ඉන්න ට්‍රැක් එක හරිනම් ට්‍රැක් පැනපු මිනිස්සු මුණ ගැහෙනවා We never go on wrong roads

0
75

‘අපි මේ යන්නෙ වැරදි පාරකද’ කියලා ජීවිතේ සමහර අවශේෂ කලාපවලදී මට ඕන තරම් හිතිලා තියෙනවා. මම යන පාර හරිද කියලා මම මගෙන්ම ප්‍රශ්න කරපු ප්‍රශ්නවාචී කාලසීමා මට ජීවිතයේ ඕනෑ තරම් මුණගැහිලා තියෙනවා. යන පාර වැරදියි නේද, ගිය පාර වැරදියි නේද කියලා මම මටම ප්‍රත්‍යක්ෂ කරගත්ත, මම මටම තදින් අවධාරණය කරගත්ත කලකිරුණු සහගත හෝරා අනන්ත අප්‍රමාණව මම පහු කරලා තියෙනවා.

ගමන් කරන මාර්ගවල මුණගැහෙන සමහරක් රළු ගල්පර වගේ බාධකවල වැදිලා හීන කුඩු පට්ටම් වෙනකොට, අනපේක්ෂිත වළවල්වල වැටිලා අපි මංමුළා වෙනකොට, සියලු ශක්තිය වැයවෙලා රතු කට්ටටම හෙම්බත් වෙනකොට ඕනම පෘථග්ජන ජීවියෙක්ට එහෙම හිතෙනවා.

ඕනම මිනිහෙක්ගෙ ඇතුළත එහෙම හැඟීම් උනනවා. එහෙම වුණාම කොහේ හරි අස්සක ගුළිවෙලා, හිරවෙලා, ඇදවෙලා, වකුටුවෙලා බොහොම දුක්ඛිත විධියට තමන් ආපු මඟ විවේචනය කරන්න, ඒ ගැන පශ්චාත්තාප වෙන්න, ඒ ගැන කලකිරෙන්න, පසුතැවෙන්න පසුබට වීමකින් තොරව අපි ඉදිරිපත් වෙනවා. එහෙම මොහොතක අපිට අපි ආපු මාර්ගවල තිබුණා කියල පේන්නෙම ප්‍රශ්න, ගැටලු සහ වැරදි විතරයි. එහෙම වෙලාවට අපි ඒ මාර්ගවල කළ සියලු උත්සාහයන්, ප්‍රයත්නයන්, කැපකිරීම් යන සියල්ල පෙනෙන්නේ අර්ථ විරහිත ස්වරූපයකටයි.

මට මතක විධියට කාලෙකට කලින් මම එහෙම හැඟීමක හිටියා. මට හමුවුණු සමහර මිනිස්සු වැරදියි කියලා දැනෙනකොට, මම කරපු සමහර වැඩ මගේ නිශ්චිත ඉලක්කයට සමපාත නෑ කියලා දැනෙනකොට, ඒ කරපු වැඩ ගැන, ඒ මිනිස්සු එක්ක ආගිය මංමාවත් ගැන මම වැරදිකාර හැඟීමක් ඇතිකර ගත්තා. ඒ මාර්ගවල ගමන් කරන්න මම වැය කළ කාලය, වැය කළ ශක්තිය ගැන මම නිස්කාරණයේ දුක්වුණා. පසුතැවුණා.

එහෙම කරන අතරවාරයේ මගේ ළඟම මිතුරියක් එක්ක මම ඒ ගැන කතා කළා. පොඩ්ඩක් නෙමෙයි. අඛණ්ඩව පැය ගණනාවක් එක දිගට! අපි යන කිසිම පාරක් වැරදි නෑ. අපි හැමදාම යන්නේ හරි පාරෙ විතරයි. හරි පාරෙ යද්දි වැරදි මිනිස්සු මුණගැහෙනවා කියලා ඒ සාකච්ඡාව අස්සෙදි ඇය මට තදින් අවධාරණය කළා. මාව මානසිකව අස්වසන්න හෝ වෙනත් මොනයම් අදහසකින් ඇය එහෙම කිව්වත් නැවත නැවතිල්ලෙ හිතලා බලද්දි ඇය කිව්ව කතාව ඇතුළේ සත්‍යතාව කියලා කොටසක් මට අල්ල ගන්න පුළුවන් වුණා.

කැපීම්, කෙටීම්, අඩුකිරීම්, බෙදීම්, ගුණ කිරීම් සහ යම් යම් එකතු කිරීම් කරලා වර්තමානයේ ඉන්න මම කියන පුද්ගලයා නිර්මාණය කරගන්න, මම ගමන් කළ සෑම මාර්ගයකම සිටිය පුද්ගල චරිත සැලසුම් සහගතව හෝ සැලසුම් විරහිතව භාවිත කරලා තිබුණා. මේ මොහොතේ ඉන්න මාව නිර්මාණය වෙන්න හැම පාරකම මුණගැසුණු වැදගත් හෝ නොවැදගත් සියලු අත්විඳීම්, අත්දැකීම් උපකාර වෙලා තිබුණා.

අතරමඟ හමුවුණ, හමුවෙලා දොඩමළු වුණු, ‍ෙදාඩමළු වෙලා කෙටි කාලීන හෝ දීර්ඝකාලීන වශයෙන් සහ සම්බන්ධතා පවත්වපු සියලු වර්ගයේ මිනිසුන් යම් ආශීර්වාදයක් හෝ පාඩමක් ජීවිතයට එකතු කරලා තිබුණා. නිවැරදි යැයි හැඟුණු මිනිසුන් ආශීර්වාදයන් වුණා. ගමනට උද්දීපනයක්, අභිප්‍රේරකයක් බවට පත්වුණා. වැරදි යැයි හැඟුණ මිනිස්සු පාඩම්, පෙළපොත් හෝ විෂය නිර්දේශයන් බවට පත්වුණා. හැම වැරදි හා නිවැරදි මනුෂ්‍යයෙක්ම වෙනස් වූ සංයුතීන්ගෙන් මාව නිර්මාණය කරන්නට සම්පත් දායකයන් බවට පත්වී සිටියා. එහෙම බලනකොට මම හැමදාම හරි පාරක වැරදි හා නිවැරදි මිනිස්සු හමුවෙමින්, ඊට සමාන්තරව පාඩම් හා ආශීර්වාදයන් එකතු කරමින් ගමන් කරමින් සිටියා.

ඒ සාකච්ඡාවෙන් පස්සේ මම ගමන් කළ මාර්ගවල හමුවුණ හොඳ, නරක, වැදගත්, නොවැදගත්, වැරදි, නිවැරදි කියන හැම භෞතිකයකම, හැම ප්‍රතිරූපයකම නිවැරදි යමක් මම අල්ල ගත්තා. ගමන් කළ මාර්ග විවේචනය නොකර, පසුතැවීම් හා කලකිරීම් අතහැරලා අපි කවදාවත් වැරදි මාර්ගවල යන්නෙ නැහැ, අපි හැමදාම නිවැරදි මාර්ගයේ ගමන් කරනවා, ඒ හරි මාර්ගයේදී වැරදි අත්දැකීම් සහ වැරදි මිනිසුන් හමුවෙනවා  කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. “හරි පාරෙ යනකොට තමයි කොහොමත් වැරදියි යැයි හැඟෙන මිනිසුන් සහ අත්දැකීම් හමුවෙන්නේ” ඇය කියපු කතා මට ඕන විධියට මම  ප්‍රතිනිර්මාණය කරගත්තා.