ආර්ථික අර්බුදයෙන් කරාතේ තරගාවලිත් වැට උඩ

0
11

ශ්‍රී  ලංකාව තුල වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ක්‍රීඩා බලධාරීන් ගත් පියවර හේතුවෙන් ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලනය දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, එහි උසස් කාර්ය සාධන සංචිතයන්හි සහ ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු විශාල අර්බුදයකට මුහුණදී ඇති බවත් ‘මව්බිම’ට වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී  ලංකාවේ පවත්නා අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉරාන ජාතික විදෙස් පුහුණුකරුවාට මෙම සතිය තුල අදාළ තනතුරින් ඉවත්ව සිය මව්බිම බලා පිටත්ව යන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය දන්වා තිබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව ඇති බව දැනගන්නට ඇත. මෙම තීරණයත් සමඟින් ඉදිරි ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරගනිමින් පදක්කම් බලාපොරාත්තු සහිතව පුහුණුවීම්වල යෙදුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු ක්‍රියාවලියම මේ අවධානමකට පත්ව ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පසුගියදා ක්‍රීඩා බලධාරීන් සමඟින් පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ඉරාන පුහුණුකරුවාට අදාළ තනතුරින් ඉවත් වන ලෙස බලධාරීන් සිදු කර තිබූ ඉල්ලීමට එම පුහුණුකරුවා එකඟත්වය පලකර ඇති බවද සඳහන්ය. කෙසේ වෙතත් මෙම විදෙස් පුහුණුකරු සමඟින් මෙයට පෙර අස්සන් කළ ගිවිසුමට අනුකූලව ශ්‍රී  ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ හෝ ශ්‍රී  ලංකාව නියෝජනය කරන වෙනත් පාර්ශ්වයක ඉල්ලීම මත ඔහු කරාතේ ජාතික පුහුණුකරු තනතුරින් ඉවත් වන්නේ නම් මාස 3ක වැටුප ලෙස රුපියල් මිලියන 3ක පමණ මුදලක් ගෙවීමට නියමිතව තිබුණද ශ්‍රී  ලංකාව මුහුණපා ඇති වත්මන් තත්ත්වය හමුවේ එම මුදල් අයකර ගැනීමකින් තොරව එම තනතුරට සමුදීමට ඉරාන පුහුණුකරු එකඟත්වය පළකර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව දේශීය පුහුණුකරුවන් යොදාගෙන ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සිදු කළද ක්‍රීඩා බලධාරීන් නිසි අනුග්‍රහය නොදැක්වුවහොත් මෙම කටයුතු සියල්ල අඩපන වීමේ අවධානමක් මේ වන විටත් මතුව ඇති බවද කරාතේ ආරංචිමාර්ග සඳහන් කරයි. එසේ වුවහොත් සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරගාවලිය සහ දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත ආසියානු කරාතේ දෝ තරගාවලිය සඳහා කිසිදු ශ්‍රී  ලාංකික ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් පදක්කම් බලාපොරාත්තු බිඳ වැටී යෑමට ඉඩ ඇති බවද පැවැසේ.

තත්ත්වය එසේ වුවද ජාත්‍යන්තර කරාතේ දෝ සම්මේලනයේ සහයෝගය ඇතිව දකුණු ආසියානු කරාතෛ් දෝ තරගාවලිය ශ්‍රී  ලංකාවේ සත්කාරකත්වයෙන් මෙහි පැවැත්වීමට ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලනය මේ වන විට කටයුතු යොදා තිබීමද කැපී පෙනෙන සිදුවීමකි. ඒ අනුව ක්‍රීඩාව කරවන බලධාරීන් නිසි අවධානය සහ සහයෝගය ලබාදුනහොත් දකුණු ආසියානු කරාතේ දෝ තරගාවලිය පැවැත්වීම හරහා ඩොලර් දහස් ගණනක ආදායමක් ශ්‍රී  ලංකාව වෙත උපයාගත හැකිවනු ඇති බවටද එම සම්මේලන බලධාරීන් විශ්වාසය පළකරයි.

ඒ අනුව මෙම තරගාවලිය හරහා විදෙස් ක්‍රීඩකයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී  ලංකාව වෙත ලඟා වීම තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහිද එම තරගාවලිය හිතකර දායකත්වයක් සපයනු ඇති බවද පැවැසේ. එමෙන්ම මෙම තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඔවුන් සහභාගි වන තරග සඳහා අයකරගනු ලබන මුදල්, සාමාජික ගාස්තු සහ ඔවුන් නවාතැන් ගන්නා හෝටල් සහ සංචාරය කරනු ලබන ස්ථාන ඇතුළුව විශාල ඩොලර් ආදායමක් මෙම තරගාවලිය තුළින් ශ්‍රී  ලංකාවට උපයා ගැනීමේ විශාල අවස්ථාවක් පවතී.

ගමිත දෙහිපිටිය