාවට අමතරව එළවළු, මල්, ස්ට්‍රෝබෙරි, දොඩම් වගාවද තිබෙන බව පෙනේ. රට පුරා ගොවිපළවල් 31ක් පමණ තිබෙන අතර සමස්ත සේවක ප්‍රමාණය 3,000ක් පමණ වේ. මෙයින් කළමනාකරුවන් 40ක් පමණද ඉහළ විධායක මට්ටමේ නිලධාරීන් 05ක් පමණද සිටින බව පැවැසේ.

ඒ අතර ඉතා හොඳ මානව සම්පතක් මේ ආයතනය සතුව පවතී. සේවකයන්ටද ඉතා හොඳ පහසුකම් ඇති බව පැවැසේ. නමුත් වර්තමාන පාලනය යටතේ එම ආයතනය විනාශමුඛය කරා ගමන් කරන බව ජනතාව මෙන්ම සේවකයෝද පවසති. එයට උදාහරණ වශයෙන් ඔවුන් ලබා දෙන්නේ පහත කරුණුය. සමස්ත කිරි නිෂ්පාදනය 50% කින් අඩුවීම, කිරි ගොවිපළවල් කෝටි ගණනකින් පාඩු සහිතව පවත්වා ගැනීම, එමෙන්ම N.L.D.B. යටතේ ඇති ඉඩම් අක්කර 30,000ක් කිසිම ප්‍රයෝජනයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින බව ජනතාව පවසති.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති N.L.D.B. යටතේ පාලනය වන පොල්වතු විනාශයට යමින් පවතී. මේවා නිසි ලෙස නඩත්තු නොකරන අතර ආරක්ෂක ක්‍රමවේද මායිම් වැටවල් නොමැති කමින් වතුවල තිබෙන සම්පත් විනාශ වන අතර පොල් ඵලදාවද අවට ගම්වැසියන් හා සංවිධානාත්මක සොරුන් විසින් ගෙනයන බව සේවකයෝ පවසති. මෙම හොරකම්වලට සමහර සේවකයන්ද සම්බන්ධ බව පැවැසේ. නිසි ලෙස පොහොර නොයෙදීමත්, නඩත්තු නොකිරීමත් නිසා පොල් ඵලදාව විශාල ලෙස අඩු වී ඇත. පසුගිය කාලයේ පොල් ගෙඩි දසලක්ෂයක් ගොවිපළවල් තුළ  පැළ වී විනාශ වී ඇති බව තොරතුරු දන්නා අය පවසති. ඒවාගේම කිරි ගොවිපළවල් රාශියක සම්පත් හා කෝටි ගණනක මුදල් නාස්තිවන බවද වංචා කරන බවද පැවැසේ.

ඉහළ නිලධාරීන්ගේ ඥාති සංග්‍රහය, හිතවත්කම් මත ලබා දෙන කොන්ත්‍රාත් මඟින් ආයතනයට විශාල පාඩුවක් හානියක් සිදු වී තිබේ. ඒවාගේම ආයතනය තුළ පත්වීම් ලබා දීම, උසස් වීම් ලබාදීම ආයතනයේ පරිපාලන නීතීරීති, රෙගුලාසි මෙන්ම ආයතන සංග්‍රහයේ නීරීතිවලටද පටහැනිව ලබා දී ඇති බව පැවැසේ.

ඉහළ නිලධාරීන්ගේ අවිනීත, විනයගරුක නොවන බලපෑම්වලට අවනත නොවන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ඉතා දුෂ්කර ප්‍රදේශවලට ලබාදී ඇති බව අනාවරණය වන අතර දක්ෂ මෙන්ම ක්‍රියාශීලී සේවකයන් අධෛර්යවත් වීමෙන් ආයතනයට විශාල පාඩුවක් සිදුවේ.

ඉහළ නිලධාරීන් N.L.D.B.හි දේපළ මෙන්ම වාහනද අයථා අන්දමින් පාවිච්චි කරන බව සේවකයන් පවසන අතර සමහරු වාහන 03ක් පමණ පාවිච්චි කරන බවද පවසති. ඒ ආයතනයේ ඉහළම නිලධාරියකු බවද පැවැසේ. මෙම රාජකාරි වාහන පවුලේ ප්‍රයෝජනය සඳහා ද යොදා ගන්නා බව සේවකයෝ පවසති. සමහර පාලකයෝ යටතේ මෙරට ගෙනා කිරිදෙනුන් 1,000 ගණනක් මිය ගියේය. සමහර පාලකයෝ මෙන්ම නිලධාරි කෝටි 100 ගණනක් මුදල් වියදම් කළද කිසිම කිරි ගවයකු රටට ලැබුණේ නැත. මේවා ජාතික අපරාධයන්ය. වර්තමාන පාලනය යටතේද N.L.D.B. ආයතනය විනාශ වන බව සේවකයෝ පවසති.

මැති _ ඇමැතිවරු පාර්ලිමේන්තුවේ පුරසාරම් ‍ෙදාඩවති. 19,20 හා 21 සංශෝධන ගැන තර්ක විතර්ක කරති. එහෙත් මෙවැනි ජාතික අපරාධ නැවැත්වීමට වගබලා ගන්නා පටක් නැත. කිවයුතුව ඇත්තේ මේ පාලකයන් 73 වසරක් පුරා ගායනා කළ බයිලා දැන්වත් නතර කළ යුතු බවය. නොඑසේනම් ජනතාව විසින් සියල්ල නතර කරනු ඇත. ගායනා කළ බයිලා සීපද දැන් ඇති යැයිද අවසන් වශයෙන් ප්‍රකාශ කරමි.

ධර්මසේන ඔරුතොට